' රාමු ' නැතිව දුක් විඳින ත්‍රිවේන්ද්‍රම්පුරේ ' වල්ලි '

බිමට වැටුණු සුරඟනන්

' රාමු ' නැතිව දුක් විඳින ත්‍රිවේන්ද්‍රම්පුරේ ' වල්ලි '

සදාචාර සංස්කෘතියේ සළු පිළි කොයිතරම් පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.

ළමයින් පිරිමින් කාන්තාවන්සේම ලිංගික විපරිතයන්ට ලක් වූ අයද මේ පිරිසට අයත් වන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් වූ ඉල්ලුමකි. ළාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙන යාම මෙම රවටල වෙසෙන සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන්නකි. එලෙස මෙම ව්‍යාපෘතියට එන මෙම යුවතියන් නිශ්චිත කාලයක් ජීවත්වන්නේ සුරඟනන් ලෙසටය. එහෙත් මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අයවෙති. කුල පීඩනය, ආර්ථික පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිලිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක් වූ යුවතියෝද ඒ අතර වෙති. තවත් සමහර ළාබාල දැරියන් ඈත දුෂ්කර ගම්මානවල පදිංචි මාපියන් රවටා පැහැරගෙන එනු ලැබු අය වෙති.

බිමට වැටුණු සුරඟනන් කෘතිය ඇසුරෙන් සැකසු මෙම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළඳාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ. මෙම කෘතිය ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 14 දෙනකු විසින් රචනා කරන ලද්දෙකි.

ලිංගික වෙළඳාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් විමසා බලන්නට මේ කෘතිය උත්සාහ දරා ඇත. බොහෝ මාධ්‍යවේදීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බිය වන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය හා මැර කල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසාය. බිමට වැටුණු සුරඟනන් තුළින් ඔබ කියවන මේ අහිංසකාවියන් ගේ කතා අපේම සමහරක් සොයුරියන් ගේ කතා හා සමාන නොවන්නේද?

කලක් භාරත සිනමාව මෝහනය කරපු ජයලලිතා මටත් මගේ සහායකයාටත් මතක් වුණේ වල්ලිව දැකලයි. වල්ලි අපට හමු වුණේ ත්‍රිවේන්ද්‍රම් පුරේදී. ත්‍රිවෙන්ද්‍රම් වාණිජ නගරයක් විදියට තමිල්නාඩුවේ ගොඩක්ම ප්‍රසිද්ධයි. ඊටත් වඩා ගොඩක්ම සුන්දර වෙන්නේ ගුවන් තොටුපළකුත් දුම්රිය පළකුත් ආසන්නයේ මේ රමණීය නගරය පිහිටලා තියෙන නිසා. “වල්ලි“ මේ පුරයේ කාම පිපාසයට යොමුවන ඇත්තන්ට අංගනාවන් සපයන සේවා ස්ථානයක හිමිකාරියක්. තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි රමණීය කාමරයක දී එයා අපි එක්කල දොඩමළු වුණා.

 වල්ලි කොහොමද මේ බිස්නස් එක කරන එක ලේසිද?

මගේ මිත්‍රයා කතාව පටන් ගත්තා.

“මේක ගොඩක් අමාරු රස්සාවක්. හැමෝම හිතාගෙන ඉන්නේ ලේසියෙන් සල්ලි හම්බවෙන රස්සාවක් කියලා. ඒත් ඒක කොයිතරම් භයානකද? මං කී සැරයක් නම් පොලිසියට අහුවෙලා අච්චු විඳලා තියෙනවද? හොඳ වෙලාවට මගේ ගාව ඉතුරු කරපු සල්ලි ටිකක් තිබුණා. ඒ හින්දා මං බේරුණා. එහෙම නැත්නම් මං තාමත් කූඩුවේ...”

 වල්ලි ඔයා කොහොමද ත්‍රිවෙන්ද්‍රම්වලට ආවේ. මේක ඔයාගේ ගම ද?

මගේ මිත්‍රයා වල්ලිගෙන් ඇහුවා.

“මහත්මයා මගේ ගම මෙහේ ඉඳල ගොඩක් දුරින් තියෙන අරුන්වේලිවල. මගේ පවුල ගමේම හිටපු වංසක්කාරයෝ. පංචායත් සභාවේ ලොක්කා තමයි මගේ තාත්තා. මාත් මගේ මල්ලිත් විතරයි මුළු පවුලටම හිටියේ. ඉතින් තාත්තයි අම්මයි අපි දෙන්නව ඇස් දෙක වගේ බලා ගත්තා. ඒත් ජීවිතේ අපි හිතන පතන හැම දෙයක්ම ලස්සනටම අපි ගාවට ගෙනත් දෙන්නේ නැහැ.”

 එච්චර වැදගත් ධනවත් ඔයාට මෙහෙම වුණේ කොහොමද?

නොඉවසිල්ලෙන් ඉන්න මගේ මිත්‍රයා වල්ලිගෙන් ඇහුවා.

ඒක සිද්ධවෙන්නේ ආදර කතාවකින්. අපේ ගෙදර වැඩ කරන්න ආවා රගුනගර් වල ඉඳල හැඩකාර කොල්ලෙක්. එයාගෙ නම රාමු. රාමු පහත් කුලයක කෙනක්. ඒත් රාමුව දැක්ක දවසේ ඉඳලා මට එයා ගැන ලොකු ආදරයක් ඇති වුණා. රාමුගේ තාත්තත් නැහැ අම්මත් නැහැ. එයා හැදුණේ වැඩුණේ මාමා කෙනෙක් ගාව. රාමු කුඹුරු වැඩ කරන්නයි අපේ වතුවල වැඩ කරන්නයි අපේ ගෙදර වැඩවලටයි තමයි තාත්තා එයාව වැඩට ගත්තේ. මාසෙකට රුපියල් 3000 ක් විතර රාමුට ගෙව්වා. රාමු අපේ තාත්තට ගොඩක් හිතයි. අම්මටත් ඒ වගේ. මල්ලිත් එක්ක නිතරම කතා බහ කරල හිටියත් එයා මාත් එක්ක කතා කරන්න ආවේ නැහැ.

එදා හෝලි දවසක්. මට රාමුත් එක්ක කතා කරන්න පුළුවන් වුණා. අම්මයි තාත්තයි මල්ලියි කෝවිලට ගියා. රාමු දවල්ට කන්න ගෙදර ආවම මං එයාට හෝලි වලට හදපු ලඩ්ඩු පිඟානකුයි රස කැවිලි පෙට්ටියකුයි දුන්නා.”

“පුංචි නෝනා ඇයි මේ... මං කුස්සියෙන් ඉල්ලගෙන කන්නං...” රාමු බයවෙලා කිව්වා....

“නෑ නෑ ඔයා ඕක අද මං ගාව ඉඳගෙනම කන්න ඕන. නැත්නම් මං ඔයාත් එක්ක තරහම තරහයි.” මං එයාට කිව්වා.

“අසරණ රාමු මං දුන්න ලඩ්ඩු එකින් එක කන්න පටන් ගත්තා. රාමු ගැන ලොකු දුකක් මට ඇති වුණා... මම පිටිපස්සෙන් ඇවිල්ලා එකපාරටම එයාව බදා ගත්තා. හොඳටම බය වුණ රාමු ලඩ්ඩු පිඟානත් දාල ඉක්මනට එහාට වුණා.

“අනේ පුංචි නෝනා මහත්තය හරි නෝනා හරි දැක්කොත් මාව මරල දාවි....”

“බයවෙන්න එපා ඔයාට එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඔයා හැමදාම මාව හම්බවෙන්න ඕන. මාත් එක්ක කතා කරන්න ඕන...” රාමු මුකුත් නොකියා බිම බලාගෙන හිටියා.

 ඊට පස්සේ ඔයයි රාමුයි ගොඩක් ආදරෙන් හිටියද?

මගේ මිත්‍රයා වල්ලිගෙන් ඇහුවා.

“අනේ ඔව් මහත්තයා. එයා ගොඩක් මට ආදරය කරන්න පටන් ගත්තා. හොරෙන් කැලෑ මල් කඩල ලස්සන පොකුªරක් හදල එයා මට ගෙනත් දුන්නා. මම මගේ කාමරේ ඒ මල් ලස්සනට තිබ්බා. කොහොමහරි දවසකට එක සැරයක් හරි අපි දෙන්නා කතා කළා. අපි දෙන්නට දෙන්නව නොදැක ඉන්න අමාරු වුණා. කොහොමහරි එයාව ඉක්මනටම මගේ කර ගන්නයි මට වුවමනා වෙලා තිබුණේ. ඒත් දෛවය අපි දෙන්නගේම ජීවිත වෙනස් කරල දැම්මා.”

 ඇයි මොකද්ද වුණේ?

“මම රාමුත් එක්ක හාදකම් පවත්වනවා කියලා ගමේ කට කතාවක් පැතිරිලා තිබුණා. තාත්තා ඒක අහලා ගොඩක් තරහෙන් හිටියේ. රාමුව ගෙදරට ගෙනල්ලා රාමු ගේ කම්මුලට ගහලා අහලා තියෙනවා මාත් එක්ක යාළු ද කියල. රාමු ගේ තොල පිපිරිලා ලේ පැන්නත් රාමු කිසිම දෙයක් තාත්තට කියලා නැහැ. පස්සේ රාමු අපේ ගෙදර වැඩ කරන්න හිටපු කෙනෙක් අතේ මට පණිවිඩයක් එවල තිබුණා. එයා කිව්වේ එයාගේ පණ ගියත් මාව අමතක කරන්නේ නැහැ කියලා. අන්තිමේදී මම එයා කිවිව විදියට ගමෙන් පැනලා ගියා ත්‍රිවෙන්ද්‍රම්වලට. එහේ රාමුගේ යාළුවෙක් හිටියා. අපි එහෙට ගියා. අපේ ගමේ ඉඳලා ත්‍රිවෙන්ද්‍රම්වලට කිලෝමීටර 500 ක් විතර දුරයි. ඒ නිසා මාවත් රාමුවත් හොයාගන්න කාටත් ඇහැක් වුණේ නැහැ.”

“අපේ ජීවිත සතුටින් පිරිලා තිබුණා. මම ගෙදරින් එනකොට අරගෙන ආපු රත්තරන් බඩු විකුණලා ඒ සල්ලි වලින් අපි පුංචි බිස්නස් එකක් පටන් ගත්තා. ඩිංග ඩිංග ඒක සරු සාර වුණා. ගමේ එළවළු පලතුරු එකතු කරල විකුණන්න තමයි අපේ ව්‍යාපාරය පටන් ගත්තේ. බිස්නස් සරු වෙනකොට අපිට හතුරො වැඩි වුණා. අපේ බිස්නස් වලට ලොකු ලොකු බාධා ඇති වුණා. ඒත් රාමු මේ මොනවයින්වත් සැලුණේ නැහැ. ඒත් ටික දවසකින් අපේ හීන ඔක්කෝම කඩාගෙන වැටුණා.”

 ඇයි උන් රාමුට මොනවහරි කරදරයක් කළා ද?

“අනේ නැහැ. මහත්තයෝ උන් රාමුට නෙමෙයි කරදරයක් කළේ මට. රාමු ගෙදර නැතිවෙලේ උන්ගෙන් තුන් දෙනෙක් අපේ ගෙදරට කඩාගෙන පැන්නා. මං උන් එකෙක්වත් අඳුරන්නේ නැහැ. එහෙම ආපු උන් මාව බලෙන්ම අරගෙන ගියා. උන්ට ඕන වුණේ කොහොමහරි රාමුගෙන් පළි ගන්න. උන් ඒකට හොඳම ක්‍රමය විදියට හිතාගෙන හිටියේ කොහොමහරි අපේ පවුල් ජීවිතය කඩාකප්පල් කරල දාන එක.”

“උන්ගෙන් එකෙක් සුදාහරන්. ඒකා මහා මැරයෙක්. ඌට ගෝල බාලයෝ හයක් හතක් හිටියා. ඌ මාව ගොඩක් දුර තියෙන පාළු ගෙදරකට අරගෙන ගිහිල්ලා දවස් ගානක් මට කරදර කළා. මගේ ජීවිතය ඌට සෙල්ලම් බඩුවක් වගේ වුණා. ඌගේ කිට්ටුම මිතුරන්ටත් මාත් එක්ක සතුටු වෙයල්ලා කියලා මාව විනාශ කරන්න ඉඩ දුන්නා. මං වගේම තවත් අහිංසක ගෑනු ළමයි උන් හිරකර ගෙන හිටියා. උඹේ රාමුව අපේ ඒරියා එකෙන් මකලා දැම්මා. එක්කෝ උඹ නැතුව ඌ පිස්සෙක් වෙයි. එහෙමත් නැත්නම් මේ ගම අතහැරලා ඌ යාවි. උඹ ගොඩක් ලස්සනයි කෙල්ලේ උඹ අපිට වටිනවා ඒ නිසා අපි උඹට යන්න දෙන්නේ නැහැ. දවසක් හොඳටම බීලා හිටිය සුද්‍රාහරන් මගේ ළඟට ඇවිල්ලා කිව්වා.”

“ඊට පස්සේ තමයි උන් මට මේ ජීවිතේ බලෙන් උරුම කරලා දුන්නේ. උන් ගාවට කස්ටමර්ලා ආවහම උන් සල්ලි භාගයක් අරගෙන මිනිස්සු මගේ ගාවට එවනවා. මගේ ජිවිතය මටම අප්‍රසන්නයි. ඒත් මට මගේ ජීවිතය මුල් කාලය සම්පූර්ණයෙන්ම උන්ට යටත් වෙලා ගෙවන්න සිද්ධ වුණා. පැනලා යන්න කිහිපරවක් උත්සාහ කළත් ඒක නිකං බොරු උත්සාහයක් විතරක්ම වුණා. සුදාහරන් ගේ ගෝලයෝ හැමතැනම ඉන්නවා. නිකං හරි ඔත්තුවක් ගියොත් උන් එහෙම පැනලා යන්න ගිය ගෑනිට අනන්ත දුක් දෙනවා.

කියන දේ දිගටම අහන්නෙම නැත්නම් කටේ ඉස්සරහ දත් දෙකක් තුනක් අතින් ගහල කඩලා දානවා. එහෙම කර ගන්න කවුද කැමති. මං ඒ හින්දා මගේ ජීවිතේ ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නා. දැන් මම පරණ ගෑනියෙක්. මේ බිස්නස් එක තනියම කරගන්න මට ඇහැකියි. දැන් මගේ ගාවත් අසරණ අහිංසක කෙල්ලෝ හය හත් දෙනෙක් විතර ඉන්නවා. මගේ ජීවිතේ කියන්නේ සල්ලි. සල්ලි තියෙනවා නම් දෙවියොත් ඔයා ගාවට ඒවි. සල්ලි නැති වුණදාට ඔයාගේම සහෝදරයත් ඔයාව අතඇරලා දාලා යාවි.”

 ඊට පස්සේ ඔයාගේ ආදරයට ඔයාගේ රාමු ට මොකද වුණේ?

මගේ මිත්‍රයා ආයෙත් වල්ලිගෙන් ඇහුවා...

රාමු හැමදාම මගේ ජීවිතේ ඉන්නවා. ඇත්තටම එයාට මොකද වුණේ කියලා මං තාමත් දන්නේ නැහැ. සදාහරන් කිවිව විදියටම මං නැතුව එයාට පිස්සු හැදුණ ද දන්නෙත් නැහැ. ඒ තරමටම එයා මට ආදරය කළා. දවසට කොයිතරම් මිනිස්සු මාත් එක්ක පැයට දෙකට ආශ්‍රය කළත් රාමුගෙන් ලැබුණ ආදරය කිසිම කෙනෙක්ගෙන් මට ලැබෙන්නේ නැහැ. ඇත්තටම එයා මිනිස්් වෙසින් මේ ලෝකෙට ආපු දෙවියෙක්. මම හැමදාම දෙවියො වඳින කොට ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ආත්මේදි හරි කරදරයක් නැතුව රාමුව මටම ලැබෙන්න කියලයි.”

 හොඳයි ඔයාගේ රාමු ඔයාව හොයාගෙන ආවොත්...?

මගේ මිත්‍රයා අන්තිම ප්‍රශ්නෙත් ඇහුවා.

“අනේ එහෙම වෙයිද? මං මොන තත්වේ හිටියත් මගේ රාමු මාව බේරගෙන යාවි. එයා මාව එයාගෙම කර ගනීවි. මට ඒක ඉර හඳ වගේ විශ්වාසයි. අනේ එහෙම දවසක් ඇත්තටම මගේ ජීවිතේ උදාවෙයිද....? වල්ලි අපි දෙන්නගෙන්ම ඇහුවේ කඳුළු පුරෝගෙන.

ඇත්තටම වල්ලිගේ ජීවිතේ එහෙම ලස්සනම දවසක් ආයෙත් උදා වෙයිද.....?

ඩ බ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර