ලක්ෂ 10ක් නොදුන්නොත් ගෙදර මිනී තුනක් තියෙයි

ලක්ෂ 10ක් නොදුන්නොත් ගෙදර මිනී තුනක් තියෙයි

උඹලා දෙන්නට විඳවන්න දරුවෝ තුන්දෙනා මරනවා

කොස්ගොඩ ප්‍රදේශයේ පසුගියදා සිදු වූ මිනිස් ඝාතනයත් සමඟ කොස්ගොඩ හා ඒ අවට වැසියන් තවමත් සිටින්නේ තරමක භීතියකිනි. ඒ යළි කොයි මොහාතක කෙැතැනක තවත් ඝාතනයක් සිදු වෙතැයි යන සැකය නිසාය. මේ නිසා ඝාතන සිදු වූ පාර්ශ්වයේ දෙපිරිස ද තැති ගැනීමෙන් ජීවත් වෙති. ඊට තවත් ප්‍රබල හේතුවක් වී ඇත්තේ මරණීය තර්ජන එල්ල කරමින් ලැබෙන දුරකථන ඇමතුම්ය.

මෙලෙස මරණ තර්ජන එල්ල වූ කෝටිපති කාන්තාවක් පසුගියදා ඇල්පිටිය කොට්ඨාශ බාර පොලිස් අධිකාරිවරයා හමුවට පැමිණියාය. ඒ තමන්ගේ නමට ලැබුණු නිර්නාමික ලිපියක් ද රැගෙනය. කෝටි ගණනාවක් වටිනා ඉඩමක් මිල දී ගෙන තිබූ ඇය එහි සංචාරක හෝටලයක් ඉදි කිරීමට කටයුතු කරමින් සිටියාය.

තම අත වූ නිර්නාමික ලිපිය පොලිස් අධිකාරීවරයා වෙත යොමු කරමින් ඇය කියා සිටියේ තම නිවෙසට ඇමතුම් දෙමින් නාඳුනන අයකු තමන්ගෙන් රුපියල් කෝටියක මුදලක් ඉල්ලා සිටින බවය. එම මුදල නොදුන්නොත් තමාව ද මරා දමන බවට ඇමතුම් ලැබෙන බව ද ඇය කීවාය.

“අපි තමයි පසුගියදා කොස්ගොඩ හතර දෙනා මැරුවෙත්. ඒ නිසා අපිට මේ සල්ලි ඕන. නැත්නම් උඹව මරනවා”

ඇය පොලිස් අධිකාරිවරයා හමුවේ නාඳුනන පුද්ගලයා පැවසූ සියල්ල ද හෙළි කළාය.

සියල්ල සාවධානව ඇහුම්කන් දුන් පොලිස් අධිකාරීවරයා වහා කරන්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා කැඳවා මේ පිළිබඳ සොයා බලා මෙලෙස මරණ තර්ජන එල්ල කරන පාතාලයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් එය කළ යුතු ආකාරය පිළිබඳවත් ස්ථානාධිපතිවරයාට මෙන්ම තර්ජනය එල්ල වූ කාන්තාවටත් උපදෙස් දෙමින් කියන්නට විය.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත මරණ තර්ජන එල්ල කරන පාතාල කප්පම්කරුවන් හා කතාබහ කිරීම ඇරඹිණි. කෝටිපති කාන්තාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත කප්පම්කරුට පිළිතුරු දුන්න ද ඔහු එකහෙළා කීවේ රුපියල් කෝටිය ලබා නොදුන්නොත් අනිවාර්යයෙන්ම ඇය මරා දමන බවය.

“මට එකපාරට දෙන්න සල්ලි නැහැ. ඕන නම් මම මුලින් ලක්ෂ 2 ක් දෙන්නම්’

දුරකථන ඇමතුම් වාර ගණනාවකට පසු ඇය ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව කප්පම්කරුට කීවාය. ඊට කප්පම්කරු ද කැමැති විය.

“අපි කොහේටද සල්ලි ගේන්න ඕන”

“ගොඩගම පාරේ තියෙන බෝක්කුව යට සල්ලි තියන්න ඕන”

“හොඳයි”

“හැබැයි පොලීසියට කියලා වැඩ වරද්ද ගන්න එපා”

“අපෝ නෑ. මගේ අයියා සල්ලි ටික අරගෙන එන්නේ”

ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව සැකසූ සල්ලි මල්ල සුදු පැහැති වෑන් රියකින් ගෙන යන ලද්දේ ඇගේ සොහොයුරකු විසින්ය. එහෙත් ඊට කලින් සිවිල් ඇඳුම් ලාගත් නිලධාරීන් ගොඩගම බෝක්කුව හා ඒ අවට සීරුවෙන් සිටියේ කප්පම් ගැනීමට එන පුද්ගලයන් කොටු කර ගැනීම සඳහාය.

වෑන් රියේ පැමිණි පුද්ගලයා මුදල් සහිත බෑගය බෝක්කුව යට තබා ගිය ද එය ලබා ගැනීම සඳහා කප්පම්කරු පැමිණියේ නැත. මෙය පොලීසියට මහත් ප්‍රහේළිකාවක් විය. ඔවුහු හිස් අතින් පොලීසියට ගියහ.

මේ නිසා කෝටිපති කාන්තාව ද හිටියේ මඳක් චකිතයෙන් හා බියෙනි. ඊට පසුද ඇයට ඇමතුම් කිහිපයක් ලැබීමත් සමග බියට පත් වූ ඇය ගම් පළාත අතහැර වෙනත් ප්‍රදේශයකට ගියේ සිය ජීවිතයට හානියක් වෙතැයි සිතාය.

සරත් ධර්මබන්දු මහතා ද කොස්ගොඩ පදිංචිකරුවෙකි. කලක් විදේශගතව සිටි ඔහු මෙරටට පැමිණ ඇඟලුම් ව්‍යාපාරයේ යෙදී සිටී. පසුගියදා ඔහුගේ නිවෙසට ද දුරකථන ඇමතුමක් ලැබිණ. ඇමතුම ලබා ගත්තේ ඔහුගේ බිරියයි.

“අපිට ලක්ෂ 10 ක් ඕන”

කප්පම්කරු ඇයට කීවේය. ඇය සිතුවේ කවුරු හෝ විහිළුවක් කරන බවය.

“ලක්ෂ දහයක් ඇත්ද?”

ඇය සිනහවෙමින් කප්පම්කරුගෙන් විමසුවේ ඒ නිසාය.

“විහිළුවක් නෙමේ. හෙට උදේ වෙන කොට අපිට ලක්ෂ 10 ක් ලැබෙන්න ඕන”

ඒ සමඟම දුරකථනය විසන්ධි විය. ඇය වහා මේ බව සිය සැමියාට කීවාය. පසුදා උදෑසන ලැබුණු දුරකථන අංකයට ඔහු පෙරළා කතා කරන්නට විය. ඒත් ඊට ප්‍රතිචාරයක් නොලැබිණි. එතැන් පටන් ඔහු වෙත ලැබුණේ ද මරණීය තර්ජන සහිත දුරකථන ඇමතුම්ය.

“මගේ ගාව ලක්ෂ 10 ක් නැහැ. කොහේ තියෙන සල්ලි ද” සරත් කප්පම්කරුට පිළිතුරු දෙමින් කීවේය.

“උඹ ගාව සල්ලි තියෙන විත්තිය අපි දන්නවා. අපිට ඔය කතාවලින් වැඩක් නැහැ. අපිට හෙට උදේ වෙනකොට සල්ලි ඕන”

“මට ජොබ් එකක් නැහැ. මම ජීවත් වෙන්නෙත් රත්තරන් බඩු උගස් කරලා. ඔයාට ඕන නම් මම මගේ එකවුන්ට් නොම්මරේ දෙන්නම්”

“ඒව අපිට වැඩක් නැහැ . අපි දන්නවා උඹ ගාව සල්ලි තියෙනවා කියලා”

“කවුද ඔය කතා කරන්නේ”

“උඹ මේ දවස්වල පත්තර ටික බලපන්. අපේ නම් ගම් ඒවායෙ තියෙනවා. පසුගියදා හතර දෙනෙක් බෑව්වෙත් අපි තමයි. සල්ලි දුන්නේ නැත්නම් ගෙදර මිනී දෙක තුනක් තියේවි”

කප්පම්කරුගේ මරණ තර්ජන ඉවසා සිටීමට නොහැකි වූ තැන ඔහු කෙළින්ම ගියේ ඇල්පිටිය පොලිස් අධිකාරීවරයා හමුවීමටය. සිද්ධිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව විමර්ශන ඇරඹීම බාර වුණේ කරන්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාටමය.

කෝටිපති කාන්තාව මෙන් සරත් බියට පත් වුණේ නැත. ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කරන්නට විය. ඒ අනුව ඇමතුම්වලට පිළිතුරු ද දුන්නේය.

“අපි කොහොම හරි සල්ලි දෙන දිනය පහු කරගන්න ඕන. හෙට සෙනසුරාදා, ඉරිදත් බැංකු වහලා. ඒ නිසා සල්ලි ගන්න බැහැ. සඳුදට තමයි ගන්න පුළුවන් වෙන්නේ කියලා කල් ඉල්ල ගන්න බලන්න” ස්ථානාධිපතිවරයා සරත්ව දැනුම්වත් කළේය. ඒ අනුව සරත් ද ක්‍රියා කළේය.

“අපි දැන් ගොඩක් ඉවසුවා. අපිට දැන් සල්ලි අවශ්‍යයි. මොකද අපි වැඩ පටන් ගන්නද. මොකද තොපි ගාවටම ඇවිත් බඩු දෙන්නද”

“එහෙම කරන්න එපා. මගේ ළඟ දැන් සල්ලි නැහැ. මමත් කාගෙන් හරි ඉල්ලගන්න ඕන”

“උඹ බොරු කරන්නේ. උඹ ගාව සල්ලි තියෙනවා. අද සල්ලි දීපන් නැත්නම් වැඩ වරදී. උඹ කොහොමද කැමති. උඹ වෙඩි කනවද, අපි උඹලා දෙන්නා මරන්නේ නැහැ. උඹලාගේ දරුවන් මළාම උඹලා දෙන්නට විඳවන්න වේවි. කරන්දණිය මල් ශාලාවෙ තියලා තියපන්”

කප්පම්කරු මෙසේ තර්ජනය කරමින් දරුවන් ද මරා දමන බව කීමත් සමඟ සරත්ගේ සිතට ද බයක් දැනුණි. දියණියන් තිදෙනකුගේ පියෙකු වූ ඔහුට ද තැතිගැන්මක් ඇති නොවුණා නොවේ. කොහොමටත් දියණියන් තිදෙනා නිවසේ උඩු මහලේ රඳවා උඩ තට්ටුවේ විශාල ගල් කිහිිපයක් ද තබා ගත්තේ එන ඕනෑම එකෙකුට ඉන් ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණෙනි.

එහෙත් පාතාල කප්පම්කරුගේ තර්ජනය නොනැවතිණි. ඔහු දුරකථනයෙන් පමණක් නොව ඉර්ඉ මඟින් ද පණිවිඩ පිට පණිවිඩ එවන්නට විය.

“තව ටික වේලාවයි දෙන්නේ. අරුන්ට කරපු දේම උඹලගේ දරුවන්ටත් කරනවා. හෙට දොළහට තමයි අන්තිම ටයිම් එක. උඹට දැන් එළියට යන්න පුළුවන්. අපි දැන් උඹට මුකුත් කරන්නේ නැහැ. එළියට ගිහින් සල්ලි අරන් වරෙන්”

මෙලෙස තර්ජනය කරමින් බැන වදිද්දී සරත් ද ඊට ප්‍රතිචාර දෙමින් කියා සිටියේ ලක්ෂ 10 ක් දීමට හැකියාවක් නැති බවය.

“එහෙනම් ලක්ෂ පහක්වත් ඕන. ඒක දුන්නොත් ආයේත් අපි ඉල්ලන්නේ නැහැ. උඹ කියන දේ අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි ලක්ෂ පහක් ඉල්ලන්නේ. මේක ගැන කාට හරි කියලා තිබුණොත් දන්නවනේ? එහෙම වුණොත් මිනී තුනක් ඔය ගෙදර තියෙයි. උඹ පොලීසි ගියා කියලා අපිට දැනිලා තියෙනවා. අපිට පොලීසියේ අයම විස්තර දෙනවා. මොකද කියන්නේ”

මෙලෙස තර්ජනය කරමින් මුදල් ඉල්ලන පාතාල කප්පම්කරු එම මුදල් ගොඩගම බෝක්කුව යට තබන ලෙස ද නියෝග කරන්නට විය. මේ අනුව කෝටිපති කාන්තාවගෙන් කෝටියක් මුදල් ඉල්ලුවේ ද එකම පුද්ගලයන් බව ස්ථානාධිපතිවරයාට වැටහිණි.

එබැවින් මේ බව අධිකරණයට කරුණු වාර්තා කරමින් ඇමතුම් ලැබෙන අංකය පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව විමර්ශන ඇරඹූ ඔහුට දැනගන්නට හැකි වූයේ එම අංකය යොදාගෙන ඌරගහ ප්‍රදේශයේ නිවෙසකින්ද කප්පම් ඉල්ලා ඇති බවය. අදාල දුරකථන සිම්පත ලබාගත් හිමිකරු සොයා පොලීසිය යන්නේ ඉන් පසුවය.

අවසානයේ එම සිම්පත ඔහු ලබාගෙන ඇත්තේ අලුත්ගම නගරයේ කුඩ යට තබාගෙන සිම් කාඩ්පත් විකුණන අයකුගෙන් බව අනාවරණය කරගත් ස්ථානාධිපතිවරයා එම සිම් කාඩ්පත් විකුණු තරුණයා ගැන කළුතර ඒජන්තවරයා හමු වී තොරතුරු ලබා ගත්තේය. ඒ අනුව දිගින් දිගටම විමර්ශන කළ ස්ථානාධිපතිවරයා එම සිම්පත ලබාගෙන ඇත්තේ මතුගම පදිංචි තරුණයකුගේ ලිපිනයකට බව ද අනාවරණය කර ගත්තේය. තවදුරටත් පර්වේෂණ සාක්කි ඔස්සේ දිගින් දිගටම පරීක්ෂණ කරද්දී අනාවරණය වූයේ රෙදි මහන කාන්තාවකගෙන් ලැබුණු ඇමතුමකට අනුව කොස්ගොඩ එම නිවෙස සොයා ගිය නිලධාරින්ට එම කාන්තාව සහ ඇගේ සැමියා ද සමඟ හැඳුනුම්පත් හතරක් ද අල්ලා ගැනීමට හැකි විය. ඔවුන්ගෙන් ප්‍රශ්න කළ පොලීසියට මරණීය තර්ජන එල්ල කරමින් මෙසේ කප්පම් ඉල්ලූ පුද්ගලයා කොටු කර ගැනිමට හැකි විය. ඔහු තැපැල් කන්තෝරුවක සේවය කරන්නෙකි. කන්තෝරුවට ලැබෙන අයිතිකරුවන් නැති ජාතික හැඳුනුම්පත් උපයෝගී කර ගනිමින් සිම්පත් ලබාගෙන මොහු මෙලෙස තර්ජනාත්මක ඇමතුම් ලබාගෙන ඇති බව හෙළි කර ගැනීමට සමත් විය.

“ඔය හන්දි හන්දි ගානේ කුඩ යට සිම් කාඩ් තියාගෙන රුපියල් සීයකට නැත්නම් නොමිලේ දෙන පිරිස් නිසා මේ වගේ අපරාධ කරන්න හරි ලේසියි. තමන් හැඳුනුම්පතක් නැත්නම් එතැනට එන වෙන කෙනකුගෙ හරි අයිඩී එකකට හරි එයාලා සිම්පත් දෙනවා. මේක හරි භයානක වැඩක්. මේ ආයතනවලට මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ. හන්දි ගානේ කුඩ යට තැන් තැන්වල සිම් ලබාදෙන එක තමයි මේ සේරටම මුල”

මේ පිළිබඳ අදහස් දක්වමින් කරන්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා කිවේය.

ඇල්පිටිය කොට්ඨාශ බාර පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දුල්ෂාන් නාගහවත්ත මහතාගේ මෙහෙයවීමෙන් කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න ඇල්ගිරියගේ ප්‍රමුඛ පිටිගල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කරුණාරත්න කරන්දෙණිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ මනෝජ්, සැරයන් රණධීර (6021), අෙබිවික්‍රම (7892), අබේවර්ධන (7860), ආනන්ද (26616) හා කොස්තාපල් සේනාරත්න (67103) කුමාර (44741), තිළින (11847) හා රියදුරු කොස්තාපල් රංජිත් (89944) යන නිලධාරීහු මෙම විමර්ශනයට එක් වූහ.

කීර්ති මෙන්ඩිස්