මිතුරා නිසා මරු තුරුලට ගිය සුරංග

මිතුරා නිසා මරු තුරුලට ගිය සුරංග

"අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් අපේ ජනවහරේ තිබේ. මෙම කියමන කටට ආ පළියට කියූ වැකියක් නොවන බව අද සමාජයේ සිදුවන සමහර සිදුවීම්වලදී සනාථ වී ඇත.

2015 වසරේ නොවැම්බර් මස දෙවන සඳුදා රාත්‍රියේ තරමක වැසි සහිත කාලගුණයක් තිබුණ ද අඟහරුවාදා උදෑසන වනවිට ඇල්පිටිය රත්තොටුපල ප්‍රදේශය පුරාම තිබුණේ පැහැබර කාලගුණයකි.

හතිය වැනි අසනීපයකින් පසු වූ සුරංග ඇල්පිටිය රෝහල වෙත සිය යතුරු පැදියෙන්ම ගොස් ප්‍රතිකාර ගැනීමට කල්පනා කළේ ඒ නිසාය. එහෙත් සුරංගට යතුරු පැදියේ නැගී නිවෙසේ සිට වැඩිදුරක් යාමට හැකි වූයේ නැත. තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි පහරකට ලක්ව යතුරු පැදිය මතම සිය අවසන් සුසුම්පොද වාතලයට එක් කරන්නට සුරංගට සිදු වූයේ ඔහු කිසිදිනෙක සිහිනයෙන්වත් අපේක්ෂා නොකළ අයුරින්ය.

ඇල්පිටිය පොලිස් කොට්ඨාශය් ඌරගස්මන්හංදිය පොලිස් වසමට අයත් රත්තොටුපල මාලවල ප්‍රදේශයේ පදිංචි සුරංග විජේසුරේන්ද්‍ර හතර දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නාය.

ටී.එච්.සෝමදාසට දාව ටී.එච්. ශි‍්‍රයාලතාට උපන් දරුවන් හතර දෙනාගෙන් වැඩිමල් පුතා වඩු කාර්මිකයෙකි. බාල පුතා රැකියාවක් නොකරන අතර, බාලම දියණිය පාසල් යන වයසේ පසු වූවාය.

පවුලේ දෙවෙනියා වූ විසි හතර හැවිරිදි සුරංග නිවෙසට යාබදවම ගරාජයක් පවත්වාගෙන ගියේය. ඔහු කළේ රථවාහන ටින්කරින් කිරීම හා ඒවා පින්තාරු කිරීමය. මේ වැඩ සඳහා සමහර විට සහයට කවුරුන් හෝ ගෙන්වා ගත් අතර ගමේම හිත මිතුරකු වූ උෂාන් ඉන්දික ද එසේ සහයට පැමිණෙන අයෙකි. මේ නිසා ඉන්දික, සුරංගගේ සේවකයකු මෙන්ම මිතුරකු ද වී සිටියේය. සුරංගගේ පියා රැකියාව වශයෙන් කළේ සති පොළවල්වලට ගොස් වෙළෙඳාම් කිරීමය. සුරංගගේ මව විදේශ ගතව සිටියාය. ඇය ගෘහ සේවිකාවක ලෙස කුවේට් රටට ගොස් වසර දෙකකට ආසන්න කාලයක් ගතව තිබිණි.

සුරංගගේ නිවෙස අලුතින් සාදාගෙන එන නිවෙසකි. එහි කොටසක ඔවුන් පදිංචිව සිටි අතර සුරංග උපයන මුදල් හා විදේශ රැකියාවෙන් මව එවන මුදලින් නිවෙසේ වැඩ අවසන් කර ගැනිමට සුරංග දැඩි උත්සාහයක් ගත්තේය.

අද කාලේ බොහෝ තරුණයන් යොමුවන මධුවිතෙන් හා දුම්වැටියෙන් ඈත්ව සිටි සුරංග ඒවා පානය කරන අය ද පිළිකුල් කළේය. වසර පහක පමණ කාලයක් ස්වයං රැකියාවේ නිරත වන සුරංග ආර්ථික වශයෙන් ගොඩනැගෙන්නට මහත් උත්සාහයක් ගත් අයකු විය.

උෂාන් ඉන්දික මහකුමාරගේ ද මහවිල ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි. විසිතුන් හැවිරිදි උෂාන් රැකියා කිහිපයක්ම කළ අතර කලක් නුවර ප්‍රදේශයේ හෝටලයක ද සේවය කළේය. ඔහු අපේක්ෂා කරගෙන සිටියේ විදේශ රැකියාවකට යාමටය. සොහොයුරියන් දෙදෙනකු සිටි පවුලේ බාලයා වූයේ උෂාන් ය. මහකුමාරගේ ආරියරත්න හා අයි.ඩී දයාවතී උෂාන්ගේ මව්පියෝ වූහ.

වැඩක් පළක් නොකරන දිනවලට මිතුරන් සමඟ එක්ව ක්‍රීඩා කිරීමට උෂාන් පුරුදුව සිටියේය. මේ ක්‍රීඩාව නිසා උෂාන් හා තවත් පිරිසක් අතර මීට කලකට පෙර ආරවුලක් ඇති වී තිබිණි. වරින් වර මේ ආරවුල මතු වී ආ අතර මුලින්ම ආරවුල ඇති වී ඇත්තේ ගල්පොත්තේවල කණිටු විදුහල් බිමේ ක්‍රීඩා කරමින් සිටියදීය. මේ ආරවුල දුර දිග යද්දී පොලිස් පොතේ ද පැමිණිල්ලක් ද ලියැවිණි.

මේ සිදුවීම වූ දිනයට පෙර දිනයේ ද දෙපිරිස අතර ගැටුමක් ඇති වී තිබේ. මේ නිසා ආරවුල ඇති කරගත් පිරිසේ අයෙක් එනතෙක් උෂාන් කඩුවක් හා යකඩ පොල්ලක් තියාගෙන මඟ රැක සිට ඇත. එතැනින් යාමට ආ පිරිස ආපසු හැරී ගොස් යළි පැමිණ ඇත්තේ ගිනි අවියක් ද රැගෙනය.

සුරංග සිය මිතුරා ද තනිවට කැඳවාගෙන යන්නට යතුරු පැදියෙන් පැමිණ ඇත්තේ මේ මොහොතේය. සුරංග වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ එවිටය. වෙඩි ප්‍රහාරයත් සමඟ සුරංග ආරක්ෂිත හිස් වැසුම ද සමඟ යතුරු පැදියත් පෙරළාගෙන තාර පාර මැද වැටී මියගොස් සිටි අතර උෂාන් ඊට මදක් දුරින් පාර අයිනේ මැරී වැටී සිටියේය. උෂාන් රැගෙන ආ බවට විශ්වාස කරන පොල්ල පාරේ අනෙක් පැත්තේ අයිනේ වැටී තිබිණි. එහෙත් කාටවත් කරදරයක් හිරිහැරයක් නැතිව සිටිය ද මිතුරා නිසා සුරංගට ද මිතුරා සමඟම අවසන් ගමන් යන්නට සිදු විය.

මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇත්තේ එම්.එම්. 9 වර්ගයේ ගිනි අවියක් විය යුතු බව පොලීසිය පවසන්නේ සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයාගත් හිස් කොපු එම වර්ගයේ ගිනි අවි සඳහා යොදාගන්නා ඒවා වූ නිසාය.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් මුනිදාස හාල්පත්දෙණිය මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කරනු ලැබිය. පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතා ඇතුළු සොකෝ කණ්ඩායම විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සිදු කළ අතර ඌරගස්මන්හංදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.සුජිත් පි‍්‍රයන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත් වීය.

සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර පසුව සැකකරුවන් සහ යතුරු පැදිය ද අත්අඩංගුවට ගනු ලැබීය. මෙහි ප්‍රධාන සැකකරු ගිනි අවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ කලක් සිරගතව සිට පැමිණි අයෙක් බව පොලිසිය කීය.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙනි)

අයි. එම්. වී. සී. ගුණසේකර

ඇල්පිටිය සමූහ