රන් බඩු හොරකමේ ගිය මව දියණිය ලවා ඒවා උකස් කරලා

රන් බඩු හොරකමේ ගිය මව දියණිය ලවා ඒවා උකස් කරලා

ඉකුත් ඔක්තෝම්බර් මාසයේ දිනෙක ජේත්තුවට හැඳ පැළඳගත් කාන්තාවක් දික්වැල්ලේ රන් බඩු අලෙවි ආයතනයක් තුළට ඇතුළු වන්නේ එම ආයතනයේ දොරවල් විවෘත කරනවාත් සමඟය. කඩිමුඩියේ පැමිණි ඇයට රන් භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමේ හදිසියක් ඇති බව පෙනී ගිය බැවින් උදෑසන හා හා පුරා ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට වෙළෙඳ සලේ සේවිකාවද උත්සුක වූවාය.

ඇය ආචාරශීලිව පිළිගත් වෙළෙඳ සේවිකාව රිසි පරිදි රන් භාණ්ඩ පරික්ෂාවට ඇයට උදව් කරමින් ආභරණ තැන්පත් කර ඇති මංජුසා එකින් එක කවුන්ටරය මත තබන්නට වූවාය . මෙසේ භාණ්ඩ පරීක්ෂා කළ මුත් ඒවා මිලදී නොගත් ගැණුම්කාර කාන්තාව පසුවට පැමිණෙන බව පවසා පිටව යන්නේ බැංකුව විවෘත කළ පසු මුදල් ද රැගෙන පැමි‍ණෙන බව පවසමින්ය.

නමුත් ඇය ඉන් පසු කිසිම දිනෙක රන් භාණ්ඩ මිලට ගැනීමට එම ආයතනයට පැමිණ තිබුණේ නැත.

මහා පරිමාණයෙන් රන් භාණ්ඩ නිෂ්පාදනය කරන එම ආයතනයේ හිමිකරු මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි.මාස 03 කට 04 කට වරක් සිය ආයතනයේ රන් භාණ්ඩ තොග ගණනය කිරීම ඔහුගේ සිරිතක්ව පැවැති අතර අවසන් වරට එසේ තොග පරීක්ෂාවේදී රන් මාල 03 ක අඩුවක් පෙනී ගියෙන්, ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කරන්නට කටයුතු කළේ ඉන් අනතුරුවය. එහිදී ඔහුට පෙනී ගියේ එක්තරා කාන්තාවක් රන් භාණ්ඩ පරීක්ෂා කරන අතරතුර වරින් වර එකින් එක සිය ඔඩොක්කුව මතට රන්මාල දමා ගන්නා අයුරුත්, ඉන් පසු ලේන්සුවේ රඳවාගෙන මුහුණ පිසින ආකාරයට එය තිසර පටය තුළ සඟවා ගන්නා අකාරයත්ය.

සිද්ධිය දික්වැල්ල පොලීසීයේ පොලසියේ පැමිණිලි පොතට ඇතුලත් වන්නේ ඉන් අනතුරුවය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර දික්වැල්ල පොලීසීයට අළුතින් පත්ව ආ ස්ථානාධිපතිවරයාය. ඔහුට සිය මංගල රාජකාරීය ලෙස කිරීමට සිදු වූයේ මෙම පැමිණිල්ල විමර්ශනය කර අදාල සැකකාරීය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමය. මූලික විමර්ශන සඳහා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වරයා වූ සංජය ජයසූරියට උපදෙස් දුන් ස්ථානාධිපති වරයා තමා වෙත ලැබුණ තොරතුරු සිය උසස් නිලධාරීන්ට දන්වා අවශ්‍ය උපදෙස් හා නියෝග ලබා ගත්තේ තමා දික්වැල්ල පොලීසීයේ දී අත්පොත් තැබූ ප්‍රථම රාජකාරීය ප්‍රතිඵල සහිතව අවසන් කිරීමේ දැඩි අභිලාශයෙන්ය. ඒ වනවිට ස්ථානාධිපතිවරයා වෙත තවත් තොරතුරක් ලැබි තිබිණි. එය අම්බලන්තොට පොලිස් වසමේ රන් බඩු අලෙවි කරන ආයතනයක සිදු කළ සොරකමක් ගැනය. ඒ සොරකම කර තිබුණේ කාන්තාවක්ය. එම අලෙවිහලේ ද සී.සී.ටී.වී කැමරාවේද එම කාන්තාවගේ රූපය පැහැදිලිව සටහන් වී තිබිණි. ඒ අනුව මේ සඳහා ඔහු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ,සංජය ජයසුරීයගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් සුදානම් කොට ඔවුනට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

පරීක්ෂණ කණ්ඩායම ප්‍රථමයෙන් සිදුකළේ අම්බලන්තොට ප්‍රදේශයට ගොස් එම ජුවලරි ආයතනයේ සිදුවු රන් භාණ්ඩ හොරකමට අදාල ඛ්ඛ්ඊඍ දර්ශන පරීක්ෂා කිරීමය. එම රූ සටහන් ඛ්ච් තැටිවලට ගත් පොලිස් නිලධාරීන් දික්වැල්ලේ දරශන සමඟ සැසඳීමේදී අනාවරණය කර ගත්තේ ස්ථාන දෙකටම පැමිණ ඇත්තේ එකම කාන්තාවක් බවය.

නගරයේ ස්ථාන කිහිපයක සිවිල් අඳුමින් සැරසුන නිලධාරීන් ආවේශන රාජකාරීයේ යොදවා උප පොලිස් පරීක්ෂක සංජය අම්බලන්තොට පොලීසියට ගියේ එම ජුවලරි ආයතනයේ සොරකමට අදාල සැකකරුවන්ගේ ලිපිනයන් සොයා ගැනීම පිණිසය. එහිදී දැන ගැනීමට හැකි වුයේ මෙම තැනැත්තියට අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුවක් ඇති බවත් ඇය සොයා ගැනීමට නිෂ්චිත ලිපින හෝ තොරතුරක් නොමැති බවත්ය.හම්බන්තොට ,බඳගිරිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවට ලද තොරතුරක් ඔස්සේ කළ විමසීමේ දී ඇය කිසියම් පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බව හෙළිදරව් කර ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි විය. එබැවින් බඳගිරියේ එම නිවෙසට ආසන්න කුඹුරු යායක එළිවෙන තෙක් රැකසිටි පොලිස් කණ්ඩායම සැකකාරිය සමඟ සම්බඳතා පවත්වන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත් විය.

සිද්ධියේ සුලමුල හෙළිවන්නේ ඉන් පසුවය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පිළිබඳ තොරතුරු රැසක් හෙළි කර ගැනීමට නිලධාරීන්ට හැකිවිය . සමත් විය. මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ ස්ථිර පදිංචියක් ඇති ඇය දියණියන් දෙදෙනෙකුගේ මවකි. පුරුෂයා අතහැර ගොස් ඇත. ඉන්පසු සිය 23 හැවිරිදි දියණිය සමඟ ජීවත් වන ඇගේ අනෙක් දියණිය පියා සමඟ මහනුවර ප්‍රදේශයේ ජීවත් වන බවත් පොලිසීය සිදුකළ විමර්ශන වලදී හෙළිදරව් කර ගත්තේය.

දිවයිනේ විවිධ ප්‍රදේශයන්ට ගොස් ගෙවල් කුලියට ගනිමින් හා ඒවායේ ටික කලක් ගතකර නැවත නැවත පදිංචිය වෙනසක් කරන ඇය සොරකම් කරගෙන පැමිණෙන රන් භාණ්ඩ සිය 23 හැවිරිදි දියණිය ලවා රාජ්‍ය බැංකු හා පුද්ගලික ආයතන වල උකස් කර ඇති බව ද අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.

දින දෙකක් පුරා හම්බන්තොට දුෂ්කර ගම්මාන වල රැඳී සිටිමින් සිදුකළ මෙම මෙහෙයුමේ දී අනියම් පුරුෂයා හරහා ප්‍රධාන සැකකාරියත් ,ඇයගේ කටයුතු වලට අනුග්‍රහය දැක් වූ 23 හැවිරිදි දියණියත් නීතියේ රැහැනට කොටු කර ගැනීමට දික්වැල්ල පොලීස් කණ්ඩායමට අවසානයේ හැකි විය. ඒ සමඟම ගල්කිස්ස,මතුගම,රත්නපුරය,වැල්ලවාය යන අධිකරණ වල ඇයට එරෙහිව රන් භාණ්ඩ වංචා පිළිබඳ නඩු ගොනුවී ඇති බවත් ප්‍රධාන සැකකාරීය දිවයිනේ ලියාපදිංචි අපරාධ කාරියක් ලෙස පොලිස් ගැසට් පත්‍රයේ ඇතුලත්ව ඇති බවටත්, දිවයිනේ පොලිස්ථාන කීපයක් ම ඇය සොයා පරීක්ෂණ සිදුකරමින් සිටින බවද ප්‍රශ්න කිරීමේදී දැන ගැනීමට හැකි විය.

ප්‍රධාන සැකකාරියගෙන් තව දුරටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිමේදී ඇය අත් අඩංගුවට පත්වන අවස්ථාවේදීත් ගෙල පැළඳ සිටි සොරකම් කරන ලද රන් මාලයක් ද ,දින 02 කට ප්‍රථම පදිංචිව සිටි ස්ථානයේ ඇඳුම් රාක්කයක එල්ලා තිබූ ඩෙනිම් සායක සාක්කුවේ (වලස්මුල්ල ප්‍රදේශයෙන් සොරකම් කර තිබූ ) රන් මාල හත(07) ක්ද ඇය විසින් පොලිසීයට ලබා දී ඇත. පෞද්ගලික රන් භාණ්ඩ මිලදී ගැනීමේ ආයතනවලට විකුණන ලද රන් මාල (03) ක් ඇතුළුව බැංකු හා උකස් ආයතන ලදුපත් කිහිපයක්ද පොලීසීය භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත. සොරකම් කරන ලද මෙම රන් භාණ්ඩ වල වටිනාකම දික්වැල්ලේන් දෙලක්ෂ හැට තුන් දහසක්ද ,වලස්මුල්ලෙන් රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන් දහසක්ද වශයෙන් තක්සේරු කර තිබුණි. මේ වන විට වෙනත් විවිධ ප්‍රදේශය වලින් ද ඇය සිදුකර ඇති සොරකම් පිළිබඳ තොරතුරු ගලා එමින් පවතින බව මාතර පොලිස් කොට්ඨාශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

සිය දියණියද හවුල් කරගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවල සුක්ෂම ලෙස රන් භාණ්ඩ සොරකමේ යෙදුණ මෙම කාන්තාවට පොට වැරදුණේ දික්වැල්ලේ දීය. කල දින 02 ක් පුරා අපමණ වෙහෙසක් හා කැපවීමක් දික්වැල්ල පොලිසියේ නිලධාරීන් ඇයව අත්අඩංගුවට නොගත්තේ නම් ඇය තව තවත් රන් ආභරණ සාප්පු කොල්ලකෑමට ඉඩ තිබිණ.

මාතර හම්බන්තොට ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ,මාතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන ,මාතර සහකාර පොලිස් අධිකාරී (1) වයි.එල් .ලීලවංශ යන නිලධාරීන්ගේ උපදෙස් මත , දික්වැල්ල පොලිස්ථානාධිපති දුමින්ද කුලසේකරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සංජය ජයසූරිය සමඟ සැරයන් (55828) ශාන්ත හා කොස්තාපල් වරුන්වන (72937) මිලන්,(89394) ප්‍රසන්න , (89246) සුරංග හා කාන්තා පොලිස් කොස්තාපල් (7565) උදේනී යන නිලධාරීහු මෙම මෙහෙයුමට එක්ව සිටියහ.

ජී. සිරිසේන

දික්වැල්ල විශේෂ