දළ පූට්ටුවා ඝාතනය අලි දඩයක්කරුවන්ට පාරාවළල්ලක් වූ හැටි

දළ පූට්ටුවා ඝාතනය අලි දඩයක්කරුවන්ට පාරාවළල්ලක් වූ හැටි

මුදල් හම්බවේනම් තම බිරිය, සහෝදරිය පමණක් නොව සිය මවද වෙන්දේසි කිරීමට තරම් අධම වූ පව්කාරයන් මෙරට සිටින බව සාක්ෂි සහිතව ඔප්පු වූ අවස්ථා බොහෝය.

“සල්ලි හම්බ වෙනවා නම් බල්ලෝ හරි මරයි.” කියා සිංහල බස් වහරේ කියමනක් ඇත්තේ ඒ නිසාය.

එයින් කියැවෙන්නේ ද මුදල් උපයාගත හැකිනම් ඕනෑම පහත් ක්‍රියාවක යෙදෙන්නට තරම් මිනිසුන් නොමිනිසුන් වී ඇති බවයි.

එහෙත්..... බල්ලකු මරා අද රටේ සල්ලි හම්බ කිරීමට හැකියාවක් නැත. ඒ.... බල්ලාගේ සිරුරේ මුදලින් තක්සේරු කළ හැකි වටිනාකම් සහිත කල් තබාගෙන විකිනිය හැකි කිසිම අංගයක් නොමැති නිසාය.

කිසිදු වටිනාකමක් නොමැති සතුන් අතරේ දළ ඇතා යනු කෝටි ගණනක් වුව ඉපැයීමට හැකි අංගෝපාංග සහිත සතෙකි.

ඒ හේතුවෙන් අද වන විට මෙරට සිටින දළ ඇතුන්ට සිදුව ඇත්තේ මුදල් කෑදර කමින් ඕනෑම පාදඩ ක්‍රියාවකට යොමුවන අධම මිනිසුන්ගේ ගොදුරු බවට පත්වීමටය.

මෙරට සිටි ශක්තිමත්ම ඇතා නොඑසේ නම් ඇතුන් අතර ඇත් රාජයා ලෙස නම් දරා සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාට මිනිස් වෙඩි පහරින් අකාලයේ පරලොව යාමට සිද්ධ වුයේ ආකර්ෂණීය දළ යුගළ නිසාය.

දෙදහස් එකොළහ වර්ෂයේ දී කැකිරාව නගරයට පැමිණ මහා විනාශයක් කළ ද දළ පූට්ටුවා සමඟ මිනිසුන් වෛර බැඳගත්තේ නැත.

එදා..... දළ පූට්ටුවා එවැනි හිතුවක්කාර ක්‍රියාවක යෙදුණේ මිනිසුන්ගේ වෙඩි පහරට ගොදුරුව දෑස් අන්ධ වී සිටීමත් සිරුරේ නොයෙක් ස්ථාන තුවාල වී තිබීමත් නිසා ඇති වූ ආවේගය හේතුවෙන් බව දැනගත් බොහෝ දෙනකු දළපූට්ටුවාට අනුකම්පා කළහ. ආදරය කිරීමට පටන් ගත්හ.

දළ පූට්ටුවාගේ මේ දඟකාර ක්‍රියාකාරකම් වරින් වර රූපවාහිනී නාලිකා ඔස්සේ දිග හැරෙද්දී පුවත්පත්වල ඡායාරූප පලවෙද්දී සමහර පව්කාරයන්ගේ සිතට ආවේ සතා කෙරෙහි ආදර සෙනෙහසක් නොව, කෑදර කමකි. එනම් දිගු දළ දෙක කපා ඒවායේ ඇති ඇත් දළ ද ගෙන විකුණා ලක්ෂ පතියන් වීමේ තන්හාවකි.

මේ.... තන්හාකාරයන් පසුගිය දිනෙක සිය බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගත්තේය. ඒ... වෙඩි තබා දළ පූට්ටුවා මරා ඇත් දළ කපාගෙන රුපියල් ලක්ෂ විස්සකට ඒවා විකුණා දැමීමට ද සැලසුම් කරමිනි.

එහෙත්.... මෙවැනි අපරාධ සඟවාගෙන සිටීමට ස්වභාව ධර්මයා වුව වැඩි කාලයක් ලබා දෙන්නේ නැත.

මීට මාස දෙකකට පමණ පෙර දී දළ පූට්ටුවා මරා දැමු අධම මිනිසුන් වලාන දුෂණ මර්ධන ඒකකයට කොටු වුයේ අපරාධකාරයන් සිහිනයකින් වත් නොසිතූ ලෙසටය.

දළ පූට්ටුවා ඝාතනය සෙවීමේ මෙහෙයුමට ඉතා සාර්ථක ලෙස දායක වූ වලාන දුෂණ මර්ධන ඒකකය කෙරෙහි මෙරට සත්ව හිතවාදීන්ගේ විශ්වාසය ගොඩනැඟෙන්නට වුයේ එම පරීක්ෂණ වල තිබු විනිවිද භාවය නිසාය.

ඒ හේතුවෙන් අලි ඇතුන් පමණක් නොව වන සතුන් මරා දමන පුද්ගලයන් පිළිබඳ මෙන්ම ඇත්දළ, ගජමුතු ජාවාරම් පිළිබඳත් වලාන දුෂණ මර්ධන ඒකකයට තොරතුරු ලබා දීමට බොහෝ දෙනකු මේ වන විට ඉදිරිපත්ව සිටිති.

පසුගිය තුන්වැනි ඉරිදා පෝය දිනයේ වලාන ඒකකයට යම් පුද්ගලයකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

“මම ගල්ගමුවේ ඉඳලා කතා කරන්නේ. ගල්ගමුවේ මුස්ලිම් කට්ටියක් ගජමුතු වගයක් විකුණන්න යනවා. මේක වලානටම දෙන්න හිතුවේ අනිත් කට්ටිය හරියට කරයිද කියලා ෂුවර් නැති නිසා. වලානෙන් කරනවා නම් මට තොරතුරු දෙන්න පුලුවන්.”

ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වූ මෙම පුද්ගලයාගෙන් තොරතුරු ලබාගත් වලාන ඒකකය ගජමුතු ජාවාරම් කාරයන් කොටුකර ගැනීමේ මෙහෙයුම දියත් කළ යුතු අයුරු සැලසුම් කළේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත ගේ මුලිකත්වයෙනි.

තොරතුරු ලබා දුන් අය ගජමුතු විකිණීමට සුදානම් පුද්ගලයාගේ දුරකථන අංකයක් ද ලබා දුන් අතර ඒකකයේ නිලධාරියකු ඔහුට දුරකථන ඇමතුමක් දී “ගජමුතු ඩීල් එක” ගැන කතා කළේ දෙමළ භාෂාව හුරු මෙරට සුලු ජාතිකයකු ලෙසටය.

“ගජමුතු තියෙනවා. හැබැයි.. සිංහල අයට නම් දෙන්නේ නෑ. ගිය පාර වෙච්ච දේ දැක්ක නේ.”

“නෑ... නෑ මුදලාලි මම සිංහල නෙවෙයි. ගජමුතු ගන්න හදන්නේ පිටරට ඉඳලා ආපු කෙනෙක්. ඩ්‍රයිවර් විතරයි සිංහල. ඒ නිසා සැකයක් හිතන්න එපා. ගජමුතු හොය හොය හිටියේ. කොහොමද ගණන් හිලව්?

“ගජමුතු තුනක් තියෙනවා. ලක්ෂ පනහයි.”

“ටිකක් අඩු කරන්න බැරිද?”

“මේවා මෙහෙම කතා කරන්න බෑ. මහත්තයලා ගල්ගමුවට එන්නකෝ.”

ගජමුතු ජාවාරම් කරුගෙන් ලැබුණු ප්‍රතිචාරය සාර්ථක වුවද ඒ සැනින් මෙහෙයුම දියත් කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතවිය. ඒ... රුපියල් ලක්ෂ පනහක් සොයා ගැනීම හිතන තරම් ඉක්මනින් කළ නොහැකි නිසාය.

මෙහෙයුම දිනකින් කල් යවා මුදල් සොයාගත් වලාන ඒකකයේ කණ්ඩායමක් සහකාර පොලිස් අධිකාරි වරයා ගේ නායකත්වයෙන් යුතුව මෙහෙයුම සඳහා ගල්ගමුව බලා පිටත් වුයේ පසුගිය පස් වැනිදා පෙරවරුවේය.

උදේ දහය පමණ වෙද්දී මෙම පිරිස ගල්ගමුව නගරයට ගිය අතර ගජමුතු මිලදී ගන්නා ව්‍යාපාරිකයාගේ ගෝලයා පැමිණි වාහනයේ රියදුරු ලෙස කටයුතු කළේ සහකාර පොලිස් අධිකාරී වරයාය. ලක්ෂ පනහක මුදල් බ්‍රීෆ් කේසය රැගෙන තවත් නිලධාරියකු එම වෑන් රථයේ ගමන් කළ අතර අනෙක් කණ්ඩායම වෙනත් වාහනයකින් ගොස් හොර රහසේ පැත්තකට වී සිටියේ කාටත් සැක නොසිතෙන ලෙසටය.

“ටවුම කෙලවරේ තියෙන තට්ටු දෙකේ ගේ ළඟට එන්න.”

ගජමුතු හිමිකරුගෙන් එලෙස ලැබුණු නියෝගයට අනුව ගජමුතු මිල දී ගැනීම සඳහා පැමිණි තිදෙනා එම ස්ථානයට ගියහ. එතැන පුද්ගලයන් තිදෙනකු සිටිනු දක්නට ලැබිණි. ඔවුන් වාහනය ඇතුල හොඳින් පරීක්ෂාකොට මුදල් ද බලා ගනුදෙනුව කිරීමට එකඟතාව පල කළේය.

“ඔය මහත්තයා විතරක් අපිත් එක්ක එන්න. කැලේ ඇතුලේ තමයි බඩු හංගලා තියෙන්නේ.”

උපාය දුතයා අමතා එලෙස කී පිරිස යතුරු පැදි දෙකකින් මහ වනය බලා පිටත් වුයේ උපාය දුතයා ද එක් යතුරු පැදියක පිටුපස හිඳුවාගෙනය.

ජීවිතය පිළිබඳ දැඩි අවධානමක් ගත් හෙතෙම නාඳුනන පුද්ගලයන් තිදෙනා සමඟ මහ වනය බලා ගියේ සැමට වඩා රාජකාරිය පිළිබඳ තිබෙන වගකීම නිසාය.

කිලෝමීටර් දහයක් පමණ වනය ඇතුලට ගිය පිරිස යළි එළියට ආවේ පැය තුනකට පමණ පසුවය. ඒ... ගජමුතු පෙන්වා ඒවා ද රැගෙනය. එලෙස පැමිණි නිලධාරියා සහකාර පොලිස් අධිකාරි වරයාට දුරකථන ඇමතුමක් දී පවසා සිටියේ “බඩු බලලා කැමති වුණා.” ලෙසටය. මෙහෙයුම් කණ්ඩායමට සැනසුමක් දැනුණේ එවිටය. නාඳුනන පුද්ගලයන් තිදෙනකු සමඟ කැලෑවට ගිය සගයාට මොනවා වේදැයි බියෙන් පසු වූ නිසාය.

“බිස්නස් එකට කලින් ලක්ෂ පහක් දෙන්න.”

ඔවුන් එලෙස මුදල් ඉල්ලා සිටියේය.

“එහෙම බෑ මුලින් සල්ලි දෙන්න බෑනේ.”

“එහෙනම් අපට දෙන්න තියෙන සල්ලි මිටියෙන් ලක්ෂ තුනක් දෙන්නකෝ.”

“එහෙම සල්ලි දෙන්න බෑ.”

“නෑ අපිට මේ සල්ලි හොර ඒවාද ඇත්ත ඒවද කියලා චෙක් කරලා බලන්න ඕන.”

“හරි.. සල්ලි චෙක් කරමු. එනකම් ඕගොල්ලන්ගේ එක්කෙනෙක් අපේ ළඟ ඉන්න ඕන. සල්ලි චෙක්කරගෙන ඇවිත් ආපහු දුන්නම තමයි අපි එයාව රිලීස් කරන්නේ.”

ගජමුතු ජාවාරම්කරු සමඟ මෙලෙස එකඟතාවට පැමිණි නිලධාරීන් මුදල් පරීක්ෂා කරගෙන පැමිණෙන තුරු පැය දෙකකට අධික කාලයක් මහ පාරේ රස්තියාදු වුහ.

“අර තට්ටු දෙකේ ගේ ළඟට එන්න.”

ජාවාරම්කරුගේ කීමට අනුව කණ්ඩායම යළි එම තට්ටු නිවෙස අසලට ගියේය. ගජමුතු මිල දී ගන්නා අය පමණක් නිවෙස ඇතුළට ගත් අතර ඔහු දුටුවේ තරුණයන් දස දෙනකු පමණ නිවෙසේ සිටින බවත් කෑති, උදලු, පොරොව ආදිය නිවෙස ඉදිරිපස කාමරයේ එක්රැස්කොට ඇති බවත්ය.

“සර් කට්ටිය එක්ක එන්න. මුං ළඟ බඩු තියෙනවා.”

නිවෙස ඇතුලට ගිය නිලධාරියා එලෙස කී විට සහකාර පොලිස් අධිකාරී වරයා ඇතුලු කණ්ඩායම නිවෙස තුළට ගියේය. එහෙත්... ගජමුතු ඇත්තේ කා අතේ ද යන්න අසා දැනගැනීම අපහසුය. ගනුදෙනුව කතා කළ නිලධාරියා ගජමුතු අතැති පුද්ගලයා කවුරුන් දැයි ඇස් ඉඟියෙන් සහකාර පොලිස් අධිකාරි වරයාට පෙන්වීය.

ඒ සමඟ සහකාර පොලිස් අධිකාරිවරයා පැන ඔහු අල්ලා ගැනීමට යාමේදී ඔහු පිටුපස දොරෙන් පැන දුවන්නට විය. සහකාර පොලිස් අධිකාරිවරයා ඔහු පසුපස එලවන්නට වු අතර නිවෙසේ සිටි ආගන්තුක තරුණයෝ සිදුවන්නේ කුමක්දැයි තුෂ්නිම්භූතව බලා සිටියහ.

දැඩි වෙහෙසක් දැරීමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සැකකරු අල්ලාගත් අතර එම මෙහෙයුම අති දුෂ්කර එකක් විය.

“මේවා කොහෙන්ද?”

“මම මා ඔයට යද්දී ඔයේ වතුරේ ෂොපිං බෑග් එකක දාපු ගුලියක් හම්බ වුණා. ඒක තමයි මේ.”

ඔහු.... මේ ගජමුතු හමුවුණ ආකාරය එලෙස විස්තර කළේය.

ඔහුත්.... ගනුදෙනුවට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයන් දෙදෙනාත් අත්අඩංගුවට ගත් අතර ආගන්තුක තරුණයන්ගෙන් කට උත්තර ලබාගෙන ඔවුන් පිටත් කර යැවීය. ඒ සමඟම මේ තොරතුරු ලබා දුන් පුද්ගලයාගෙන් සහකාර පොලිස් අධිකාරි වරයාට යළි දුරකථන ඇමතුමක් ලැබිණි.

“සර්.... මේ ඒරියා එකේම කැලේ ඉන්න සත්තු මරලා මස් කරලා විකුණන එකෙක් ඉන්නවා. මිනිහා දඩයමේ යන්නේ තුවක්කුවකුත් අරගෙන. දැන් ආවොත් අල්ලගන්න පුලුවන්.”

මෙම තොරතුරු ද අහක දැමිය නොහැකිය. එබැවින් ඔහු අල්ලා ගැනීමට ගිය අතර ඒ අවස්ථාවේ මහා කලබැගෑනියක් ඇතිවිය. ඒ.... ගෙවල් වලට හොරු පනින බව කියමින් පතුරුවා හැරිය කටකතාවක් හේතුවෙනි.

පතරොමක් සහිත පතරොම් තුවක්කුවක් සමඟ ඔහු අත්අඩංගුවට ගත්තේය. ඔහු හිටපු යුධ හමුදා සෙබලෙකි. ඒ අතර අසල නිවෙසක ශීතකරණයේ මස් සඟවා ඇති බවට ද තොරතුරු ලැබිණි. ඒවා සෙවීමට යාමේදී අසල වූ මළ ගෙදරකට සහභාගි වී සිටි පිරිස පැමිණ ඒකකයේ නිලධාරීන් වටකොට පහර දීමට සැරසිනි. ඒ.... මස් ජාවාරමේ අයිතිකරු ප්‍රචාරය කළ ව්‍යාජ තොරතුරු හේතුවෙනි. කෙසේ හෝ මේ සියල්ලෝම අත්අඩංගුවට ගැනීමට වලාන ඒකකයේ නිලධාරින්ට හැකිවිය. සතුන්ට ආදරය කරන පරිසරයට ආදරය කරන ප්‍රදේශවාසීන්ගේ අදහස වුයේ අලි ඇතුන් ඇතුලු වන සතුන් ආරක්ෂා කිරීමට නම් එහි මුලික පියවර ලෙස දඩයම් කිරීමට ලබා දී ඇති බලපත් සහිත ගිනි අවියේ සිට සියලුම ගිනි අවි තහනම් කොට ඒවා අදාල අංශ විසින් සිය භාරයට ගත යුතු බවයි.කෙසේ වෙතත් දළ පුට්ටුවාගේ ඝාතනයෙන් පසු තවත් ඇලි ඇතුන් රැසකගේ ඝාතන පිළිබඳ තොරුතුරු හෙළිවෙමින් පවති.

අම්පාර දිස්ත්‍රිකයේ පානම ශාන්තවේලියේ ජීවත් වූ පානම දළ පුට්ටුවාද මාස 10ක කාලයක් තිස්සේ දකින්නට නැති බව පරිසරවේදීහු පවසති. පානම දළ පුට්ටුවා ප්‍රදේශවාසීන් අවසන් වරට දැක ඇත්තේ ද පසුගිය පෙබරවාරි අවසානයේ පමණි.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ මින්නේරියේ ජීවත් වූ කතිෂ් ඇතා ද මේ වන විට අතුරුදන් බව කියයි.

උසින් අඩි 12ක් පමණ වන කතිර ඇතාගේ දළ යුගළ අඩි 06ක් පමණ දිගුය. එකිනෙක හාවී දළ පිහිටීම නිසා. කතිර ඇතා දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ද ආදරයට ගෞරවයට පාත්‍ර වූ දළ ඇතෙකි.

මෙම දළ ඇතුන් දෙදෙනා දඩයක්කරුවන්ගේ ඉලක්කය වී තිබිණි. මෙම දළ ඇතුන් පෙනෙන්නට නොසිටි ම නිසා පරිසරවේදින් හා ප්‍රදේශවාසින්ගේ ද හදවත් තුළ ඇත්තේ මෙම සතුන් ද මරා දමා ඇති බවට සැකයකි.

තක්ෂිලා ජයසේකර

ඡායාරූප - කේ.කේ.ක්‍රිෂාන් ගල්ගමුව