පොලිස් වැඩ්ඩෝ

පොලිස් වැඩ්ඩෝ

මන්දාරම් නුවර හොරාට මාංචු දැමූ “බොංගෝ”

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මන්දාරම් නුවර කඳු අතර පිහිටි අති දුෂ්කර ගම්මානයකි. ෆෝවීල් සහිත ජීප් රථ වලට හැර වෙන කිසිම වාහනයකට මේ ගම් ප්‍රදේශයේ මාර්ග වල ගමන් කළ නොහැකිය. ප්‍රදේශවාසීන් ගමන් බිමන් සඳහා ත්‍රිරෝද රථ උපයෝගී කරගන්නා අතර ඒ සඳහා අය කරන මුදල ඉතා අධිකය.

මන්දාරම් නුවර පොලිස් වසමේ සුවඳැල්පොත, එලමුල්ල ප්‍රදේශයේ ගොවි මහතකුට අයත් නිවෙසක් පසුගිය දා සොරුන් විසින් බිඳ තිබිණි.

මෙම නිවෙස හිමි ගොවි මහතා පෙර දින සවස් භාගය වන විට සිය වගාවේ පලාදව නෙලා තිබිණි. එම බව භෝග පසුදින උදෙන්ම නුවරඑළිය නගරයට රැගෙන යා යුතුය. නිවෙසේ සිට රැගෙන යාමට සිටියහොත් බඩු ටික වේලාවට නගරයට රැගෙන යා නොහැකිය.

එබැවින්... ඔහු පලදාව නෙලු දින සවස මිතුරකුගෙන් බොලෙරෝ කුබ් රථයක් ඉල්ලාගෙන ඇවිත් පලදාව පටවා බිරිය හා දරුවා ද සමඟ සවස් යාමයේ කන්දෙන් පහළ පිහිටි ඥාති නිවෙසකට යාමට සැලසුම් කළේය.

මෙම මාර්ග වල දුර ප්‍රමාණයට වඩා බලවත් වන්නේ දුෂ්කර භාවයයි. එබැවින්.... එදින සවස පලදාවද පටවාගෙන ඥාති නිවෙසට ගිය ගොවි මහතා ඇතුලු බිරියත් දරුවාත් එදින රාත්‍රිය ඥාති නිවෙසේ ගත කළහ.

පසුදාට පහන් වු පසු ගොවි මහතා එලවලු රැගෙන නගරයට ගිය අතර බිරිය දරුවා ද රැගෙන නිවෙස බලා පිටත් වුවාය.

නිවෙසට ගොඩ වූ ඇයට යම් අමුත්තක් දැණිනි. ඇය.... නිවෙස පිටුපසට ගොස් බලද්දී දුටුවේ පිටුපස දොර විවෘතව ඇති බවයි. ඒ සමඟම ඇය දුටුවේ අල්මාරියේ රන් ආභරණ ඔතා දමා තිබු සුදු පැහැ ලොකු ලේන්සුව බිම තිබෙන අයුරුය.

එහි ඔතා බ්‍රේස්ලට් එකක්, මාලයක් සහ පෙන්ඩනයක් තිබු අතර හොරා ඒවා රැගෙන ගොසිණි. මෙම සොරකම ගැන ඇය මන්දාරම් නුවර පොලිසියට පැමිණිලි කරන අතර පරීක්ෂණ සඳහා සුවඳැල්පොත ගම්මානයට පැමිණීම පොලිසියට ද දැඩි දුෂ්කර කාර්යයක් විය.

හොරා සෙවීම ලෙහෙසි පහසු නැත. එබැවින් නුවරඑළිය අපරාධ පොලිස් නිල සුනඛයා කැඳවීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

බොංගෝ ද රැගෙන මන්දාරම් නුවර පොලිසියට යන ලෙස කොස්තාපල් (76720) නිශ්ශංක ප්‍රදීප්ට පණිවුඩය ලැබෙන විට හිරු අවරට යමින් තිබිණි.

එබැවින්.... ඊට පසු දා උදේ ප්‍රදීප්, බොංගෝ ද රැගෙන මන්දාරම් නුවර බලා පිටත් විය.

මන්දාරම් නුවර පොලිසියට ගිය ප්‍රදීප් එතැන සිට අති දුෂ්කර මාර්ග ඔස්සේ සුවඳැල්පොත බලා ගමන් කළේ ෆෝ වීල් සහිත බොලෙරෝ කැබ් රථයකිනි.

දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කඳු මාර්ග වල පවා පෙඳ සෙවල බැදී තිබිණි. ඉතා සීරුවෙන් කන්ද ඇද්දුවද බොංගෝ රැගත් කැබ් රථය පාරෙන් ඉවතට පැන කානුවකට වැටීම නිසා පොලිස් කණ්ඩායම දැඩි අපහසුතාවකට පත්විය. අවසානයේ කැබ් රථය මාර්ගයට ගත්තේ ගම් වාසීන්ගේ ද සහාය ඇතිවය. ප්‍රදීප් බොංගෝ ද රැගෙන සිද්ධිය වූ නිවෙසට යද්දී අවට පදිංචි කරුවන් විශාල සංඛ්‍යාවක් නිවෙස වටා ද මාර්ගයේ ද එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.

මෙපමණ ජනකායක් මෙතැනට එක්රොක් වීමට හේතුව ද ප්‍රදීප්ට දැනගත හැකි විය. මේ ගම්මානයට කිසිම දිනෙක පොලිස් නිල සුනඛයකු රැගෙන ගොස් තිබුණේ නැති නිසාය. එබැවින්..... නිල සුනඛයකු රැගෙන එන බව ආරංචි වු ගම්මු වැල නොකැඩී එම නිවෙස අසලට පැමිණ තිබුණේ බොංගෝ දැක බලා ගැනීම සඳහාය.

බොංගෝට ඉව ඇල්ලීම සඳහා ලබා දුන්නේ රන් භාණ්ඩ ඔතා තිබු බව කී සුදු පැහැති ලේන්සුවයි. එය ඉව කළ බොංගෝ නිවෙසේ පිටුපස දොරින් පිටව වත්ත පහළට ගමන් කරන්නට විය පහළ හෙල්මලු ක්‍රමයට සෑදු පාත්ති රැසකි. ගමේ පුරුෂ පක්ෂයේ වැඩි දෙනකු සිටියේ මේ පාත්ති වලය.

පුද්ගලයන් හතර පස් දෙනකු සිටි පාත්තියක් අසලට ගිය බොංගෝ එහි සිටි පුද්ගලයන් ඉව කොට එතැන නතර විය. මේ පුද්ගලයන් අතර හොරා සිටිය යුතු බව ප්‍රදීප්ට වැටහිනි. අනතුරුව ප්‍රදීප් කළේ එම පුද්ගලයන් හතර දෙනා වෙන්කොට බොංගෝ ට ඉව දීමයි.

යළි ලේන්සුව ඉව කළ බොංගෝ සිව් දෙනාගෙන් එක් අයකු අසලට ගොස් ඉව අල්ලා එම ස්ථානයේ හිඳගෙන ප්‍රදීප් දෙස බැලීය.

ශ්‍රිහාන් නැමැති මොහු මෙම සොරකමට සම්බන්ධ බව ප්‍රදීප්ට වැටහුණු ද ඒ අවස්ථාවේ කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීමට ප්‍රදීප් වගබලා ගත්තේය. අනතුරුව මෙම පුද්ගලයා සැක බව ස්ථානාධිපති වරයාට දැනුම් දුන් ප්‍රදීප් ආපසු යාමට පිටත් විය.

ඒ ගමනට අර පුද්ගලයන් හතර දෙනාටම පැමිණෙන ලෙස ප්‍රදීප් ආරාධනා කළේය. ඒ.... ආපසු යන ගමනේ දී ද වාහනයට යම් අනතුරක් සිදුවුවහොත් උදව් උපකාර ලබා ගැනීම සඳහා යැයි කියමිනි.

ඔවුන් ගමේ වාහනයකින් පැමිණි අතර මන්දාරම්නුවර පොලිස් ස්ථානය දක්වා ඔවුන් සිව් දෙනා කැඳවාගෙන යාමට පොලිස් නිලධාරින් කටයුතු කළේය. ඔවුන් පොලිසිය තුළට කැඳවීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයාට ශ්‍රිනාත් පෙන් වූ ප්‍රදීප් කියා සිටියේ මොහු මෙම සොරකමට සැක බවත්, බොංගෝ ඒ බව පෙන්වා දුන් බවත්ය.

අනතුරුව ඔහුගෙන් ප්‍රශ්න කළ අතර මුලින්ම ඔහු පවසා සිටියේ තමා මෙම සොරකම නොකළ බවයි. එහෙත්..... දිගින් දිගටම කළ ප්‍රශ්න කිරිම් වල දී ඔහුට ඇත්ත සඟවාගෙන සිටීමට හැකි වුයේ නැත.

පසුව ඔහු.... මෙම සොරකම කළ බව පිළිගත් අතර, ඔහුගේ නිවෙසේ සඟවා තිබී සොරාගත් රන් ආභරණ ද සොයා ගැනීමට මන්දාරම්නුවර පොලිසියට හැකිවිය.

තක්‍ෂිලා ජයසේකර