76 හැවිරිදි තිදරු මව මැරුවේ ඇයි?

76 හැවිරිදි තිදරු මව මැරුවේ ඇයි?

නිට්ටඹුව ඌරාපොළ පදිංචි ජයකොඩි ආරච්චිගේ හැරියට් ජයකොඩි මහත්මිය පසුගිය 28 වැනිදා පස්වරුවේ සිය අක්කණ්ඩියගේ සුවදුක් විචාලන්නට නාගොඩ නිවෙසට යනවිට වේලාව පස්වරු තුන ද පසුවී විනාඩි කිහිපයක් ගතවී තිබිණි.

නිවෙසේ කිසිදු හැලහොල්මනක් නැත. අක්කණ්ඩිය ද පෙනෙන්නට නැත. “අක්කේ අක්කේ “ කියා කතාකළත් අක්කාගේ කිසිදු හැල හොල්මනක් නැත. කටහඬ ඇසුනු විගස “ආ නංගී ආවාද කියා අක්කා අසන බව හොඳින් දන්නා හැරියට් මහත්මිය ගෙතුළට ගියේ වික්ෂිප්තවූ සිතින් යුතුවය.

“අනේ අක්කේ ඔයාට මේ මොනවා වෙලාද” ඇය එලෙස ළතෝනි දුන්නේ අක්කාගේ සිරුර නිවෙසේ වැටී තිබෙනු දුටු විටය. අක්කාට කුමක් වී ඇත්දැයි දැඩි විමසිල්ලෙන් බැලූ හැරියට් මහත්මිය අක්කණ්ඩියගේ ප‍‍්‍රාණය නිරුද්ධවී ඇතැයි නිගමනය කළාය.

“හේමවතී නැන්දා ගේ ඇතුලේ මැරිලා” යන ආරංචිය ගම පුරා පැතිර ගියේ ඉන් පසුවය. හේමවතී ආච්චි මැරුණේ කොහොමද? මොනවා වෙලාද? පවුලේ අයට මෙන්ම ගම්වාසීන්ට මෙය මහත් ප‍‍්‍රශ්නයක් ගෙන දුන්හ. වයසින් වැඩිවුවත් රෝගාබාධයකින් නොපෙළුණු ඇගේ හදිසි මරණය පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් කළ යුතු බව කාගේත් අදහස විය. ඒ අනුව හැරියට් මහත්මිය නිට්ටඹුව පොලිසියට ගියේ තමන් දුටු දේ පවසන අදහසිනි.

සිය පුතා ඇතුලූ පවුලේ පස්දෙනකු පසුගිය වසරේ කෑගල්ල ප‍‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම තැනකදී සමු ගැනීමෙන් පසු හේමවතී මහත්මිය කාලය ගත කළේද සිය ජීවිතයත් අහිමිවුූ ගානටය. එසේ සිටි ඇයට මේ ඉරණම උදාවී තිබිණි.

පස්වරු හය පසු වී විනාඩි දහයක් ගතවෙද්දී නිට්ටඹුව පොලිසියේ පැමිණිල්ලක් සටහන් විය. එයින් කියවුණේ ඌරාපොළ නාගොඩ නිවෙසේ පදිංචිව සිටි 76 හැවිරිදි ජයකොඩි ආරච්චිගේ හේමවතී ජයකොඩි මහත්මිය හදිසි මරණයකට ලක්ව ඇති බවය. නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත මෙම මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ වගකීම පැවරුණේ උප පොලිස් පරීක්ෂක වික‍‍්‍රමසිංහටය. නාගොඩ නිවෙසට ගොස් මූලික පරීක්ෂණ පවත්වනු ලැබුවත් කිසිදු සැකකටයුතු දෙයක් අනාවරණය වූයේ නැත. මළ සිරුරේ තුවාල දක්නට නොවීය. මෙම මරණය පිළිබඳ පොලිස් පරීක්ෂණ පැවැත්වෙද්දී ඒදින උදේ 8.00 ත් පස්වරු 3.30 ත් අතර මෙම මරණය සිදුව ඇති බව උප පොලිස් පරීක්ෂක වික‍‍්‍රමසිංහ ඇතුළු නිලධාරීන් සනාථ කර ගත්තේය.

ඒ අනුව මේ පිළිබඳ ප‍‍්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් කාදර් මහතාට දැනුම් දුනි. හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය අනුව හේමවතී මහත්මියගේ දේහය වතුපිටිවල මූලික රොි්හලට රැගෙන ගියේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව අනාවරණය කර ගැනීමේ අදහසිනි. එම මරණ පරීක්ෂණය පසුදාට නියමවූයේ ඒ වනවිට රෑ බෝ වී තිබීම නිසාය.

හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය අනුව වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සම්පත් ජයවර්ධන මහතා පශ්චාත් මරණ පරීක්ෂනය පැවැත්වීමට කටයුතු කළේය. ඒ අනුව මෘත දේහය සෝදිසි කළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හේමවතී මහත්මියගේ ගෙලෙහි කිසියම් වෙනසක් දැකගත හැකිවූයේ සේවයේ ඇති පළපුරුද්ද අනුවය. මේ නිසා මෙම මරණය පිළිබඳ කිසියම් සැකයක් පවතින බව අධිකරණ වෛද්‍ය නිලධාරි සම්පත් ජයවර්ධන මහතා පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම මෙම මරණය පළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු යටතේ රාගම මහ රෝහලේදී සිදු කිරීම වඩාත් උචිත බව සම්පත් ජයවර්ධන මහතාගේ අදහස වූයේ ඒ සදහා අවශ්‍ය කරන පහසුකම් වතුපිටිවල මූලික රෝහලේ නොවීමත් තමන්ට වඩා විශේෂඥයකු විසින් ඒ ගැන සොයා බැලීම සුදුසු බවත් ඔහු අදහස් කළ නිසාය.

“සර් මේ මරණය ගැන සැකයක් තියෙනවා කියලා ජේ.එම්. ඕ මහත්තයා කියනවා. රාගමදී මරණ පරීක්ෂණ කළොත් හොඳයි කියනවා. ඒ නිසා මේ ගැන උසාවී තීන්දුවක් ගන්න වෙනවා.” පොලිස් නිලධාරියා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුම්වත් කළේ එයින් පසුවය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතා මේ බව තම උසස් නිලධාරියා වන සහකාර පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතා ට දැනුම්දී උපදෙස් ලබාගෙන සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අනතුරුව නිට්ටඹුව පොලිස්ිය මේ පිළිබදව අත්තනගල්ල මහේස්ත‍‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහෙස්ත‍‍්‍රාත් අධිකරණයේ නියෝගය මත දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා රාගම මහ රෝහලට යවනු ලැබුයේ පොලිස් කොස්තාපල් 67696 රෝෂන් මහතාගේ බාරයේය. ඒ වනවිට 29 වැනිදා සවස්වී තිබිණි. එබැවින් අධිකරණ විශේෂඥවරයාගේ පරීක්ෂණය පසුදිනට නියමවූයේය. පසුදින එනම් 30 වැනිදා රාගම මහරෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ප‍‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ හඳුන් ශ්‍රී විජේවර්ධන මහතා මෙම කාන්තාවගේ මරණය සිදුව ඇත්තේ රැහැනකින් ගෙල තද කිරීමකට ලක්වීමෙන් බවට තීරණය කළේය.

පසුගිය 1 වැනිදා මළහිරු බැස යද්දී හේමවතී මාතාව අවසන් ගමන් ගියේ ගමක් හඩවමිනි.

හේමවතී මාතාවගේ මරණය සිදුව ඇත්තේ රැහැනකින් ගෙල තද කිරීම නිසා බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවීමෙන් පසු මෙම මරණය මිනීමැරුමක් බවට ස්ථිර නිගමනයකට එන්නට පොලිසියට හැකිවිය. ඇය දිවා කාලයේ නිවෙසේ හුදකලාව සිටියදී පැමිණි කවුරු හෝ ඇය මරා දමා ඇති බව පොලිසියේ සැකය විය. සැකකරු හෝ පිරිසක් මොන අරමුණක් මත නිවෙසට ආවාද යන්න සොයා ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ඇරැඹි ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා බුද්ධි අංශ නිලධාරීන්ගේ ද සහාය ලබා ගැනීමට නිට්ටඹුව පොලිසිය කටයුතු කර ඇත.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් හා ගම්පහ කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල සහ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහත්වරුන්ගේ මෙහෙයවීම මත නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක නලීන් දිල්රුක් ඇතුලූ නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ වල නිරතව සිටිති.

එම්. පී. කුමාර

කොටදෙනියාව සමූහ