“දැවිල්ලයි..... දැවිල්ලයි... ඉන්න බැහැ දැවිල්ලයි

“දැවිල්ලයි..... දැවිල්ලයි... ඉන්න බැහැ දැවිල්ලයි

මේ මනුෂ්‍ය ලෝකය කාම ලෝකයකි. කාම යනු කැමැත්තයි. දිව්‍ය ලෝක සයත් සතර අපායත් මනුෂ්‍ය ලෝකයත් කාම ලෝක වන්නේය. මිනිසාගේ සිත නිතරම ඇස. කන, නාසය, දිව, ශරීරය පිනවීමට කැමැත්ත දක්වයි. මෙයින් ද ප්‍රධාන වන්නේ පුරුෂයෙකුට ස්ත්‍රියක් හා ස්ත්‍රියකට පුරුෂයෙකු අතර පවතින කැමැත්තයි. පුරුෂයෙකුගේ සිත නිතරම පෙළඹෙන්නේ පි‍්‍රය මනාප ස්ත්‍රියක් දැකීමටය. ස්ත්‍රියකගේ හඬ ඇසීමටය. ස්ත්‍රීන්ට ද පිරිමින් කෙරෙහි පවතින්නේ එවැනි හැඟීම්මය. ඒ ලෝකයේ ස්වභාවය යි.

ධ්‍යානලාභීව අහසින් ගමන් කළ සාෂිවරු ස්ත්‍රී රූපයන් හෙවත් නාරිලතා මලක් දැකීමෙන් පවා සිත ඒ පිළිබඳ මනසිකාර වීම නිසා ධ්‍යාන පිරි හී අහසින් බිමට වැටුණු අවස්ථා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මේ ලෝකය පවත්වා ගෙන යෑම සඳහා මෙසේ ස්ත්‍රී පුරුෂ අනොන්‍ය කැමැත්ත පවතී. මෙන්න මේ තණ්හාව උපාදානය වීම හෙවත් දැඩි ඇල්ම සංසාර ගමන තව තවත් දිගින් දිගට පැවතීමට හේතු වී ඇත. මෝහය හෙවත් යථාර්ථය නොදන්නාකම නිසා හටගන්නා ලෝභය (රාගය) සහ ද්වේෂය නිසා සසර ගමන දික් වෙමින් දුකට හේතුවන අතර ස්ත්‍රී පුරුෂ කැමැත්ත (ලෝභය - රාගය) එයින් ප්‍රධාන තැනක් ගනී. මෙය ඉතා සියුම්ව මෙනෙහි කරමින් සිතා බැලුවොත් ඒ ආස්වාදයේ ආදීනවය දුකට හේතුවන බව ප්‍රඥාවන්තයා නුවණින් වටහා ගනී. ඔහු උඩු ගං බලා පිහිනීමට කටයුතු කරයි.

අසිත කොලොන්නාවේ පදිංචිකරුවෙකි. හතළිස් හැවිරිදි ඔහු අවිවාහකයෙකි. ඔහු ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙයි. ඔහුගේ තුනටියෙන් පහළ කොටස අප්‍රාණිකය. ඒ සමානව කිව නොහැකි රෝගයකින් ඔහු පෙළෙයි. වෛද්‍යවරුන්ට ඔහුගේ රෝගය අපැහැදිලිය. ඔහුට ඇති රෝගය හඳුනාගත නොහැකිව ඇත. ආරක්ෂක අංශයක රැකියාව කරන ඔහුට රැකියාව ද අහිමිවවන තත්ත්වයකට පත්ව ඇත.

වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලද නිසා ඔහුගේ මව සහ සහෝදරයා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු රැගෙන ආවේය. ඔවුහු දෙපසින් වාරු කොට ගෙන ආ අසිත බිම හිඳුවා ආධ්‍යත්මීය උපදේශකවරයා සමඟ ඔහුගේ රෝග තත්තවය පැහැදිලි කළහ.

ගවේෂකවරයා රෝගියා වෙත ශක්ති කිරණ එල්ල කරන විට ඔහු බිම පෙරළී දඟලන්නට පටන් ගත්තේය. එදින ඉන් එහා දෙයක් සිදු නොවුවොයෙන් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා අසිතට උපදෙස් දුන්නේය. බෝධි පූජා අවසන් වන විට ඔහු අල්ලාගෙන නැගිටින්නට පුළුවන් තත්ත්වයකට පත්ව සිටියේය. යළිත් පැමිණි දිනයේ අසිත වෙත ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ඔහු තුළින් භූතාත්මයක් මතු විය. භූතයා ලැජ්ජාවෙන් ඇඹෙරෙමින් ඉඟි බිහි පාන්නට විය. ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මම සිරියාවතී”

භූතාත්මය ලැජ්ජාවෙන් ගවේෂකවරයාට කීවාය.

“තමුන් කොයි කාලෙ ද මැරුණේ?”

“අනේ, මතක නෑ මහත්තයා”

“ගෙවල් තිබුණේ කොහේද?”

“ඒකත් මතක නෑ.”

“අන්තිමට හිටියේ කොහේද?”

“පාළු ගේක” භූතයා යළි ඇඹරෙන්නට වුවාය.

“ඇයි එතැන හිටියේ?”

“මට එතැන ආහාර තිබුණ නිසා.”

“දැන් කොයින් ද ආහාර?”

“මට ඕනෑ ආහාර මේ කොල්ලා ළඟා තියෙනවා. මේ කොල්ලා හරිම ෂෝක්.”

“මෙයාව මුණ ගැහුණෙ කොහේදි ද?”

“මම හිටියේ පාළු ගෙදර මේ කොල්ලා ඒ පාළුගෙට හැමදාම ගෑනු අරගෙන එනවා. මම එතැනදි උන්ගෙන් මට අවශ්‍ය ආහාර ගන්නවා. මම ඒවාට කැමතියි.”

භූතාත්මයෙන් පුතාගේ කැරැට්ටුව කියැවෙන විට අම්මා ලැජ්ජාවෙන් බිම බලාගෙන සවන් දී සිටියාය. අයියා ද පුදුමයෙන් බලා සිටියේය. ගවේෂකවරයා තව දුරටත් භූතයාගෙන් ප්‍රශ්න කළේය.

“තමුන් දැන් කොහේද ඉන්නේ?”

“මම මේ කොල්ලගෙ තුනටියේ එල්ලිලා ඉන්නවා.”

“තමුන්ගෙ අතීතය මතකද?”

“මට ඒ මොකුත්ම මතක නෑ. මේක විතරයි මතක”

“දැන් ඉතින් මෙයාට කරදර කළා ඇති. මේ ශරීරය අත හැරලා යන්න.”

“බැහැ... බැහැ.... මම යන්නේ නැහැ. මට යන්න කියන්නත් එපා. කන්න බොන්න තියෙන තැන දාලා ගියාම මම ජීවත් වෙන්නේ කොහොමද? මම යන්නේ නෑමයි”

පේ‍්‍රතිය තදින්ම කීවාය.

මේ පේ‍්‍රතිය තමා ඇබ්බැහි වු ගතිය අතහැර නොයන බව දැන ගත් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට පේ‍්‍රතිය දවාලන්නට විය.

“දැවිල්ලයි... දැවිල්ලයි... ඉන්න බෑ.... දැවිල්ලයි....”

පේ‍්‍රතිය වේදනාවෙන් කෑ ගසන්නට වූවාය.

තවත් සතියක් බෝධි පූජා පවත්වා පන්සිල් ආරක්ෂා කරමින් කටයුතු කොට නැවත එන්නැයි ගවේෂකවරයාට ඔවුනට උපදෙස් දුන්නේය.

සතියක් බෝධි පූජා පවත්වා ඔවුහු නැවත පැමිණියහ.

එදිනද අසිතට භූතාත්මය දිෂ්ටි ගන්වා ගවේෂකවරයා කතා කළේය.

“කොහොමද දැන්වත් ඉවත් වෙලා යන්න කල්පනා කළාද?” ගවේෂකවරයා පේ‍්‍රතියගෙන් ඇසීය.

“බැහැ.. මහත්මයා බැහැ.... එහෙම ගිහින් මට කොහොමද ජීවත් වෙන්නේ. මට යන්න බැහැ....”

ගවේෂකවරයා එදින ද පේ‍්‍රතිය දවාලන්නට විය.

“එපා.... එපා... මහත්තයා... පුච්චන්න එපා.” පේ‍්‍රතිය කෑ ගසන්නට වුවාය.

සති දහයක්ම වරින් වර ගෙන්වා භූතාත්මය මෙසේ දවා ලන්නට විය.

රාගයෙන් මත් වූ ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවක් මරණයෙන් පසු ඊටම සාපේක්ෂ පේ‍්‍රතියක්ම වී එවැනි ස්ථානයකට පැමිණි එවැනිම තරුණයකු ගේ ශරීරයට රිංගා ගෙන සිටින ආකාරය මවටත් සහෝදරයාටත් පැහැදිලි කර දුන් ගවේෂකවරයා සතියක් පාසා පේ‍්‍රතිය දවාලන්න විය. ඉන් අනතුරුව අසිතට ද කොන්ද කෙලින් කරගෙන සිටින්නට පුළුවන් කමක් උදාව තිබිණි.

රාගයෙන් මත් වී සම්මතයෙන් බැහැරව දුරාචාරයෙහි යෙදුණු ස්ත්‍රී පුරුෂයෝ මරණයෙන් මතු නිරයෙහි ඉපිද විපාක ගෙවන්නට කටු ඉඹුළෙහි ඉහළ පහළ යති. ඉහළටත් පහළටත් යොමු වූ ඔවුහූ තියුණු උල් කටුවල ඇමිණී සම් මස් ඉරී තුවාල වේදනාවෙන් හඬා වැළපෙමින් කල් ගෙවති. නිරිසතුන් පවා ඒ ඒ ස්ත්‍රී පුරුෂයන් දැක රාගයෙන් මත් වෙන බව පොත පතෙහි සඳහන් වේ.

එසේ නම් මේ පේ‍්‍රතිය ද තමන් කැමති තරුණයෙකු බදාගෙන යැපීම පුදුමයක් නොවන බව ඔවුන්ට පැහැදිලි කළ ගවේෂකවරයා පේ‍්‍රතිය ඉතාම දුර්වල වන තුරුම ් දවා අසිතගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේ බලහත්කාරයෙනි.

“මම යනවා.... මම යනවා... “ පේ‍්‍රතිය හඬන්නට වුවාය.

“කොහේද යන්නේ?”

මේ වගේම එකෙක් හොයාගෙන යනවා.”

ඉවත්ව යෑමට පෙර පේ‍්‍රතිය කීවාය.

මතුගම මහින්ද විජේතිලක