මම “ලේ” තමයි ආහාරයට ගන්නේ

මම “ලේ” තමයි ආහාරයට ගන්නේ

දෙවියෝ අහසෙහි වෙසෙති. ඒ ප්‍රණ්‍ය ශක්තියෙන් ඉහළ දෙවිවරුය. එතුමෝ අමෘතය ආහාරයට ගනිති. අප විසින් පූජා කරනු ලබන වස විස කිළිටි සහිත පළතුරු කැවිලි නොවළඳිති. එහෙත් පින් අනුමෝදන් වෙති. තවත් දෙවිවරු පිරිසක් පොළව ආශි‍්‍රතව වෙසෙති.

ඔවුහු තුරු ලතාවන්හි මල් ඵල කොළ දළු පොතු හා මුල්වල සුවඳ වළඳිති. දේව ගැතියෝ එම දෙවිවරුන්ට ද පූද පුජා පුළුටු ආහාර දෙති. එහෙත් ඒවා ආහාරයට ගන්නේ දෙවියන් නමින් පෙනී සිටින කපටි කයිරාටික හෝ අසරණ දිළිඳු පේ‍්‍රතයෝය. මේ දෙවිවරු ද ප්‍රේතයෝ ද තම තමන්ගේ පින් පව්වලට අනුව විවිධ හැකියාවන් හා නැති බැරිකම්වලින් යුක්ත වෙති.

මේ ලෝකයේ ජීවත්වන්නෝ මේ ජාතියේ හා පෙර ජාතිවල අනෝ‍යාත්‍යව ගත් ණය ගනු දෙනුවක යෙදෙති. ඒ අනුව දුක් සැප විඳිති. සමහරු දෙවියන්ගෙන් පිහිට ඉල්ලති. තමන් ඊට සුදුසුකම් ලබා ඇත්තම් දෙවියන්ගෙන් පමණක් නොව මිනිසුන්ගෙන් ද ආශිර්වාද ප්‍රතිලාභ ලබති. දෙවියන් පිළිබඳ යථාර්ථය නොදන්නා මෝහයෙන් අන්ධ වූවෝ මුළා වූවෝ ඒ දෙවියන්ගෙන් උදව් ගන්නට යැයි සිතා යම් යම් ක්‍රියාකාරකම්වල යෙදී දුකට පත් වෙති.

අඟුªණුකොළපැලැස්සේ දේවපි‍්‍රය දෙවියන් පි‍්‍රය කළ කෙනෙකි. හතළිස් පස් හැවිරිදි ඔහු නොසිතුන ආදායම් මාර්ගය කොට ගෙන දියුණු වූ කෙනෙකි. සමාජයේ කැපී පෙනී ඉහළින් ජීවත් වෙන්නට කටයුතු කළ අයෙකි. හිටි හැටියේ ඔහුගේ ශරීරයේ ලේ අඩුවෙන්නට විය. රතු රුධිරාණු හීන වෙන්නට විය. දේව බලයක් ඇතැයි සිතා ඔහු නිවස අසල දේවාලයක් සදාගෙන පුද පූජා පවත්වා ගෙන ගියත් ඔහු දැන් රාති‍්‍රයට බියකරු සිහින දැක කෑ ගසා ගෙන අවදි වෙයි.

රුධිර හීනතාවයට වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් කිසිදු සහනයක් නොවීය. වත් පිළිවෙත් ශාන්ති කර්ම කළත් එයින් ද සහනයක් නොවීය. අවසානයේ ඔහු සිය බිරිය සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියේය. ආධ්‍යාත්මික උපදේශනවරයා මුණ ගැසී තම දුක් ගැනවිල්ල කීවේය.

පළමු රෝග පරීක්ෂාවේදී දේවපි‍්‍රය පරල වී තාලයකට නටන්නට පටන් ගත්තේය. ඒ නැටුම ඔහුගේ දේවාල මානසිකත්වය මත ස්වයං මෝහනයකින් සිදු කරන නැටීමක් බව ගවේෂකවරයා වටහා ගත්තේය. ඔහුට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින රෝග පරීක්ෂාවේදී ඔහුගේ පුරුදු නැටුම පටන් ගත්තේය. ඔහු මෙසේ දින තුනක්ම ප්‍රතිකාර ගත්තේය. හතර වැනි දිනයටත් පැමිණ ඔහු නටන්නට පටන් ගත් අතර ඔහුට ඇත්තටම අමනුෂ්‍ය දෝෂයක් ඇති බවත් ඒ අමනුස්සයා ඔහුගේ සිරුර තුළ සැඟවී සිටින බවත් ගවේෂකවරයාට වැටහුණේය.

එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ඒ භූතාත්මය දවා ලන්නට විය. එවිට භූතාත්මය අවදි වී දිව එළියට දමාගෙන හිස දෙපැත්තට වනා දඟලන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන දඟලන්නේ?”

“මම යකෙක්.” භූතාත්මය උත්තර දුන්නේය.

“මොකක්ද නම?”

“මතක නෑ.”

“කොහේද ජීවත් වුණේ?”

“ඒත් මතක නෑ.”

“මොනවද මතක?”

“ලේ.... ලේ.... ලේ.... යැයි කියූ භූතාත්මය තොල කට ලෙවන්නට විය.

“ඇයි... මේ නපුරු විදිහට හැසිරෙන්නේ?”

“තරහින්”

“කා එක්කද?”

“මහත්තයා එක්ක”

“මා එක්ක? මම මොන වරදක් කළාට ද?”

“මහත්තයා මා එළවන්න නේද හදන්නේ? මාව එහෙම එළවන්න එපා. මම මේ දේවපි‍්‍රයගෙ ශරීරයෙන් තමයි යැපෙන්නේ. මාව එළවන්න එහෙම එපා.”

“ඇයි මේ දේවපි‍්‍රයට ලෙඩ කරන්නේ?”

“ඕිවා විහින් කරගත්තු දේවල්.” භූතාත්මය ගවේෂකවරයා දෙස බලමින් කීවේය.

“මොකක්ද දේවපි‍්‍රය විහින් කරගත්ත දේ?”

“මහත්තයා, මෙයා හොඳට ගොවිතැන් කරලා හොඳ ආදායමක් ලබනවා. ඒකෙන් අංහකාර වෙලා හිතට අරගෙන සමාජයට පේන්න මමත් ලොක්කෙක් කියලා පෙන්නන්න හදනවා. ඔය අතරේ ගෙදර මිදුලේ දේවාලක් හදාගෙන දෙවියන් සමඟ ඉන්න බව පෙන්වනවා.”

“සාත්තරන් කියනවද?”

“නෑ... නෑ.... සාත්තර කියන්නේ නෑ. දෙවියන්ගේ ආශ්‍රය තියෙන බව පෙන්නන්න හදනවා. දෙවියන්ට පුද පූජා තියනවා. ස්තෝත්‍ර කියනවා. ඔහොම කරගෙන ගිහින් ඇඟිල්ලක් විදලා බුලත් කොළයක ලේ තවරලා පුද පූජා කරන්න ගත්තා. තැන් තැන්වල පාවේවී හිටිය මම ඒ ලේ සුවඳට මෙතැනට ඇදිලා ආවා. ඉන් පස්සේ මට දිනපතා ලේ ආහාරයට ලැබුණා. ඊට පස්සේ මේ මනුස්සයා නෝනගෙ ලේත් පූජා කළා. ඊළඟට පුතාගේ ලේ්ත් පූජා කළා. මේ මෝඩයාගෙ හිතේ දෙවියෝ ලේ බොනවය කියලා. මෙයා තියන තියන ලේ මම තමයි ආහාරයට ගත්තේ. ඒවා මදි වෙන කොට මම මෙයාගෙ ඇඟේ ඉඳගෙන ලේ උරා බිව්වා.” භූතයා කීවේය.

“ඉතින් ඔබ මෙයා එක්ක තරහින් ද ලේ බොන්නේ? මෙහෙම ගියොත් මෙයා මැරිලා යාවි” ගවේෂකවරයා භූතාත්මයෙන් අසන්නට විය.

“බැහැ.... බැහැ.... මෙයාව මරන්න බැහැ. මැරෙන්න දෙන්නත් බැහැ. එහෙම මැරුණොත් මට ලේ නැතුව යනවානෙ.”

“දැන් ඉතින් මෙයාගෙ ලේ බිව්වා ඇති. මෙයාගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්න.”

“බැහැ... බැහැ... එනකොට මම ජීවත් වෙන්නේ කොහොමද?”

ගවේෂකවරයා දේවපි‍්‍රය පියවි සිහියට පත් කොට ඔහු සමඟ සාකච්ඡා කළේය.

“ගෙදර දේවාලයක් පවත්වාගෙන යනවද?”

“ඔව්”

“ඒ මොකටද? සාත්තර කියලා හම්බ කරන්නද?”

“නැහැ.”

“එහෙනම් මොකටද?”

“දෙවියන්ගෙ ආශීර්වාදය රැකවරණය ගන්න.”

“ලේ පූජා කරන්නෙ කාටද?”

“දෙවියන්ට”

“සම්‍යග් දෘෂ්ටි දෙවිවරු ලේ බොනවද? මිනිසුන්ගේ දහදියත් පිළිකුල් කරනවා. කරුණාකරලා ගමේ පන්සලට යන්න. පන්සලේ හාමුදුරුවන්ගේන් “විමාන වන්ථු, “පේතවත්ථූ“ පොත් දෙක ඉල්ලා ගෙන කියවන්න. ඒ පොත් දෙක කියවලා අවසන් කර නැවත ආපහු එන්නැ”යි ගවේෂකවරයා දේවපි‍්‍රයට උපදෙස් දෙමින් කීවේය.

විමාන වත්ථු පොත කියවා දෙවියන්ගේ ස්වභාවයත් පේතවත්ථු පොත කියවා යක්ෂ පේ‍්‍රතාදීන්ගේ ස්වභාවයන් තේරුම් ගත් දේවපි‍්‍රය නැවතත් ප්‍රතිකාර පිණිස පැමිණියේය.

එදින ඔහුගේ ශරීරයේ සිටි භූතාත්මය දිෂ්ටි ගන්වා ශක්ති කිරණ එල්ල කළ ගවේෂකවරයා දේවපි‍්‍රයගේ ශරීරයෙන් භූතාත්මය දවා පූච්චා දුර්වල කොට පන්නා දැම්මේය. දේවපි‍්‍රයටත්, පවුලේ අයටත්, නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂාව ද යෙදීය.

දේවාලයේ ඇති දේව රූප ඉවත් කර සමාධි බුදු පිළිමයක් තබා උදේ හවස වන්දනා කොට පිරිත් සූත්‍ර කීපයක් සජ්ඣායාන කරන ලෙසත් ගවේෂකවරයා දේවපි‍්‍රයට උපදෙස් දුන්නේය.

මතුගම මහින්ද විජේතිලක