පස් පාතාලය මරා ගනී

පස් පාතාලය මරා ගනී

කාලයක් නිසොල්මන්ව තිබූ ගම්පහ පස් පාතාලය යළි ඇවිලුණේ ජනවාරි මස දහතුන් වැනිදා සන්ධ්‍යාවේදීය. ගම්පහ, වෙරලුගහගොඩැල්ල පස්කන්ද කැපීම සඳහා බලපත්‍ර ලබාගෙන සිටි සුරේෂ් නමැති අය එදින විරුද්ධවාදීන්ගේ වෙඩි පහරට ලක්ව බරපතළ ලෙස තුවාල ලැබීය.

මෙම වෙඩි තැබීම මාකිලන්ගමුවේ සංජීව නමැති පාතාල කල්ලි නායකයාට එරෙහිව ඔහුගේම ළඟම ගෝලයෙක් වූ කලු අජිත් නොහොත් අජා නමැත්තා යුද්ධ ප්‍රකාශ කිරීමක් ලෙස තතු දත්තෝ අනාවැකි පළකර තිබිණි.

පසුගිය තුන්වැනිදාත්, හයවැනිදාත් ගම්පහ ප්‍රදේශයේ සිදු වූ ඝාතන දෙකකින් මේ බව සනාථ වී ඇත. තුන්වැනිදා වෙඩි තබා ඝාතනය කරන්නේ කොටුගොඩ, නැදගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි පස් ව්‍යාපාරිකයකු වූ ප්‍රසාද් නිරෝෂන් නොහොත් “පස් චමී” නමැත්තාය.

හය වැනිදා උදේ වෙඩි තබා ඝාතනය කරන්නේ පස් ව්‍යාපාරයට කිසිසේත්ම සම්බන්ධ නැති කෝටිපති ව්‍යාපාරිකයෙකි. කෝරලගේ නෙවිල් පෙරේරා නම් වන මොහු මාකිලන්ගමුවේ සංජීව ගේ මෙහෙයවීම මත ඝාතනය කළ බවට සැකය මතුවන්නේ “දේවා” නම් වූ පුද්ගලයා මොහුගේ පුත්‍රයකුගේ මිතුරකු වීමය. “දේවා” යනු ජනවාරි මස දහතුන් වැනිදා සුරේෂ්ට වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අයෙකි. ඔහු “අජා” ගේ ළඟම ගෝලයෙකි.

මාකිලන්ගමුවේ සංජීව හා ඔහුගේ ළඟම හිතවතකු මෙන්ම ගෝලයකු වූ “අජා” විරසක වන්නේ කොන්ත්‍රාත් ඝාතනයක් හේතු කොටගෙන ඇති වූ මුදල් ප්‍රශ්නයක් මුල් කරගෙනය. ඉලක්කය වැරදී ගිය බැවින් සංජීව පොරොන්දු වූ මුදලින් සතයක්වත් අජා ට ලබා දී නොතිබුණි. අජා... සංජීව ට එරෙහිව වෙනමම කල්ලි ගැසෙන්නේ ඉන් අනතුරුවය.

පස් ජාවාරමට අත ගසා සිටින පාතාලයෝ තමන්ගේ අනු දැනුමකින් තොරව කවුරුන් හෝ පස් ව්‍යාපාරයට එක් වන්නේ නම් එම ව්‍යාපාරිකයා කප්පම් ලබාදිය යුතුය.

ජනවාරි මස දහතුන් වැනිදා වෙඩි කෑ සුරේෂ් පස් ව්‍යාපාරයට අත ගසා තිබුණේ මාකිලන්ගමුවේ සංජීව ගේ ආශිර්වාදය ඇතිවය. එනම් සංජීවගේ ළඟම හිතවතකු වන “පස් පොඩ්ඩා” ගේ අත හිත ඇතිවය.

එහෙත්... සංජීවට එරෙහිව පළමු පියවර තබන “අජා” සුරේෂ් ගෙන් කප්පම් ඉල්ලා සිටියේය. ඊට එකඟ නොවූ සුරේෂ් මේ බව පස් පොඩ්ඩා සමඟ පවසන අතර සංජීව අජාගෙන් කප්පම් ඉල්ලීම නවතා දමන ලෙසට ඉල්ලා සිටින්නේ ඔහු තමාගේ ළඟම ගෝලයකු වූ බැවිනි.

එහෙත්... ලොක්කා ට එරෙහිව ගිය ගෝලයා අවසානයේ වෙඩි තබා සුරේෂ් මෙම ව්‍යාපාරයෙන් ඉවත් කරවීමට කටයුතු කළේය.

“අජා” ගේ එම සැලසුමට අනුව සුරේෂ් වෙරලුගහගොඩැල්ල පස් කන්දෙන් ඉවත් වුවද පස් පොඩ්ඩා මෙම කන්ද කැපිම නතර කළේ නැත. සුරේෂ් රෝහල් ගත වුවද පස් පොඩ්ඩා, පස් චමී ඇතුළු කණ්ඩායම වෙරලුගහගොඩැල්ල කන්ද කැපීම දිගටම සිදු කරගෙන ගියේ සුරේෂ් ලබාගත් පස් කැපීමේ බලපත්‍රය උපයෝගි කරගෙනය.

මේ දෙදෙනාම මාකිලන්ගමුව සංජීව ගේ හිතවතුන්ය. ළඟම ගෝලයන්ය. පස් පොඩ්ඩා ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු හා සම්බන්ධව සිටින බැවින් සුරේෂ් ගේ පස් කන්ද කැප්පවීමේ කටයුතු භාර වූයේ පස් චමීටය.

“පස් චමී” යනු කාලයක සිට පස් ව්‍යාපාරය කරගෙන යන අයෙකි. පස් සෝදා වැලි ඉවත් කරන වැඩබිමක් ඔහු සතුය. එය ජා ඇල ප්‍රදේශයේ පිහිටුවා ඇත.

පස් කපා ජා ඇලට රැගෙන ගොස් ඒවා සෝදා වැලි ඉවත් කොට වෙනමම වැලි විකිණීම ද ඔහු කරගෙන ගියේය. එලෙස... ගම්පහ පස් ලෝකයේ ප්‍රබල චරිතයක් ව සිටි “පස් චමී” පසුගිය තුන්වැනිදා උදේ වරුවේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ගොදුරු වන්නේ උඩුගම්පල බෝගහ හන්දිය ප්‍රදේශයේදීය.

ඔහු වෙඩි පහරට ලක් වූ ස්ථානය සහ වෙරලුගහගොඩැල්ල පස් කන්ද අතර දුර ප්‍රමාණය කිලෝමීටරයක් පමණ වේ. යතුරුපැදියෙන් පැමිණි පස් චමී එය මාර්ගය අසල නවත්වාගෙන මිතුරන් සමඟ කතා බහ කරමින් සිටියදී වෙඩි පහරට ගොදුරු වන්නේ උදේ එකොළහයි විස්සට පමණය.

එනම්.... ඔහු යතුරු පැදියේ හිඳගෙන කතා බහ කරමින් සිටිය දී ෆුල්ෆේස් හෙල්මට් දමා කලු ජැකට් හැඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

යතුරු පැදියේ පැමිණි දෙදෙනාගෙන් එය පැදගෙන ආ අය පැළඳ සිටි හෙල්මටය ගලවා මුහුණ නිරාවරණය කර ඇති බව කියයි. එබැවින් ඔහු මෙම ප්‍රදේශයේ අයකු නොවිය යුතු බවත් ඔහු කවුරුවත් හඳුනන්නේ නැති නිසා මෙලෙස හෙල්මටය ගලවන්නට ඇති බවත් සමහරුන්ගේ මතයයි. එහෙත් වෙඩි තැබූ පුද්ගලයා එලෙස මුහුණ නිරාවරණය කර තිබුණේ නැත. ඒ... ඔහු මෙම ප්‍රදේශයේ අයකු නිසා විය යුතුය.

යතුරුපැදියේ පිටුපස අසුනේ සිටි අය හැඳ සිටි කලුපැහැ ජැකට්ටුව ඇතුළේ සඟවාගෙන තිබූ ටී - 56 ගිනි අවිය ගෙන චමීට වෙඩි පහර කිහිපයක් එල්ල කළ අතර අසල සිටි ඔහුගේ මිතුරන් හිස් ලූ ලූ අත දිව ගියේය.

වෙඩි පහර එල්ල කිරීමෙන් අනතුරුව යතුරුපැදිය වේගයෙන් පදවාගෙන මේ දෙදෙනා පලා ගියහ.

එල්ල වූ වෙඩි පහරවලින් බරපතළ තුවාල ලැබූ පස් චමී ගම්පහ රෝහලට ඇතුළත් කෙරිණි. අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ජාතික රෝහලට යැවීමට ගම්පහ රෝහල් බලධාරිහු කටයුතු කළහ. පස් චමී මිය යන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඒ.. එදින සවස තුනට පමණය.

පස් චමී ඝාතනයත් සමඟම මාකිලන්ගමුවේ සංජීව, පස් පොඩ්ඩා ඇතළු කල්ලියට යමක් වැටහෙන්නට ඇත. ඒ..... තමන්ගෙන් වෙන් වුණ “අජා” කප්පම් නොගෙන වෙරලුගහගොඩැල්ල පස් කන්ද කැපීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවය.

තමාගේ ගෝලයකුව සිටි අජාට තමා ඉක්මවා යාමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි යැයි සංජීවට සිතෙන්නට ඇත. මහර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මාකිලන්ගමුවේ සංජීව එළියේ සිටින සිය ගෝල බාලයන් මෙහෙයවා නෙවිල් පෙරේරා මරවන්නේ අජා ගේ කල්ලියට සම්බන්ධ අයකු සොයා ගැනීමට අපහසු නිසා විය යුතුය. නොඑසේ නම් අජා ගේ කල්ලි කාරයන්ගේ හත්මුතු පරම්පරාවත්, එම පරම්පරා සමඟ හිතවත් කම් පවත්වන සියල්ලන්මත් මරා දැමිය යුතුය යන චේතනාවෙන් විය යුතුය.

එහෙත්... මාකිලන්ගමුවේ සංජීව සිය ගෝල බාලයන් මෙහෙයවා ඝාතනය කර වූයේ පස් ව්‍යාපාරයට හෝ කිසිම කල්ලියකට හෝ මොනම විදියකින්වත් සම්බන්ධයක් නැති පුද්ගලයෙකි.

සුරේෂ්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දේවා පදිංචිව සිටින්නේ උඩුගම්පල නෙවිල් පෙරේරා පදිංචි නිවෙසට කිලෝ මීටරයක් පමණ ඈතින් වූ නිවෙසකය. නෙවිල් ඝාතතනය කරන්නේ හය වැනිදා උදේ වරුවේදීය. එහෙත්... පස් වැනිදා සවස මෙම ඝාතනය හා සසැඳෙන තවත් සිදුවීමක් වී ඇත. ඒ... දේවාගේ මල්ලි සොයා පෙර දින එනම් පස් වැනිදා සවස දේවා ගේ නිවෙසට පුද්ගලයන් දෙදෙනකු පැමිණීමයි.

ෆුල්ෆේස් හෙල්මට් හා කලු පැහැ ජැකට්වලින් සැරසුණ පුද්ගලයන් දෙදෙනකු පස් වැනිදා සවස යතුරු පැදියකින් දේවාගේ නිවෙසට ගොස් ඇත. එලෙස ගිය දෙදෙනා දේවාගේ මල්ලි සිටිත්දැයි සොයා ඇති අතර ඒ වනවිට මල්ලි නිවෙසේ සිට නැත.පසුව මෙම තොරතුරු දැනගත් දේවාගේ මල්ලි බියට පත්ව ගම්පහ පොලිසියට ගොස් පැමිණිල්ලක් දමා ඇති බව කියයි. පාතාල කල්ලිවලට සම්බන්ධ වෙඩික්කරුවන් බොහෝවිට සිය ඉලක්ක වෙත ළං වන්නේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ කලු ජැකට් හැඳ යතුරුපැදිවලිනි. එබැවින් දේවා ගේ ගෙදරට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනා ගැන නිවැසියන්ට බියක් මෙන්ම සැකයක් ඇති වීම සාධාරණය. ඒ.... දේවා මේ වනවිට වෙඩි තැබීමේ සිද්ධියට ඇතුළට ගොස් සිටින නිසාත් ඔහු කල්ලියක සාමාජිකයකු බව පවුලේ අය දැන සිටින නිසාත්ය.

කෙසේ හෝ පස් වැනිදා සවස දේවාගේ මල්ලි සොයා ගෙන ගිය මුත් හය වැනිදා උදේ ඔවුන්ගේ ගොදුර බවට පත් වූයේ වෙනත් අයෙකි. ඒ... දේවාගේ මල්ලි අල්ලා ගැනීමට නොහැකි වූ තැන දේවාගේ යාළුවා හෝ මරා දැමීමේ චේතනාවෙන් ගොස් යාළුවා ද නිවෙසේ නොවූ බැවින් ඔහුගේ පියා මරා දමා “අජා” කල්ලියට තම ශක්තිය පෙන්නුවා විය හැකිය.

නෙවිල් පෙරේරා ඝාතනය වන්නේ හය වැනිදා උදේ අටට පමණය. සිද්ධිය වන අවස්ථාවේදී ඔහුගේ වැඩිමල් පුත්‍රයා ද ගෙමිදුලේ සිට ඇත. අලුතින් මිලදී ගත් වාහනයක් ඔහු සුද්ධ පවිත්‍ර කරමින් සිට ඇති අතර වෙඩික්කරුවන් එද්දී නෙවිල් පෙරේරා නිවෙස ඉදිරිපිට හාන්සි පුටුවක දිගා වී සිට ඇත.

විවෘතව තිබූ ගේට්ටුවෙන් වෙඩික්කරු රැගත් යතුරු පදිය නිවෙස ආසන්නයටම ගොස් ඇත. එහෙත්... එහි සිටි දෙදෙනා ෆුල් ෆේස් හෙල්මට් පැළඳ සිට නැත. ඔවුන් පැළඳ සිට ඇත්තේ සාමාන්‍ය වර්ගයේ හෙල්මට් වන අතර නිවෙස ආසන්නයේ යතුරු පැදිය නැවැත්වූ විට පිටුපස අසුනේ සිටි වෙඩිකරු මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ යතුරු පැදියෙන් බැස ගොසිනි.

දැනට හෙළි වී ඇති තොරතුරුවලට අනුව මොවුන් නෙවිල් පෙරේරාගෙන් අනෙක් පුතා කොහේදැයි විමසා ඇත. පුතා නිවෙසේ නොමැති බව පැවසූ විට නෙවිල් පෙරේරාට වෙඩි තබා මොවුන් යන්නට ගොස් තිබිණි.

මේ අතර ගම්පහ ප්‍රදේශයෙන් ලැබෙන තොරතුරුවලට අනුව වෙඩික්කරු නෙවිල් පෙරේරාගේ නිවෙසට පැමිණ ඇත්තේ ටි - 56 ගිනි අවිය ඔඩොක්කුවේ තබාගෙනය. එනම්... කිසිදු බියකින් සැකයකින් තොරව මිනිසුන්, වාහන සිය දහස් ගණන් එහා මෙහා යන මාර්ගයේ ගිනි අවිය පෙනෙන ලෙස රැගෙන ඒමට තරම් මේ තුවක්කුකරු නිර්භීත විය. මොහු යතුරුපැදියේ පිටුපස අසුනේ හිඳගෙන ගිනි අවිය ඔඩොක්කුවේ තබාගෙන පැමිණෙන අයුරු මාර්ගයේ සිටි කිහිප දෙනකු දැක තිබිණ.

මාකිලන්ගමුවේ සංජීව ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් නිරපරාදේ ජීවිතයෙන් සමුගෙන ගිය නෙවිල් පෙරේරා කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු පදිංචි නිවෙස ඉදිරිපිට ඔහුට අයත් ලී මෝලකි. ලී බඩු සාප්පුවක ද හිමිකරුවකු වන නෙවිල් පෙරේරා සතුව විශාල හෝටලයක් ද ඇත. අපනයනය සඳහා අන්නාසි වැවීමේ ද යෙදී සිටි මොහු පස් ව්‍යාපාරයට කිසිම අයුරකින් සම්බන්ධ වී සිටි අයකු නොවීය.

පස් චමීට වෙඩි තැබුවේ ටී - 56 ගිනි අවියකිනි. නෙවිල් පෙරේරාට වෙඩි තැබුවේ ද ටි - 56 ගිනි අවියකිනි. මෙම ඝාතන දෙක කල්ලි දෙකක් විසින් සිදු කළ ඒවා බව දැනට සනාථ වි ඇත. ඒ අනුව පැහැදිලි වන එක් කරුණක් ඇත. ඒ ගම්පහ පාතාල කල්ලි සතුව ටි - 56 ගිනි අවි ද තිබෙන බවය. ඊට අමතරව පිස්තෝල ද තිබෙන බව තහවුරු වන්නේ සුරේෂ්ට වෙඩි තැබුවේ පිස්තෝලයකින් වන බැවිනි.

සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ (ඉඊජ්) වෙනමම අනුඛණ්ඩ දෙකක් ස්ථාපනය කර ඇත. ඉන් එක් අනුඛණ්ඩයක් දකුණේ පාතාලය මර්දනයේ යෙදී ඇති අතර අනෙක් අනුඛණ්ඩය. කොළඹ පාතාලය මැඩීම සඳහා ක්‍රියාත්මකය. එහෙත්... එම අනුඛණ්ඩය එලෙස එම ප්‍රදේශවල මෙහෙයුම් දියත් කරද්දී ගම්පහ පස් පාතාලය හිතේ හැටියට ස්වයංක්‍රිය ගිනි අවි පාවිච්චි කරමින් සිය ඉලක්ක සපුරා ගනිමින් සිටින බව ඇස් පනාපිටම දැන් ඔප්පු වී අවසානය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට එක පිට එක මනුෂ්‍ය ඝාතන දෙකක් ද තවත් ඝාතනයක් කිරීමට උත්සාහ කිරීමක් ද සිදු වී ඇත.

එකට සිට දෙකට බෙදුණ මේ කල්ලි දෙක ඉදිරියේ දීත් දිගින් දිගටම ඝාතන සිදුකරන බව ඉතා පැහැදිලිය. එබැවින්... මින් ඉදිරියට එවැනි ඝාතන සිදුනොවීමට අවශ්‍ය වටපිටාව සැකසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු තවදුරටත් පවසා සිටියේ එකට සිටි කල්ලියක් දෙකඩ වී මෙලෙස ගහමරා ගන්නා බවට කතා ප්‍රචාරය වුවත් ඒ බව තවමත් තහවුරු වී නොමැති බවයි. කෙසේ වෙතත් පස් ජාවාරම මුල් කරගෙන මෙම ඝාතන සිදුවන බව පරීක්ෂණවල දී තහවුරු වී ඇති බව ද හෙතෙම පවසා සිටියේය.

“දෙපාර්ශ්වයක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුවන බව ඇත්ත. එහෙත් මේ දෙපාර්ශ්වය කවුද කියන එක තවම තහවුරු වී නෑ. බන්ධනාගාර ඇතුළේ ඉඳලා මෙම ඝාතන මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇතත් ඒ බව තවම නිවැරැදිව තහවුරු වී නෑ.”

“දැනට කරගෙන යන පරීක්ෂණවලදී මෙම ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන් ගැන තොරතුරු ලැබිලා තියෙනවා. අවශ්‍ය වුණොත් බන්ධනාගාරයේ සිටිමින් මේ ඝාතන මෙහෙයවන බව කියන අයගෙනුත් කට උත්තර ලබා ගැනීමට අපි පසුබට වෙන්නේ නෑ.”

“කෙසේ වෙතත් දැනට පරීක්ෂණ කරගෙන යන ගම්පහ පොලිසියට අමතරව සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ කණ්ඩායම් දෙකක් මෙම පතාල ගැටුමට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් දියත්කර තිබෙනවා.”

අජිත් රෝහණ මහතා වැඩිදුරටත් එලෙස පවසා සිටියේය.