රණාගේ ගෝලයෙක් අවිත් එක්ක මාට්ටු

රණාගේ ගෝලයෙක් අවිත් එක්ක මාට්ටු

යුද්ධය පැවති සමයේ රජයේ ආරක්ෂක හමුදාවලට භට පිරිස් බඳවා ගැනීම ඉතාම අපහසු කරුණක්ව තිබිණි. එබැවින් එතරම් දුරට සුදුසුකම් මෙන්ම පවුල් වටපිටාව ද සොයා බැලීමකින් තොරව සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන සියල්ලන්ම පාහේ බඳවා ගැනීමට එවකට ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සිදුවිය.

එහෙත්... එලෙස හමුදා සේවයට එක් වූ බොහෝ දෙනකු ටික කාලයකින් සේවය හැර පලා ගිය අතර ඒ හේතුවෙන් විශේෂයෙන්ම යුද හමුදාව ගැටලු රැසකට මුහුණ දුන්නේය. මෙලෙස පලාගිය සමහරු ස්වයංක්‍රීය ගිනි අවි, අත්බෝම්බ ආදිය ද රැගෙන යාමට අමතක කළේ නැත. එලෙසම එල්.ටී.ටී.ඊ සංවිධානය හා දකුණේ පාතාල කල්ලි අතර තිබු හිතවත්කම හේතුවෙන් එල්.ටී.ටී.ඊ යට අයත් ගිනි අවි ද දකුණු පාතාලයට ගලා ඒම කිසිවකුටත් වැළැක්වීමට නොහැකි විය.

මෙලෙස හමුදා සේවය අතහැර පලාගිය බොහෝ දෙනකු අපරාධ ලෝකයට පිවිසි අතර යුද උපක්‍රම ප්‍රගුණ කර තිබීමත් ගිනි අවි හොඳින් අතට හුරුව තිබීමත් හේතුවෙන් දකුණේ පාතාල කල්ලි නායකයෝ මොවුන් සිය සංවිධානයට බඳවා ගැනීමට දැඩි කැමැත්තක් දැක්වුහ.

ඇල්පිටිය පොලිස් කොට්ඨාසය ආශි‍්‍රතව ක්‍රියාත්මක පාතාල කල්ලිවලට අයත් සාමාජිකයන් බොහෝ දෙනකු යුද හමුදා සේවයේ යෙදී සිට පලාගොස් පසුව ඉන් ඉවත් වුවෝය.

මෙලෙස අපරාධ ලෝකයට පිවිසි හිටපු යුද හමුදා සෙබලුන් අතරින් සුද්දා, රණා, රජු ඇතුළු කිහිප දෙනකු අද සිර ගෙවල්වලය. එක පිට එක මිනිසුන් මරා ගිනි අවි ද සමඟ පොලිසියට කොටුව මොවුන් සිරගතව සිටිය ද එළියේ සිටින ගෝලබාලයන් මොවුන් ගේ අවශ්‍යතා ඉටුකිරීමට සැදී පැහැදී සිටින බව නොරහසකි.

සංවිධානාත්මක අපරාධ වර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා ස්ථාපිත පොලිස් විශේෂ කාර්යය බලකා ඒකකය කරගෙන යන මෙහෙයුම්වල දී මෙවැනි පාතාල කල්ලි නායකයන්ගේ ගෝලයන් ගිනි අවි ද සමඟ කොටුවීම මේ බව දුරටත් සනාථ කර ගැනීමට ඉවහල් වී ඇත.

ඇල්පිටිය කොට්ඨාසයේ පාතාලය මර්දනය කිරීම උදෙසා මේ වන විට මෙහෙයුම් දියත් කර සිටින පොලිස් විශේෂ කාර්යය බලකා (එස්.ටී.එෆ්) ඒකකයට තොරතුරු ලබා දීමට ද බොහෝ පිරිස් එක්ව සිටීම මෙහෙයුම් සාර්ථක කර ගැනීමට දැඩි පිටිවහලක් වී ඇත.

ලැබුණු තොරතුරකට අනුව ඇල්පිටිය පොලිස් වසමට අයත් කරන්දෙණිය ප්‍රදේශයේ නිවාස දෙකක් පසුගිය හත්වැනි දා අලුයම එස්.ටී.එෆ් ඒකකය විසින් වටලනු ලැබීය.

කරන්දෙණිය මණ්ඩකන්ද ප්‍රදේශයේ නිවාස දෙකක් මෙලෙස වට කළ අතර එස්.ටී.එෆ් බලකායට ලැබී තිබුණ තොරතුර වුයේ මොවුන් දෙදෙනාම සතුව ගිනි අවි හා වෙනත් අවි ආයුධ තිබෙන බවය.

එස්.ටී.එෆ්. බලකාය මෙම නිවාස දෙකම වටලා මුලින්ම ඇතුළු වුයේ සුරේෂ් පි‍්‍රයදර්ශන යන අයගේ නිවෙසටය. ඔහු යුද හමුදාවේ හිටපු සෙබළෙකි. එස්.ටී.එෆ්. කණ්ඩායම නිවෙසට ඇතුළු වෙද්දී නිදා සිටි ඔහු මෙට්ටය යට සඟවා තිබු ගිනි අවියක් අතට ගෙන වෙඩි තැබීමට සුදානම් විය.

“සර්... මම හිතුවේ වෙන කවුරුහරි කියලා.”

එසේ කී ඔහු ගිනි අවිය පහත දැමීය. එය එංගලන්තයේ නිෂ්පාදිත මිලි මීටර් හතේ උණ්ඩ යෙදිය හැකි නවීන ගිනි අවියකි. ඔහු සතුව එම උණ්ඩ හතරක් ද තිබිණි. කටු මැටි ගසා සැදු ඔහුගේ නිවෙස තව දුරටත් පරීක්ෂා කිරීමේදී ඇඳුම් අල්මාරියක තිබී අත් බෝම්බයක් ද හමුවිය. එය ද විදේශීය රටක නිෂ්පාදිතයකි.

“සර්.... මගේ ගෙදරට මීට කලින් කවුරුහරි වෙඩිතියලා ගියා. ඒ නිසයි මමත් වෙපන් ළඟ තියාගෙන හිටියේ. මම මේ වෙපන් ගත්තේ පියල්ගෙන්. එයා රණා ගේ යාලුවෙක්.”

සුදේශ් හෙළි කළ තොරතුරුවලින් යමක් තහවුරු විය. ඒ... මොහු රණාගේ හිතවතකු හෝ ගෝලබාලයකු වන බවය. එනම් මොහු “පොඩි ලැසී” කල්ලියේ සාමාජිකයකු බවය. මොහුගේ නිවෙසට කවුරුන් හෝ වෙඩි තබා ගිය බවට මොහු ඇල්පිටිය පොලිසියේ පැමිණිල්ලක් ද කර තිබිණි. එහෙත් පරීක්ෂණවලදී හෙළි වී තිබුණේ එලෙස කිසිවෙක් මොහුගේ නිවෙසට වෙඩි තබා නොමැති බවත් ඔහු විසින්ම වෙඩි තබාගෙන බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවත්ය. යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටි මොහු දැනට කුරුඳු තලන කම්කරුවකු ලෙස රැකියාවක නිරතව සිටියේය.

එස්.ටී.එෆ්. කණ්ඩායම ඊළඟට ඇතුළු වුයේ පේ‍්‍රමතිලක යන අයගේ නිවෙසටය. තිස් තුන් හැවිරිදි විවාහකයකු වූ මොහු දෙදරු පියෙකි.

තරුණියන් පැහැරගෙන ගොස් දුෂණය කොට මරා පුලුස්සා ඇට කැබැල්ලක් හෝ සොයාගත නොහැකි ලෙස විනාශ කළ බවටත්, තවත් මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම කළ බවටත් මොහුට විරුද්ධව නඩු පැවරී තිබිණි. එහෙත්... එම නඩුවලින් මොහු නිදහස් වී ඇත. දැනට මොහුට විරුද්ධව ඇත්තේ එක් නඩුවක් පමණි.

මොහුගේ නිවෙස සෝදිසි කළ එස්.ටී.එෆ්. බලකායට මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් හමුවිය. බෝර 12 උණ්ඩ දැමිය හැකි ලෙස නිෂ්පාදිත මෙම ගිනි අවි කොටට කපා ඉණේ ගසාගෙන යා හැකි ලෙස සකසා තිබිණි. ඔහු සතුව තිබී කඩු 4ක් ද සොයාගත් අතර ඔහු ද පවසා තිබුණේ ආත්මාරක්ෂාව සඳහා මෙම ගිනි අවි ළඟ තබාගෙන සිටි බවයි.

මෙම මෙහෙයුමට දින කිහිපයකට පෙර ද කරන්දෙණිය ප්‍රදේශයේ නිවෙස් හතරක් එකවර වට කළේය. ඒ... එම නිවෙස්වල පදිංචිකරුවන් සතුව ගිනි අවි මෙන්ම කුඩු ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ද තිබෙන බවට ලැබුණු තොරතුරුවලට අනුවය.

මෙම වැටලීමට අදාළ එක් නිවෙසක පදිංචිව සිටියේ හිටපු යුද හමුදා සෙබළෙකි. ඔහුගේ නිදන කාමරයේ ඇඳයට තිබී ටී - 56 වර්ගයේ ගිනි අවියක් සොයාගත හැකිවිය. එහි මැගසිනය නොතිබු අතර එම ගිනි අවිය තමා සතු වූ අයුරු ඔහු ප්‍රශ්න කිරීමේදී හෙළි කළේය.

“මම ආමි එකේ ඉඳල ඇබ්සන් වුණා. පස්සේ 2008 අවුරුද්දේ නිත්‍යනුකූලව අයින් වෙලා සිවිල් රස්සාවක් හොයාගත්තා. ආර්.ඩී.ඒ එකේ කාපට් මැෂින් ඔපරේටර් කෙනෙක් විදියට මට ජොබ් එකක් ලැබුණා. යුද්දෙන් පස්සේ පරන්නත්වල පාරවල් හදන්න මමත් ගියා. මම බැකෝවලත් වැඩ කළා. එහෙම වැඩ කරද්දී තමයි මට පොළොවේ තිබිලා මේ වෙපන් එක හම්බ වුණේ.”

“පස්සේ මම මේක බැකෝ එකේ ඩීසල් ටැංකියේ දාලා කොළඹට අරගෙන ආවා. පස්සේ තෙල් ටැංකියෙන් වෙපන් එක අරගෙන ඇඳුම් බෑග් එකේ දාගෙන ගෙදර ගෙනවා.”

එලෙස පැවසු ඔහු තවත් තොරතුරක් හෙළි කළේය. ඒ... එස්.ටී.එෆ් බලකාය වටකළ නිවෙස් හතරින් එක් නිවෙසක අයකු තව දින කිහිපයකින් මෙම ගිනි අවිය මිල දී ගැනීමට කතිකා කරගෙන සිටි බවය.

එම පුද්ගලයාගේ නිවෙස සෝදිසි කළේ ඔහු සතුව ෂොට් ගන් දෙකක් ඇති බවට ලද තොරතුරු වලට අනුවය. එහෙත් ඔහු පවසා තිබුණේ එය මීට දින කිහිපයකට පෙර වෙනත් අයකුට ලබා දුන් බවයි.

මොහු මනුෂ්‍ය ඝාතන හතරක සැකකරුවෙකි. දැනට ඇප මත සිටින මොහු අත්අඩංගුවට ගැනීමට එස්.ටී.එෆ් ඒකකයට නොහැකි වුයේ වැටලු අවස්ථාවේ ඔහු සතුව ගිනි අවි නොතිබුණ නිසාය.

ටී - 56 සතුව හිටපු යුද හමුදා සෙබළා පැවසු තොරතුරුවලින් යම් කරුණක් සනාථ වේ. ඒ... යුද්ධය පැවති සමයේ දී උතුරින් දකුණට ගිනි අවි ආ ආකාරයයි. ඒ... බර වාහනවල ඉන්ධන ටැංකියේ සඟවාගෙන බවය.

එස්.ටී.එෆ්. ඒකකය දිගින් දිගටම ගිනි අවි සොයාගනී. අපරාධවලට සම්බන්ධව ඇප මත සිටින්න වුත් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගනී. එහෙත් එකවර මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකොට පලාගොස් තව දුරටත් බැංකු කොල්ලකමින් රට වටා භීෂණය පතුරුවන කොස්ගොඩ තාරක අල්ල ගැනීමට තවමත් කිසිවෙකුටත් හැකි වී නැත.

කොස්ගොඩ තාරක අත්අඩංගුවට නොගැනීම ගැන ඔහු ගේ වෙඩි උණ්ඩවලට බිලි වී මිය ගිය අයගේ පවුල්වල සාමාජිකයන් දැඩි අප්‍රසාදය පල කරයි. එලෙසම ඔහුගේ තර්ජන හේතුවෙන් එම පවුල්වල අය පමණක් නොව සිරගෙවල් ඇතුළේ සිටින පාතාල කල්ලි නායකයන් පවා භීතියෙන් ඇලලී ගොසිණි. එහෙත්... ඔහු තවමත් නිදැල්ලේය.