නතාලිට මොකද වුණේ?

නතාලිට මොකද වුණේ?

කැලිෆෝනියාවේ ශාන්ත හෙලේනා දූපත විනෝදකාමීන් ගෙන් පිරී ඉතිරී ගොසිනි. නතාලි සිය සැමියා රොබට් සහ මිතුරකු වන ක්‍රිස්ටෝපර් සමඟ දූපතට ආවේ ඇයත් සැමියාත් සතු සුඛෝපභෝගී කුඩා රුවල් නැවෙනුයි. රාත්‍රියේ ඔවුන් කැටලිනා දූපතට ගියේ එහි සමාජ ශාලාවකට වෙලා හොඳ හැටි විනෝද වෙන්නයි. ඒත්, රොබට් සුපුරුදු ලෙසින්ම රණ්ඩුව පටන්ගත්තා.

නතාලි හොලිවුඩ් පුරයේ කුමරිය ලෙසින් හැඳින්වුණු සුරූපී නිළියක්. රොබට් හොලිවුඩ්වල ජනපි‍්‍රය චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ක්‍රිස්ටෝපර් ජනපි‍්‍රය නළුවෙක්. නතාලි ක්‍රිස්ටෝපර් මිතු දම රොබට් ගේ ඊර්ෂ්‍යාවට හේතු වුණා. ඒ නිසා රොබට් නිතරම නතාලි හා රණ්ඩුවට ආවා.

එදාත් ඒ විදිහට දෙන්නා රණ්ඩු වුණා. හොඳට ම බමන මතින් සිටි නතාලිත් එදා ඔහු හා ඇතිතරම් රණ්ඩු වුණා. ක්‍රිස්ටෝපර් මේ දෙදෙනා දෙස බලා සිටියේ විමතියෙන්.

දෙන්නා රණ්ඩු වුණේ මුහුදේ වෙරළ කිට්ටුව නැංගුරම් ලා තිබුණු ඔවුන්ගේ යාත්‍රාවෙදියි. මුළු රෑම අඳුරුයි. මුහුදෙන් එන ශීත සුළඟ ඒ අඳුරත් සමඟ එකතුවෙලා ගෙනාවේ මූසල පරිසරයක්. ඒ එක්කම ඇහුණේ ‘තඩ්’ යනුවෙන් මුහුදට යමක් වැටෙන හඬක්. ඉන් පස්සෙ ආයිත් නිසල බව සමඟ මූසල අඳුර විතරයි.

පහුවදාට එළි වුණා. නතාලි ගේ සිරුර ඔවුන් ගේ යාත්‍රාව නැංගුරම් ලා තිබූ තැන සිට සැතපුමක් පමණ ඈතින් නොගැඹුරු මුහුදේ පා වුණා. නතාලිට මොකද වුණේ?

මේ සියල්ල වුණේ මීට වසර 37කට පෙර. එනම්, 1981 නොවැම්බර් මාසේ දිනයක යි. නතාලි ගේ සිරුරේ තිබුණේ රාත්‍රී ඇඳුමයි, මේස් සහ ඊට උඩින් ඇඳපු කෝට් එකකුයි විතරයි. ඇඟ පුරා පුංචි පුංචි සීරීම් තුවාල ගොඩාක්. නැවේ අඩි 13 ක් දිග ඩිංගි බෝට්ටුව දූපතේ වෙරළ තීරුවට ගසාගෙන ඇවිත් තිබුණා.

මේ සුරූපී හොලිවුඩ් නිළියගේ මරණය ගැන පොලිස් පරීක්‍ෂණවල අවසන් නිගමනය වුණේ අත්වැරදීමකින් ලිස්සා මුහුදට වැටී ගිලීමෙන් සිදුවූ මරණයක් බවයි.

නතාලි චිත්‍රපටවල රඟපාන්න ආවේ වයස අවුරුදු හතරේ දී විතර. ළමා නිළියක ලෙස ඉතා සාර්ථකව හොලිවුඩ් පුරය ආක්‍රමණය කළ මේ සුරූපී නිළියට ඒ සුරූපී බව හිමි වුණේ ඇගේ රුසියානු මව්පියන්ගෙන්. ඇමෙරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝවල නතාලි උපන්නත් ඔවුන් රුසියානු ජාතිකයන්. ඇයට සහෝදරියක් ද හිටියා. ඇයත් නිළියක්. කැලිෆෝනියානු නීතිය අනුව වයස අවුරුදු 18 වෙනතුරු ඉගෙනීම අනිවාර්යයි. ළමා නිළියක වූ නතාලි වැඩිපුරම ඉගෙන ගත්තෙ රංගනයේ යෙදෙද්දීම යි.

ඇගේ දක්‍ෂකමත් සුරූපී බවත් නිසා ඇයට චිත්‍රපට ලැබෙද්දී මේ ළමා නිළිය වඩ වඩාත් ජනපි‍්‍රය වුණා.

“මට උගන්වන්න ආව ගුරුවරිය මට උගන්වා යනතුරු චිත්‍රපට කණ්ඩායම පැය 3 ක් තිස්සෙ බලා ඉන්නවා. ගුරුවරිය ගිය ගමන් මම දුවගෙන යන්නේ දර්ශන තලයට යි” නතාලි පසුකලෙක ඇගේ ළමා කාලය මතක් කරමින් පැවසුවා.

වයස අවුරුදු නවය වෙද්දී නතාලි ලබන්න ඕන ඉහළම මාධ්‍ය අවධානය දිනාගෙන අවසන්. ඒ වයසෙදි ඇය වසරේ හොඳම ළමා නිළිය ලෙස තේරුණා. වයස අවුරුදු 12 දී ඇය වසරේ ළමා නිළි තරුව ලෙසට තෝරා ගැනුණා. ළමා නිළියකව සිට වයස අවුරුදු 16 දී තරුණ නිළියක බවට පත් වූ නතාලි වසරේ හොඳම සහායක නිළිය ලෙස ඇකඩමි සම්මානයට නම් කෙරුණා. චිත්‍රපටවල විතරක් නෙවෙයි 1953 – 54 වෙද්දී ඇය පුංචි තිරයත් ආක්‍රමණය කළා.

මෙලෙස වැඩිහිටි නිළියක වූ නතාලි ලෝකයේ හොඳම සම්මාන උළෙලවල හොඳම නිළි සම්මානය සඳහා ද යෝජනා වුණා. ජනපි‍්‍රය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ රොබට් වෙත නතාලි ගේ සිත ඇදුණේ ඇගේ වයස අවුරුදු 18 දී. එවිට ඔහුගේ වයස අවුරුදු 26 යි. ඉන් වසරකට පසු ඔවුන් විවාහ වුණා. මේ විවාහයට නතාලි ගේ මව දැඩිසේ විරුද්ධ වුණා.

“ඔයා මගේ සැමියා, මගේ දරුවා, මගේ ශක්තිය, මගේ දුර්වලකම ඒ වගේම මගේ ආදරය සහ මගේ ජීවිතය යි” රොබට් ට ලියූ ලිපියක නතාලි සඳහන් කළේ එලෙසයි.

මෙහෙම හිටපු දෙන්නා 1962 දී දික්කසාද වුණා. ඉන් වසර හතකට පසු නතාලි බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට නිෂ්පාදකයකු වූ රිචඩ් හා විවාහ වුණා. ඒ විවාහයෙන් පළමු දරුවා වන නතාෂා දියණිය ඉපදී වසරකට පසු නිළි නතාලි ගේ දෙවැනි විවාහයත් අවසන් වුණා.

මෙයින් පස්සෙ නතාලි ආයිත් ළං වුණේ පළමු සැමියා රොබට් වෙතටයි. ඔවුන් යළිත් විවාහ වුණේ නතාලි ගේ දෙවැනි දික්කසාදයෙන් මාස 3 කට පස්සෙයි. ඔවුන්ටත් කර්ට්නි නමින් දියණියක් ලැබුණා. රොබට් සමග විවාහය පවතිද්දීත් නතාලි තවත් නළුවන් හා ප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් ඇසුරු කළා. ඉන් අයෙක් වූයේ සුප්‍රසිද්ධ පොප් ගායක එල්විස් ප්‍රෙස්ලි යි.

1980 වෙද්දී නතාලි සාර්ථක චිත්‍රපට 48 ක පමණ රඟපා තිබුණා. ඇයට තරුණ නළුවකු වූ කි‍්‍රස්ටෝපර් මුණගැසුණේ 1980 දී. ඒ.. විද්‍යාත්මක තේමාවක් සහිත චිත්‍රපටයක රඟපාද්දීයි. ඔහු එකල ඉතා ජනපි‍්‍රය නැගී එන තරුණ නළුවෙක්. මේ දෙදෙනා ගැන හොලිවුඩ් කට කතා පැතිරෙන්න වැඩි කලක් ගත වුණේ නැහැ.

එහෙත්, ක්‍රිස්ටෝපර් ඒ හැම කතාවක් ම ප්‍රතික්ෂේප කළා. 1981 නොවැම්බර් මාසයේ 29 වැනිදා නතාලිත් රොබට් සහ ක්‍රිස්ටෝපර් ඔවුන් රඟපාන විද්‍යාත්මක චිත්‍රපටය සාර්ථකව පටිගත කිරීම සමරන්න තීරණය කළා. ඔවුන් ඒ සඳහා ගියේ කැටලිනා දූපතට යි. ඔවුන් සමඟ ඔවුන් ගමන් කළ යාත්‍රාවේ කපිතාන් හිටියා. ඔහු ඩෙනිස්. වසර ගණනාවක සිට රොබට්ට අයත් යාත්‍රාවල කපිතාන් ලෙස ඩෙනිස් සේවය කර තිබෙනවා.

රොබට් සහ නතාලි රණ්ඩු වුණේ එදා රාත්‍රියේ යි. නතාලි මිය ගිය පසු 2001 දී සිය ස්වයං චරිතාපදානය ලියූ රොබට්,

“මං නතාලි සහ ක්‍රිස්ටෝපර් ගැන හරිම ඊර්ෂ්‍යාවකින් හිටියේ” කියා ලියා තිබුණා.

එදාත් දෙදෙනා අතර රණ්ඩුවට මුල් වුණේ එයයි. රණ්ඩුව වෙලාවෙ රොබට් තරහට වයින් බෝතලයකුත් කුඩු කළා. එවිට නතාලි නැගිට නැවේ ඇගේ කාමරයට යන්න ගියා.

රොබට් සහ ක්‍රිස්ටෝපර් ඇය පසුපසින් ගියා.

මේ දෙදෙනා ගේ රණ්ඩුව නැවේ කප්පිත්තා ඩෙනිස්ටත් ඇහුණා. ඔහු කළේ රණ්ඩුව නෑහෙන්න සිය රේඩියෝවේ හඬ වැඩි කළ එකයි.

“මං මගේ කැබින් එකේ ජනේලයෙන් බලද්දි දැක්කා දෙන්නා ඩෙක් එකට වෙලා රණ්ඩු වෙනවා. ඉන් මොහොතකට පස්සෙ රොබට් මං ළඟට ආවා නතාලි පේන්න නැහැ කියාගෙන. මං බෝට්ටුව පුරා ඇය හෙව්වා. ඒත් නතාලි නැහැ

. එතකොට මං දැක්කා නැවේ ඩිංගි බෝට්ටුවත් නැහැ.” ඩෙනිස් පරීක්‍ෂණවලදී පැවසුවා.

“බෝට්ටුවේ නතාලි නැති එක රොබට් එච්චර ගණන් ගත්තෙ නැතිව මටත් වීදුරුවක් වත්කර දීලා ආයිත් බොන්න පටන් ගත්තා” ඩෙනිස් කිව්වා.

රොබට් ලියූ පොතේ ඉන්පසු සිදු වූ දේ ඔහු විස්තර කර තිබුණේ මෙහෙම යි.

“මං නතාලි හොයන්න ඇගේ කැබින් එකට ගියා. ඇය හිටියේ නැහැ. පස්සේ අපි දැනගත්තා නැවේ ඩිංගි බෝට්ටුවත් නැති බව. රණ්ඩුව නිසා නතාලි ඩිංගියේ නැගලා ගොඩට යන්න ඇති කියලා මං හිතුවා.”

ඩෙනිස් පසුව පැවසුවේ නතාලි බෝට්ටුවේ නැති බව දැනගත් රොබට් ඒ ගැන තැකීමක් නොකළ බවයි. ඒ විතරක් නොව ඇය බෝට්ටුවේ නැති බව වෙනත් කවරකුටවත් දැනුම් නොදෙන ලෙස ද රොබට් කී බව ඩෙනිස් පැවසුවා.

“ඕනෑවට වැඩිය හොයන්න ඕනෑත් නැහැ. සර්ච් ලයිට් ගහන්න ඕනැත් නැහැ. දැන්ම කාටවත් දැනුම් දෙන්න ඕනැත් නැහැ” රොබට් එළෙස කී බව ඩෙනිස් පසුව හෙළි කළා.

මේ අතර වාරයේ නතාලි ගේ සිරුර සොයාගත් පසු ඔවුන් ගේ බෝට්ටුව අසල නතර කර තිබූ තවත් බෝට්ටුවක සිටි ගැහැනියක් සාක්කි දෙමින්,

“මහ රෑ මට ඇහුණා කවුදෝ ගැහැනියක් උදව් ඉල්ලමින් කෑගහනවා. ඇය මිනිත්තු පහළොවක් විතර කෑගැහුවා. එතකොටම තවත් කවුරු හරි ‘ඔහොම ඉන්න අපි ඉක්මනටම ඔයාව ගන්නවා කියා කිව්වා”, යැයි පැවසුවා.

මේ සියල්ල සිදු වී වසර 30 කට පසු නතාලි ගේ මරණය ගැන පරීක්‍ෂණ යළිත් ආරම්භ කිරීමට ලොස්ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කළා. ඒ එදා නැවේ කපිතාන්ව සිටි ඩෙනිස් ගෙන් අලුතෙන් ලද තොරතුරක් අනුවයි.

මේ සියල්ල නතාලි රඟපෑ චිත්‍රපට කතාවක් වගෙයි. නතාලි මිය ගියේ වයස අවුරුදු 43 දීයි. පොලිසිය යළි පරීක්‍ෂණ ආරම්භ කළේ ඇගේ මරණයට සැමියා වගකිව යුතු යැයි ඩෙනිස් කළ ප්‍රකාශයක් මතයි. එදා රෑ නතාලි සොයා ගැනීමට රොබට් එතරම් උනන්දු නොවූ බව ඩෙනිස් දැන් පවසනවා. රොබට් ගේ දැන් වයස අවුරුදු 81 ක්. ඒත්

පොලිසිය තවම ඔහු සැක නොකළත් පරීක්‍ෂණ යළි ආරම්භ කරලා.

“බෝට්ටුවේ සර්ච් ලයිට් දමා නතාලි හොයන්න මට අවශ්‍ය වුණත් දැන්ම එය අවශ්‍ය නැතැයි රොබට් කිව්වා. වෙරළ ආරක්‍ෂකයන්ට සිද්ධිය දැනුම් දුන්නෙත් නතාලි අතුරුදන් වී පැය 4 කට පසුවයි. රොබට් හිතුවේ නතාලි ගොඩබිමට ගිහින් කියලා. එදා රෑ ඇය ගැන සොයපු නැති එක ගැන මං හැමදාම දුක් වුණා” ඩෙනිස් පවසනවා.

“මං එදා පොලිසියට සම්පූර්ණ ඇත්ත කිව්වේ නැහැ.”ඩෙනිස් මේ කථාවන් ප්‍රථමයෙන් හෙළි කළේ රොබට් සහ නතාලි ගේ කථාව ඇතුළත් ග්‍රන්ථය සඳහා යි.

“නතාලි වතුරට හරිම බයයි, එයා කවදාවත් ඩිංගි බෝට්ටුව අරන් තනියම යන්නෙ නැහැ” ඩෙනිස් කියනවා. රොබට් ද සිය ස්වයං චරිතාපදානයෙන් ද මේ කතා සනාථ කර තිබුණා.

“එදා එයා බේරාගන්න මුකුත් නොකළ එක ගැන මං දැන් දුක් වෙනවා. මං මුළු හදවතින්ම ආදරය කළ නතාලිට මං එහෙම කළේ ඇයි? ඒ ගැන මං මටම සමාව දෙන්නේ නැහැ” රොබට් සිය ග්‍රන්ථයේ එසේ සඳහන් කර තිබුණා. එපමණක් නොවෙයි නතාලි මුහුදට වැටී කෑගසද්දී ඒ හඬ ඇසුණු අල්ලපු බෝට්ටුවක සිටි කාන්තාවක් දුන් සාක්කිය ද එදා පොලිසිය නොසලකා හැර තිබුණා. ඒ සාක්කිය ද මෙදා සලකා බැලුණේ වසර 30 කට පසුවයි.