දෙවියන්ටත් නොපෙනුණු කපුවාගේ ඝාතනය

දෙවියන්ටත් නොපෙනුණු කපුවාගේ ඝාතනය

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ලුණුගම්වෙහෙර, දකුණු ඉවුර, කුඩාගම්මාන තුන හා ඒ අවට ගම් රැසකම තැන තැන පිහිටුවාගත් මෙවන් දේවාල බොහෝය. විවධ නම් වලින් හඳුන්වනු ලබන මේ ස්ථාන වලට පිහිට පතා එන පිරිසෙහි ද කිසිදු අඩුවක් නැත.

නොම්මර 840,කුඩාගම්මාන 03,දකුණු ඉවුර ,ලුණුගම්වෙහෙර ලිපිනයේ පදිංචි ප්‍රදීප් කුමාර සතරසිංහ 44 වියැති විවාහකයෙකි.දරුවන් දෙදෙනකුගේ පියෙකි.මිට වසර කිහිපයකට පෙර අනුරාධපුර පදවිය ප්‍රදේශයේ තරුණියක හා විවාහ වූ ඔහු ඉන් පසු තිස්සමහාරාම කුඩාගම්මාන 03 සිය නිවෙසේ පදිංචිව යුග දිවිය ගෙවීය. කාලයත් සමඟින් මේ දෙදෙනාට දරුවන් දෙදෙනකු බිහි වුහ. කෙසේ වෙතත් ඉතා සතුටින් පවුල් කෑ මොවුන්ගේ ජීවිතවලට කණ කොකා හඬන්නට පටන් ගත්තේ කිසිවකුත් නොසිතූ ලෙසය. එහි අවසන් ප්‍රතිඵලය වුයේ දෙදෙනාගේ යුගදිවිය නිමා වීමය. දෙදෙනා අතර අඩදබර දිගින් දිගටම වැඩි විමත් සමඟ ප්‍රදිප් කුමාරගේ බිරිය සිය සැමියා හා දරු දෙදෙනාද අතහැර ගාල්ල ප්‍රදේශයට ගොස් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වුවාය. දරු දෙදෙනාද සිය නිවෙස අතහැර අත්තම්මාගේ නිවෙසට වී කල් ගත කරන්නට පුරුදු වුහ.

බිරිය නිවෙස අතහැර ගිය පසු දරු දෙදෙනාද ් සමඟ ජිවත් වීමට යාම නිසා ප්‍රදීප් කුමාර ලුණුගම් වෙහෙර නිවෙසේ තනි විය. මෙලෙස තනි වු ප්‍රදිප් කුමාරගේ දුක සැප සොයා බැලීම සඳහා ඔහුගේ මව නිතර නිතර නිවෙසට ඇවිත් ගියාය. මේ අතරවාරයේ නිවෙසේ තනිව සිටි ප්‍රදීප් තමාට දේව වරමක් ලැබුණු බවත් දෙවියන් හා එක්ව අහිංසක මිනිසුන්ට ඉන් සහනයක් ලබා දිය හැකි බවත් සිය මව සමඟ පවසා තිබිණි. එහෙත් මව ඊට එරෙහි වීම නිසා ප්‍රදීප් කුමාර කතරගම ඇතුලු විවිධ ප්‍රදේශවල දේවාල වලට ගොස් පුද පුජා පවත්වමින් කාලය ගත කර ඇත. ඉන් සෑහිමකට පත් නොවුණු ඔහු අවසානයේ තමන් පදිංචිව සිටින නිවෙසේ සිටම දේව ආරූඪයෙන් විවිධ ශාන්ති කර්ම කිරිමට කටයුතු කළේය. මේ ගම්මානයේ තැන තැන දේවාල එමට පිහිටා තිබුණි. ප්‍රදීප් කුමාරගේ දේවාලය ප්‍රසිද්ධ වුයේ දරු පල නොමැති කාන්තාවන් සඳහා දරුපල ලබා දෙන්නට කදිම වු හාස්කම් ඇති ස්ථානයක් ලෙසය. දරුවන් නොමැති කාන්තාවන් දේව බලයෙන් පරීක්ෂා කර බලන ප්‍රදිප් කුමාර කපුවා කිසිදු මුදලක් අපේක්ෂාවකින් තොරව ඔවුන්ගේ ගැටලුව ට පිළිතුරක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රදේශය පුරා පැතිර ගියේය.

වසර දෙකහමාරක පමණ කාලයක් තිස්තුන්කෝටියක් දෙවියන් වෙනුවෙන් සිය නිවෙසේ පුද පුජා පවත්වමින් හා පහන් පත්තු කරමින් සිටි ප්‍රදීප් කුමාර කපුවා නොසිතූ අයුරින් පසුගිය 04 වන දින රාතී‍්‍ර 09.30ට පමණ සිය දේවාලය තුළම මරා දමා තිබුණේ කවුරුත් විශ්මයට පත් කරමින්ය.

නිදහස් දිනය දා රාත්‍රී සියල්ලෝම නිවෙස් වලට වී සිටි මොහොතක ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති දිසානායක මහතාගේ පුද්ගලික දුරකතනයට රාත්‍රී 9.30ට පමණ ආ ඇමතුමෙන් කියවුණේ කුඩාගම්මාන 03 හි පදිංචි කපු මහතකු දේවාලය තුළම මරා දමා ඇති බවත් ඔහු රෝහලට රැගෙන යාමට වාහනයක් ද නොමැති බවත්ය. ඒ අනුව වහා කි‍්‍රයාත්මක වු ස්ථානාධිපතිවරයා සිය නිල රථයෙන් සිද්ධිය වු ස්ථානයට පිටත්ව ගියේය.ඒ යන අවස්ථාව වන විට අසල්වැසියන් තී‍්‍රරෝද රථයකින් තුවාල ලබා සිටි ප්‍රදීප් කුමාර ලුණුගම්වෙහෙර රෝහලට රැගෙන යමින් සිටියේය.

ස්ථානාධිපති වරයා ඇතුළු කණ්ඩායම සිද්ධිය වු ස්ථානයට ගියේ ඉන් පසුවය. එහි ගිය පොලිස් කණ්ඩායමට සිදුව ඇති දේ පිළිබඳ ප්‍රශ්න රැසක් මතු විය. ඒ අනුව මේ අපරාධය කුමක් උදෙසා සිදු කළේද යන්න දැන ගැනීම සඳහා පොලිස් පරික්ෂණ ආරම්භ කෙරිණි. මිය ගිය පුද්ගලයා වැටී සිටි ස්ථානය එකම ලේ විලක් බවට පත්ව තිබු අතර ඒ අසල ත්‍රිශුලයක් ද වැටී තිබෙනු නිරීක්ෂණය විය. මේ පිළිබඳ කරුණු විමසීමේ දී අසල්වැසියකු පැවසුවේ මේ සිදුවිම වු අවස්ථාවේ කළු පැහැති කැබ් රථයක් මේ ස්ථානයේ තිබි විදුලි වේගයෙන් යනු දුටු බවය. මියගිය පුද්ගලයා වැටී සිටියේ නිරුවතිනි. මිට දින කිහිපයකට පෙරද මේ ස්ථානයට කන්නලව්වක් සඳහා කැබ් රථයකින් පුද්ගලයන් කිහිප දෙනකු පැමිණ ඇති බවද ගම්මුන් ද නිලධාරීන් හමුවේ පැවසීය.

එසේ නම් මේ මරණය සිදු වු අවස්ථාව වන විට මේ ස්ථානයේ තිබී ඉගිල ගියේ එම කැබ් රථයද? නැතිනම් වෙනත් එකක්ද යන්න පොලීසියට ලිහාගත යුතු ගැටලුවක් විය.

මියගිය පුද්ගලයාගේ දුරකතනය පිළිබඳ විස්තර වාර්තාවක් ද පොලීසිය ලබා ගැනිමට කටයුතු කර තිබුණේ මේ සිදුවීමේ අගමුල සොයා ගැනීම සඳහාය.

මෙම ඝාතනයෙන් පසු ගම්මුන් පවසන්නේ මෙවන් කතාවකි.

“මේ පැත්තේ විතරක් නෙමෙයි අවට තියෙන අනිත් ගම් වලත් විවිධ අය දේව වරම් තියෙනවා කියමින් ගෙවල් ඇතුලේ දේවාල පවත්වාගෙන යනවා. දේවාල පවත්වාගෙන යන මුවාවෙන් ඇතැම් අය නම් කරන්නේ දේව පිහිට බලාගෙන මේ ස්ථාන වලට එන කාන්තාවන්ට අතවර කරන එකයි. මේවට ඇවිත් කරදරයට පත්වෙන කාන්තාවන් ලැජ්ජාවට හා දෙවියන්ට ඇති බය නිසාම තමන්ට අත්විඳීමට සිදු වන දේවල් වෙනත් අය සමඟ කියන්නේ නෑ.බොහෝ වෙලාවට මේ දේවාල ඇතුලේ පුද පුජා කන්නලව් සිදු කරන කපුවන් ඒවා කරන්නේ දේවාලය තුළ කිසිවතුටත් නොපෙනෙන ලෙසයි. ළමයි නැති කාන්තාවක් ළමයෙක් බලාපොරොත්තුවෙන් මේ ස්ථානවලට ආවට පස්සේ ගොඩක් කපුවන් කියන්නේ ඇඟේ විෂ ඇති නිසා ළමයි නොලැබෙන බවත්, ඒ නිසා ඇඟේ තියෙන විෂ අයින් කිරිමට දෙහි කැපිය යුතු බව තමයි. ඉන් පස්සේ කපුවා දෙන දිනයක් වෙලාවක් අනුව අදාල කාන්තාව හා පවුලේ අය කිහිප දෙනකු දේවාලයට පැමිණෙනවා. නමුත් මේ කපුවෝ දෙහි කපන්න ඕන කාන්තාව දේවාලයට කැඳවලා අනිත් අයට ඉන් පිටතට වි ඉන්න කියනවා. ඉතින් ඇතුලේ කපුවා ලෙඩේට දෙහි කපනවද නැත්නම් වෙන මොනවා හරි කරනවාද කියලා දන්නේ දෙවියන්ම තමයි”

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිසියට මේ සිදුවීම සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි රැසක් හමුවී ඇත. පොලීසිය ඒ ඔස්සේ පරික්ෂණ දියත් කර තිබේ. දේව හාස්කමින් දේව කන්නලව් වැඩ කළ කපුවා මැරී වැටී සිටියේ නිරුවතින් වීම සියල්ලන්ටම ගැටලුවක් වී තිබේ. ඒ නිරුවතින් සිට කළ දේව කන්නලව් වැඩේ කුමක් ද යන්නය. මේ සිදුවිමත් සමඟින් ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. “මේ තරම් දියණු යුගයක මිනිස්සු දේවාල කෝවිල් පසු පස යාම පුදුමයට කරුණක්. මෙච්චර දියුණු වෛද්‍ය විද්‍යාවක් තිබියදී එක සැරේටම දේව ආරූඪයක් ආ බව කියන පුද්ගලයකු මේවා කොහොම කරන්නද. ඒ නිසා ජනතාවගෙන් මම ඉල්ලන්නේ මේ වගේ තැන්වලට ගිහින් අමාරුවේ වැටෙන්න එපා කියලායි.”

මියගිය ප්‍රදිප් කුමාර ගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය තිස්සමහාරාම වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමේන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට යොමු කෙරුණි.

හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතාගේ උපදෙස් මත ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති එච්.පී.දිසානායක අපරාධ අංශයේ ස්ථානාධිපති මුනිදාස, සැරයන් වරුන් වන (2205)චන්දන,(56701) ප්‍රේමදාස, කොස්තාපල් (35324)රංජිත් යන නිලධාරීහු පරීක්ෂණ වලට එක්ව සිටියහ.