බිරියයි නැන්දම්මයි මැරූ ඝාතකයා පොලිසියට කොටුවෙයි

බිරියයි නැන්දම්මයි මැරූ ඝාතකයා පොලිසියට කොටුවෙයි

“අම්මේ.... බලන්නකෝ.... හරි ප්‍රශ්නයක් නේ.... අද දනුෂ්ක මගේ වැඩපල ළඟට ඇවිත් මාත් එක්ක පැටලෙන්න හැදුවනේ. මම හෙමීටම එතැනින් මාරු වෙලා අරයගේ බයික් එකෙන් ගෙදර ආවා.”

“ආ.... එයා කොහොමද එහෙම කරන්නේ. පොලිසි ගිහින් පැමිණිල්ක් වත් දාන්න වෙනවා. එයා ඔයාගේ පස්සෙන් එන එක නවත්තලා දෙන්න කියලා.”

පෝද්දල පොලිස් වසමේ දරේකන්ද කීඹිඇළ ප්‍රදේශයේ පදිංචි සන්ධ්‍යා රෝහිණී නම් වූ මවත් තක්ෂිලා දුලාංජලී නම් වූ දියණියත් අතර මෙම සංවාදය ඇති වුයේ පසුගිය හය වැනිදා රාත්‍රියේදීය.

මේ සංවාදය එක් පුද්ගලයකු හොර රහසේ අසාගෙන සිටියේය. ඔහු දනුෂ්කය. එනම්... දුලාංජලී ගේ සැමියා ය. මීට හෝරාවකට එක හමාරකට පමණ පෙර වූ එම සිද්ධිය ඔහුට මතක් විය. දුලාංජලී සේවය කරන සුපිරිවෙළඳ සැල අසලට ගොස් ඇය හමු වූ අවස්ථාවේ ඇය හැසිරුණු අයුරුත් පසුව වෙළෙඳසල ඇතුලට ගිය ඇය අතුරුදන් වූ අයුරුත්ය. ඇය... මව සමඟ පවසා සිටියේ තමා මඟ හැර ඇය අනියම් පෙම්වතා ගේ යතුරුපැදියේ නැඟී නිවෙසට ආ බවය.

සිය බිරියත් නැන්දම්මා එක්ව තමාට එරෙහිව කුමන්ත්‍රණය කරන අයුරු සහ සුද්දයෙන් අසා දැනගත් දනුෂ්ක ගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේය. කළ යුත්තේ කුමක්දැයි ඔහු ක්ෂණිකව තීරණය කළ ඔහු නිවෙස පිටුපසට ගොස් පොල් උල (එය යකඩ අලවංගුවකි) අතට ගත්තේය. ඒ... පිටුපස දොරෙන් ඇතුලුවීමට සිතාගෙනය. එහෙත්... ඒ සැනින් මුලුතැන්ගෙයි දොර විවර විය. එවිට ඔහු දුටුවේ නැන්දම්මා දොර අසල සිටින අයුරුය. බෑණා දුටු ඇය ආපසු හැරී නිවෙස ඇතුළට යාමට උත්සාහ කළාය. එහෙත් ඇය පසු පස ගිය ඔහු සිය අත වූ පොල් උලෙන් නැන්දම්මා ගේ හිසට වැරෙන් පහරක් එල්ල කළේය.

එම පහරට වැඩි සද්ද බද්දයක් නොකොටම ඇය බිම ඇද වැටිණි. මුලුතැන්ගෙය දෙසින් ඇසුණු අමුතු ශබ්දය කුමක්දැයි බැලීමට දුලාංජලී ඒ දෙසට පැමිණියාය. අත වූ පොල් උලෙන් ඇයගේ හිසට ද දනුෂ්ක වැරෙන් පහරක් එල්ල විය. එම පහර කාගෙන ඇය සිය මවගේ සිරුර මත ඇද වැටෙද්දී ඇයගේ හිසට එක පිට එක පහර විස්සක් පමණ එල්ල කළ දනුෂ්ක එම ස්ථානයෙන් පලා ගියේය.

රෝහිණීලාගේ නිවෙස දෙසින් අමුතු ශබ්දයක් ඇසුණු උඩහ ගෙදර පදිංචි අය ඒ ශබ්දය කුමක්දැයි බැලීමට පැමිණියේය. එවිට ඔහු දුටුවේ මවත් දුවත් ලේ විලක් මත වැතිර සිටින අයුරුය.

දුටු දෙයින් කලබලයට පත් ඔහු කෑ ගසන්නට වූ අතර අහල පහළ අය පැමිණ මවත් දුවත් කරාපිටිය රෝහලට පිටත්කර යැවීමට කටයුතු කළහ.

මෙම ද්විත්ව ඝාතනය පිළිබඳ පෝද්දල පොලිසියට තොරතුරු ලැබෙන්නේ 119 පණිවුඩයක් ලෙසටය. රාත්‍රී දහයයි හතළිස්පහට ලැබුණු එම පණිවුඩයෙන් කියා සිටියේ දරේකන්ද කීඹිඇළ ප්‍රදේශයේ නිවෙසක සිදු වූ පහර දීමකින් දෙදෙනකු වැටී සිටින බවය.

තොරතුර ලද වහාම කණ්ඩායමක් එම නිවෙස බලා පිටත්ව ගිය අතර ඒ වන විට තුවාල ලැබු දෙදෙනා රෝහලට රැගෙන ගොස් තිබිණි.

රෝහල් පොලිසිය පෝද්දල පොලිසියට දන්වා සිටියේ තුවාල ලබා රෝහලට රැගෙන ආ දෙදෙනා ඇතළත් කරන විට ද මිය ගොස් සිටි බවය.

පොලිසිය යන විට අසල්වැසියන් එම නිවෙස අසලට එක් රොක්ව සිටියේය. නිවෙසට ඇතුලු වූ පොලිස් කණ්ඩායමට මුලුතැන්ගෙයි ශිතකරණය අසල රුධිර දහරාවක් ගලාගොස් ඇති අයුරු දැකගත හැකිවිය.

මේ අතර මෙම ද්විත්ව ඝාතනය සිදුකොට පලාගිය දනුෂ්ක සොයා පොලිසිය මෙහෙයුම් දියත් කළේය.

ඊට පසුදින සවස පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේ පෝද්දල, බලගොඩ හන්දිය ප්‍රදේශයේදීය. ප්‍රශ්න කිරීමේ දී ඔහු මීට වසර පෙර ඉතිහාස කතාවක් හෙළි කළේය.

එම තොරතුරු වලට අනුව දනුෂ්ක මුලින්ම ඇසුරක් ඇති කරගන්නේ සන්ධ්‍යා රෝහිනී සමඟය. එනම් දුලාංජලීගේ මව සමඟය. ඒ... මිස් කෝල් එකක් මුල් කරගෙනය. දනුෂ්ක හබරාදුව තල්පේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. රෝහිණි පෝද්දල, කීඹිඇළ ප්‍රදේශයේය. ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධයක් ඇතිකර ගත් මේ දෙදෙනා වසර දෙකකට ආසන්න කාලයක් ඇසුර පවත්වාගෙන ගියහ.

ඉඩ ලද සෑම මොහොතකම ඇය ඔහු හා ජංගම දුරකථනයෙන් කතා බහ කිරීමට වගබලා ගත්තාය. එහෙත්... ඔහු පවසන්නේ එලෙස දුරකථනයෙන් සම්බන්ධය පවත්වාගෙන ගිය මුත් ඇය හා ලිංගික සබඳතා නොපැවැත් වු බවයි.

“මමයි එයයි ෆෝන් එකෙන් කතා බහ කරන අතරතුරේ එයා දවසක් මට අමුතු කතාවක් කිව්වා. එයාගේ අක්කගේ දුවෙක් ඉන්නවා ඕන නම් කතා කරලා දෙන්නම් කියලා. එහෙම කියලා එයා ගෑනු ළමයෙකුට ෆෝන් එක දුන්නා.”

රෝහිණි එලෙස අක්කාගේ දියණිය යැයි කියමින් ජංගම දුරකථන පෙම්වතාට හඳුන්වා දෙන්නේ තමාගේම දියණිය වන දුලාන්ජලීය.

ඒ වන විට ඇය වයස අවුරුදු දාසයක පමණ දැරියක වුවාය.

ඇය හා කතා බහට එක් වූ දනුෂ්ක එම කතා බහ පෙම් සබඳතාවක් දක්වා ගෙන ගියේය. අනතුරුව මේ සබඳතාව විවාහයක් දක්වාම දුර දිග ගියේය.

ජල නළ වෑද්දුම් කරුවකු වූ දනුෂ්ක බාල වයස්කාරියක වූ දුලාංජලී විවාහ කර ගත්තේ මීට වසර හතකට පමණ ඉහතදීය. විවාහයෙන් අනතුරුව ඔහු හබරාදුවේ පිහිටි නිවෙසට ඇය කැන්දාගෙන ගිය අතර ටික කලක් ගතවන තුරු දෙදෙනාගේ දීගය හැලහැප්පීම් වලින් තොරව පැවතිණි.

ඒ කාලය අතරතුර දී ඇය මවු පදවිය ද ලැබුයේ පිරිමි දරුවකු මෙලොවට බිහි කරමිනි. මෙලෙස කාලය ගෙවී යද්දී දනුෂ්ක සහ දුලාංජලී අතර ආරවුල් හට ගන්නට පටන් ගත්තේය. ඊට මුල් වූ එක් කරුණක් වුයේ දනුෂ්ක රත්ගම පැත්තේ කාන්තාවක සමඟ අනියම් ඇසුරකට පැටලී සිටීමයි.

ඒ අතරතුර දුලාංජලී ද පෙම්වතකු සොයාගෙන තිබිණි. දෙදෙනාට දෙදෙනකු හොර රහසේ අනියම් ඇසුරුවල පැටලී සිටිමින්,එකිනෙකාට චෝදනා කරන්නට වුයේ අනියම් ඇසුරු ගැන චෝදනා කරමිනි. එනම් දෙන්නාට දෙන්නා සුදනන් වෙමින් දෙදෙනාට චෝදනා එල්ල කරගත්හ.

මෙම ආරවුලේ එක් කඩඉමක් වුයේ දරුවා ද රැගෙන දුලාංජලී පෝද්දල පිහිටි සිය මහගෙදරට යාමය. ඇය පසුපස එල්ලී දනුෂ්ක ද ඇයගේ මහ ගෙදරට ගිය අතර ගැටුම් මැද්දේ දෙදෙනා කල් ගෙවුයේ අනියම් පේ‍්‍රමවල පහස විඳිමිනි.

ඒ අතරතුර දුලාංජලී සුපිරි වෙළෙඳසලක රැකියාවක් සොයා ගත්තාය. ඒ... දරුවාටත් තමාටත් ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොවු බව කියමිනි. එහෙත්... දනුෂ්ක පවසන්නේ බිරියගේ හා දරුවාගේ වියදම් සඳහා තමා සතියකට රුපියල් හයදහස බැගින් ලබා දුන් බවයි.

“මම ගෙදරට එනවට එයාවත් නැන්දම්මා වත් කැමති වුණේ නෑ. එදා... එයා මට කෝල් කරලා හවසට එයා වැඩකරන ෆ්‍රඩ්සිටි එක ළඟට එන්න කියලා කිව්වා. කියපු වෙලාවට මම ගියා. එයා එළියට ඇවිත් ඇයි ආවේ කියලා මට දොස් කියන්න පටන් ගත්තා. එන්න කියලා ආවට පස්සේ ඇයි ආවේ කියලා බනීද්දී මට තරහ ගියා. අපි අතර බහින්බස් වීමක් ඇති වුණා.”

“ඒ වෙලාවේ මගේ දිහා අමුතු විදිහට බලාගෙන කොල්ලෙක් එහාට ගියා. ඒ එක්කම දුලාංජලී ෆුඩ්සිටිය ඇතුළට ගියා. එයා ආපහු එයි කියලා මම බලාගෙන හිටියා. ඒ වුණාට එයා ආවේ නෑ.පස්සේ මම ඇතුළට ගිහින් එයා කෝ කියලා ඇහුවම එයා ගෙදර ගියා කිව්වා.”

“පස්සේ මම ඉක්මනට බස් හොල්ට් එකට ගියා. එයා ඉන්නවා ඇති කියලා හිතාගෙන ගියාට එයා හිටියේ නෑ. ඒ ඉක්මනට එයා කොහේද ගියේ, කොහොමද ගියේ කියලා මට සැකයක් ආවා. මම වාහනයකින් එයාලගේ ගෙදරට ගියා. ඒ යද්දී කළුවර වැටිලා තිබුණේ.”

“මම සද්ද නැනිව ගේ ළඟට ගිහින් හැංගිලා හිටියා. මොනවද වෙන්නේ, ගෙදර කවුද ඉන්නේ, මොනවද කතා කරන්නේ කියලා මම අහගෙන හිටියා. ඒ වෙලාවේ දුලාංජලියි, එයාගේ අම්මයි ටිකක් හයියෙන් කතා කරනවා මට ඇහුණා.”

“හවස මම එයා වැඩ කරන ෆුඩ්සිටිය ළඟට ගියපු කතාව දුලාංජලී අම්මට කිව්වා. ඒත්.... ම එතනට ගියේ එයා එන්න කියලා කියපු නිසා. ඒත්... එයා අම්මා එක්ක කිව්වේ මම බලෙන් එතැනට ආවා කියලා.”

“මම ෆුඩ්සිටිය එළියේ ඉන්දෙද්දී එයා ඇතුළට ගිහින් පිටිපස්ස දොරොන් එළියට ගිහින්. එතන ඉඳලා එයා ගෙදර ගිහින් තිබුණේ හොර මිනිහා එකක් උගේ බයික් එකෙන්. ඒක මම දැනගත්තේ එයාගේම කටින්. එයා කිසි ලැජ්ජාවක් බයක් නැතුව හොර මිනිහා එක්ක බයික් එකේ ගෙදර ආව කතාව එයාගේ අම්මා එක්ක කිව්වා.”

“අම්මා ඒ සම්බන්ධයට කැමති ඇති. එයාටත් ඕන වෙලා තිබුණේ මාව එයාලගේ පවුලෙන් අයින් කරලා දාන්න වෙන්න ඇති. එයා දුවට අවවාද කරනවා වෙනුවට කිව්වේ මේක හරිම කරදරයක් නේ. පොලිසියට වත් ගිහින් ඇන්ට්‍රියක් දාලා මෙයාව පැත්තකට කරන්න බලමු කියලා.”

ඒ කතාව ඇහෙද්දී මට හොඳටම තරහ ගියා. මුං දෙන්නවම මරල දාන්න ඕන කියලා මට හිතුණා. එහෙම හිතාගෙන ගෙයි පිටිපස්සට යද්දී මගේ අතට අහුවුණේ පොල් උල. ඒක අතට අරගෙන කුස්සියේ දොර ළඟට යද්දී මම නොහිතපු විදියට දොර ඇරගෙන නැන්දම්මා එළියට එන්න ආවා.”

“මම පොල් උලත් අරගෙන කුස්සියට ගොඩවෙලා පොල් උලෙන් නැන්දම්මගේ ඔළුවට තදින් පාරක් ගැහුවා. ඒ පාරට එයා බිම ඇදගෙන වැටුණා. ඒ එක්කම දුලාංජලී එතැනට ආවා. එයාටත් ඔළුවටම ගැහුවා. එයා අම්මගේ ඇඟ උඩ වැටුණා. ඊළඟට මම තරහ ඉවරවෙනතුරුම එයාගේ ඔළුවට පොල් උලෙන් ගහගෙන ගහගෙන ගියා.”

“දෙන්නම එතනම මැරෙන්න ඇති කියලා මම පොල් උලත් අරගෙන ගෙදරින් පිටවෙලා ගියා. යන ගමන් පොල් උල ඇළට දාලා හැංගිලා හිටියා.

ඔහු කළ පාපොච්චාරණයෙන් අනතුරුව ඇළට විසි කර තිබූ පොල් උල සොයා ගැනීමට පොලිසියට හැකි විය.

මෙලෙස ඝාතනය වූ සන්ධ්‍යා රෝහිණී වයස අවුරුදු හතළිස් හයක් වූ දරුවන් කිහිප දෙනෙකු සිටින මවකි. බාලම දරුවාගේ වයස අවුරුදු හතකි. ඇයගේ දියණිය දුලාංජලී තක්ෂිලාගේ වයස අවුරුදු විසි හතරකි. ඇයගේ දරුවාගේ වයස අවුරුදු පහකි.

මෙම සිද්ධිය වනවිට රෝහිණිගේ සැමියා එනම් දුලාංජලී ගේ පියා නිවසේ සිට නැත. ගොවියකු වූ ඔහු රාත්‍රියේ කුඹුරට එන ඌරන් එලවා දැමීම සඳහා ගොස් තිබූ අතර මෙම ද්විත්ව ඝාතනය සිදුවන විට එම නිවෙසේ සිට ඇත්තේ මිය ගිය මවත් දියණියත් පමණි.

දුලාංජලී ගේ පියා පවසන පරිදි දුලාංජලී හා දනුෂ්ක විවාහ වී වසර හතක පමණ කාලයක් ගෙවී ගොසිනි. පසුව දුලාංජලී දරුවා ද සමඟ දරේකන්ද නිවෙසට පැමිණ කල් ගෙවා ඇත. ඔවුන් මෙම නිවෙසට කැඳවාගෙන එන්නේ ඇයගේ පියා විසිනි. ඒ .... දෙදෙනා අතර ඇති වූ පවුල් ආරවුල් නිසාය.

පසුව දරුවා මොන්ටිසෝරි ගොස් ඇත්තේ ද දුලාංජලීගේ මහ ගෙදර සිටය. එහෙත්... දනුෂ්ක කිහිප වතාවක්ම පැමිණ බිරියත් දරුවාත් හබරාදුවේ නිවෙසට කැඳවාගෙන යාමට උත්සාහ කර ඇතත් ඇය ඊට එකඟ වී නොතිබිණි.

මෙම ගැටුම් වලින් අනතුරුව මාස හතරක පමණ කාලයක් දනුෂ්ක දරේකන්ද නිවෙසට පැමිණ නොතිබිණි. දනුෂ්ක මෙම ද්විත්ව ඝාතනය සිදු කරන්නේ එලෙස පවුල් ආරවුල් පවතින අතරතුෙර්ය.

අත්අඩංගුවට පත් දනුෂ්ක රක්ෂිත බන්ධනාගාර ගත කළේය. පොද්දල පොලිසියේ ස්ථානාධිපති නාලක මාගෙදරගම ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති කේමසිරි උප පරික්ෂක වීරසිංහ සැරයන් 14803 ජයවර්ධන කොස්තාපල්වරුන් වන 41341 පේ‍්‍රමවර්ධන 91644 සංජීව පරීක්ෂණ සඳහා එක්වූහ.