බිම කියලා හිතලා දරුවා ළිඳට දාලා

දරු සෙනෙහස යනු මවකගේ ලේ ඇට මස් නහර විනිවිද නැගෙන මහමෙර තරම් වූ මාතෘ දයාවේ නොසිඳෙන උල්පතයි. ඒ සෙනෙහසේ අරුමය තවත් සුවඳවත් කළේ ළමැදේ එරුණු කිරි උල්පත්ය. ගත පුරා දිවූ රුහිරු බිඳු, ධවල පැහැ කිරි බිඳක් වී කිරි කැටි දෙතොළඟ කුසගිනි සනහාලුයේ ඒ මවු සෙනෙහසේ අනුහසිනි.

ඒ තරම් ආනුභාවයෙන් යුතු දරු සෙනෙහස, දෝතින් ඔසවා අගලකට විසිකර දැමීමට තරම් කුරිරු වූ මවකට ලොව සැබෑ මවුවරුන්ට උරුම වූ ගරුත්වය කිසිදා ලැබීය හැකිද? තම කුසින් වදා තුරුළේ හොවාගෙන ලේ කිරි කර පෙවූ මවකට දරුවකු තරම් වටිනා වස්තුවක් තවත් තියෙන්නට බැරිය. එහෙත් ඒ අගනා වස්තුව තමන්ගේම අතින් සුනුවිසනු කර දමන්නට ඇයට සිතුණේ කිනම් පවකින්ද?

ඒ ඉකුත් පෙබරවාරි මස පළමුවැනිදාය. නාඳුනන පුද්ගලයකු කරන්දෙණිය පොලිසියට දුරකථන ඇමතුමක් දෙමින් තොරතුරක් දැනුම් දෙන්නට විය.

“සර්... පොඩි ළමයෙක් ළිඳට දාලා....”

“කොහේද”

“කොටවෙල පැත්තේ...”

තොරතුර ලබාගත් පොලිස් නිලධාරියා මේ බව කරන්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නේය.

“කොහේද තැන කිව්වේ...”

“කොටවෙල කුරුලු කන්ද පැත්තේ කියලයි සර් කිව්වේ”

ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් සමඟ සිද්ධිය වී ඇති බව කියන කොටවෙල ප්‍රදේශයට යන්නට ලක ලෑස්ති විය. ඒ සමඟම ස්ථානාධිපතිවරයාට තවත් ඇමතුමක් ලැබිණි. ඒ ඇල්පිටිය රෝහලෙනි.

“ළිඳට දාපු පොඩි ළමයෙක් ස්පිරිතාලෙට ැතුළු කරලා තියෙනවා. ළමයාගේ තත්ත්වය බරපතළයි.”

එම තොරතුරු ලබාගත් ස්ථානාධිපතිවරයා මුලින්ම ගියේ සිද්ධිය වූ කොටවෙල ප්‍රදේශයටය. එතැන දෙතුන් දෙනකු රැඳී සිටි අතර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස උප පොලිස් පරීක්ෂක අතුකෝරාලට නියෝග කළ ස්ථානාධිපතිවරයා ඊළඟට ගියේ ඇල්පිටිය රෝහලටය. එහෙත් ඒ වන විටත් දරුවා ගිලන් රථයකින් කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබිණි. ඒ.... දරුවාගේ තත්ත්වය එතරම් හොඳ නැති නිසාය. දරුවා රෝහලට රැගෙන පැමිණියේ කව්දැයි සොයද්දී හීන්දෑරි කාන්තාවක ස්ථානාධිපතිවරයාට මුණ ගැසිණි. ඒ දරුවාගේ මව මුතුමාලිය.

“තමුන් ද දරුවගේ අම්මා”

ඇය හිස සලා “ ඔව් ” කීවාය. දරුවා ළිඳට දමා ඇත්තේ ඇය බව එතැන සිටි දෙතුන් දෙනකු කීවද ඇය ඒ වගක් පිළිගත්තේ නැත.

ස්ථානාධිපතිවරයා සිද්ධිය වහා කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයා වෙත දැනුම් දුන්නේය.

“සර්.. ළමයා ළිඳට දාපු අම්මා ඉන්නවා. ළමයා ඇල්පිටියෙන් කරාපිටියට අරන් ගිහින්. ළමයා අරාගෙන ගිහින් තියෙන්නෙත් නැන්දා. අම්මා ගිහින් නැහැ. අමිමගේ ඇහේ කඳුළක්වත් නැහැ.”

“ඉක්මනට අම්මගෙන් ප්‍රශ්න කරන්න.” පොලිස් අධිකාරිවරයා උපදෙස් දුන්නේය.

එතැන සිටි නිලධාරියකු ඇමතූ ස්ථානාධිපතිවරයා දරුවාගේ මව දුන්නේය. පොලිසියට රැගෙන එන ලෙසට උපදෙස් දුන්නේය. ඒ අනුව මුතුමාලි පොලිසිය වෙත ගියාය. ඇය ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිටියාය.

“මොකක්ද වුණේ”

“අඳුනන්නේ නැති කෙනෙක් ඇවිත් මගේ අතේ හිටිය දරුවා අරන් ළිඳට දැම්මා.”

ඇය කිසි ගාණක් නැතිව කීවාය. ස්ථානාධිපතිවරයා ඇගෙන් තවදුරටත් ප්‍රශ්න කළේය. එහෙත් ඇය දිගින් දිගටම කීවේ කවුදෝ පුද්ගලයකු දරුවා ළිඳට දැමූ බව පමණි. ස්ථානාධිපතිවරයා ඇගේ කතාව විශ්වාස කළේ නැත. කිසිවකු තම දරුවා ළිඳට දැම්මේ නම් මවකට මෙලෙස දරාගෙන සිටිය හැකිද? ඇසේ කඳුළක් වත් නැතිව ඇය මනස වියවුල්ව බියපත්ව ඇතැයි සිතූ ස්ථානාධිපතිවරයා වහා උප පොලිස් පරීක්ෂක චම්පිකා කැඳවා සුලෝචනා සමඟ ගොස් මුතුමාලිගේ මනස නිරවුල් කිරීමට හැකි දේ කරන්නැයි උපදෙස් දුන්නේය.

ඉන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇය සමඟ පොලිසියට පැමිණි දෙතුන් දෙනෙකුගෙන් ද මේ සම්බන්ධයෙන් විමසුවේය.

“කවුද ඔය හඳුනන්නේ නැති කෙනෙක් ආව කියන්නේ”

“ඒ බොරු සර්. එහෙම කවුරුත් ආවේ නැහැ. එහෙම ආවා නම් අපි දකිනවානේ. ඔය ගෑනු කෙනා කියන්නේ අමූලික බොරු මේක කළේ ඕකිම තමයි සර්...”

මේ අතර මුතුමාලි සිය කාමරයට රැගෙන ගිය උප පරීක්ෂක චම්පිකා ඇයට බනිස් හා උණු තේ කෝප්පයකින් ද සංග්‍රහ කොට ඇය සමඟ සුහද වූවාය. ඉන් අනතුරුව යළි ඇය ස්ථානාධිපතිවරයා වෙත කැඳවාගෙන යනු ලැබීය.

“මට ඒ වෙලාවේ ලොකු හිසරදයක් ආවා. මම දරුවා බිමට දැම්මා. මම හිතුවේ බිම කියලා. බලන කොට දරුවා දාලා තියෙන්නේ ළිඳට.”

ඇය එවර කිව්වේ වෙනත් කතාවක්ය. ඇය බොරු කියන බව දැනගත් ස්ථානාධිපතිවරයා ඇගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස උප පොලිස් පරීක්ෂකා චම්පිකාට නියම කළේය.

දීලීෂා මුතුමාලිට වයස අවුරුදු දහනවයකි. රත්නලතා ඇගේ මවය. රත්නසිරි පියාය. රත්නසිරි මිය ගොසින් දැනට අවුරුදු 17 කි. ඇය සිය නිවෙසේ සිටින්නේ මව හා සැමියා වූ රංජිත් සමඟය. එකොළහ වසර දක්වා අධ්‍යාපනය ලැබූ ඇය වයස අවුරුදු දහ නවයේදීම තරුණයකු හා පැන යන්නේ ගෙදරටත් නොකියාය.

“එයා ආමි එකේ කෙනෙක්. අඹේපුස්සේ වැඩ කළේ මං එයත් එක්ක විවාහ වෙලා මාස හයක් විතර හිටියා. එයා ගෙදරින් ගියාම ආයෙත් ගෙදර එන්නේ සතියේ අන්තිම දවසට. ඔහොම ඉන්නකොට මට එයාගෙන් දරුවෙක් ලැබෙන්න ආවා. ඉන් පස්සේ එයාගේ අම්මයි මායි අතර ප්‍රශ්න ඇති වුණා. පස්සේ එයාගේ අම්මා පොලිසියට පැමිණිල්ලක් කරලා මට ගෙදරින් යන්න කිව්වා. ලැබෙන්න ඉන්න දරුවාට උදව් කරනවා කිව්වා. ඒත් දරුවටයි මටයි කිසිම උදව්වක් කළේ නැහැ. දැන් එයා වෙන කසාදයක් කරගෙන.”

“2017.03.09 වනදා මට ඇල්පිටිය රෝහලේදී පුතෙක් ලැබුණා. මම පුතත් හදාගෙන ජීවත් වුණා. අම්මා පිටිගල තේ ෆැක්ටරියක වැඩ කළා. දරුවාට මාස තුනක් විතර ගියාට පස්සේ අම්මත් එක්ක පිටිගල තේ ෆැක්ටරියේ වැඩ කරපු රංජිත්ව මට අම්මා හොයලා දුන්නා. එයත් මට කැමති වුණා. එයා කුලී වැඩ කරලා අපිව බලාගත්තා. එයාත් වැඩට ගියාම රෑට තමයි ගෙදරට එන්නේ...”

“එදා එයා උදේ හයට විතර වැඩට ගියා. ඇවිත් ආයෙත් දහයට විතර ගෙදර ආවා. දරුවට බිස්කට් පැකට් ටිකකුත් අරගෙනයි ආවේ. ඇවිල්ලා ඒක දීලා බෙහෙත් ගන්න යන්න ඕන. ඒවා අරගෙන එහෙමම වැඩට යනවා කියලා යන්න ගියා.”

“මම දරුවා එක්ක තනියම ගෙදර හිටියේ. අම්මා ගෙදරින් යනකොට දවාලට කන්න කෑම උයලයි ගිහින් තිබුණේ. අම්මා හැමදාම උයලා තමයි යන්නේ. දරුවාට ඇවිදින්න බැහැ. අල්ලගෙන නැගිටින්න පුළුවන්. මම දරුවා ඇඳ උඩ තියලා මිදුල අතු ගගා හිටියා. ඒත් එක්කම මට ඔළුවේ කැක්කුමක් ආවා. මම ඉදල බිම දාලා වතුර ටිකක් බොන්න කුස්සියට ගියා. එතකොටම දරුවා හඬන්න පටන් ගත්තා. මම වතුර ටික බොන්නේ නැතිව දරුවා වඩාගෙන මිදුලට ගිහින් ළිඳ ළඟටත් ගියා. ඒත් දරුවා දැම්ම හැටි මට මතක නැහැ. දරුවා නැති බව නම් දැනුණා. දරුවා ළිඳේ පාවෙනවා දැකලා මම කෑගැහැව්වා.”

ඇගේ ප්‍රකාශය උප පොලිස් පරීක්ෂක චම්පිකා සටහන් කරගත්තාය. ඇගේ කෑ ගැසීම ඇසී ඒ අවට කුරුඳු තළමින් සිටි දෙතුන් දෙනෙක් ද එතැනට දිව ආහ. ඔවුහු ද දරුවා ළිදේ පාවෙනු දැක මරළතෝනි දුන්හ.

එය ඇසුණු දහනව හැවිරිදි මධුෂාන් වහා එතැනට පැමිණ ළඳට බැස දරුවා ගොඩට ගන්නට කටයුතු කර තිබිණි.

මධුෂාන් පදිංචිව සිටින්නේ කරන්දෙණිය කුරුලුකන්ද ප්‍රදේශයේය. දරුවා ළිඳට දැමූ ස්ථානයට මීටර තුන්සියයක පමණ දුරින්ය. ස්ථානාධිපතිවරයාට මොහු කළ වීර ක්‍රියාව දැන ගන්නට ලැබුණේය. මධුෂාන් තම කාර්යාලයට කැඳවූ ස්ථානාධිපතිවරයා ඔහු කළ වීර ක්‍රියාව අගය කළේය. අඩි 23 ක් ගැඹුරු ළිඳකට පැන මාස 14 ක් වයසැති දරුවා බේරා ගැනීමට සිය දිවිය ද නොතකා ක්‍රියා කළ මධුෂාන් දරුවා බේරා ගැනීමෙන් පසු යළි ගොඩට ඒමට උත්සාහ කරද්දී දෙවරක්ම ළිඳට වැටුණේය. ඒත් ඔහුගේ ධෛර්ය හා ශක්තිය සියල්ලම අභිබවාලීය.

“මොකක්ද පුතේ වුණේ”

ස්ථානාධිපතිවරයා මධුෂාන්ගෙන් විමසුවේය. ඔහු තම අත්දැකීම මෙසේ විස්තර කළේය.

“මේ සිද්ධිය වුණේ 1 වැනිදා සවස 3.45 ට විතර. මම ගෙදර නාමින් සිටියේ. පොඩි ළමයෙක් ළිඳට වැටිලා කියලා කෑගහන ශබ්දයක් මට ඇහුණා. මම නාන එක නවත්වලා ළිඳ ළඟට දිව්වා. මම ළිඳට එබිලා බැලුවා. පුංචි දරු පැටියෙක් වතුරේ පාවෙනවා පේන්න කඹයකුත් තිබුණේ නැහැ. එක හෙව්වොත් පරක්කුවෙයි කියලා හිතලා එක කකුලක් ළිඳේ ගැට්ටකට තියලා මම ළිඳට බැස්සා. ළිඳ අඩි 23 ක් විතර ගැඹුරුයි. අඩි 10 ක විතර වතුර තියෙනවා. කොහොමහරි අමාරුවෙන් ළිඳේ වතුර මට්ටම දක්වා බැස්සා.

වතුරේ මුණින් අතට දරුවා පාවෙනවා. උඩුබැලි අතට සිටින විදිහට මම කකුල් දෙකට බොහොම අමාරුවෙන් දරුවා හිර කර ගත්තා. දරුවා උඩට ගන්න කඹයක මොකක් හරි ගැට ගහලා ළිඳ ඇතුළට දාන්න කියලා මම කෑගැහැව්වා. ඉන් පස්සේ කට්ටිය බෑග් එකක් කඹයක ගැට ගහලා ළිඳ ඇතුළට දැම්මා. කකුල් දෙක උස් කරලා මම දරුව ඒ බෑග් එකට දැම්මා. කට්ටිය දරුවා උස්සලා ගත්තා.

ඊට පස්සේ කට්ටිය මට ගොඩට එන්න ලීයක් දැම්මා. එකෙන් ගොඩට එන්න අමාරුයි. ලීය ළිං කට ළඟට කොහෙත්ම දිග නෑ. මම ඒ ලීය ළිදේ හරහට දාලා ඒක උඩ හිටගෙන බඩ ගාගෙන ගොඩට එන්න හදද්දී දෙපාරක්ම ළිඳට ඇදගෙන වැටුණා. කොහොමහරි මම ළිං කටින් ගොඩට ආවා. මම ගොඩට එනකොටත් දරුවා ඉස්පිරිතාලෙට අරගෙන ගිහින්.”

මධුෂාන් සියල්ල ස්ථානාධිපතිවරයා හමුවේ හෙළි කළේය. නිලධාරින් ඔහුගේ කතාව අසා සිටියේ පුදුමයෙනි.

“පුතා මොන ඉස්කෝලෙට ද ගියේ.”

“මඩකුඹුර ඉස්කෝලෙට”

මධුෂාන් එසේ ප්‍රකාශ කිරීමත් සමඟ ස්ථානාධිපතිවරයාට යමක් මතක් විය. ඒ පසුදාට ඇති නිදහස් දිනය ගැනය. නිදහස් දිනය සමරන්නට මඩකුඹුර විද්‍යාලයේ උත්සවයක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා සහභාගි වීමට ස්ථානාධිපතිවරයාට ද ඇරැයුමක් ලැබිණි. මධුෂාන් එම විදුහලේ ආදී ශිෂ්‍යයකු බැවින් මේ අවස්ථාවේ කළ යුතු හොඳම දේ නිදහස් දින ඔහුගේ වීර ක්‍රියාව අගය කිරීම බව ස්ථානාධිපතිවරයා වටහා ගත්තේය. ඔහු වහා ඒ බව මඩකුඹුර විදුහලේ විදුහල්පතිවරයා වෙත දැනුම් දුන්නේය.

“නිදහස් දිනය වෙනුවෙන් මඩකුඹුර ඉස්කෝලේ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඉස්කෝලේ බෑන්ඩ් එකේ ළමයින්ට ආදී ශිෂ්‍යයන් දුන්න අලුත් ඇදුම් ප්‍රදර්ශනය කරන්න තමයි නියමිතව තිබුණේ. ඕකට මටත් ආරාධනා කරලා තිබුණා. මට මේ වෙලාවේ ඒක මතක් වුණා. මේ ළමයාගේ වීර ක්‍රියාව අගය කරන්න ඕන කියලා. මොකද මෙයා ඉගෙන ගෙන තිබුණොත් ඒ ඉස්කෝලේ ගියා. මම මේ වීර ක්‍රියාව විදුහල්පතිතුමාට දැන්වූවා.”

විදුහල්පති ධර්මදාස රාජපක්ෂ මහතා ද තම විදුහලේ ආදි ශිෂයයා කළ වීර ක්‍රියාව අගය කොට ඔහු වහා විදුහලට කැඳවා සියලු විස්තර විමසා විදුහලේ පැවැත්වුණු නිදහස් උත්සවයේදී පසිඳු මධුෂාන්ට සිය උපහාරය පුද කළේය.

ඊට අදාළ උපහාර සන්නස් පත්‍රය විදුහල්පති අතින් මධුෂාන්ට ලබා ගනු ලැබුවේ විද්‍යාලයේ සියලු සිසුන්ගේ අත්පොළොසන් මධ්‍යයේය.

ස්ථානාධිපතිවරයා මැදිහත්ව විර ක්‍රියාව සිදු කළ මධුෂාන්ට විදුහලේ උපහාර පුද කිරීම පොලිස් අධිකාරි තල්දූව මහතා ද මහත් සේ අගය කළේය.

දහනව හැවිරිදි මධුෂාන් කළ වීර ක්‍රියාව ගැන මාධ්‍ය මඟින් කරුණු හෙළිකිරීමත් සමඟ ඔහුට උදව් කරන්නට සුබ පතන්නට බොහෝ පිරිස් ඉදිරිපත් වූහ.

“කෑගල්ලේ හාමුදුරු නමක් මට කතා කරලා මධුෂාන්ගේ විස්තර ඇහැව්වා. ඉන් පස්සේ ඒ හාමුදුරවෝ කිව්වා. හාමුදුරුවන්ට අයත් ඉඩමක් තියෙනවා මහනුවර ප්‍රදේශයේ පර්චස් 48 ක් මේ මාසෙ හාමුදුරුවන්ගේ අම්මා, වෙනුවෙන් දානයක් දෙනවා. එදාට ඒ ඉඩම මධුෂාන්ගේ නමට ලියලා දෙනවා කියලා.”

ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දහනව හැවිරිදි මධුෂාන් කළ වීර ක්‍රියාව නිසා ඔහු උපහාර ලබද්දී දහනව හැවිරිදි මුතුමාලි සිදු කළ නරුම ක්‍රියාව නිසා ඇයට හිරේ වලංගුවේ තපින්නට සිදු විය.

දිලිෂා මුතුමාලි ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහනේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවාය.

කෙසේ වෙතත් මේ වනවිටත් දරුවාගේ තත්ත්වය සතුටුදායක නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි. දරුවාගේ හෘදය වස්තුව ක්‍රියාකාරීව ඇතත් මොළයට රුධිර ධාවනය ඇනහිට ඇතැයි දැනගන්නට තිබේ.

ජලයට වැටුණ ද ගැඹුරට නොගොස් දිය මත පාවෙමින් සිට හාස්කමකින් මෙන් බේරුණු මාස එකොළහක් වයසැති පුංචි දනුක තුෂාන්ට ඉක්මන් සුවය ලැබෙන්නට කොටපොල කුරුලුකන්ද ප්‍රදේශවාසීහු මේ වනවිටත් දෙවියන් ඉදිරියේ පුද පූජා පවත්වති.

ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්දිම අලහකෝන් ඇල්පිටිය කොට්ඨාශ බාර පොලිස් අධිකාරි නිහාල් තල්දූව හා සහකාර පොලිස් අධිකාරි දුල්ෂාන් නාගහවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න ඇල්හිරියගේ හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි එච්. එම්. එස්. චම්පිකා ඇතුළු නිලධාරිහු මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ.