බිමට වැටුණු සුරඟනන්

බිමට වැටුණු සුරඟනන්

"මාරි"ගේ ලෝකය

සදාචාර සංස්කෘතියේ සළු පිළි කොයිතරම් පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.

ළමයින් පිරිමින් කාන්තාවන්සේම ලිංගික විපරිතයන්ට ලක් වූ අයද මේ පිරිසට අයත් වන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් වූ ඉල්ලුමකි. ළාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙන යාම මෙම රවටල වෙසෙන සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන්නකි. එලෙස මෙම ව්‍යාපෘතියට එන මෙම යුවතියන් නිශ්චිත කාලයක් ජීවත්වන්නේ සුරඟනන් ලෙසටය. එහෙත් මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අයවෙති. කුල පීඩනය, ආර්ථික පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිලිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක් වූ යුවතියෝද ඒ අතර වෙති. තවත් සමහර ළාබාල දැරියන් ඈත දුෂ්කර ගම්මානවල පදිංචි මාපියන් රවටා පැහැරගෙන එනු ලැබු අයවෙති.

බිමට වැටුණු සුරඟනන් කෘතිය ඇසුරෙන් සැකසු මෙම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළඳාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ. මෙම කෘතිය ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 14 දෙනකු විසින් රචනා කරන ලද්දෙකි.

ලිංගික වෙළඳාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් විමසා බලන්නට මේ කෘතිය උත්සාහ දරා ඇත. බොහෝ මාධ්‍යවේදීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බිය වන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය හා මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසාය.

බිමට වැටුණු සුරඟනන් තුළින් ඔබ කියවන මේ අහිංසකාවියන් ගේ කතා අපේම සමහරක් සොයුරියන් ගේ කතා හා සමාන නොවන්නේද?

තරු කැට කඩා වැටෙන රාත්‍රියක් ඒක... කුමුදු මල් සුවඳ ඒ රාත්‍රිය තව තවත් සුවඳවත් කළා. අපිට මාරිව හමුවෙන්නේ ඒ තරමටම විචිත්‍රවත් රාත්‍රියක මුම්බායිවල තියෙන ලස්සන හෝටලයකදී. ඇත්තටම අපි ඉස්සරහ වාඩිවෙලා ඉන්නේ නිළියක් ද කියල හිතාගන්නවත් අපිට බැරි වුණා. මාරිගේ කතාවත් ගොඩක් දුක්බර එකක්. මේ ලස්සන රාත්‍රියේදී මාරිට එයාගේ දුක්බර කතාව කියන්න අපි ඉඩ දුන්නා.

“මහත්තයෝ මම ගොඩක් අසරණ ගෑනියෙක්. ගෑනියෙක්ට විඳින්න පුළුවන් ඔක්කොම දුක් පීඩා මම වින්දා. මම ඉපදුණේ අම්රිත්සාර්වල. මගේ තාත්තා ගොවියෙක්. අම්මා රස්සාවක් කළේ නැහැ. තාත්තා ගොඩක් මහන්සිවෙලා හම්බ කරපු දේවල් වලින් තමයි අපි ජීවත් වුණේ..... මමත් මල්ලිත් විතරයි අපේ පවුලේ හිටියේ. අපි දාලික් (භාරතයේ බොහෝ ජන කොටස් අතරින් පහත්ම කුලයක් ලෙසට සැලකේ) කුලයේ අය නිසා මිනිස්සු අපිට නිතරම හිරි හැර කළා... අපි මේ ගමේ ඉන්න එකත් එයාලට අවනම්බුවක් විදියටයි එයාලා සැලකුවේ. දවසක් අපේ තාත්තා වැඩට ගිහිල්ලා ගෙදර ආවේ නැහැ. මිනිහෙක් අත පණිවිඩයක් එවලා තිබුණා දවස් තුනකට විතර එන්න වෙන්නේ නැහැ කියලා. එතකොට මට අවුරුදු දහයක් විතර ඇති. අර මිනිහා ගමේ හිටපු වංසවත් ධනවත් මදාවි කොල්ලන්ට කියල තියෙනවා අපේ තාත්තා ගෙදර නැහැ කියලා... දෙවෙනි දවසේ රාත්‍රියේ කොල්ලෝ තුන් දෙනෙක් මුණවල් කටවල් කළුපාට රෙදි වලින් බැඳගෙන අපි ඉස්සරහට ආවා...”

“සෙල්ලම්මා” දොර ඇරපන් නැත්නම් අපි උඹගේ ගෙදරට ගිනි තියනවා. එහෙම කිව්ව උන් ගෙදර ලෑලි දොර කඩාගෙන ඇතුළට ආවා. අපේ අම්මා ඒ කාලේ ගොඩක් ලස්සනයි. උන් තුන්දෙනා අම්මගේ බෙල්ලට කිනිස්සක් තිබිබා. වරෙං යන්න අපිත් එක්ක උඹගේ ළමයින්ට මොකවත් අනතුරක් කරන්නේ නැහැ. හැබැයි අද උඹ අපිත් එක්ක තමයි ඉන්නේ... එහෙම කියපු උන් මල්ලිවයි මාවයි ගෙදර දාල දොර වහල අම්මව අරගෙන ගියා. පහුවෙනිදා සවස අම්මා ගෙදර ආවා. හරියට ඇවිදින මළ මිනියක් වගේ. අනේ දුවේ මාව උන් විනාශ කළා. උඹලගේ තාත්තා දැන ගත්තොත් උන්ව මරල දාවි. එහෙම කිව්ව අම්මා ගොඩක් වේදනාවෙන් බිම වැතිරිලා හිටියා. මට අර ආපු යක්කුන්ව මරන්න තරම් කේන්තියක් ආවා.”

“තාත්තා දවස් දෙකකට විතර පස්සේ ගෙදර ආවා. ඒත් තාත්තා ගෙදර එනකොට ගමේ එවුන් වෙච්ච දේ ඔක්කොම තාත්තට කියලා තිබුණා. එදා රෑ තාත්තා හොඳටම බීලා අම්මටත් මටත් මල්ලිටත් පරිස්සමින් ඉන්න කියලා පිටත් වුණා. අනේ දෙවියනේ ඊට පහුවෙනිදා අපිට ආරංචි වුණා තාත්තා ගමේ වැවක් අයිනේ මැරිලා ඉන්නවා කියලා. මට තාත්තා දිහා බලන්නවත් බැරි වුණා. තාත්තට කවුදෝ හොඳටම ගහලා තිබුණා. ඇස් ඉදිමිලා තොල් පටවල් පැලිලා. මට හිතාගන්න පුළුවන් වුණා මේ අපරාදේ කළේ කවුද කියලා. අනිවාර්යෙන්ම අම්මගේ ජීවිතෙත් විනාශ කරපු පාදඩයින්. මම එදා හිතා ගත්තා උන්ට අනිවාර්යෙන්ම පාඩමක් උගන්වනවා කියලා.”

“අම්මා දුර්ගා දේවියට එයාට වෙච්ච විපත ගැන අඬ අඬා කන්නලව් කර කර කිව්වා. ඒත් අසරණ අපි දිහා දෙවියන් බලන්නෙත් බාගෙට.. අම්මා නිතරම හිටියේ බයෙන්. එයා නිතරම අසනීප වෙන්න පටන් ගත්තා. තාත්තා නැතිවුණේ එයාට සිද්ධ වෙච්ච කරදරේට වාඩුව ගන්න ගිහිල්ලා කියලයි නිතරම අම්මා කල්පනා කළේ.”

ඩිංග ඩිංග කාලය ගතවෙලා ගියා. එතකොට මගේ වයස අවුරුදු 17 යි. එදත් මම ගෙදර වැඩපළ ඔක්කෝම කරලා වතුර ගේන්න වත්ත පහළ ළිඳට ගියා. මගේ ගාව මල් මාලා හදන්න ගන්න වක් පිහියකුත් තිබුණා. එක පාරටම මගේ ගාවට පිරිමි තුන් දෙනෙක් පැන්නා.

“..... උඹ තමයි අපිට ඕන. උඹ අම්මට වඩා කොයිතරම් ලස්සනද. සවසට අපි උඹව නාවලම ගෙදර යවන්නම්.” එහෙම කිව්ව උංගේ එකෙක් මගේ අත අල්ලන්න හැදුවා. මට මාරාවේෂ වුණා. මම වක් පිහිය අරගෙන උගේ අත හරහට ඇද්දා මස් කුට්ටියක් ඉරාගෙන පිහිය මගේ අතට ආපහු ආවා... ඌ වේදනාවෙන් කෑ ගැහුවා. තවත් එකෙක් මගේ ගාවට පනින කොට මම උගේ ඇහැ ගාවට කෙටුවා. ඌත් කෑ ගහගෙන බැද්දට දිව්වා. අනෙක් එකා, “හොඳයි බැල්ලියේ අපි උඹ ගැන බලා ගන්නම්”

කියලා ආපහු හැරිලා දිව්වා.

“මම ලේ වැටුණු මගේ ඇඳුම් එක්කලා ආපහු ගෙදරට දිව්වා. දුවල ගිහිල්ලා අම්මට සිද්ධ වෙච්ච දේ ඔක්කෝම කිව්වා. අම්මා මල්ලිවත් මාවත් තුරුලු කරගෙන දෙවියන්ට කිව්වා. අපි බයට ගේ වහලා කැලේට පැන්නා. ගොඩක් දුර ඇවිදගෙන ගියා.. ඒත් පහුවෙනිදා මුළු කැලේම පොලිසියත් ගම්මුත් එකතුවෙලා වට කරලා මාවත් මල්ලිවත් අම්මවත් ඇල්ලුවා. මිනිස්සු අපිව දැකලා ගොඩක් කෝප වුණා. “තොපි මහා ජරා ගෑනු. මිනිස්සුන්ව කපල දාන්න තොපිට තියෙන අයිතිය මොකක්ද?” උං ලී දඬු මුගුරු අරගෙන අපිට ගහන්න ආවා. පොලිසියේ එස් අයි මහත්තයා ගොඩක් සැර කෙනෙක් .......” මම මේකිව අරගෙන යනවා පොලිසියට උඹලගේ පුත්තු අවජාතකකම් කරන්න ගෑනු ළඟට ගියාට ගෑනු පළි නැහැ.” එහෙම කිව්ව එස් අයි මහත්තයා මාව පොලිසියට අරගෙන ඇවිල්ලා කූඩුවට දැම්මා. රාත්‍රි දෙකක් විතර මගේ කූඩුව ගාවට මහත්තයා ආවා.

“මම දන්නවා උඹව උන් මරනවා. ඒ නිසා උසාවියේදී කරන්න ඕන දේ මම උඹට කියලා දෙන්නම්. උඹ දැන් මාත් එක්ක යන්න එන්න ඕන....” එහෙම කිව්ව එස්.අයි. මහත්තයා එදා රෑ මාව හෝටලේකට අරගෙන ගියා. පහුවෙනිදා පාන්දර වෙනකල්ම මාව මිනිහ ගේ පහත් ආසාවල්වලට ගොදුරු කර ගත්තා.”

“ ආයිත් පාන්දර මාව කූඩු කරපු එස්.අයි. මහත්තයා නීතිඥයකු මාර්ගයෙන්ම ඇප දිලා මාව එළියට ගත්තා. ඊට පස්සෙත් මාව පොලිසියේ තියාගෙන රෑට රෑට කලින් වගේ මාව හෝටලේට අරගෙන ගියා. උඹට දැන් තියෙන එකම මාර්ගය මෙහෙම නවතින එක විතරයි. කාලා බීලා අතට ගානකුත් හොයාගන්න පුළුවන්. මම ගොඩක් අසරණ වෙලයි හිටියේ මට මොනවත්ම කර කියා ගන්න නැති වුණා. මිනිහා ඒ වෙලාවෙම හෝටලේ මැනේජර්ට කතා කළා. “මුන්නි” මේ මම අඳුනන මෝනා කෙනෙක් ඍධ්ර්‍ථ කස්ටර්මලාට විතරයි මෙයාව දෙන්න ඕන. උඹලා මෙයාව හොඳට බලාගන්න ඕන. එහෙම නැති වුණොත් දන්නවානෙ උඹලට වෙන ප්‍රශ්න...” එහෙම කිව්ව එස්.අයි. මහත්තයා මාව එතැන දාලා යන්න ගියා. මම එදා ඉඳල මෙතැන ඉන්නවා.

හෝටලේට හොඳ කස්ටමර් කෙනෙක් ආපුවම මට ඛ්චතත කරලා එන්න කියනවා. මම නැවතිලා ඉන්නෙත් මේ හෝටලේම තමයි.

මගේ මල්ලිටයි, අම්මටයි මොනව වුණාද දන්නේ නැහැ.

දැන් මගේ ජීවිතේ කිසිම තේරුමක් නැතුව ගලාගෙන යනවා. මට ආපහු ජීවිතේ ගැන බලාපොරොත්තුවක් නැහැ... මගේ ගාවට එන කස්ටමර්ලා මට ගොඩක් සල්ලි දෙනවා. ඒ වුණත් ඒ සල්ලි වලින් මට මගේ නැතිවෙච්ච තාත්තා, මගේ අම්මා වගේම මගේ මල්ලිගේ ජීවිතය ආපහු කවදාවත් ගොඩගන්න බැරි බව මම හොඳාකාරවම දන්නවා. ඒත් මං මොනවා කරන්නද මහත්තයෝ දැන් මට මේ ජීවිතේට හුරු වෙලා.”

අපි ඉන්නේ ගොඩාක් ලස්සන හෝටලේ බිම් මහළට බී.එම්.ඩබ්ලිව් කාරකෙක් ආවා. සුදුම සුදු පාට ඒ කාර් එකෙන් බැහැ ගත්ත ටයි කෝට් දාගත්තු මහත්තයෙක් එයාගේ සෙල්ෆෝන් එකෙන් මාරිට කතා කළා. මාරි අපෙන් සමු අරගෙන එයාව හමුවෙන්න ආපු ගනුදෙනුකාරයා ළඟට ගියා.

ජිවිතේ ගැන ලියන්නේ කොහොමද? කියන්නේ කොහොමද? කියලා හිතාගන්නවත් බැහැ. ඒ වුණත් අපේ ජීවිතත් ගලාගෙන ගලාගෙන යනවා. කවදා කොහොම අපේ ජීවිත කතාවත් ලියැවේවිද කියලා කවුද දන්නේ....මටත් මගේ සගයාත් ඉහළ මාලේ ඉඳලා පහළ බැලුවා. බී.එම්.ඩබ්ලිව් කාරෙකට නැගපු මාරිත් කෝට් කාරයත් කොහේදෝ යන්න ඉගිලිලා ගියා...

ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර