කාමාතුරයාට පාඩමක් ඉගැන්වූ දුටුවැව කරුණාවතී

කාමාතුරයාට පාඩමක් ඉගැන්වූ දුටුවැව කරුණාවතී

ස්ත්‍රීය යනු හුදෙක් පුරුෂයන්ගේ ඕනෑ එපා කම් පිරිමසා ගැනීම උදෙසා දෙවියන් විසින් මවන ලද භාණ්ඩයක් බව සමහර පුරුෂයන්ගේ මතයයි.

මෙම මතය දරන්නන් අතර පාරේ සිඟමනේ යන හිඟන්නා, කුලී කම්කරුවා ගේ පටන් කෝටි ප්‍රකෝටිපති, මැති ඇමති වරු ද සිටිති. මේ අදහසේ එල්බගෙන සිටින්නවුන් තරාතිරම නොබලා කාන්තාවන් සිය ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙති.

එලෙස නොහැකි වුව හොත් බලහත්කාරයෙන් හෝ ඇය දුෂණය කොට කුරිරු ආශ්වාදයක් ලැබීමට පවා මෙවැනි සමහර අමනයන් උත්සාහ කළ අවස්ථා බොහෝය. මෙවැනි අමනයන් දරණ තවත් මතයක් ඇත. ඒ.... සෑම ගැහැනියක්ම ඕනෑම පුරුෂයකු සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට ලොල් බවය.

එවැනි අමනයින්ට ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පසුගිය දිනෙක හොඳ පාඩමක් ඉගැන්වුවාය. ඒ... බලහත්කාරයෙන් තමා දුෂණය කිරීමට පැමිණි පුද්ගලයා මරා දමාය. ඔහු ඒ මොහොතේම මිය ගියේය. එබැවින්... ඔහුට මේ පාඩම ඉගෙන ගන්නට වේලාවක් ඉතිරි වුයේ නැත. එහෙත් එලොවදී හෝ ඔහු මේ පාඩම ඉගෙනගනු ඇත. එහෙත්... කාන්තාව පිළිබඳ මෙවැනි මතිමතාන්තර දරණ පිරිමින් මේ සිද්ධියෙන් හෝ පාඩමක් ඉගෙන මින් ඉදිරියේ දීටත් කාන්තාවන් බලහත්කාරයෙන් දුෂණය කිරීමට යාමෙන් වැළකුණහොත් ගලෙන්බිඳුණු වැව කරුණාවතී කියා දුන් පාඩම සියල්ලන්ටම හොඳින් ධාරණය වී ඇති බව පසක් කරගත හැකිය. ඇය... සැමට කියාදුන් පාඩම මෙසේය.

හිරු... අවරට යන්නේ නිශාචරයන්ට සිය එදිනෙදා වැඩකටයුතුවල නිරත වීමට අවශ්‍ය වටපිටාව සකසා දෙමිනි. දහවල පුරා සැඟව සිටි වවුලන්, බස්සන්, බකමුණන්, උනහපුලුවන් ආදී සතුන් හිරු බැස ගිය පසු ගොදුරු සොයා කලඑළි බසිද්දී දුටුවැව, දහය කොටසේ අංක 738/10 ලිපිනයේ පදිංචි යාපා මුදියන්සේලාගේ ටෙනිසන් කුමාර රත්නායක ද කලඑළි බැස්සේ ගොදුරක් සොයමිනි.

ඔහු සොයන්නේ කුස ගින්න නිවා ගත හැකි ගොදුරක් නොව කාම පිපාසාව සංසිඳුවා ගත හැකි ගොදුරකි. එලෙස ඔහු ගොදුරු සොයා යන්නේ වයස අවුරුදු තිස් නවයක් සපිරී ඇතත් ඔහු තවමත් අවිවාහකයකු මෙන්ම රාගාධික පුද්ගලයකු වන නිසාය.

දුටුවැව, අංක 691 නවවැනි කොටස ලිපිනයේ පදිංචි කරුණාවතී පනස්පස් හැවිරිදි වැන්දඹුවකි. ඇය... වැන්දඹුවක වන්නේ මීට වසර විස්සකට පමණ ඉහතදීය. සැමියා මිය ගිය පසු නිවෙසේ තනිවන ඇයට තනි රකින්නට කිසිවකුත් සිටියේ නැත. කන්න අඳින්න දෙන්න ද කිසිවෙකු ඇයට සිටියේ නැත. ඒ... ඇය මවු පදවියට උරුමකම් නොකී නිසාය.

සැමියා මිය ගිය පසු තම ජීවිතය තමා විසින්ම පවත්වාගෙන යාමේ අරගලයට මුහුණු දුන් ඇය කුලී වැඩ කිරීම රැකියාව ලෙස තෝරා ගත්තාය. ඒ...වෙනත් රැකියාවක් කිරීමට තරම් ඇයට කිසිම සුදුසුකමක් නොතිබුණ බැවිනි.

කාටවත් කරදරයක් නොවී කාටවත් අත නොපා ඇය කුලී වැඩ කොට හරි හම්බ කරගත් මුදලින් තමන්ට අයත් නිවෙසේ නිදහසේ කල් ගත කළාය. ඒ... සැමියා මිය ගිය පසු ආලවන්ත කම් පාන්නට ආ පිරිමින්ට ද පිටුපාමිණි.

මෙලෙස වසර විස්සක කාලයක් ගෙවී ගියේය. දැන්... ඇයගේ වයස අවුරුදු පනස් පහකි. සලකන්නට කෙනකු නොමැති බැවින් පනස්පස් වන වියේදීත් කුලීවැඩ කිරීමට ඇයට සිදුවුවාය.

ඒ..... පසුගිය හයවැනිදාය. එදින ද උදෙන්ම කුලී වැඩ සඳහා ගිය ඇය හිරු බැස යාමට ආසන්න වෙද්දී නිවෙසට ආවේ බොහෝ තෙහෙට්ටු ගතියකිනි. රාත්‍රී ආහාරය ගත් ඇය නින්දට යන විට වේලාව රාත්‍රී නවයට ආසන්නව තිබිණි. හෙට උදේ යළි රැකියාවට යා යුතුය. එබැවින්... පන්සිල් සමාදන් වූ ඇය සුව නින්දක් පතා කාමරයේ වූ ඇඳෙහි ඇලවුණාය.

තනියෙන් සිටින බැවින් ඇය සිය ආරක්ෂාව උදෙසා ද යම් පියවරක් ගෙන තිබිණි. මුදල් හදල් අත ඇති නාගරිකයන්ට මෙන් ඇයට සිය නිවෙස වටා සී.සී.ටී.වී කැමරා සවිකර ගැනීමට හැකියාවක් තිබුණේ නැත. එලෙසම කියන්න තරම් වටිනා කියන දේවල් නොමැති බැවින් ඇයට සොර සතුරු බියක් ද එතරම් නොතිබෙන්නට ඇත.

ඇය සිය ආරක්ෂාව උදෙසා ගත් පියවර වුයේ පොරොවක් ඇඳයට තබාගෙන සිටීමයි.

හත්වැනිදා දිනය උදාවී ටික වේලාවක් ගතවෙද්දී ඇය තද නින්දෙන් පිබිදෙන්නේ කවුරන් හෝ සිය සිරුර අතපත ගාන බවක් දැණුන නිසාය. තිගැස්සී ඇහැඇරුණ ඇය දුටුවේ නිරුවත් පිරිමියකු තමා අසල සිටින බවයි. දුටු දෙයින් බියට පත් ඇය ඇඳෙන් පැන දිව යාමට උත්සාහ කළ ද ඒ ප්‍රයත්නය සාර්ථක වුයේ නැත. ඔහු... තදින් ඇය බදා ගත්තේය.

පුරුෂයකුගේ දෑතට සිර වූ විට ඉන් මිදීම කාන්තාවකට ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැත. එබැවින්... කොපමණ පොර බැඳුව ද ඇයට ඔහුගෙන් ගැලවීමට හැකියාවක් ලැබුණේ නැත. ඔහු... ඇය ඇඳෙන් බිමට ඇද දමාගෙන සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට සැරසුණේය.එක් නිමේෂයකට ඔහුට අවනත වූ බවක් පෙන්වීමට කරුණාවතී කටයුතු කළාය. ඒ... ඇඳ යට තිබෙන පොරොව අතට ගන්නා තුරුය.

ඇය ගේ ප්‍රයත්නය සාර්ථක විය. වියරු වුවකු සේ හැසිරෙන මේ කාමාතුරයාට ඇය ගේ අත ඇඳ යටට ඇදෙන බවක් නොපෙනෙන්නට ඇත. ගතවුයේ නිමේෂයකි. ඇඳ යට තිබු පොරොව අතට ගත් ඇය කාමාතුරයාගේ ගෙල ප්‍රදේශයට වැරෙන් පහරක් එල්ල කළාය.

එම පහරින් අඩපණ වූ ඔහු බිම එලා තිබු පැදුර මත උඩුබැලි අතට වැතිරුණේය. ඔහුගේ ගෙල ප්‍රදේශයට තවත් පොරෝ පහර කිහිපයක් එල්ල කළ කරුණාවතී පොරොව ද එතැන දමා පිටුපස දොරින් එළියට ගොස් අවට පදිංචි ඥාති හිතවතුන්ට සිද්ධිය සැලකර සිටියාය.

කරුණාවතී සැලකර සිටි සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට දැනුම් දීමට සිද්ධිය වූ ස්ථානයට එක් වූ පිරිස අතර සිටි අයකු කටයුතු කළේය. මෙම සිදුවීම පිළිබඳ තොරතුරු ගලෙන්බිඳුන වැව පොලිසියට ලැබෙන විට වේලාව අලුයම දෙකහමාර පමණ වී තිබිණි.

119 අංශයෙන් ලැබුණු ඇමතුමෙන් කියා සිටියේ දුටුවැව අංක 691 - 9 කොටස ලිපිනයේ නිවෙස තුළ පුද්ගලයකු මරා දමා ඇති බවය. එම ඇමතුම දුන් 119 නිලධාරියා තව දුරටත් පවසා සිටියේ නිවෙසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි කාන්තාව දුෂණය කිරීමට ගිය අවස්ථාවේ ඇය සිදුකළ පහර දීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

තොරතුර ලද වහාම ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් දුටුවැව බලා පිටත්ව ගියේය. සිද්ධිය වු ප්‍රදේශයට පොලිසියේ සිට ඇති දුර කිලෝමීටර් දොළහක් පමණ වේ. දුෂ්කර මාර්ග ඔස්සේ එම ස්ථානයට යාමට පොලිසියට ටික වේලාවක් ගතවිය.

පොලිසිය යන විට කරුණාවතී ගේ ඥාති හිතවතුන් පස් හය දෙනකු නිවෙස අසලට පැමිණ සිටියහ. ප්‍රචණ්ඩකාරී ලිංගික අතවරයකට ලක්ව මනුෂ්‍ය ඝාතනයක් ද සිදුකළ කරුණාවතී රුධිරය තැවරුණ ඇඳුම් පිටින්ම සිටි අතර දැඩි බියක්, කලකිරීමක්, වෙහෙසකාරී බවක් ඇයගේ ඉරියව්වලින් පිළිබිඹු විය.

නිවෙසට ඇතුළු වූ පොලිස් කණ්ඩායම සිද්ධිය වූ කාමරයට අඩිය තබද්දී ඝාතනය වූ පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයෙන් ගලා ගිය රුධිරයෙන් මුලු කාමරයම තෙත්ව ඇති බවක් දැනිණි. ඔහු... නිරුවතින් උඩුබැලි අතට පැදුරක් මත වැතිර සිටී. එම පැදුර ඇඳ අසලම එලා ඇත. ඔහුගේ ගෙළ සිරුරින් වෙන්ව ගොස් නැතත් එල්ල වූ පහරවලින් ඉතා ගැඹුරට කැපී ගොසිණි. පහර එල්ල කළ බව කී ලේ තැවැරුණ පොරොව ද ඒ අසල දක්නට ලැබිණි.

පොලිසිය මුලින්ම කළේ කරුණාවතී සිය බාරයට ගැනීමය. අනතුරුව නිවෙස අපරාධ ස්ථානයක් ලෙස නම්කොට පරීක්ෂණ උදේට කල්දැමීය. හත්වැනිදා දිනයට හිරු උදා වීමෙන් අනතුරුව කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර සොකෝ කණ්ඩායම ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් එම ස්ථානයට කැඳවීමට පොලිසිය කටයුතු කළේය.

එලෙස පැමිණ මිය ගිය අයගේ සිරුර බාහිරින් පරීක්ෂා කළ පරීක්ෂණ කණ්ඩායම් කරුණවතී ගේ පාපොච්චාරණය සියයට සියයක් සත්‍ය බව පිළිගන්නට පෙළඹුණේ නැත. ඔවුන්ගේ මතය වුයේ මියගිය අයගේ ගෙල ප්‍රදේශයේ පොරෝ පහර වලට අමතරව තියුණු ආයුධයකින් සිදු වූ කැපුම් පහරවල් ද දක්නට ලැබෙන බවය.

පරීක්ෂණ කණ්ඩායම් එලෙස මත පලකරද්දී කරුණාවතී දැඩි කම්පනයකට පත්වන්නට ඇත. ඒ.... පතිවත උදෙසා තමා දුෂණය කිරීමට ආ පුද්ගලයා මරා දැමුව ද තමාට ඒ සඳහා තවත් පුද්ගලයකු උදව් උපකාර කළ බවක් එම කියමනෙන් ගම්‍ය වන නිසාය. එනම් ඉන් කියැවෙන්නේ ඇය සමඟ තවත් පුරුෂයකු මෙම නිවෙසේ සිට ඇති බවය.

බාහිරින් බලා කළ නිගමනයට අනුව පොලිසිය ඇය අත්අඩංගුවට ගත්තේය. ඇය අත්අඩංගුවට පත්වීමත් සමඟ බොහෝ දෙනකුට ගැටලුවක් පැන නැඟිණි. ඒ... බලහත්කාරයෙන් නිවෙසට ඇතුළු තමාට අතවර කිරීමට ගිය පුද්ගලයා මරා දැමීම සිරගත විය යුතු වරදක් ද යන්නයි.

ඒ අපරාධකාරියක් ලෙස සලකා නිලධාරීන් පොලිස් ජීප් රථයේ පිටුපස අසුනට ඇය නංවාගෙන ගිය නිසාය.

මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ කරගෙන ගිය පොලිසිය මිය ගිය අය හැඳ සිටි ඇඳුම් සොයා ගත්තේ කාමරයේ පැත්තක දමා තිබියදීය.

ඝාතනය සඳහා උපයෝගී කරගත් පොරොව ද ඒ අසල වැටී තිබී හමු වූ අතර මිය ගිය අයගේ ගෙල ප්‍රදේශයේ තියුණු ආයුධයකින් සිදු වූ කැපුම් තුවාල ද දක්නට ලැබෙන බව කිව ද එවැනි ආයුධයක් හමු වුයේ නැත.

කරුණාවතී පවසා සිටියේ තමා ඉදිරිපස හා පිටුපස දොරවල් වසා නින්දට ගිය බවය. ස්ත්‍රී දුෂකයා නිවෙසට ඇතුළු වූ ස්ථානයක් සොයා ගැනීමට පොලිසියට හැකි වුයේ නැත. එහෙත්... ඔහු කෙලෙසක හෝ මේ නිවෙසට ඇතුළු වී තිබිණි.

දොර ජනේල අගුලු දමා නින්දට ගිය බව කීව ද අමතක වීම් අතපසු වීම් කා අතිනුත් සිදුවන දේවල්ය. දවස පුරා කුලී වැඩවල නිරතව සිට රාත්‍රිය උදාවෙද්දී නිවෙසට එන කරුණාවතීට තේ එකක් සාදා දීමට වත් කිසිවකු නැත. එය ද තමා විසින්ම කර ගත යුතුය.

මැදි වයසට පැමිණ සිටි ඇයට මේ ජීවන රටාව කර්කෂ එකක් නොඑසේ නම් දැඩි වෙහෙසකාරී එකක් වුවද එයට මුහුණ දෙනු විනා වෙන කළ හැකි දෙයක් වුයේ නැත. කොපමණ වෙහෙසක් දැනුණ ද රාත්‍රී ආහාරය ද තමාම සකසා ගත යුතුය. එබැවින්... දැඩි වෙහෙසකාරී බව නිසා එදා... රාත්‍රියේ නින්දට යාමට පෙර ඇයට පිටුපස දොර අගුලු දැමීමට අමතක වුවා විය හැකිය.

ස්ත්‍රී දුෂකයා මෙම නිවෙසට ඇතුළු වන්නට හැකි තවත් ක්‍රමයක් ඇත. ඒ... කරුණාවතී නින්දට යාමට පෙර නිවෙසේ දොරවල් විවෘත කර තිබු අවස්ථාවේදීය. ඇය දොරවල් වසා දැමීමට පෙර හොර රහසේ නිවෙසට ඇතුළු වු ඔහු ඇයට නොපෙනෙන ස්ථානයක සැඟව සිටින්නට ඇත. එලෙස සැඟව සිට ඇය නින්දට ගිය පසු ඇයගේ කාමරයට ගොස් කාමරයේ වූ පැදුරක් ගෙන ඇය ගේ ඇඳ අසල එලා කොට්ටයක් ද දමා නිදාගෙන සිටින්නට ඇත.

මධ්‍යම රාත්‍රියේ දී කවුරුත් තද නින්දට පිවිසි පසු මොහු ඇයට අතවර කිරීමට උත්සාහ කරන්නට ඇත.

ඒ කෙසේ වෙතත් ඔහු නිවෙසට ඇතුළු වු ආකාරය කරුණවතී දන්නේ නැත. ඇය දන්නේ තමාට අතවර කළ පුද්ගලයාට යස පාඩමක් ඉගැන් වූ බව පමණි.

තමාට අතවර කළ පුද්ගලයා ඝාතනය කළ බව කියන කරුණාවතී කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පහළොස් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

මෙලෙස ඇය රක්ෂිත බන්ධනාගාර ගත කළේ මන්දැයි විමසු විට ලැබුණු පිළිතුර වුයේ ඝාතනය වූ අයගේ ගෙල ප්‍රදේශයේ පොරෝ පහරට අමතරව තියුණු ආයුධයකින් සිදු වූ තුවාල ද දක්නට ලැබෙන බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තීන්දුව ලැබෙනතුරු ඇය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි. ස්ත්‍රී දුෂකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පසුගිය අට වැනිදා දහවල් වන විට නිකුත් වී තිබිණි. එහි සඳහන් වුයේ බර ආයුධයකින් එනම් පොරොවෙන් ගෙල ප්‍රදේශයට එල්ල වූ පහර වලින් ඔහු මිය ගොස් ඇති බවය. එනම් නීති පොතේ සඳහන් පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ ඇය මෙම ඝාතනය සිදුකර ඇති බවය.

එහෙත්... මේ පුවත්පත ඔබ අතට පත් වන විට ද ඇය අනුරාධපුර බන්ධනාගාරයේ යකඩ කුරු ගනින්නීය.

එයට මුල් වූ කරුණු කිහිපයකි. ඉන් එකක් වන්නේ මැතිවරණය හේතුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී සඳහා යොදවා තිබීමය. තවත් හේතුවක් ඇත. ඒ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය ගලෙන්බිඳුණුවැව පොලිසියට වෙන්කර දී ඇති දිනය බ්‍රහස්පතින්දා වීමය.

එනම්.... කරුණාවතීට දින නවයක කාලයක් මහඋලුගෙදර තපින්නට සිදුවන්නීය.

මේ අතර අවිවාහක ස්ත්‍රී දුෂකයාගේ මළ සිරුර සඳහා ඔහුගේ පියා සහ ලොකු තාත්තා විසින් බාර ගෙන දුටුවැව නිවෙසට රැගෙන ගොස් අනතුරුව අවසන් කටයුතු කළේය.

අනුරාධපුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ ගේ උපදෙස් මත ගලෙන්බිඳුනුවැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ඩබ්ලිව්.ඩී.බී. ෆොන්සේකා, අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සිරිවර්ධන ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ සඳහා එක්විය.