පොලිස් වැඩ්ඩෝ

පොලිස් වැඩ්ඩෝ

"ටෝබි" ගිනස් පොතට යයි ද ?

අතුරේ ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීමට සිටින ටෝබි ට පසුගිය මාසයේ පහළොස් වැනිදා හදිසි ස්ථාන මාරුවක් ලැබිණි. ඒ.. කොළඹ වරාය පොලිසියටය.

වරාය පොලිසියට අනුයුක්තව ක්‍රියාත්මක වන පොලිස් නිල සුනඛ ඒකකය පාලනය වන්නේ අස්ගිරිය නිල සුනඛ මුලස්ථානයෙනි. එබැවින්... වරාය පොලිසියට නිල සුනඛ ඒකකයේ ස්ථිර මාරු කිරීම් නැත. ඇත්තේ මාස තුනකට අනුයුක්ත කිරීමකි.

කොස්තාපල් (71028) අනිල් ඉසංක බණ්ඩාර සහ ටෝබි කොළඹ වරාය පොලිසියට ආවේ මාස තුනක කාලයකට පමණි.

වැඩි කලබලයක් නැතිව හීන් සීරුවේ වැඩ රාජකාරි වල යෙදෙන ටෝබි මත්ද්‍රව්‍ය සෙවීමට අති දක්ෂය. අතුරේ යමින් මෙරට සුනඛ පරපුරටම ආඩම්බරයක් ගෙන දුන් ටෝබි පසුගිය දිනවල කොළඹ මැගසින් බන්ධනාගාරයේ සඟවා තිබු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා දී රැඳවියන් ගේ තරහකාරයකු බවට ද පත්වුවාය.

“එළියේ නැතත් ඇතුලේ “බඩු” තියෙනවා. ලෙසින් මතට ඇබ්බැහිවුවන් අතර කියමනක් ඇත. එය... කියමනක්ම පමණක්ම නොව ප්‍රායෝගිකව ගත් කළ සත්‍යයකි. එම කියමනේ අරුත වන්නේ එළියේ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නැතත් බන්ධනාගාරය ඇතුලේ අවශ්‍ය පමණ මත්ද්‍රව්‍ය තිබෙන බවය.

බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය ලැබෙන්නේ සමහර බන්ධනාගාර නිලධාරීන්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාකලාපය හේතුවෙනි. ඇතුළට මත්ද්‍රව්‍ය සැපයීමට ආධාර අනුබල දෙන එම නිලධාරීන්ම රැඳවියන් සතුව ඇති මත්ද්‍රව්‍ය සොයා සෝදිසි මෙහෙයුම් දියත් කරයි. එම සෝදිසි කිරීම් හොඳින් විනිවිද භාවයෙන් කළ යුතුය. ඒ... එම මෙහෙයුම් සඳහා බන්ධනාගාර උසස් නිලධාරින් ද එක්ව සිටීම නිසාය.

එහෙත්.... ඉතා අමාරුවෙන් ලබා ගන්නා මත්ද්‍රව්‍ය ඔහේ ඕනවට එපාවට තැන් තැන් වල තබන්නට රැඳවියන් කටයුතු කරන්නේ නැත. ඔවුන් ඒවා සඟවා තබන්නේ කාටවත් සොයාගත නොහැකි වන අයුරිනි.

ඔවුන්... කෙලෙස කොතනක සඟවුව ද ඕනෑම විදියකට සැඟවූ මත්ද්‍රව්‍ය සොයා දෙන්නට පොලිස් නිලසුනඛ ඒකකයේ මත්ද්‍රව්‍ය සෙවීම සඳහා පුරුදු පුහුණු කළ සුනඛයන්ට හැකිය.

වරයා පොලිසියට ආ 'ටෝබි' පසුගිය දිනෙක කොළඹ මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය සෙවීම සඳහා ගිය අතර 'ටෝබි' ගේ සහායට කොම්පඤ්ඤවීදිය මත්ද්‍රව්‍ය නිල සුනඛ “ජුඩි” ද කැඳවා තිබිණි. කොස්තාපල් (49429) බණ්ඩාර “ජුඩි” සමඟ මෙහෙයුමට එද්දී 'ටෝබි' වැඩ අරඹා තිබිණි.

එච් වාට්ටුවේ රැඳවියන් ඉන් පිටතට කැඳවා තිබු අතර ඔවුන් සතු ඇඳුම් මලු ද එළියට දමා ඇද පරීක්ෂාවට භාජනය කොට එලෙසම තිබිණි. එහෙත්... එම පරීක්ෂාවේදී බන්ධනාගාර නියාමකයන්ට මත්ද්‍රව්‍ය කිසිවක් හමුව තිබුණේ නැත.

මෙහෙයුමට එක් ව'ටෝබි' එළියේ ඇද දමා තිබු ඇඳුම් මලු එකින් එක ඉව කරන්නට විය. එලෙස ඉව කරමින් ගොස් එක් ඇඳුම් මල්ලක් අසල නතර වී ඉන් එළියට ඇඳ දමා තිබු දිග කලිසමක් ඉව කරමින් එය පහුරු ගාන්නට විය. අනතුරුව එය කටින් අදින්නට පටන් ගත්තේය.

එහි... කොතැනක හෝ මත්ද්‍රව්‍ය සඟවා ඇති බව අනිල් ඉසංකට වැටහිණි. එබැවින්... ඔහු බන්ධනාගාර නිලධාරින්ට ඒ බව දැන්විය.

එම කලිසම සුක්ෂම ලෙස පරීක්ෂා කිරීමේදී කලිසම් කකුලේ වාටියේ සඟවා තිබු කුඩා පාර්සලයක් හමුවිය. එය පිටතට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ කේරල ගංජා බව තහවුරු විය.

ඇඳුම් මලු පරීක්ෂාවෙන් අනතුරුව 'ටෝබි' සහ “ජුඩි” යොමු කෙරුණේ වාට්ටු වෙතටය. ඩ් වාට්ටුවේ අහුමුලු ඉව කරමින් ගිය 'ටෝබි' ජනේල පඩියක් මත තිබු “මාෂ්මෙලෝස්” පාර්සලයක් ඉව අල්ලන්නට වුවාය. සිමෙන්ති කොළයක ඒවා ඔතා තිබිණි. ඉව අල්ලා නතර නොවු 'ටෝබි' කටින් ඇද එම පාර්සලය බිමට දමා පහුරු ගාන්නට වුවාය.

බිමට වැටුණු මාෂ්මෙලෝස් කැබලි අතර මාෂ්මෙලෝස් නොවන ගුලියක් තිබිණි. එය.... කේරල ගංජාය.

තව දුරටත් සෝදිසි කරමින් ඉදිරියට ගිය 'ටෝබි' තවත් ජනෙල් පඩියක් වෙත අවධානය යොමු කළාය. එම පඩිය අසල නතර වී ඉව ඇල්ලු 'ටෝබි' ඉදිරි පාද ජනේල පඩිය මත තබා එහි වූ ප්ලාස්ටික් ඩප්පියක් ඉව අල්ලන්නට පටන් ගත්තාය. ඉව අල්ලා එය කටින් ඇද බිමට දමා ගත් 'ටෝබි' එය කඩා දමන්නට උත්සාහ කරන බවක් දිස්විය.

එම ඩප්පියේ ද අනිවාර්යයෙන්ම මත් ද්‍රව්‍යයක් තිබිය යුතු බව අනිල් ඉසංක ගේ නිගමනය විය. අනතුරුව බන්ධනාගාර නියාමකයන් සිය උසස් නිලධාරීන් ඉදිරියේ එය විවෘත කළේය.

එහි වුයේ සූරන ලද සබන් කැබලිය. එනම්... සබන් කැටයක් සුරා එයට දමා තිබිණි. එම සබන් කැබලි පරෙස්සමෙන් ටිකෙන් ටික ඉවත් කරද්දී ඩප්පිය අඩියේ ඊට වෙනස් යමක් තිබෙනු දක්නට ලැබිණි. ඒවා සුදට හුරු කුඩු වර්ගයකි. ඒ... හෙරොයින්ය.

කාටත් හසු නොවන අයුරින් ඉතා සුක්ෂම ලෙස සඟවා තිබු හොරොයින් එලෙස 'ටෝබි' විසින් සොයා දෙද් දී එහි හිමිකරු දස දහස් වරක් 'ටෝබි' ට වෛර කළ බව නම් සහතිකය. ඒ... මත්කුඩට හුරු වුවන්ට ඒවායෙන් තොර ලෝකයක්, ජීවිතයක් නොමැති නිසාය.

බන්ධනාගාර නිලධාරීන්ට හසු නොවන ලෙස සඟවා තිබු මත්ද්‍රව්‍ය සොයා දුන් 'ටෝබි' අනිල් ඉසංක සමඟ ආපසු යාමට පිටත් වෙද්දී ජුඩි සමඟ කොස්තාපල් බණ්ඩාර ද කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය බලා පිටත් වුයේ සාර්ථක මෙහෙයුමක යෙදීමේ සතුට ද ඇතිවය.

දවසේ රාජකාරි නිම කිරීමෙන් අනතුරුව 'ටෝබි' ට විවේක ගැනීමට ඉඩකඩ ලැබුණත් පුහුණු වීම් වල නම් ඉවරයක් නැත.

ඒ.... ගිනස් පොතට යාම සඳහා තවත් අඩි පහක් උසින් අතුරේ යාමට පුහුණුවීම පමණක් නොව කලබල නැති 'ටෝබි'ට හීන් සීරුවේ කිරීම සඳහා තවත් වැඩක් පවරා ඇති නිසාය. ඒ... වතුර පුරවන ලද වීදුරුවක් බෙල්ලේ තබාගෙන අතුරේ යාමය. 'ටෝබි'... මේ දිනවල එම පුහුණුව සඳහා ශරීර සුවතා වැඩකටයුතු වල නිරතව සිටින්නීය.