පොලිස් කෙල්ල

පොලිස් කෙල්ල

මාතර බස් නැවතුම්පළ කෙළවර නවතා ඇති ඉන්ටර්සිටි බසයට ගොඩ වූ මා එහි එක් අසුනකට බර වූයේ හැකි ඉක්මනින් කොළඹට යෑමේ අරමුණෙනි.

“මෙතැන කවුරුහරි ඉන්නවද?”

“නැහැ. ඉඳගන්න”

ඊට විනාඩි දෙක තුනකට පසු මා සිටි අසුන අසලට පැමිණි ඇය මා අසලින් වාඩි වුණේ සිහින් සිනහවක් ද පාමිනි. ඇය කාගේ කවුදැයි නොදත් මා බස්රියේ වීදුරුවෙන් පිටත බලා සිටිය ද ඇය ගල්වා තිබූ විලවුන් සුවඳ මට ගෙන ආවේ අමුතුම සුන්දර බවකි. මම ඒ සුවඳ වින්දෙමි.

බසය ගමන් අරඹා සැතපුම් ගණනාවක් යනතුරු අපි අපේ පාඩුවේ සිටියෙමු. වරින් වර ඇයද වරින් වර මමද හොරැහින් එකිනෙකා දෙස බැලුවෙමු. ඒත් අපි දෙදෙනාගේ මුවින් කිසිම වචනයක් පිට නොවූයෙමු. බස් කොන්දොස්තරවරයා වෙත ඈ දිගු කළ දහසේ කොළය මාරු කිරිමට නැති බව පැවසීමත් සමඟ ඇය මා දෙසට හැරුණාය.

“මේක මාරු කරගන්න තියෙනවද?”

“බලමු.....” මම කීවෙමි.

මගේ මුදල් පසුම්බියේ ද වූයේ රුපියල් දහසේ කොළ දෙක තුනකි. ඒත් රුපියල් සියයේ කොළ තුන හතරක් එහි විය.

“ආ.... මේකෙන් ගන්න....”

රුපියල් සියයේ නෝට්ටු දෙකක් මම කොන්දොස්තර අත තැබීමි. කොන්දොස්තරවරයා ඉන් සෑහීමකට පත් විය.

“මම බහින්න ඉස්සෙල්ලා මාරු කරලා දෙන්නම්....”

කතාව ඇරැඹුණේ එතැනිනි. නිල් පැහැති ඩෙනිම් කලිසම ඇගේ සිරුරට හිර වී තිබිණ. ඊටම සරිලන කළු පැහැති ටී ෂර්ටය ඇයට ගෙන ආවේ කදිම හැඩයකි. සිරුරෙන් හමා එන විලවුන් සුවඳ ඒ සුන්දරත්වය තවත් දෙගුණ තෙගුණ කරවයි.

“කොළඹින් ද බහින්නේ....?”

ඒ ඇගේ මුල්ම පැනය වූවාය.

“ඔව්....”

“මෙහෙ ආවේ...”

“වෙඩින් එකකට....”

තවත් මොහොතක් අප අතර පැවතියේ නිහඬතාවයකි.

“ගම මාතරද?”

මම ඇගෙන් ඇසුවෙමි.

“ඔව්.....”

“කොළඹ යන්නේ....”

“රස්සාවට....”

ඇය දෙන්නේ කෙටි උත්තර පමණි.

“කොළඹ කොහේද වර්ක් කරන්නේ....?”

“බම්බලපිටියේ...”

“කොහෙද ෂොප් එකකද?”

“නැහැ...”

“එහෙනම්...”

“පොලිසියේ..”

“බොරු කියන්න එපා” ඇගේ කතාව මම විශ්වාස නොකළෙමි.

“බොරු නම්, මේ බලන්න මගේ අයිඩෙන්ටිය.” ඇය මට නිල ඇඳුම ලා ගත් ඇගේ ඡායාරූපය පෙන්වූවාය. මම ඇය දෙස මොහොතක් බලා සිටියෙමි. එසේ නම් ඇය පොලිස් කාන්තාවකි. ඒත් බැලූ බැල්මට ඒ බවක් පෙනෙන්නේ නැත.

“ඇයි බය වුණාද?”

“පිස්සුද?”

“මම හිතුවේ පොලිසියේ කිව්වම බය වෙයි කියලා...”

ඇය නක්කලයට මෙන් කීවාය.

“ඒ ඉස්සර. දැන් මිනිස්සු පොලිසියට බය නෑ.”

“ඇත්තද?”

ගාලු නගරය පසු කරද්දී අපි ආගිය තැන් බොහොමයක් කතා කළෙමු. ටික මොහොතකින් ඇය නිදි කිරා වැටෙන්නට විය. ඇය මගේ උරහිසට පහත් වූවාය. යළි බසයේ ගැස්සීමෙන් තිගැස්සී අවදි වූවාය.

“සොරි.....”

“නැහැ කමක් නැහැ.”

ඇය ඇස් දෙක තද කර නිදි කිරා වැටෙන්නට ඉඩ නොදී සිටින්නට උත්සාහ ගන්නා අයුරු මට හොඳින් පෙනේ. ඒ මා ඇය දෙස හොරැහින් බලද්දීය.

“හොඳටම නිදිමතයි නේද?”

“ඔව් ඊයේ ගොඩක් නිදි මැරුවා....”

“ඇයි ඒ....”

“ඊයේ අපේ ගෙදර දානයක් තිබුණා.”

“ඇයි ඒ....”

“මගේ මහත්තයා නැති වෙලා ඊයෙට අවුරුදු හතරක් වෙනවා...”

මට ඇය ගැන පුදුම හිතුනේ එවිටය. එසේ නම් ඇය වැන්දඹුවකි. ඇය දුටු කෙනෙකුට ඇය විවාහ වූ තරුණියක කියා කිසි

විටෙකත් කිව නොහැකිය.

“මහත්තයා නැති වෙලා හුඟක් කල්ද?”

“ඔව් අවුරුදු හතරක් වෙනවා.”

“කොහොමද නැති වුණේ?”

“ඇක්සිඩන්ඩ් එකකින්”

“එතකොට බබාලා...”

“හොඳ වෙලාවට අපිට බබලා නෑ.”

මම ඇය කියන දේ හොඳින් අසා සිටියෙමි. ඇය සිය සැමියා ගැන තව තවත් දේ කීවාය. ඒ ඔහු තුළ වූ හොඳ ගතිගුණ ගැනය. ඔහුද පොලිස් නිලධාරියකු බව ඇය කීවාය. පොලිස් සේවයට එක් වීමෙන් පසු දැන හඳුනාගත් ඔහු සමඟ විවාහ වූ ඇය ඔහුගේ මරණයෙන් පසු අසරණව සිටී.

බසය වේගයෙන් ඇදී යයි. මගීන් බොහොමයක් දෙනා නිදි සුව විඳිති. දෙතුන් දෙනකු හැරෙන්නට ඇහැරගෙන සිටින්නේ මාත් ඇයත් පමණි.

“ඉතින් තව කසාදයක් කරගන්න තිබුණනේ...?”

මම ඇයගේ නිදිමත ගතිය නැති කරන අදහසින් නොයෙකුත් ප්‍රශ්න ඉදිරිපත් කළෙමි. ඒ කතාවත් සමඟ ඈ මා දෙස බලා ඉවත බලාගත්තේ තරහින් මෙනි.

“තරහ ගියාද?”

“නැහැ....”

“එහෙනම්...”

“නිකම්”

තවත් විනාඩි දෙක තුනක් ඇය කතා නැතිව සිටියාය.

“මම අහපුදේට කේන්ති ගියා නේද?”

“නැහැ...”

“ඇත්තටම ඔයාට තව කෙනෙක් බඳීන්න පුළුවන්නේ. ඔයා තවම තරුණයිනේ....”

ඇය එවර නම් සිනාසුණාය. මා දෙස බලා යළි සිනාසුණාය.

“පිරිමි විශ්වාස කරන්න බැහැ....ඒකයි.”

“හැම පිරිමියාම එහෙම නැහැ.”

මමත් ඇගේ හැම කතා බහටම පිළිතුරු දුනිමි. ඇය ද ඊට එක එක දේ කීවාය. අපි අතර තර්ක විතර්ක ද ඇති විණි. ඇයද පරාජය බාර ගන්නට කැමති නැති බවක් පෙනේ.

“ඔයා නම් හරියන්නේ පොලිසියටම තමයි.”

“ඇයි ඒ....”

“ඇයි ඉතින් ඔයාගේ පොලිස් පාට් නිසා.”

“අනේ එහෙම නැහැ. මම කිව්වේ ඇත්ත.... පිරිමි හරිම චපල ජාතියක්. තමන්ගෙ වැඩේ කරගන්නකම් සේරම....”

“ඔයාගේ මහත්තයත් එහෙමද?”

“අනේ නැහැ... එයා රත්තරන් මනුස්සයෙක්...”

ඇය එසේ කියන්නේ සිය සැමියා ගැන තවමත් ඇය තුළ ඇති ආදරය නිසා බව මම දනිමි. ඇය වෙනත් විවාහයකට අකමැති ඒ නිසා වන්නට බැරි නැත.

“එතකොට ඔයා ආයෙත් බඳින්නෙම නැහැ.”

“එහෙම කියන්නත් බැහැ. ඒක කාලයාට විසඳන්න දීලයි තියෙන්නේ....”

“ඒ කිව්වේ...”

“සමහරවිට බඳියි. නැත්නම් තනියම ඉඳියි.”

ඇය කීවේ දිගු සුසුමක් පිට කරමිනි.

“ඔයා බැඳලා නැද්ද?”

ඒ ප්‍රශ්නය ඇගෙනි.

“නැහැ.”

“බොරු කියන්න එපා.”

“ඇත්තමයි, බලන්න මගේ අතේ මුද්දක්වත් නැහැනේ....”

මම අතේ ඇඟිලි පෙන්වමින් ඇයට කීවෙමි.

“අපෝ දැන් පිරිමි මුදු දාන්නේ නැහැනේ.... ගෑනුන්ව අල්ලගන්න.”

“ඒ ඔයාට හම්බෙච්ච පිරිමි වෙන්න ඇති.”

මගේ කතාවෙන් ඇගේ හිත රිදුනා දැයි මට සිතිණි. ඒ ඇය මගේ කතාවෙන් පසු මදක් නිහඬ වූ නිසාය.

“ඇයි තරහ ගියාද?”

“අපට තරහ යන්නේ නැහැ.”

“ඒ කොහොමද?”

“අපිට ඉවසීම හොඳට පුරුදු කරලයි තියෙන්නේ...”

බසය කොළඹට ආසන්න වී ඇති බව ජනේලයෙන් පිටත බැලූ මම දිටිමි. බස් රියේ වායුසමීකරණයෙන් පිටවී එන සීතල සුළඟ මගේ ගතට ගෙන දෙන්නේ අමුතුම සුවයකි.

“සීතල වැඩියි නේද?”

ඇය මා දෙස බලා කීවාය.

“ඇයි සීතලට ආස නැද්ද?”

“නැහැ.... එහෙම නෙවෙයි. ඒ.සී ටිකක් වැඩියි වගේ.”

“දැන් බහින්න ළඟයි නේ...”

“ඔව්මයි. ආ ඔයාගේ සල්ලි...”

ඇය මතක් කළේ ඇයට ටිකට්පත ගන්නට මා දුන් මුදල පිළිබඳවය.

“ඒක ඔයා තියාගන්න. මම පොලිසියට ආවම දෙන්න...”

ඇය ඊට පිළිතුරු ලෙස පැවේ සිනහවකි.

“මම එන්නද පොලිසියට...”

“මොකටද? දුන්න සල්ලි ගන්නද?”

“නැහැ....”

“එහෙනම්”

“ඔයාව බලලා යන්න.”

ඇය ඊට හිස වැණුවාය. සිනහවක් ද පෑවාය.

“එහෙනම් ඔයාගේ ෆෝන් නම්බරේ දෙනවද?”

ඇය ඇගේ අංකය මට දුන්නාය. මම එය එවේලේම මගේ මොබයිල් දුරකථනයේ සටහන් කර ගත්තෙමි.

“බම්බලපිටියට ආවා.....”

මම ඇයට කීවෙමි. ඇය තව මොහොතකින් බසයෙන් බසිනු ඇත. මට දැනෙන්නේ පාළුවකි. බසය බම්බලපිටිය සුපර්මාර්කට් එක ඉදිරිපිට බස් නැවතුමේ නතර විය.

“මම බහිනවා... එහෙනම් කෝල් එකක් දෙන්න.”

ඇය මගේ අත අල්ලාගෙන කීවාය. මට දැනුණේ ඉමහත් සතුටකි. මම ඇය නොපෙනී යන තුරු බලා සිටියෙමි. බසය යළි ඉදිරියට ඇදිණි. ඇය මා දෙස බලා අත වැනුවාය. ඒ මගේ දුරකථන ඇමතුමක් බලාපොරොත්තුව සිටින නිසා විය හැකිය.