පාසල් දැරිය මරා දැමු ඝාතකයන් පෝරකයට

පාසල් දැරිය මරා දැමු ඝාතකයන් පෝරකයට

ඇය ජීවත් වුයේ ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කෝපාඩි ග්‍රාමයේය. නවවැනි පංතියේ ඉගෙනුම ලැබු 15 හැවිරිදි ඇය තම බයිසිකලය පැදගෙන සීයාගේ නිවසේ සිට තම නිවස කරා පැමිණෙමින් සිටියදී මෙවන් නොසිතු ඉරණමකට මුහුණ පෑවාය.

මෙම දැරිය මේ අයුරින් නිවස බලා එද්දී අපරාධ කාරයින් තිදෙනකු ඇය අල්ලාගෙන සමුහ දුෂණයකට ලක් කරනු ලැබුහ. එපමණක් නොව මෙම පිරිස ඇය දැඩි හිංසාවට ලක් කරමින් සිරුර පුරා කැපුම් තුවාල සිදුකර ඇගේ අත් පා බිඳ දමා පසුව ඇගේ ගෙල ද මිරිකා මරා දැමූහ.

කොපාඩි සමුහ දුෂණය ලෙස ප්‍රධාන මාධ්‍යයන් තුළ හඳුන්වනු ලැබු මෙම සිදුවීම මුළු මහත් ඉන්දියාව පුරාම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

එය ඉන්දියාවේ දේශපාලන කෂේත්‍රයේ මෙන්ම අධිකරණ කේෂත්‍රය තුළ ද දැවැන්ත විරෝධයක් ඇති කර ලීමට සමත් විය. මේ නිසා බොහෝ පිරිස් ඝාතකයන් අත්අඩංගුවට නොගන්නා බව කියමින් පොලිසියට චෝදනා එල්ල කළහ. ඉන් නොනැවතුණු ඔවුහු උද්ඝෝෂණ කරන්නද වුහ.

මෙම අනුකම්පා විරහිත සැහැසි ක්‍රියාව නිසා මහරාෂ් ටු ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වූ අහමද් නගර් පුරා විරෝධතා රැළි රැසක් පැවැත්විණි. ඝාතකයින් අල්ලා ගැනීම පිළිබඳ දැඩි බලපෑමක් හැම අතින්ම පොලිසියට එල්ල වන්නට පටන් ගත්තේය.

ඉන් අනතුරුව පොලිසිය මෙම දැරියගේ ඝාතනය පිළිබඳ විමර්ශනයක් ඇරඹියද කිසිවකුත් මේ සම්බන්ධයෙන් සාක්ෂි දීමට ඉදිරිපත් නොවීය. ඒ ඝාතකයන්ට තිබූ බිය නිසාමය.

එහෙත් ඝාතනය වූ දැරියගේ ඥාති සොහොයුරකු විසින් පොලිසියට කිසියම් හෝඩුවක් ලබා දුන්නේව ඔය අතරය. ඝාතකයින් තිදෙනාගෙන් එක් අයකු වන නිතින් නමැත්තා තම සොහොයුරියගේ සිරුර ඔසවා ගෙන යන අන්දම තමා දුටු බව ඔහු පොලිසියට පැවසීය. එම හෝඩුවාව මත අපරාධය සිදු වී දින හතරකට පසු දැරිය දුෂණය කොට මරා දැමීමට සම්බන්ධ ඝාතකයින් තිදෙනාම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

මෙම අපරාධකරුවන් තිදෙනාගෙන් ජිතේන්ද්‍ර බාබුලාල් ෂින්ඩේ නමැත්තා අහමද් නගර් හිදී අත්අඩංගුවට ගනු ලැබු අතර ඉන් පසුව සන්තෝෂ් ගෝරක් භවාල් යන අය කර්ජාත් නගරයේදී අල්ලා ගනු ලැබීය. නිතින් ගෝපිනාත් කොටවුයේ පූනේ නගරයේදීය. මොවුන් තිදෙනා වයස විසි ගණන් වල පසු වූ තරුණයින් වුවාසේම ඔවුන් සියල්ල අඩු කුලයට අයත් වීම ප්‍රජාවගේ දැඩි විරෝධය ඇතිවීමට බෙහෙවින් හේතු වූ බව කිව යුතුය.

අත්අඩංගුවට ගනු ලැබු ෂින්ඩේ නමැත්තා මෙහි ප්‍රධාන සැකකරු විය. දැරිය දුෂණය කොට මරා දැමීම සිදු කර ඇත්තේ ඔහු විසින් බව පරීක්ෂණ වලදී හෙළි විය. අනෙක් දෙදෙනා මෙම අපරාධය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට ප්‍රකාශ විය.

මෙම සිදුවීමට දින දෙකකට පෙර ෂින්ඩේ නමැත්තා මෙම දැරියට විහිළු කළ බවත් එම අවස්ථාවේදී ඉතිරි දෙදෙනා ද එයට සම්බන්ධ වු බවද ප්‍රශ්න කිරිම් වලදී අනාවරණය කරගත හැකිය.

ඉන් පසුව සාක්කි කරුවන් රැසක් පොලිසියට ඉදිරිපත් වී ඔවුන් දන්නා දේ කියා සිටියහ. විමර්ශන වලදී හෙළි වුයේ දැරිය දුෂණය කොට මරා දැමීම සඳහා ඝාතකයන් කලක සිට සැලසුමක් සකස් කර තිබු බවය.

අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු මෙම සාහසිකයන්ට එරෙහිව පොලිසිය මඟින් පිටු 350කින් යුක්ත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබු අතර ඝාතකයන්ට එරෙහිව සාක්ෂි කරුවන් 31 දෙනෙකු ද පොලිසිය විසින් අධිකරණයට කැඳවනු ලැබීය.

ඇහින් දුටු සාක්ෂි නොමැති වුවත් පර්වේෂණීය සාක්ෂි හා අධිකරණ වෛද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් තිදෙනාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා සියල්ල අධිකරණයේ දී ඔප්පු කෙරිණි.

නඩු විභාගය නැරඹීමට අති විශාල ජනකායක් උසාවි භූමියට පැමිණ සිටි අතර අතිරේක විනිශ්චයකාර සුවර්තා කේවාලේ විසින් මෙම අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරනු ලැබු අවස්ථාවේදී මුළු උසාවි භූමියේ සිටි ජනතාව මහ හඬින් ඔල්වරසන් දුන් බවද එහි මාධ්‍ය වාර්තා කළේය.

මරණීය දණ්ඩනය නියම වීමත් සමඟ මියගිය දැරියගේ මෑණියන් සැනසුම් සුසුම් හෙළමින් මෙසේ කීවාය.

“අපි වෙනුවෙන් පෙනී සිටි නීතිඥතුමා, ප්‍රධාන ඇමති ද දමා, ඒ ඒ වගේම මේ අපරාධකරුවන් අල්ලා ගැනීමට උනන්දු වූ මුළු මහරාෂ්ට්‍ර ප්‍රජාවටත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා. ඒ වගේම මෙම අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය හැර වෙනත් දඬුවමක් නැතැ”යි ද ඇය පැවසුවාය.

“මගේ දුව යළි එන්නේ නෑ. ඒත් අවසානයේ දී ඝාතකයන්ට නියම දඬුවම ලැබුණා” යැයි මියගිය දැරියගේ පියා හඬා වැවෙමින් පැවසුවේය.

දැරියගේ පවුලට සිදුවන නින්දා අපහස නිසා ඇගේ නම හෝ ඇගේ පවුලේ අයගේ නම් විමර්ශන අවසන් වනතුරුම කිසිදු මාධ්‍යයක් මගින් පළ කර නොතිබිම විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.