ගලෙන්බිඳුණුවැව කරුණාවතී තවදුරටත් රිමාන්ඩ්

ගලෙන්බිඳුණුවැව කරුණාවතී තවදුරටත් රිමාන්ඩ්

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවක වූ කරුණාවතී අද සිරගෙදරය. ඒ... රාත්‍රී කාලයේ හොර රහසේ නිවෙසට ඇතුලු වූ පුද්ගලයකු ඝාතනය කිරීම නිසාය.

ඇය අතින් ඝාතනය වුයේ යාපා මුදියන්සේලාගේ සරත් කුමාර රූපසිංහ නැමැති තිස් නව හැවිරිදි අවිවාහකයාය.

ඔහු ඝාතනය කර තිබුණේ පොරොවකින් ගෙල ප්‍රදේශයට පහර දීමෙනි.

ඔහු මිය ගොස් සිටියේ එලන ලද පැදුරක් මත කොට්ටයේ හිස තබා උඩු බැලි අතට නිදා සිටින අයුරිනි. මළ සිරුර නිරුවත්ය. සිරුර දුටු විට පෙනී යන්නේ ඔහු යම් කාර්යයක් අවසන් කොට නිදහසේ නිදා සිටියදී ඝාතනය කර ඇති බවය.

ඔහු හැඳ සිටි ඇඳුම් කාමරයේ තිබී හමු වූ අතර ඔහුගේ කමිස සාක්කුවේ තිබී පෙති වර්ගයක් ද හමු වී තිබිණි. ඒවා උපත් පාලන පෙති බව පසුව හෙළිවිය. එලෙසම ඔහු මෙම නිවෙසට පැමිණ තිබුණේ කසිප්පු පානය කොට හොඳින් වෙරීවීමෙන් අනතුරුවය. කාමරයේ තිබී සිගරට් අළු ද හමු වූ අතර ඉන් ගම්‍ය වන්නේ ඔහු මෙම නිවෙසට පැමිණ සෑහෙන වේලාවක් සිට ඇති බවයි.

සැකකාර කරුණාවතී වයස අවුරුදු පනස්පහ ද ඉක්ම වූ අවිවාහක කාන්තාවකි. කෙසඟ සිරුරකට හිමිකම් කියන ඇය දුර්වර්ණ වූ සමකින් යුතු එතරම් සවි ශක්තියක් නැති කාන්තාවක් බව බැලු බැල්මට පෙනී යයි. එබැවින් ඇයට මෙම පුද්ගලයා සමඟ කිසිසේත්ම පොර බැදිය හැකි තත්ත්වයක් නැත. එබැවින් ඔහු නිවෙසට පැමිණ බලහත්කාරයෙන් ඇය දුෂණය කොට නිවෙසේ නිදා සිටිය දී ඇය ඔහු මරා දැමු බවක් මුලික පරීක්ෂණ වලදී හෙළි ව තිබිණි. එහෙත්... ඇය රක්ෂිත බන්ධනාගාර ගත කළේ සිද්ධිය පිළිබඳ තව දුරටත් විමර්ෂණ සිදුකොට සිදු වුයේ කුමක්දැයි නිවැරදි ලෙසම සොයාගන්නතුරු සහ අධිකරණ වෛද්‍ය වාර්ථාව ලැබෙන තුරුය.

පසුගිය පහළොස් වැනිදා කහටගස්දිගිලිය සංචාරක උසාවියට ඉදිරිපත් කෙරුණ ඇය මෙම මස විසි දෙවැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් කේ.ටී.එස්. හර්ෂණ මහතා නියෝග කළේය. ඒ... සරත් කුමාර ඝාතනය බර අවියකින් එල්ල කළ පහර වලින් සිදුව ඇති බව අධිකරණ වෛද්‍යවරයා පවසා සිටියත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාව තවමත් අධිකරණයට ලැබී නොමැති නිසාය. එලෙසම සරත් කුමාර ඝාතනයේ විමර්ෂණ ද තවමත් අවසන් නොමැති බැවින් ඇය දින හතක කාලයක් සඳහා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පොලිසිය පසුව කළ විමර්ශන වලදී කරුණු රැසක් හෙළි වී ඇත. එම තොරතුරු වලට අනුව සැකකාර කරුණවතී අවිවාහකය.

එහෙත් ඇය කන්‍යාවක් නොවන බව ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා සඳහන් කර තිබිණි.

අසල් වාසීන්ගෙන් ලත් තොරතුරු වලට අනුව ඝාතනය වූ සරත් කුමාර මීට පෙර බොහෝ අවස්ථාවල දී කරුණාවතී ගේ නිවෙසට පැමිණ ඇත. එහෙත්.... කරුණාවතී පවසන්නේ ඔහු සවසට බීගෙන තම නිවෙසට පැමිණ බලහත්කාරයෙන් තමා හා ලිංගික සබඳතා පැවැත්වීමට උත්සාහ කරන බවයි.

ඇය ගේ සහෝදරියන් පදිංචිව සිටින්නේ ඇයගේ නිවෙස පිහිටි වත්තේ ඉදිකළ නිවෙස් වලය. එබැවින්... ඇයට යම් කරදරයක් හිරිහැරයක් වන්නේ නම් එක වරක් කෑ ගැසූ විට ඔවුන් දිව එනු නියතය. එය එක් වුවද එවැනි සිදුවීමක් මීට පෙර වී නැත. පොලිස් පොතේ ද පැමිණිලි නැත.

එහෙත්... මෙම පුද්ගලයා බලහත්කාරයෙන් නිවෙසට ඇතුලුව එහි පැය ගණනක් සිට අතවර කොට පැදුරක් එලා නිදාගන්නා තුරුම ඇය ආධාර ඉල්ලා නොසිටියේ කුමන කරුණක් නිසා ද යන පැනය පරීක්ෂණ කණ්ඩායමට මේ වන විට පැන නැගී ඇත.

“ඔය මනුස්සයා බීගෙන ගෙට එද්දී කෑගහගෙන එළියට පැන්නා නම් උදව්වට එන්න ඕන තරම් අය අවට ඉන්නවා. එයාගේ අයියලා මල්ලිලා පදිංචි වෙලා ඉන්නෙත් ඒ වත්තේමයි. ඒත්.... ගෙදරට ආපු පුද්ගලයා මරලා දාලා තමයි එයා එළියට ඇවිත් සහෝදරයන්ට විස්තර කියලා තියෙන්නේ. 119 වලට කියන්න කියලා තියෙන්නෙත් එයාමයි.” සරත් කුමාර ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියකු එලෙස පැවසීය.

සරත් කුමාර යනු අවිවාහකව සිටිමින් පදිංචි ගමේත් අවට ගම්වලත් ගැහැනුන් සමඟ ලිංගික සබඳතා පවත්වමින් විමෝදකාමී ජීවිතයක් ගෙවන අයෙකි. ඔහු.... කරුණාවතී ගේ ගම් ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවන් කිහිප දෙනකුම සමඟ සබඳතා පවත්වන බව හෙළි වී ඇත. මොහු උපත්පාලන පෙති නිතරම ළඟ තබාගෙන සිටින්නේ එවැනි තරුණ කාන්තාවක හා ලිංගික සබඳතා පැවැත් වූ විට ඇයට ලබාදීම සඳහාය.

එනම් ඕනෑම කාන්තාවක සමඟ ලිංගික සබඳතා පැවැත්වුවද පෙත්ත බොන්නට දෙන බැවින් ඉන් ඉදිරියට ඇතිවන අතුරුපල පිළිබඳ ඔහු වගකියන්නේ නැත.

එහෙත්.. මොහු මෙලෙස කාන්තාවන් ඇසුරු කළ ද ඒ සියලුම සබඳතා දෙදෙනාගේ කැමැත්ත අනුව සිදු වූ ඒවා බව සනාථ වන්නේ ඔහුට විරුද්ධව ස්ත්‍රී දුෂණ, බලහත්කාරකම්, අයුතු ඇතුලු වීම් ආදී කිසිම චෝදනාවක් මත පොලිසියට පැමිණිලි ලැබී නොමැති නිසාය.

වෘත්තීයෙන් පෙදරේරුවකු වන මොහු හම්බ කරන මුදලින් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ මත් වතුර සඳහාය. දවසේ රාජකාරිය නිම කිරීමෙන් අනතුරුව ඇඟපත සෝදා ගන්නා මොහු ගේ ඊළඟ රාජකාරිය වන්නේ කසිප්පු තිප්පොළවල් ගානේ යාමය. අත ඇති මුදල් වියදම් කර හොඳට වෙරිවන තුරු බොන මොහුට තවත් රාජකාරියක් ඇත. ඒ.. සිය පෙම්වතියන් , අනියම් බිරින්දෑවරුන් හමුවීමට යාමය.

“වැඩට ගිහින් බීගෙන ඇවිත් හැමදාම හවසට ගෙදරින් යනවා. ගිහින් ආපහු මහ රෑ එන්නේ. එයාගේ යන එන ගමන් ගැන අපි හොයන්නේ නෑ. කොහේ යනවද මොනවා කරනවද කියලා අපි දන්නෙත් නෑ.”

ඔහුගේ පවුලේ අය පවසා තිබුණේ එලෙසය.

කෙසේ හෝ ඔහු කරුණාවතී අනිත් මැරුම් කැවේය. ඒ... ඇයගේ නිවෙසට හොර රහසේ ඇතුලු වී ඇයට අතවර කිරීමට ගියාය යන කරුණ මුල් කර ගෙනය.

ඇය කහටගස්දිගිලිය සංචාරක උසාවියට ඉදිරිපත් කරමින් පොලිසිය පවසා සිටියේ ඇය මෙම ඝාතනය සිදුකර ඇත්තේ තම ආත්ම ගෞරවය මෙන්ම ආත්මරක්ෂාව උදෙසා බව විමර්ෂණ වලදී හෙළි වූ බවත් එබැවින් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතට මෙම ඝාතනය පත්වන බැවින් සුදුසු පියවරක් ගන්නා ලෙසටත්ය.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරිය ද කරුණු දක්වමින් තනිව නිවෙසේ සිටි ඇයට මොහු අතවර කිරීමට පැමිණි අවස්ථාවේ ආත්ම ගෞරවය රැක ගැනීමටත් ආත්මාරක්ෂාවටත් ඇය ඔහුට පහර දී ඇති බැවින් ඇයට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියාය. කහටගස්දිගිලිය පොලිසිය ද ඇයට ඇප ලබා දෙනවාට විරුද්ධ වුයේ නැත.

එහෙත්.... සරත් කුමාර ඝාතනයේ දැනට කළ විමර්ෂණ පිළිබඳ අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇය යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.