පොත්හලේ හිමිකරුගේ මරණය ඝාතනයක් නොවේලු

පොත්හලේ හිමිකරුගේ මරණය ඝාතනයක් නොවේලු

දිනය පෙබරවාරි 10 වැනිදාය. පළාත් පාලන මැතිවරණයේ උණුසුම මුළු රටම වෙලාගෙන තිබිණි. කුලියාපිටිය නගරවාසීන්ද මැතිවරණය සඳහා සිය දායකත්වය සක්‍රිය ලෙස ලබාදෙමින් සිටි අතර ඔවූහු කුලියාපිටිය සහ ඒ අවට පිහිටි ඡන්ද පොළවල් වෙත ලහිලහියේ ඇදෙමින් සිය ගමේ නියෝජිතයා තෝරාගනිමින් සිටියහ.

ඡන්ද විමසීමක් මෙසේ සිදුවෙමින් තිබියදී කුලියාපිටිය නගරය පුරා එතෙක් පැවැති සන්සුන් බව අතුරුදන් කරමින් යම් ආරංචියකට වේගයෙන් නගරය පුරා පියාඹා ගියේය.

‘‘ඉස්පිරිතාලේ ඉස්සරහ පොත් කඩේ මුදලාලි කඩේ ඇතුලෙම මැරිලලු.”

ආරංචිය කනවැකුණු හැම කෙනෙකුටම අවශ්‍ය වූයේ අදාල මරණය ස්වභාවික මරණයක්දැයි, එසේත් නැතිනම් ඝාතනයක්දැයි දැන ගැනීමටය. මැතිවරණ දිනයකදී එම මරණය පිළිබඳ අසන්නට ලැබීම ඒ පිළිබඳ උනන්දුවූවන්ගේ කුතුහලය වැඩිකරවන්නට සමත් වී තිබිණි.

මැතිවරණයට යොදා තිබූ ආරක්ෂක කටයුතු අධීක්ෂණය කරමින් අතිශය කාර්යබහුල තත්ත්වයක පසු වූ කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍ි‍්‍රයන්ත ඇතුලු නිලධාරින් වෙතද අදාල ආරංචිය ලැබෙන්නේ මියගිය පුද්ගලයාගේ වැඩිමල් පුත්‍රයා මාර්ගයෙනි. ඒ තම පියා අබිරහස් අන්දමින් මියගොස් ඇති බවට එම පුත්‍රයා විසින් කුලියාපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් හරහාය. අදාල පැමිණිල්ල ලැබීමත් සමඟ මැතිවරණ රාජකාරියෙන් මොහොතකට මිදුණු පොලිස් නිලධාරිහු කුලියාපිටිය මූලික රෝහලේ පැරණි ගේට්ටුව ඉදිරිපිට පිහිටි පොත්හල වෙත පැමිණ සිය පරීක්ෂණ ආරම්භ කළහ.

මියගොස් සිටින්නේ පොත්හලේ හිමිකරු වන අදාසූරිය මුදියන්සේලාගේ කුලතිලක බණ්ඩාර නමැති 64 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය අනාවරණය කරගත්තේය.

අදාල පොත්හල මහල් දෙකකින් යුතු එකකි. එහි බිම් මහලේ පොත්හලට අදාල ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගොස් ඇති අතර , ඉහළ මහලේ කුලතිලක බණ්ඩාර මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා පදිංචි වී සිටිති. කුලතිලක මහතාගේ වැඩිමහල් පුත්‍රයා විවාහයෙන් පසුව වෙනත් නිවසක වාසය කර ඇති බව පොලිසිය තහවුරු කරගත්තේය. සරමකින් පමණක් සැරසී සිටි කුලතිලක මහතාගේ මළ සිරුර සෝපා වර්ගයේ පුටුවක් අසල මුණින් අතට වැටී තිබිණි. නාසයෙන් විශාල ලේ ප්‍රමාණයක් පිටතට ගලා ගොස් ඇති නමුත්, වෙනත් කිසිදු බාහිර තුවාලයක් දක්නට නොලැබීණි. මළ සිරුරේ තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ පොලිස් නිලධාරිහු තවත් පුදුම සහගත කරුණක් අනාවරණය කරගත්හ. එනම් අදාල මරණය සිදු වී ඇත්තේ ඊට දෙදිනකට පෙර බවය. එම දෙදින පුරාවට මියගිය ව්‍යාපාරිකයා‍ගේ බාල පුත්‍රයා පියාගේ මෘත ශරීරය එලෙස තිබියදී කිසිවකුට ඒ ගැන නොදන්වා උඩු මහලේ වාසය කර ඇති බවද පොලිසිය දැනගත්තේ ඉන් පසුවය.

දෙදිනකට පෙර මරණය සිදුවීමත්, මළ සිරුරේ බාහිර තුවාල කිසිවක් දැකගත නොහැකිවීමත්, මියගිය අයගේ පුත්‍රයා මළ සිරුර සමඟ දෙදිනක් ගතකර තිබීමත් වැනි අසාමාන්‍ය කරුණු නිසා පොත්හල් හිමියාගේ මරණය අබිරහසක් බවට පත්ව තිබිණි. ඒ නිසාම කුලියාපිටිය කොට්ඨාශ පොලිස් අපරාධ ස්ථාන පරීක්‍ෂණ (සොකෝ) නිලධාරින් මේ පිළිබඳ විමර්ශන අරඹන ලදී. මරණය පිළිබඳ පැවැති ගැටලු හේතුවෙන් මහේස්ත්‍රත් පරීක්‍ෂණය පැවැත්වීම සඳහා එහි පැමිණි කුලියාපිටිය වැඩ බලන මහේස්ත‍‍්‍රත් ආසිරි ප‍‍්‍රනාන්දු මහතා නියම කළේ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා මරණයට සැබෑ හේතුව අනාවරණය කරගැනීම පිණිස දේහය කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවන ලෙසය. යහපත් මානසික සෞඛ්‍ය තත්වයකින් පසුනොවන බවට නිරීක්ෂණයවීම හේතුවෙන් මරණකරුගේ බාල පුත්‍රයා පොලිස් භාරයට ගැණිනි.

ඊට පසුදින කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් කුලතිලක බණ්ඩාර මහතාගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයට ලක්කර අදාල මරණය ස්වභාවිකව සිදුවූවක් බවට තීන්දු කිරීමත් සමඟ ඒ වටා ගෙතී තිබුණු අබිරහසද එතනින් විසැඳී ගියේය. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කුලතිලක මහතා සිය නිවස තුළදීම මියගොස් ඇති බවත්, නාසයෙන් පිටතට ගලා තිබූ රුධිරය එම අවස්ථාවේදී පිට වූ ඒවා බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිගමනය විය. එම තීන්දුවට අනුව ඝාතන පරීක්ෂණ මෙහෙය වූ පොලිසියට කුලතිලක මහතාගේ මරණය පිළිබඳ තිබූ අනෙක් සැක සංකාවන්ද නිරවුල් කරගැනීමට හැකිවිය.

මරණකරුගේ බාල පුත්‍රයා යහපත් මානසික සෞඛ්‍ය තත්වයකින් පසුනොවීම හේතුවෙන් නිවස තුළ ඇදවැටී සිටින පියා පිළිබඳ සැලකිල්ලක් දක්වා නැතැයිද, ඒ පිළිබඳ වෙනත් පාර්ශ්වයකට දැනුම් දෙන්නට කටයුතු කර නැතැයිද පොලිසිය අනාවරණය කරගත්තේය. නිවස තුළ මියගොස් සිටින කුලතිලක ගේ සිරුර දැක ඒ පිළිබඳ පොලිසියට දැනුම් දී ඇත්තේ මරණය සිදු වී දෙදිනකට පසු පොත්හලට ගොඩවෙන ඔහුගේ වැඩිමල් පුත්‍රයා විසිනි.

කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍‍්‍රියන්ත මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හැරිසන් සෝමසිරි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක සිරිසෝම, පොලිස් සැරයන් ධර්මසිරි(29269) පොලිස් කොස්තාපල් රණසිංහ(49754) කිත්සිරි , (34060) යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරති.