“දැන් ඉතින් කොලු වයස නෙමෙයිනේ”

“දැන් ඉතින් කොලු වයස නෙමෙයිනේ”

චමිල ඔහුගේ සැබෑ නමයි. ඔහුට ඇත්තේ කෙසඟ සිරුරකි. නමුදු තරුණ වියේදීම ගමේ තරුණ නඩය ඔහුට නමක් පට බැන්දේය. ඒ චුට්ටේ කියාය. කෙසේ වෙතත් කරදඬු උස් මහත් වූ චුට්ටේ අවසානයේ සිරගත විය. ඒ මංකොල්ල කෑමේ වරදටය. වසර කිහිපයක් සිරගතව සිටි ඔහු මට හමුවුයේ හිරගෙදර ගේට්ටුව අභියසදීය. ඒ ඔහු නිදහස ලබා හිරගෙදරින් පිටතට පැමිණ සිටියදීය.

දැන් ඔහු හතළිස් හැවිරිදිය. පෙනුම අහිංසකය. බැලු බැල්මට මොහු හොරෙක් යැයි කිසිවකු නොකියනුු ඇත. ඒතරමටම ඔහුගේ පෙනුම ප්‍රසන්නය. තැන්පත් ය.

“ඉස්සර මාව දැක්ක නම් ඔහොම කියන්නේ නැහැ.” ඔහු මා දෙස බලමින් කියන්නට විය.

ඒ මොකද?

“මම කොණ්ඩය දිගට වවලා රැවුල වවලා හිටියේ. හැමෝම කිව්වේ මට මරුමූස් පාටයි කියලා.”

“චුට්ටේ” කියන නම හැදුණේ කොහොමද?

“අම්මා මට පොඩි කාලේ ඉඳලාම කිව්වේ චුටි කියලා. ගෙදර හැමෝම කිව්වේ චුටි කියලා. ඒ මම ගෙදර බාලයා නිසා. වත්තේ කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න වැටුණාම උන් හැමෝම මට චුට්ටේ කියන්න ගත්තා. ඒ හැමෝම මට ඒ නම කිව්වේ ආදරේට.”

ඉස්කෝලේ ගියේ නැද්ද?

“අපොයි මම ඉස්කෝලේ ගියා. මම ඉගෙන ගන්න දක්ෂයි. ඒත් උසස් පෙළ විභාගය කළේ නැහැ. අපේ පොඩි අයියා ගාමන්ට් එකක් පටන් ගත්තා. මම ඒකේ වැඩට ගියා. සාමාන්‍ය පෙළ විභාගය විතරයි කළේ. පොඩි අයියත් එක්ක මම වැඩ කළා. අයියා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. මට එයාගේ ෆැක්ටරියේ ඩ්‍රැයිවර් වැඩේ ඉඳලා හැමදේම කළා. අයියා මට ස්ථීර වැටුපක් දුන්නේ නැහැ. නමුත් මට සැලකිය යුතු මුදලක් දුන්නා. එයාට මාව විශ්වාස නිසා.”

කෙල්ලෙක් හිටියද?

“එකක් නෙමෙයි සබඳතා දෙක තුනක්ම තිබුණා. ඒත් ඒ එකකටවත් ගෙදරින් කැමති වුණේ නැහැ. ඒ නිසා මං අන්තිමට කසාද බඳින අදහස අත්හැරලා දැම්මා. මොකද මම හොයාගන්න කෙල්ලට ගෙදරින් හැමදාම අකමැති වෙන නිසා.”

ඇයි ඒ අය අකැමති වෙන්නේ?

“මගේ හිතේ ලොකුකම් නැහැ බොරු සෝබන නැහැ. මං හෙව්වේ කෙල්ලගෙ ලස්සන විතරයි. ඒත් අම්මලා හෙව්වේ කෙල්ලගෙ දෑවැද්ද, පෙළපත. අම්මා තාත්තා ගැන අපි දෙගොල්ලෝ එතැනදී පෑහුණේ නැහැ. ඒ නිසා මම කෙල්ලෙක්ට ආදරේ කරන අදහස අතහැරලා දැම්මා. මොකද මගෙන් කෙල්ලන්ට අතවරයක් නුනට මං යාළුවෙච්ච කෙල්ලෝ අන්තිමට මම නිසා දුක් වුණා. උන් රස්සාව දාලා ආයෙත් ගම්වලට ගියා. මමත් හිත රිදව ගත්තා.”

ගෙදරින් කාවවත් හොයලා දුන්නේ නැද්ද?

“අම්මා එක එක යෝජනා හොයාගෙන ආවා. ලොකු ලොකු පවුල් වලින් මං ඒවට කැමති වුණේ නැහැ. ඔය අතර අයියා ලොකු පවුලකින් කසාද බැන්දා. ඒ නෑනා ට ඕන වුණේ අයියගෙන් මාව වෙන් කරන්න. කොහොම හරි එයා ඒ දේ කළා. අයියගේ ගාමන්ට් එකට නෑනා එයාගේ මල්ලිව ගෙනාවා. නොකරපු වැරදි වලට මාව පැටළුවා. අන්තිමට මම ගෙදර නතර වුණා. අක්කා හිටියේ පිටරට පදිංචි වෙලා. එයා ළඟට යන්න කියලා අම්මා මට කිව්වා. මම ඒකට කැමති වුණෙත් නැහැ. මොකද මට ඕන වුණේ ස්වාධීනව ජීවත් වෙන්න. අයියා ළඟ වැඩ කළා කියලා මගේ ළඟ ඉතිරි කරපු දෙයක් තිබුණේ නැහැ. මට මහ ගේ අයිති වෙන්න ඕනා උරුමය හැටියට. ඒත් නෑනා මට ඒ හැමදේම අහිමි කෙරුවා. අම්මා මැරුණේ ඔය අතරේ. මං මහ කාලකාන්නි චරිතයක් වුණේ ඊට පස්සේ.”

ඇයි එහෙම කියන්නේ?

“අම්මා මැරුණට පස්සේ මට හැමදේම එපා වුණා. මට ඉන්න හිටින්න තැනක් නැහැ නේද කියලා හිතුණේ එතකොට. නෑනා මුළු ගෙදරම ආදිපත්‍ය එයාගේ අතට ගත්තා. අයියා වුණත් ජීවත් වුණේ එයාට ඕන විදිහට. අයියට මාව අමතක වෙලාම ගියා. අක්කා ලංකාවට ආවේ අම්මගෙ මරණයට විතරයි. හැමෝටම මාව එපා වුණා. අන්තිමට මං මගේ ඇඳුම් ටිකත් අරගෙන ගෙදරින් එළියට බැස්සා. යන්න එන්න තැනක් තිබුණේ නැහැ. යාළුවෙක්ගේ බෝඩිමට ගියා. උන් ගමෙන් ඇවිල්ලා නගරේ පදිංචි වෙලා හිටියේ. ඒ බෝඩිමේ තව හතර දෙනෙක් හිටියා. ඒ ගොල්ලන්ට රස්සාවල් තිබුණේ නැහැ. ඔය මොන මොනවාහරි කරලා ජීවත් වුණේ. මමත් අන්තිමට රස්සාවක් හොයාගත්තා. ඒ ගාමන්ට් එකක වාහනයක් එළවන්න. පඩියක් ලැබුණා. බෝඩිමටත් ගානක් ගෙවාගෙන හිටියා. යාළුවෝ සතියට දෙතුන් සැරයක් බොන්න සෙට් වෙනවා. මමත් ඒ අය එක්ක බොන්න සෙට් වුණා. අපි අතර හිටපු කෙනෙක්ගේ නංගිගේ මඟුල් ගේ ළං වෙලා තිබුණා. යාළුවෝ හැමෝම ඒ යාළුවාට උදව් කළා. යාළුවා හරිම දුප්පත්. මිනිහට ඕන වුණා නංගි ගේ මඟුල් ගේ ලස්සනට ගන්න. ඒත් යාළුවා ළඟ ඒ හැටි මුදලක් තිබුණේ නැහැ. නමුත් යාළුවාට ඕන වුණා නංගිගේ මඟුල ජයටම ගන්න. බැරිම තැන අපි හැමෝම සල්ලි හොයන්න ක්‍රමයක් කල්පනා කළා.”

“ගාමන්ට් එකේ සල්ලි බැංකුවට ගෙනියන දවස් මම දන්නවා. මං යාළුවන්ට ඒ ගැන විස්තර කිව්වා. කටිටියම එකඟ වුණා වැඩක් දෙමු කියලා. අන්තිමට අපි කට්ටියම එකතුවෙලා හොඳ ප්ලෑනක් ගැහුවා. ගාමන්ට් එකේ පඩි ගෙවන්න සල්ලි ගේන්න මාසයකට සැරයක් බැංකුවට යනවා වාහනයකින්. ඒ වාහනය සල්ලි අරන් බැංකුවෙන් එද්දී මඟදි මංකොල්ල කන්න අපි තීරණය කළා. කතා කරගත් පරිදි යාළුවෝ මඟදි වෑන් එක නවත්තලා ගාමන්ට් එකේ පඩි ගෙවන සල්ලි කොල්ල කෑවා. ඒත් අපි හැමෝම මේ වැඩේට අලුත් නිසා පරිස්සම් වෙන්න ඕන විදිහ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. වැඩේ දීලා දවසක් ගියේ නැහැ පොලිසියෙන් අපිව ඇල්ලුවා. දෙක තුන වදිනකොට හැමෝම වෙච්ච දේ කිව්වා. අවුරුදු ගාණක් අපි තුන්දෙනෙක්ට හිරේ තපින්න වුණා. නිදහස ලැබුණේ හිතපු නැති වෙලාවක.”

කොහේද ඉතින් යන්නේ?

“යන්න කියලා තැනක් නැහැ. අයියලගෙ ගෙදර නම් කොහොමත් යන්නේ නැහැ. ඒ ගොලොන්නට මාව මතකත් නැතිව ඇති. හිරේදි හමුවුණු යාළුවෙක් ඉන්නවා එයා මගේ කතාව දන්නවා. එයා අම්පාරේ කෙනෙක් එයා මට කිව්වා එයත් එක්ක යමු කියලා. ඒ යාළුවට ඉඩම් තියෙනවා. ඒ අම්මා තාත්තා යාළුවව බලන්න එනකොට මටත් එක්ක කෑම අරගෙන එනවා. යාළුවා අම්මට තාත්තට කියලා මාවත් එක්කගෙන එනවා කියලා ගෙදර අය එකට විරුද්ධ වෙලා නැහැ. බලමු ගිහිල්ලා. දැන් ඉතිං ඉස්සර වගේ කොළු වයස නෙමෙයිනේ.“

ඔහු යන්නට ගියේ බලාපොරොත්තු සහගතවය. ඒ යාළුවාගේ ගෙදර පරිසරය තුළ තමන්ට යළිත් ආදරය කරුණාව ලැබේවි යැයි සිතාය.