කකුල පෑගුණා කියලා මෝල්ගහෙන් ඔළුවට ගහලා

කකුල පෑගුණා කියලා මෝල්ගහෙන් ඔළුවට ගහලා

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රන්දෙණිය ගමෙන් කිසිම අවස්ථාවක පොලිස් පොතට පැමිණිල්ලක් එන්නේ නැති තරම්. ඒ තරම්ම කිසිම රන්ඩු සරුවල් නැති පැත්තක් විදිහට තමයි රන්දෙණිය ගමේ මිනිස්සු ජීවත් වුණේ. ඉඳලා හිටලා රාපොඩ්ඩක් කට ගා ගත්තම ඇතිකරගන්න කතාබහා වුණත් වෙරි හිඳුන විට අවසන් වන්නේ කිසිවක් සිදුනොවු පරිද්දෙන්.

ඒත් පසුගිය දා රන්දෙණිය ප්‍රදේශයෙන් ඊට වඩා දුරදිග ගිය සිදුවීමක් අසන්නට ලැබුණා. සිද්ධිය වුණේ මඟුල් ගෙදරකදී. එදා කට්ටිය ජයටම අරක්කු බිව්වා. ඒ නිසා ඇතිවුණු බහින් බස් වීම අහවර වුණේ මෝල්ගස් පහරක් කාලා පුද්ගලයකු මැරුණට පස්සේ.

මෝල්ගස් පහර කාලා මියගියේ රනවරව ප්‍රදේශයේ පදිංචි එච් එම් සමන්ත නමැත්තෙක්. 26වැනි වියේ පසුවුණු සමන්ත විවාහකයෙක් වගේම දරුවන් දෙදෙනකුගේ පියෙක්. පොඩි පුතා කනිෂ්කට යන්තම් අවුරුදු එකයි මාස හතරයි ලොකු දරුවා දනිෂාට අවුරුදු නවයයි. එයා කුමාරදාස ඉස්කෝලේ හතරේ පංතියේ ඉගෙනගත්තේ. ස්ථිර රස්සාවක් නොතිබුණු නිසා ගෙවල් පැත්තේ තියෙන උමාඔයේ වැඩට ගිහිල්ලා තමයි සමන්ත දරු පවුල ජීවත් කළේ.

සමන්තගෙන් ගමේ කාටවත් කරදරයක් හිරිහැරයක් තිබුණේ නැහැ. සමන්ත එදා වේල හොයාගත්තේ මොකක් හරි දෑතේ රස්සාවක් කරලා. මෙහෙම සතුටෙන් හිටපු පවුලකට හිටිහැටියේ මොනවා වුණා ද කියලා අසල්වැසියොත් පුදුමයට පත්වුණා. ආරංචි විදියට එදා වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්.

තිබිලා තියෙන්නේ කොටහලු මඟුල් ගෙදරක්. මඟුල් ගෙදර සමන්තගේ ඥාති හිතවතකුගෙ.් ඒ නිසා පවුලේ සියලු දෙනා සුදානම් කරගත්ත සමන්ත ඥාති නිවෙසට ගොඩ වැදුණේ අසැල්වැසිකම ඥාතිකම වගේම මිතුරුකමත් ඒ අයත් එක්ක තිබුණු නිසා. කට්ටිය රාත්‍රි ආහාර ගෙන සතුටු සාමිචියේ යෙදෙමෙන් හිටියා. ඔය අතරේ සමන්තගේ බිරිඳ ආරියවති. "දැන් රෑත් උනා. දරුවොත් නිදි. ගෙදර යමු නේද කියලා" සමන්තගෙන් ඇහුවා. එහෙනම් යමු යැයි කියලා දරුවන් දෙදෙනා අරගෙන එයාලා යළි නිවසට ආවේ මඟුල් ගෙදර හොඳ නරක කතා බස් කරමින්. ගෙදරට ආව සමන්ත "මම තව පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා එන්නම් ඔයා ගෙදර දොර වහගෙන නිදාගන්න කියලා" ආයෙත් මඟුල් ගෙදරට ගියේ මඟුල් ගෙදර සංගීත සාජ්ජේ ජයටම තිබුණු හින්දා ටිකක් නටන්න ඕන කියලා හිතුණු නිසයි.

“අනේ ඔතන දැන් බිපු මිනිස්සුත් ඉන්නවා.

ඔයා රන්ඩුවලට එහෙම යන්න එපා කියලා.“ අකමැත්තෙන් වුණත් ආරියවතී සමන්තට කිව්වා. මඟුල් ගෙදරට ගිය සමන්ත යළි සිය මිතුරන් සමඟ එකතුවෙලා වැයෙන සංගීතයට නටන්නට පටන් ගත්තා. මදුවිතින් සප්පායම් වුණු එකාදෙන්නා මිදුල මැද නටන්න පටන්ගත්තේ නටන අයගේ ඇඟේ හැප්පෙමින්. සමන්තගේ ඇඟෙත් දෙතුන්දෙනෙකු වැදුණත් සමන්ත ඒක ඒ තරම් ගන් නොගත්තේ ඕවා සාමාන්‍ය දේවල් නිසයි.

ඒ අතර සමන්තගේ කකුලත් පැගුණා. ඒත් සමන්ත ඒ තරම් ගණන් ගත්තේ නැහැ. ඒත් එතැන පොඩි කතාබහක් ඇතිවුණා. සමන්ත හා ලාල් අතර ඇතිවුණු පොඩි කතාබහ දුරදිග නොයවන්නට විනෝද වන අය අතර සිටි පිරිස කටයුතු කළා. ඒ අය මේ දෙන්නා දෙපැත්තකට කළා. අන්තිමට සමන්ත ගෙදර යන්න තීරණය කළේ ආයෙත් රණ්ඩුවක් ඇතිවේයැයි කියන සැකය නිසාමයි.

සංගීත රිද්මය එන්න එන්නම වැඩි වුණා. වේලාවත් මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුණා. සමන්ත ගෙදර යන්න සුදානම් වුණත් සමන්ත නොදැනීම මාරයා එයා පසුපසම ඇවිත් හිටියා. සාදය තිබු නිවස පිටුපසින් නිහඬව පැමිණි ලාල් සඟවාගෙන ගෙනාපු මෝල් ගහෙන් දෑත බදලා සමන්තගේ හිසට පහරක් එල්ල කළා. වැදුණු එම පහරින් සමන්ත බිම ඇදගෙන වැටුණා. ලාල් කිසිවක් නොවු පරිද්දෙන් දිව ගියත් සමන්ත මහ හඬින් විලාප තබා කෑ ගසන විට මිතුරන් පිරිස එතැනට දුවගෙන ආවා.

සංගිත සාජ්ජය පැත්තක දැමු ගමේ තරුණයෝ වහාම සමන්තව වත්තම් කරගෙන ත්‍රිරෝද රථයක නංවාගෙන වැල්ලවාය රෝහලට රැගෙන ආවේ කිසිවක් නොවන්නැයි ප්‍රාර්ථනා කරමින්. සමන්ත පරික්ෂා කළ වෛද්‍යවරුන් ඔහුගේ තත්ත්වය බරපතල නිසා එතනින් බදුල්ල මහා රෝහලට මාරුකරලා යැව්වා. බදුල්ලෙන් බාරගන්න බැරිබව දැනුම්දිම නිසා සමන්තව නැවතත් මොනරාගල දැඩි සත්කාර ඒකකයට එව්වා. දැඩි සත්කාර ඒකකයේ දී තමයි සමන්ත අවසන් හුස්ම හෙළුවේ. අවසන් කටයුතු කරගන්නවත් සමන්තලාට වත්කමක් තිබුණේ නෑ. ඥාති හිතවතුන් වටපිටාවේ ඉන්න අසැල්වැසියො සමන්තලා ගෙදරට ඇවිල්ලා ඇතිතරම් උදව් උපකාර කලා සමන්තගේ අවසන් කටයුතු ටික හොඳට ම කළා. ගමේ තරුණයෝ ටික සමන්තගේ මිනිමරුවා හොයන්නත් ලොකු මහන්සියක් අරගෙන තිබුණා.

ස්ථිර රස්සාවක් තිබුණේ නැති සමන්තලාගේ පවුල මේ වෙනකොට හොඳටම අසරණ වෙලා. “මහත්තයා නැති වුණාට පස්සේ පුතා හැම තිස්සෙම තාත්තා කෝ කෝ කියලා අහනවා. ඒකට මට දෙන්න උත්තරයක් නෑ. මොන වරදක් කළාට ද අපේ මනුස්සයා මේ විදිහට මරලා දැම්මේ. ඒ මිනිහටත් කිරි සප්පයෙක් ඉන්නවා නේද . එදා අපිව ගෙනල්ලා දාලා යන්නේ ආයේ නොයෙන ගමනක් යන්නේ කියලා මම දැනගත්තනං එක අඩියක්වත් මම එයාට ගෙදරින් එලියට යන්න ඉඩ තියන්නේ නෑ. මට මහත්තයා නැති වුණා දරුවෝ දෙන්නට තාත්තා කෙනෙක් නැති වුණා. නංගිලා ට අයියා කෙනෙක් නැති වුණා. තාත්තට පුතෙක් නැති වුණා. මහත්තයෝ අපිට හයියකට හිටියේ සමන්ත විතරයි .අනේ දෙයියනේ මේ දුක කාටද මං කියන්නේ.” ඇඩු කඳුලින් සමන්තගේ බිරිඳ අපට කිව්වා.

සාදයට මත්පැන් නොතිබුණා නම් මේ අහිංසකයා මිය යන්නේ නැතිබව ගමේ සමහරු කිව්වා. මොනවා වුණත් මත්පැනින් ආරම්භ වු සාදය අවසන් වුයේ දෙදරු පියෙකුට ඡිවිතය අහිමිකරමින්. කකුල පැගුණු වරදට මෝල් ගසකින් පහරදෙන්නට තරමි ලාල්ගේ හිත දරදඬු වුයේ ඇයි දැයි අපට කියන්නට බැහැ. එසේ වුවත් ක්ෂණික කෝපය අද පවුලක රුකවරණය සම්පුර්ණයෙන්ම විනාශකර දමලා තියෙනවා.

ඒ විතරක්ද? ලාල්ගේ පවුලත් අද අසරණ වෙලා මිනිමරුවෙකු වෙන්න කලින් මොහොතක් හිතුවානම් ලාල්ටත් ඔහොම හිරේ විලංගුවේ තපින්න වෙන්නේ නැහැ. කොහොම වුණත් මිනිහෙක් මරපු වරදට සැකපිට අත්අඩංගුවට ගත් ලාල් වැල්ලවාය මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පස්සේ අද (20) වෙනකම් රක්ෂිත බන්ධනාගාර ගත කළා.