පිහියක් හංගගෙන ඇති කියලා හිතුණ නිසා පොලුවලින් ගැහුවා

 "පිහියක් හංගගෙන ඇති කියලා හිතුණ නිසා පොලුවලින් ගැහුවා"

දඹුල්ල නගරයේ වෙළෙඳසලක් අසල මාර්ගය අයිනේ මිය ගොස් සිටි පුද්ගලයාගේ අතට යට වී ජංගම දුරකථනයක් විය. එය සිය භාරයට ගත් දඹුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ගයාන් සමරකෝන් මහතා එහි ඇති අංක පරීක්ෂා කළේය. ඒ... මෙම පුද්ගලයාගේ ඥාතියකු සොයා ගැනීම සඳහාය.

එහි “මගේ සුදු” නමින් ජංගම දුරකථන අංකයක් ඇතුලත් කොට තිබිණි. එම දුරකථනයෙන්ම “මගේ සුදු” අංකයට ඇමතුමක් ගත් ගයාන් සමරකෝන් “මම දඹුල්ල පොලිසියෙන් ඔය කවුද? මේ ෆෝන් එක කාගේද?” යැයි විමසුවේය.

“ඔය මගේ මහත්තයාගේ මොබයිල් එක. මම එයාගේ නෝනා. ඇයි... කෝ එයා.”

“නෑ. මේ ෆෝන් එක වැටිලා තිබිලා අහුලගත්තේ. හරි.... මම මේක අරගෙන ගෙදරට එන්නම්. මට ලිපිනය කියන්න.”

“වී අලෙවි මණ්ඩලය ඉදිරිපිට පාර පල්ලෙවෙල.”

මිය ගොස් සිටි පුද්ගලයාගේ ලිපිනය සොයාගත් සමරකෝන් මහතා මළ සිරුර රෝහලට යැවීමෙන් අනතුරුව එම නිවෙස වෙත ගියේය.

මිය ගිය පුද්ගලයාගේ බිරිය පුංචිම පුංචි දරුවකු ද අතැතිව පොලිස් කණ්ඩායම ඉදිරියට පැමිණියේ විශ්මයාර්ථය දනවන බැල්මක් හෙලමිනි.

“එන්න සර්.....ඇවිත් ඉඳගන්න.”

“ඔබ තුමියගේ මහත්තයාගේ නම මොකක්ද?”

“එයා අමිල ඉන්දික කුමාර කුලතුංග.”

“කොහේද වැඩ කරන්නේ.?”

“ත්‍රිකුණාමලේ තෙල් සමාගමක බවුසර් සහායකයෙක් විදිහට එයා වැඩ කරන්නේ. අද උදේ පාන්දර දෙකට දෙකහමාරට විතර එයා ගෙදරින් ගියා වැඩට යන්න. ඇයි සර්... මොකක්ද වෙලා තියෙන්නේ?”

“මේ ෆෝන් එක එයාගේ නේද?”

“ඔව්.... මේ එයාගේ ෆෝන් එක. ඇත්තටම සර්ලට කොහෙන්ද හම්බ වුණේ.”

“මේක පාර අයිනේ වැටිලා තිබිලා තමයි අපිට හම්බ වුණේ.”

කිරි දරුවකු අත සිටින තවත් පුංචි දරු පැටවකු ඇඟේ එල්ලී සිටින ඇයට සැමියා මියගොස් ඇති බව කෙලෙස නම් පවසන්නද? ඇයගේ බාල සහෝදරයකු ඒ අවස්ථාවේ නිවෙසේ විය.”

“මල්ලි... චුට්ටක් එන්නකෝ අපිත් එක්ක යන්න.”

අමිල ඉන්දිකගේ බිරියත් බිරියගේ මවත් සිදුව ඇත්තේ කුමක්දැයි වටහා ගත නොහැකිව තුෂ්නිම්භූතව බලා සිටිය දී ඇයගේ බාල සහෝදරයා නිවෙසින් පිටතට කැඳවා ගෙන ආ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා සිදුව ඇති දෙය ඔහුට පවසා සිටියේය.

ඇසු දෙයින් ඔහු ද දැඩි ලෙස කලබලයට පත් වුවද පොලිස් කණ්ඩායම ඔහු කැඳවාගෙන දඹුල්ල රෝහල බලා පිටත්ව ගියේය.

රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබු මළ සිරුර ඔහුට පෙන්වා හඳුනාගත හැකිදැයි විමසීය. දෙනෙතින් කඩා හැලෙන කඳුලු කැට පිටි අල්ලෙන් පිස දමමින් ඔහු කියා සිටියේ ඒ... අක්කාගේ සැමියා වන අමිල ඉන්දික බවයි.

“මල්ලි... දැන් මේක ඔයාගේ අක්කට කියන්නේ කොහොමද?”

“හරි.... සර්.... මම අම්මට කියලා හෙමිහිට අක්කට කියන්නම්.”

එලෙස කී ඔහු නිවෙසට ඇරලවීමට ද පොලිසිය කටයුතු කළේය. සෙමෙන් සෙමෙන් පියවරෙන් පියවර ඔහු අම්මා අක්කා ඇතුලු පවුලේ අයට සිද්ධ වී ඇති දෙය හෙළි කළේය. ඒ හෙළිකිරීමත් සමඟ අමිල ඉන්දික ගේ නිවෙස දෙසින් ගලා ආ අඳෙීනා හඬ අසල්වාසීන් දැඩි කම්පාවට පත්කිරීමට තරම් ශෝක ජනක විය.

අමිල ඉන්දික ගේ ඝාතනය ගැන දඹුල්ල පොලිසියට තොරතුරු ලැබෙන්නේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙනි. ඒ පසුගිය නව වැනිදා උදේ හයයි විස්සට පමණය. එම පණිවුඩයෙන් කියා සිටියේ ෆුඩ් සිටිය ඉදිරිපිට පාර අයිනේ පුද්ගලයකු මැරී සිටින බවය.

තොරතුර ලද වහාම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානය බලා පිටත් විය.

මෙම පුද්ගලයා මිය ගොස් සිටි ස්ථානයට පොලිසියේ සිට ඇති දුර කිලෝමීටර දෙකහමාරක් පමණ වේ. පොලිසිය එම ස්ථානයට යන විට ඒ අසලට අවට පිරිස් එක්රොක්ව සිටි අතර මිය ගිය අය මුනින් අතට වැටී සිටියේය.

ඔහු ගේ අතට යට වී ජංගම දුරකථනයක් තිබෙනු දිස් වේ. සිරුර වටා පොල්ලකින් ගැල වී ගිය පතුරු කැබලි දක්නට ඇත. එබැවින් මෙය ඝාතනයක් විය හැකි බවට පොලිසියට සැක සිතිණි. මළ සිරුර තිබු ස්ථානය අවට පරීක්ෂා කිරීමේදී මිය ගිය අයගේ බවට සැක කළ හැකි ඇඳුම් බෑගයක් ද හමුවිය.

මළ සිරුර වැටී තිබු ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව දඹුල්ල මහේස්ත්‍රාත්වරයා ද, මාතලේ අධිකරණය වෛද්‍යනිලධාරීවරයා ඇතුලු සොකෝ අංශය මෙන්ම දඹුල්ල අපරාධ නිල සුනඛයා ද කැඳවීමට පොලිසිය කටයුතු කළේය. සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සඳහා එක්විය.

මහේස්ත්‍රාත්වරයා ඇතුලු පරීක්ෂණ කණ්ඩායම් පැමිණීමෙන් අනතුරුව මළ සිරුර උඩු අතට හැරවීය. එවිට ඔහුගේ දකුණු ඇසට ඉහළින් නළලේ පොලු පහරක් විය හැකි තුවාලක් දක්නට ලැබිණි.

ඒ අනුව පොලිසියේ සැකය තහවුරු විය. කවුරුන් හෝ මෙම පුද්ගලයාට පොල්ලකින් පහර දී ඇත. එනම් එම පොලු පහරවලින් මොහු මියගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මාතලේ මහරෝහලට පිටත්කර යැවු අතර මළ සිරුර කපා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණය හේතුව අධිකරණයට වාර්ථා කරන ලෙසත් ඝාතකයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර දඹුල්ල අපරාධ නිල සුනඛ ලයිලා රැගෙන කොස්තාපල් (87152) එන්.එම්. මංජුල එම ස්ථානයට පැමිණියේය. ලයිලා ට ඉව ඇල්ලීම සඳහා ලබා දුන්නේ මළ සිරුර වැටී තිබු ස්ථානය අසල තිබී හමු වු පොල්ලකින් ගැල වී ගිය බවට සැකකෙරෙන පතුරු කොටස්ය.

ඒවා ඉව කළ ලයිලා මංජුල ද ඇදගෙන කොළඹ දෙසට ගමන් කරන්නට විය. එලෙස ඉදිරියට ගිය ලයිලා දඹුල්ල ඔරලෝසුකණුව ආසන්නයේ වු කොළඹ බස් නැවතුම අසලට ගියේය. ඒ අවට ඉව කරමින් වටේ කැරකුන ලයිලා ඉන් එහාට තමාට රාජකාරියක් නොමැති බව අඟවමින් මංජුල අසල හිඳ ගත්තේය.

මේ අතර අමිල ඉන්දික ඝාතනය පිළිබඳ විමර්ෂණ ආරම්භ කළ පොලිසිය මළ සිරුර වැටී තිබු ස්ථානය අවට වෙළෙඳසල් වල සේවය කරන පුද්ගලයන්ගෙන් කට උත්තර ලබා ගත්තේය. මළ සිරුර වැටී තිබු ස්ථානය අසලම වූ රාත්‍රී හෝටලයේ සේවය කරන අයගෙන් ද තොරතුරු විමසුවත් ඔවුන් පවසා සිටියේ තමන් මේ සිදුවීම කිසිසේත්ම නොදුටු බවයි.

ලයිලා ගිය මාර්ගය දිගේ අවට සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා පරීක්ෂාව ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. රාත්‍රී හෝටලයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ ච්.ඍ.අ. යන්ත්‍රය පොලිසියට රැගෙන ගොස් එහි රූගතව ඇති දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කළේය. එම දර්ශන වලට අනුව සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු හඳුනාගැනීමට පොලිසියට හැකිවිය. ඉන් එක් අයකු මෙම රාත්‍රී වෙළෙඳසල හිමිකරුගේ මස්සිනාය. එනම් නංගීගේ සැමියාය. කාවින්ද නම් වන ඔහු විසි හැවිරිදි වියේ පසුවන අතර මෙම රාත්‍රී හෝටලයේ සේවයේ යෙදී සිටින්නේය.

හඳුනාගත් අනෙක් තරුණයා රූෂාන් නැමැත්තාය. ඔහු කාවින්ද ගේ මිතුරෙකි. ඔහු ෆුඩ්සිටියට එපිටින් පදිංචිව සිටින විසි එක් හැවිරිදි තරුණයෙකි. මේ දෙදෙනා යතුරු පැදියකින් යන දර්ශනයක් ද එහි රූගතව තිබිණි. යතුරු පැදියේ අංකය ද හඳුනාගත හැකි තරම් පැහැදිලිව දිස්විය. ඒ අනුව යතුරුපැදියේ අංකය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දී එහි හිමිකරු සොයා ගැනීම සඳහා පොලිසිය කටයුතු කළේය. එය ලියාපදිංචි කර ඇත්තේ කාවින්ද ගේ නමටය.

මේ සියලු තොරතුරු සොයාගත් පොලිසිය එම රාත්‍රී හෝටලයේ කොත්තු සාදන පුද්ගලයා, රයිස් හදන පුද්ගලයා සහ එහි හිමිකරුගේ මස්සිනා වන කාවින්ද ද පොලිසියට කැඳවිය. මෙම රාත්‍රී හෝටලය අලුයම දෙක දක්වා විවෘතය. දෙකට වසා දමන අතර උදේ හතරට යළි විවෘත කරයි. අමිල ඉන්දික ඝාතනය සිදුවන්නේ හෝටලය වසා දමා තිබු පැය දෙකක කාලය අතරතුෙර්ය.

රයිස් සහ කොත්තු සදන දෙදෙනාගෙන් ප්‍රශ්න කළ ද මෙම ඝාතනය පිළිබඳ කිසිම තොරතුරක් ලබා ගැනීමට හැකි වුයේ නැත. ඒ... මේ දෙදෙනා සිද්ධිය වන අවස්ථාවේ වැඩ නිම වී නින්දට ගොස් සිටි නිසාය. ඔවුන් දෙදෙනා මුදා හැරුණු අතර කාවින්ද ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වුයේ ඉන් අනතුරුවය.

“මමයි රූෂානුයි ගැහුවේ.”

“ඔය මනුස්සයට ගහලා මැරුවේ ඇයි.?”

“එයා අපිව මරයි කියලා බයට තමයි සර් අපි දෙන්නා පොලු වලින් එයාට ගැහුවේ.”

ඔහු හෙළිකළ තොරතුරු වලට අනුව එදින පාන්දර දෙකට මෙම රාත්‍රී හෝටලයෙහි වැඩ කටයුතු අවසන් කළ ද ඉදිරිපස දොර සම්පුර්ණයෙන් වසා දමන්නේ නැත. ඒ... කාවින්ද හා රූෂාන් ගේ අවශ්‍යතාව මතය. දොර විවර කරගෙන ඒ අසලට වී මේ දෙදෙනා දුම්වැටි උරමින් සිටින අතර මොවුන් අසලට පුද්ගලයකු එනු නිරීක්ෂණය විය. ඔහු අතේ පොල්ලක් ද තිබෙනු මොවුන්ට දක්නට ලැබිණි.

“පොල්ලක් අතේ අරගත්ත ඒ මනුස්සයා අපට ගහන්න වගේ ඉස්සරහට ආවා. අපි කඩේ ඇතුළට පැනලා පොලු දෙකක් අරගෙන එළියට ආවා. අපිව දැකලා පොල්ල අතේ තියාගෙන ආපු මනුස්සයා ඔරලෝසු කණුව පැත්තට දිව්වා. අපි පොලු පැත්තකට දාලා බයික් එකෙන් ඒ මනුස්සයව ෆලෝ කරගෙන ගියා. ඒත්... පේන්න හිටියේ නෑ. අපි ආපහු කඩේ ළඟට ආවා.”

“ඒ ඇවිත් අපි කඩේ ළඟ ඉන්දෙද්දී අර මනුස්සයා පොල්ල නැතිව ආපහු අපි ඉන්න පැත්තට ආවා. පිහියක් හංගගෙන අපි දෙන්නව මරන්න එනවා කියලා අපිට බය හිතුණා. කඩේ තිබුණ පොල්ලක් අරගෙන දෙකට කඩලා අපි දෙන්නා කැලි දෙක අරගෙන ඒ මනුස්සයට ගැහුවා.”

කාවින්ද පවසන පරිදි මුල්ම පහර එල්ල කරන්නේ කාවින්ද විසිනි. එය ඉන්දිකගේ නළලට වදින අතර අතේ වු අඳුම් මල්ල ද අතැහැර දමා ඉන්දික පණ බේරා ගැනීමට ඉදිරියට දිව ගොස් බිම ඇද වැටෙන්නේය.

මිතුරන් දෙදෙනා එක්ව ඔහුට දිගට හරහට පොලු පහර එල්ල කරන අතරතුර පොලු කැබලි වලින් පතුරු ගැල වී යන්නේ එම පහර දීමේදීය.

පහර දීමෙන් අනතුරුව කාවින්ද පහර දුන් පොල්ල ඒ අසල දමා සිය යතුරු පැදියෙන් රූෂාන් ඔහුගේ නිවෙසට ඇරලවීමට කටයුතු කළේය. රූෂාන් තම අත වු පොල්ල ද රැගෙන යන අතර එය ෆුඩ්සිටිය අසල ස්ථානයක තබා ඔහු නිවෙසට යන්නේය.

රූෂාන් නිවෙසට ඇරලවා යළි රාත්‍රී හෝටලය වෙත ආ කාවින්දට තමන් කළ ක්‍රියාවේ බරපතල කම වැටහෙන්නට විය.

“මම ආපහු ඇවිත් බලද්දී මම ගහපු පොල්ල එතනම තිබුණා. පොල්ල එතන තිබුණොත් පොලිසියට මාව කොටුවෙයි කියලා බය හිතුණා. අනෙක පොලිස් බල්ලා ඒ පොල්ලෙන් මාව අල්ලලා දෙයි කියලා මට බය හිතුණා. ඒක නිසා මම පොල්ල අරගෙන බයික් එකෙන් ආපහු ගිහින් මිරිස්ගෝනියාව ඔයට විසිකරලා ඇවිත් කඩේ නිදාගත්තා.”

ඔහු එලෙස සිද්ධිය හෙළි කළ අතර පොලිසිය රූෂාන් සොයා ඔහුගේ නිවෙස බලා පිටත් විය. එහෙත්.... ඔහු නිවෙසේ නැත. පසුව පොලිසිය රූෂාන් අත්අඩංගුවට ගන්නේ මව සහ පියා සමඟ මෝටර් රථයෙන් කුරුණෑගල දෙසට යමින් සිටියදීය. ඒ.... පොලිසියත් රූෂාන්ගේ නිවෙසත් අතරතුර ප්‍රදේශයේදීය. පොලිස් භාරයට ගත් රූෂාන් හා ඔහුගේ මවුපියන් පවසා සිටියේ පොලිසියට බාර දීමට පැමිණෙමින් සිටි බවයි.

ලාබාල තරුණයන් දෙදෙනකුගේ වැරදි වැටහීමක් හේතුවෙන් අමිල ඉන්දිකට අකාලයේ මිය පරලොව යාමට සිදුවුයේ එලෙසය. නාඳුණන පුද්ගලයා පොල්ලක් රැගෙන ආවේ තමන්ට පහර දෙන්නට යැයි මුලින්ම මේ දෙදෙනා සිතුහ. එහෙත් රැකියාව සඳහා ත්‍රිකුණාමලයට යාමට මධ්‍යම රාත්‍රියේ නිවෙසින් ආ ඔහු පොල්ලක් රැගෙන එන්නට ඇත්තේ බල්ලන්ගෙන් බේරීම සඳහා විය යුතු බව පොලිසියේ අදහසයි.

එලෙසම සොර සතුරන්ගෙන් බේරීම ද පොල්ලක් රැගෙන ඒමට තවත් හේතුවක් වන්නට ඇත.

දෙවන වතාවේදී පොල්ල රහිතව ඔහු පැමිණෙන විට තරුණයන් සිතන්නේ පිහියක් සඟවාගෙන තමන් මරා දැමීමට පැමිණෙන බවය. එහෙත්.... ඔහු සතුව පිහියක් තිබු බවක් අනාවරණය වී නැත. මොවුන් දෙදෙනා මුලින් එලවා දැමීමෙන් පසුව ද ඔහු ආපසු ඒ පැත්තටම එන්නේ ත්‍රිකුණාමලයට යන බස් නවත්වන බස් නැවතුම ඒ පැත්තේ පිහිටා තිබු නිසා විය යුතුය.

සැකකරුවන් දෙදෙනා හෙළිකළ තොරතුරු වලට අනුව මොහුට පහර දුන් පොලු දෙක ද පොලිසිය සොයා ගත්තේය.

මිරිස්ගෝනියාව ඔයට විසිකළ පොල්ල ඔයට වැටී තිබුණේ නැත. එය පහළ ගසක රැඳී තිබී පොලිසිය සොයා ගත්තේය. එහි රුධිරය ද තැවරී තිබිණි.

රූෂාන් පහරදුන් පොල්ල ද ෆුඩ් සිටිය අසල සඟවා තිබී සොයාගත් අතර දඹුල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරපත් කළ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගර ගත කැරිණි.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණි මීගහකුඹුර, දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති ගයාන් සමරකෝන් ප්‍රමුඛ අපරාධ අංශය පරීක්ෂණ වල නිරත විය.