ත්‍රීරෝද රථ රියැදුරකු අබිරහස් ලෙස මරා දාලා

ත්‍රීරෝද රථ රියැදුරකු අබිරහස් ලෙස මරා දාලා

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කවටයාමුණ ප්‍රදේශයේ බාල්දිකොකු හන්දියේ එක්තරා වෙළෙඳසලක් අසල ත්‍රීරෝද රථයක් නවතා තිබෙනු එම වෙඳෙසලේ හිමිකරුගේ නෙත ගැටිණි. ඒ... පසු ගිය දොළොස් වැනිදා උදේ ඔහු සිය වෙළෙඳසල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය.

ඒ දෙස විපරමින් බැලීමට ඔහුට සිතිණි. ඒ... එහි පිටුපස අසුනේ පුද්ගලයකු සිටි ආකාරයෙහි අසාමාන්‍ය බවක් දිස් වූ නිසාය. ඔහුගේ සිතුවිල්ල නිවැරදිය. පිටුපස සිටින පුද්ගලයා මිය ගොසිනි. ළං ව බැලු විට ඔහු මියගොස් ඇති බවත් ත්‍රීරෝද රථයේ ගලාගිය රුධිරය තිබෙන බවක් දිස්විය.

දුටු දෙයින් බියට පත් ඔහු මහවෙල පොලිසියට දුරකථන ඇමතුමක් දී තමා දුටු දෙය විස්තර කළේය. පොලිස් පරීක්ෂණ ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

මළ සිරුර ගල් ගැසී සීතල වී ඇත. එනම් ඔහු මරා දමා ඇත්තේ මීට පැය ගණනකට පෙරය. ගෙල ප්‍රදේශයේ පිහි ඇනුම් පහරකි. ඉන් ගලාගිය රුධිරය ද ත්‍රීරෝද රථයේ දක්නට ඇත. මළ සිරුර ගුලිකොට පිටුපස අසුනට ඔබා ඇති බවක් පෙනේ.

සරමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහුගේ කමිස සාක්කුවේ තිබී ජාතික හැඳුනුම්පත හමුවිය. එහි සඳහන් තොරතුරු වලට අනුව කුරුණෑගල බඩල්ගමුව, බණ්ඩාරණායකපුර අංක 10 ඔහුගේ ලිපිනය බවත් දෑලිගල දේවගේ විමලසිරි ඔහුගේ නම බවත් ඔහු හැටහය හැවිරිදි අයකු බවටත් හඳුනාගැනීමට හැකිවිය.

මහවෙල පොලිසිය මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු කුරුණෑගල පොලිසියට දැනුම් දුන්නේය. එවිට කුරුණෑගල පොලිසිය පවසා සිටියේ මෙම පුද්ගලයාගේ අතුරුදන් වීම පිළිබඳ පෙර දින රාත්‍රියේ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවය.

එනම්, ඔහුගේ පුත්‍රයකු වන ඩබ්ලිව්. එම්. ඒ. අනුර කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර තිබුණේ සිය පියා එදින දවල් දොළහෙන් පසු අතුරුදන් බවයි.

ඒ අනුව මහවෙල පොලිසියට යම් නිගමනයකට ඒමට හැකිවිය. ඒ... මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් මරා දමා කවටයාමුණ ප්‍රදේශයට ගෙනවිත් දමා ගොස් ඇති බවය.

ඝාතනය කර තිබු විමලසිරි වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියැදුරෙකි. බබලිගමුව හංදියේ ත්‍රීරෝද රථ ගාලේ සේවය කරයි. තිදරු පියකු වන ඔහු අතුරුදන් වන්නේ පෙරදින එනම් දොළොස් වැනිදා දහවලෙන් අනතුරුවය. ඔහු වෙනදාට සවස හය පසු වූ වහාම නිවෙසට පැමිණේ. එහෙත්.... එදින ඔහු සුපුරුදු වේලාවට නිවෙසට ආවේ නැත. සවස හයෙන් පසු බිරිය ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්ත ද දුරකථනය ක්‍රියාවිරහිතය.

එලෙස සෑහෙන වේලාවක් ගත් උත්සාහය ව්‍යාර්ථ වූ බැවින් ඔහුගේ පවුලේ අය පොලිසියේ ආධාර උපකාර ලබා ගැනීමට කටයුතු කරන්නේය.

මේ අතර ඔහු ත්‍රීරෝද රථ හයර් කරන ත්‍රීරෝද රථ ගාලේ සිටි කිහිප දෙනකු පොලිසියට යම් තොරතුරක් පවසා තිබිණි. ඒ... පෙරදින දහවල් යම් පුද්ගලයකු ඔහුගේ ත්‍රීරෝද රථයේ හයර් එකක් ගිය බවත් ඉන් අනතුරුව යළි විමලසිරි ත්‍රීරෝද රථ ගාලට නොපැමිණි බවත්ය. කවටයාමුණ බාල්දිකොකු හන්දියේ වෙළෙඳසලක් අසල තිබී ඔහුගේ ත්‍රීරෝද රථයත් මළ සිරුරත් හමුවන්නේ කුරුණෑගල පොලිසිය ඔහු පිළිබඳ තොරතුරු සොයමින් සිටින අතරතුෙර්ය.

සැලසුම් සහගත ලෙස පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට නම් ඔහුට තරහ කාරයන් සිටිය යුතුය. එනම් මරා දැමීමට තරම් වන වැරදි වැඩක්, නපුරු ක්‍රියාවක් ඔහු විසින් සිදුකර තිබිය යුතුය.

එහෙත්... පොලිස් පරීක්ෂණ වල දී හෙළි වූ තොරතුරු වලට අනුව ඔහුට තරහ කාරයන් නැත. තමාට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයකු පිළිබඳ ඔහු කිසි දිනෙක නිවැසියන් සමඟ පවසා නැත. පවුලේ අය මෙන්ම ත්‍රීරෝද රථ ගාලේ ඔහුගේ සහෝදර ත්‍රීරෝද රථ රියැදුරන් පවසා සිටියේ දන්නා තරමට ඔහු සමඟ කිසිවකු අමනාප වී නොසිටි බවයි.

ඒ අනුව ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කළේ කුමන හේතුවක් නිසා ද යන්න වටහා ගත නොහැකි කරුණකි. ඔහු මරා දැමුවේ ත්‍රීරෝද රථය පැහැරගෙන යාමට නොවන බවද සහතිකය. ඒ.. ඔහුගේ මළ සිරුර ත්‍රීරෝද රථයේ දමා තිබු නිසාය.

ඔහු ගේ ජාතික හැඳුනුම්පත ඇතුලු ලියකියවිලි ද ඔහු සතුව තිබී හමු වුවද ඔහු ගේ ජංගම දුරකථනය හමු වී නැත.

මුලික පරීක්ෂණ වලදී ඔහු සතුව මුදල් නොතිබුණ බවද හෙළි විය.. එහෙත්.... පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහු හැඳසිටි ඇඳුම් ඉවත් කරද්දී රුපියල් දහ පහළොස් දහසක මුදලක් හමුව තිබිණි. ඒ.. ඔහුගේ යට ඇඳුමෙහි සඟවා තිබීය.

කුරණෑගල සිට කවටයාමුණ දක්වා දීර්ඝ ගමනක් ගොස් මොහු මරා දැමුවේ කවුද? කුමන හේතුවක් නිසාද? කුරුණෑගල සහ මහවෙල පොලිස් ස්ථාන මෙම අබිරහස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ වල නිරතව සිටී.