බිරියත් දරුවත් පැහැරගෙන ගිය සැමියා සොයා පොලිස් පරීක්ෂණ

බිරියත් දරුවත් පැහැරගෙන ගිය සැමියා සොයා පොලිස් පරීක්ෂණ

මැරයකු සමඟ යුග දිවියට එළැඹුණු ඇය ගම්පහ ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි කාන්තාවක මෙන්ම දෙදරු මවක ද වුවාය. දෙදරු මවක් වනතුරු ඔහු සමඟ පවුල් කෑ මේ කාන්තාවට සිය සැමියා ගේ ක්‍රියාකාරකම් පිළිබඳ යම් කළකිරීමක් ඇතිවිය. ඔහුගේ මැර කියුම් කෙරුම් මෙන්ම නීති විරෝධී වැඩ ගැන කලක් ගත වී වුවත් ඇයට ඇති වුයේ මහත් එපා වීමකි. ඇය මේ නිසා නිරතුරුවම ගත කළේ පෑරුණු සිතින් යුතුවය. ඒ වන විටත් අනියම් බිරියන්ගේ පහස සොයමින් ජීවිතය ගෙන ගිය තම සැමියාව ඇයට එපා වී තිබුණි.

මේ පිළිබඳ ඇති වූ යම් යම් ගැටලු හමුවේ ඇයට සිදුවුයේ මේ නොගැළපෙන විවාහයෙන් ඈත්වීමය. නීත්‍යාණූුකූලව නොවුණත් දෙදෙනා වෙන් වී ජීවත් වන්නේ ඉන් පසුවය. සිවු හැවිරිදි දරුවා පමණක් ඇය ළඟ සිටිය දී 13 හැවිරිදි දියණිය පසුවුයේ සැමියා සමඟය.

ඇය එක් අනියම් බිරියක් ළඟ හැදී වැඩෙමින් සිටියාය. ඒ අයුරින් අවුල් වූ යුගදිවියට තිත තබා තුන් වසරකට පෙර ඇය ඔහු අතහැර යන්නට ගියාය. ඒ අතර ඇයට අයත් ත්‍රීරෝද රථය නීත්‍යාණූුකූල නොවන ලෙස බලහත්කාරයෙන් විකිණීමට ඇගේ සැමියා සැලසුම් කළේය.

මේ බව දැනගත් ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ත්‍රීරෝද රථය විකිණීම පිළිබඳ පොලිස් පරීක්ෂණයක් පැවැත්විණි. එහිදී එම පැමිණිල්ල පිළිබඳ විමර්ශන පවත්වා එහි නියම හිමිකරු වූ ඇයට ත්‍රීරෝද රථය හිමිකර දීමට පොලිසිය කටයුතු කළේය. මෙහිදී විමර්ශන කටයුතු සිදුකළ පොලිස් කොස්තාපල්වරයා කෙරෙහි ඇගේ සැමියා වෛර බැඳගත්තේ ඔහු තම බිරිය සමඟ අනියම් ඇසුරක් ඇතිකරගෙන ඇතැයි යන සැකය මතය. ඔහු තුළ ඇති වූ වෛරී සිතුවිලි උත්සන්නව පටන් ගත්තේ මේ පොලිස් කොස්තපල්වරයා කෙරෙහි උපන් ඝාතන සිතිවිල්ලත් සමඟය. ඔහුව ඝාතනය කිරීම ඇගේ සැමියාගේ එකම අරමුණ විය.

බිරියට හිතවත් වූ කොස්තාපල්වරයාට පාඩමක් උගන්වන්නට මුල පුරමින් ඔහු මුලින්ම ක්‍රියාවට නංවන්නේ සිය බිරිය හා දරුවා පැහැරගෙන ගොස් රඳවා තැබීමයි. එසේ රඳවා ගනිමින්, ඇය ලවා පොලිස් කොස්තාපල්වරයා එහි ගෙන්වාගෙන ඝාතනය කිරීම ඔහු ඇතුළු පිරිසගේ අරමුණ විය. ඒ සඳහා ඔහුට උපකාර කළ මිතුරන් පිරිසක් ද සිටියේය. මෙහිදී ඔහු ඇයට තර්ජනය කරමින් කියා සිටියේ එකී පොලිස් කොස්තාපල්වරයාට ඇමතුමක් දී ඔහු වහාම ගෙන්වා දෙන ලෙසය. එහෙත් සැමියා ළඟ නැති තැන තමන් සන්තකයෙහි සඟවාගෙන සිටි කුඩා ජංගම දුරකථනයක් මාර්ගයෙන් ඇය මේ බව පොලිස් කොස්තාපල්වරයාට සැලකර සිටියාය.

මේ බව දැනගත් කොස්තාපල්වරයා ඇය රැඳි සිටින ප්‍රදේශය අසා කණ්ඩායමක් සමඟ එම ප්‍රදේශයට එන්නට විය.

මේ පිළිබඳ සැකසිතු සැමියා නැවතත් ඇයව රැගෙන එතැනින් පලා යන්නේ තවත් දුර බැහැරටය. දින ගණනාවක් නිවාඩු නිකේතනවල රඳවාගෙන ඇයට බලපෑම් කරමින් සිටි ඔහු අවසානයේ ඇයව රැගෙන යන්නේ වවුනියාව සීප්පිකුලම ප්‍රදේශයේ පිහිටි විශාල බඩඉරිඟු හේන් යායකටය. ඒ අතරතුර ඇය සඟවාගෙන සිටි ජංගම දුරකථනය මඟින් මේ බව කොස්තාපල්වරයාට පවසන අතර එකී තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සීප්පිකුලම ප්‍රදේශයේ බඩඉරිඟු යායවල් පීරමින් ඔවුන් සොයන්නට විය.

මේ අතරතුර සැමියා ඇතුළු පිරිස බඩඉරිඟු යාය මැද මත්පැන් බොමින් සතුටු සාමිචියේ යෙදෙන මොහොතක් බලා දරුවා ද සමඟ ඇය ඉන් මිදී පලා යන්නේ සිනමා පටයක කථා පෙළක් සිහිගන්වන අතෙර්ය. එසේ දිවයද්දී ඇගේ ජංගම දුරකථනය ගිලිහී බිම වැටීමෙන් ඇය මහත් අපහසුතාවකට පත් වුවාය. එනිසාම බාහිර ලෝකය සමඟ තිබු සියලු සබඳතා නැවතී ගියේය.

වන සතුන්ගෙන් ගහන වූ මහා කැළය මැදින් මහත් කැළඹීමට පත්ව දරුවාත් සමඟ දිව එන ඇය අවසානයේ නතර වන්නේ දෙමළ ජාතිකයන් විසූ ගම්දනව්වක නිවෙසකය. එහි නිවැසියන්ට සිංහල භාෂාව නොතේරුණු නිසා ඇයට මුහුණ දීමට වුයේ මහත් අපහසුතාවකටය. එසේ වුවත් ඇය යම් පිළිසරණක් ලැබෙන්නට තරම් පින් කර තිබී ඇත. එම නිවෙසෙහි විසූ කුඩා දරුවකුට යම් තරමින් සිංහල අවබෝධ කර ගැනීමට හැකියාව තිබිණි.

ඇයට සිදු වී ඇති කරදරය වටහාගත් ඔවුහු දෙදෙනාවම ට්‍රැක්ටරයක නංවා වව්නියාව දුම්රිය ස්ථානය වෙත ගෙනත් දැමීමට තරම් කාරුණික වූහ. ඉන්පසු ඉතා රහසිගතව සැඟවී දුම්රියෙන් අනුරාධපුරය බලා පැමිණි ඇය අනුරාධපුර පොලිසියට සියල්ල පවසන්නට වූවාය. ඒ අනුව ඒ මොහොතේම ඇයත් දරුවාත් පොලිස් භාරයට ගැනීමට කටයුතු කළ අතර අනතුරුව ඉදිරි විමර්ශන ඇරඹිණි. සියලු සිදුවීම් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ අපරාධ අංශය ඇයගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය. මේ අතරතුර වේයන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ ද ඇගේ පැහැර ගැනීම සම්බන්ධයෙනි. ඒ අනුව තවදුරටත් විමර්ශන කටයුතු සඳහා වේයන්ගොඩ පොලිසියට ඇයව බාර දීමට නියමිතව තිබුණි. කල්ලි සාමාජිකයකු වූ ඇගේ සැමියා සොයා පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ සැරයන් (10713) රත්නායක, පොලිස් කොස්තාපල් (31247) පේ‍්‍රමතිලක, කාන්තා පොලිස් කොස්තාපල් (9186) මිහිරි යන නිලධාරිහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.