මොරගෙරි කන්දේ ඝාතනය

මොරගෙරි කන්දේ ඝාතනය

මෙලොව වසන ඇතැම් මිනිසුන් තමන්ගේ මරණය නැතිනම් ජිවිතයේ අවසානය සොයාගෙන බොහෝ දුර බැහැරට යන්නේය. ඒ තමන් දැනුවත්වම නොවේ. ඉරණමට අනුව එය සැලසුම් වී ඇති බව අපි කිසිවකු පවා නොදන්නෙමු. මරණය යනු මෙලොව ඇති එකම ස්ථිර දෙය වුවද මරණයේ පැමිණීම එකිනෙක හැඩයන් ගන්නා බව අපට පෙනී යන දෙයකි. පෘථග්ජනයන් වූ අප ඒ මිනිස් දහමේ අරුමය විඳිමින් සිටින්නෙමු.

කටුගස්තොට ග්‍රාමය වූ කලී රමණීය කඳු වළලුවලින් අලංකාර වූ රමණීය ඉසව්වකි. රූස්ස ගහකොළ වනපෙතින් නොඅඩු මහනුවර දිස්ත්‍රික්කයට අයත් මේ ග්‍රාමයේ ඇසට පෙනෙන මානයේ පැවැතියේ නිසල හුදකලා බවකි. මෙහි ඇති මොරගෙරි කන්දද එවන් හුදකලාවේ ගිලුණු ගුප්ත බව සුරැකි කඳු මානයකි. මේ බෑවුම් සහිත කඳු පාමුල සිට එහි මුදුනත දකිද්දී ඇතිවන්නේ දැඩි දුෂ්කර ගමනක වෙහෙස මහන්සියකි. එහෙත් කටුගස්තොට පොලිසියේ නිලධාරීන්ට තොරතුරු ගෙන එන්නේ මේ කඳු මුදුණේ තැනක මියගිය කතකගේ සිරුරක් ඇති බවටය. ඒ අනුව පොලිස් කණ්ඩායමක් දැඩි දුෂ්කරතා මධ්‍යයේ “මොරගෙරි කන්ද” තරණය කිරීමට සූදානම් විය.

තැලී පොඩි වී ගිය මානා ගස් අතරින් ඉහළටම නැඟගත් නිලධාරින්ට මඟ පෙන්වන්නට වූයේ ගම් පළාතේම කොලු ගැටව් පිරිසක් විසිනි. ඒ අනුව කඳු මුදුනට නැඟගත් නිලධාරීන් ලඳු කැලෑ අතරින් එබිකම් කළේය. පයට පෑගී පොඩි වී තැලී පෙළී ගිය වන ලැහැබ අතරින් ඔවුන්ගේ දෙනෙත් ඇදී ගියේ හිසකෙස් අවුල්ව මුහුණට ඇදහැලී බියකරු ලෙසින් වැටී මියගොස් සිටියේ කාන්තාවකගේ සිරුරක් වෙතටය.

අඩ නිරුවත්ව තිබූ ඇගේ සිරුරේ කොළ පැහැති සායක් හා මල් වැටුණු බ්ලවිසයක් විය. යට ඇඳුම් ඒ මේ අත විසිරී තිබුණු බවක් ද පෙනෙන්නට විය. ඇගේ එක් අතක ඇඟිලිවලට සිරවූ සෙරෙප්පුවක් ද අනෙක් අතේ දම් පැහැති කොණ්ඩා බඳින රවුමක් ද විය. තව තවත් කළ සෝදිසි කිරීම් හමුවේ පොඩි පට්ටම් වී ගිය බස් ටිකට්ටුවක් ද හමු විය. එය කොළඹ සිට මහනුවර දක්වා නිකුත් කළ එකක් බව තහවුරු විය.

සිද්ධිය දෙස බැළූ බැල්මට පොලිසිය සිතුවේ මැය කඳු මුදුනට පැමිණ ඇත්තේ සියදිවි නසාගන්නට බවටය. එහෙත් වඩාත් සුපරික්ෂාකාරිව බැලූ විට පෙනෙන්නට තිබුණු ලක්ෂණ අනුව මෙන්ම, සිරුර කපා පරීක්ෂා කිරීමෙන් පසු ලබාගත් තොරතුරු අනුව ඇගේ මුහුණෙන් හිසෙන් හා කනෙන් ද රුධිරය ගලාගොස් තිබුණු අතර තුවාල ද දක්නට ලැබුණි.

සිද්ධිය වහා මහනුවර මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දෙනු ලැබීය. ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත් සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ නියෝගය මත සිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණි. එහිදී කළ පරීක්ෂණ අනුව ඇගේ මරණය සිදුව ඇත්තේ හිසට වැදුණු තදබල පහරකින් බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තීන්දු කළේය.

මියගිය තැනැත්තිය කාගේ කවුරුන්ද යන්න සොයා ගැනීම පොලිසිය හමුවේ ඊළඟට ඇති අභියෝගය විය. පොලිසිය යළි මොරගෙරිකන්ද තරණය කිරීමට සූදානම් විය. කිසියම් හෝඩුවාවක් සොයා යාම එහි අරමුණ විය. ඒ දුෂ්කර ගමන ආයේමත් ආරම්භ කළ ඔවූහු ඇය මරාදමා තිබූ තැනට ගොස් යළි සෝදිසි කරන්නට වූහ. ඔවුන්ගේ ව්‍යායාමය අපතේ ගියේ නැත. මළ සිරුර තිබූ තැනට මීටර් හයසියයක් පමණ දුරකින් තිබූ යමක් ඔවුනට හමු විය. එය දුරකථන අංක සටහන් කරන ලද කුඩා පොත් පිංචක් බව ඔවූහු හඳුනාගත්හ. තවත් දුරකින් තිබී හමුවූයේ කාන්තාවකගේ විදෙස් ගමන් බලපත්‍රයකි. එහෙත් එහි සටහන්ව තිබුණේ “වැලිපැන්න” යන්න පමණකි. වැඩිදුර තොරතුරු එහි සටහන්ව නොතිබීම ගැටලුවක් විය. හමු වූ දුරකථන සටහන් පොතේ වැඩිපුර තිබුණේද විදෙස් දුරකථන අංකයන් පමණි.

මේ කාන්තාව රටගිය අයකු නම් ඇය සතුව බැංකු ගිණුමක් තිබිය යුතුය. ඒ අනුව දුරකථන අංක නොවන වෙනත් අංක පරිගණකයකට යොදා බැලුවද එයට ප්‍රතිචාර නොවිය. එහෙත් එහි වූ එක් අංකයකට නොසිතූ ලෙස ප්‍රතිචාර ලැබීම මහත් පහසුවක් විය. ඒ අනුව ලුහුබැඳ ගිය පොලිසියට ඇය පදිංචි ලිපිනය සොයා ගැනීමට හැකි විය.

ඉන් අනතුරුව වැලිපැන්න පොලිසියට කටුගස්තොට පොලිසියෙන් පණිවුඩයක් ලැබුණේ ය. මියගිය ඇයගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට කිසිවකුට පැමිණෙන ලෙස එම පණිවුඩයේ සඳහන් විය. ඇගේ ලිපිනය අනුව ගිය පොලිසියට වැලිපැන්න නිවෙසේ පදිංචිව සිටි ඇගේ සැමියා හමු විය. ඔහු කීවේ අමුතුම කතාවකි.

“සර්... ඔය කියන ගෑනු කෙනා මගෙන් වෙන්වෙලා හුඟාක් කල්. රට යනවා කියලා ගිහින් දැනට අවුරුදු දහතුනක් වෙනවා. එතැනින් එහාට කිසිම සම්බන්ධයක් නැහැ. අපිට එයා ගැන වැඩකුත් නැහැ. අපට ඔය හැටි දුරක් යන්න පුළුවන්කමකුත් නැහැ.”

පොලිසිය මේ බව කටුගස්තොට පොලිසියට කීවේය. එහෙත් පොලිසිය ඉන් සෑහීමකට පත් නොවීය. පසුව උසාවි නියෝගයක් ලබාගෙන එම පුද්ගලයාට නොතීසියක් යැව්වේ මහනුවර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටින ලෙසටය. පරික්ෂණ මෙසේ කෙරීගෙන යද්දී හමු වූ තවත් රිසිට්පතක තිබූ තොරතුරුවලට පොලිසියේ ඇස යොමු විය. එය කිසියම් පුද්ගලයකු විසින් රත්තොට තැපැල් හලෙන් ජෝර්දානයට යැවූ පාර්සලයක ලියාපදිංචි තැපෑලෙන් යැවූ රිසිට්පතකි. එහි පාර්සලය යැවූ පුද්ගලයාගේ නමද තවත් අංක කිහිපයක් ද සඳහන්ව තිබුණි. ඒ අනුව එම පොතෙහි සඳහන්ව තිබූ දුරකථන අංකයක් එහි ද සඳහන්ව තිබෙණු දැකිය හැකි විය. රත්තොට පොලිස් වසමේ පදිංචි එම පුද්ගලයා සොයා ගැනීම පොලිසියේ ප්‍රයන්තය විය. ඒ අනුව තොරතුරු පිරික්සු පොලිසියට අවබෝධ වූයේ මේ කාන්තාව මෑතකදී රත්තොට ප්‍රදේශයේ සිට ඇති බවටය.

ඒ ලිපිනයට ගිය පොලිසියට එහිදී අනාවරණ්‍ය වුයේ මෙවන් කතාවකි.

“එයා වැලිපැන්නේ පදිංචිකාරියක්. අපේ ගෙදර යනවා එනවා. පාස්පෝට් කන්තෝරුවෙදි තමයි හඳුනාගත්තේ. රට යනවා කියලා ඊට පස්සේ ට්‍රේනිං එකකට යනවා කියලා ගියා. එදායින් පස්සේ දැක්කේ නැහැ.”

එහිදී මියගිය තැනැත්තියගේ ජංගම දුරකථන අංකය නිවැසියන් විසින් ද හඳුනා ගත්තේය. උසාවි නියෝගයක් මත, දුරකථන අංක ලැයිස්තුවක් ලබාගත් පොලිසිය ඒ අනුව ක්‍රියාත්මක වන්නට විය. ඒ ගැන විමර්ශන කළ පසු ඇය මියගිය දිනට පෙරදින වැඩිපුරම කතාබස් කර තිබූ අංකයට ඇමතුමක් දුන්නේය. ඒ සඳහා පොලිසිය යොදාගත්තේ අපූරු උපක්‍රමයකි. පොලිස් කාන්තාවක් යොදා අදාල දුරකථන අංකයට ඇමතුමක් දුන්නේය.

“ඔයාගේ නොම්මරයෙන් මගෙ ෆෝන් එකකට මිස් කෝල් එනවා මගේ නොමිමරේ කොහොමද ඔයාගේ ෆෝන් එකට ආවේ.” සිතූ පරිදි දෙදෙනාගේ කතාව දුර දිග ගියහ. අවසානයේ හමු වී මුණ ගැසීමට ද දෙදෙනා කැමැත්ත පළ කළහ.

“හරි මම හවස අලදෙනියට එනවා. එතෙන්දි හම්බවෙන්නම්.” ඔහු ඇයට කීවේය.

“හරි.... හරි.... මම එන්නම්” රඟපෑම සාර්ථක වූ බව පෙණිනි. යොදාගත් පරිදි ඇයද කණ්ඩායමක් සමඟ අලදෙණියට ගියාය. දුරකථන පණිවුඩ හුවමාරු විය. අදාළ පුද්ගලයා එනවිටම නිලධාරීන් පැන ඔහු අල්ලා ගත්තේය. පොලිසියට ඔහුගෙන් ප්‍රශ්න කිරීම එතරම් අමාරු නොවීය. ඔහු වැඩි බලකිරීමක් නැතිව ඇත්ත කතාව කියන්නට පටන් ගත්තේය.

“අපේ ගෙවල් ළඟ යාළුවෙක්ගෙන් තමයි මට ඒ නොම්මරේ ලැබුණෙ. මම ඒකට කතා කළා. එයා කිව්වා මාතලේට එනවා මුණගැහෙන්න කියලා. එහෙම ගිහින් මම එයාව හඳුනගත්තා. නුවර බස් එකේ පිටිපස්සෙම සීට් එකේ වාඩිවෙලා අපි ආවා. ඊට පස්සේ මඟින් බැහැලා අපි කන්දට ආවා.”

හෝරා කිහිපයක් පාළු කඳු මුදුණේ නිදහසේ ගත කළ යුවළ ආපසු පහළට බසිද්දී සවස් වී තිබිණි. එහෙත් ආපසු යාමට ඇය කැමැති වී නැති බවක් ඔහු කීවේය. “මට යන්න තැනක් නැහැ. මාව එක්කරගෙන යන්න. මාව කසාද බඳින්න. නැත්නම් මම පහළට ගිහින් කෑ ගහනවා.” ඇය එලෙස කියා ඇත.

අවසානයේදි කඳු මුදුණින් පහළට රැගෙනවිත් එක්වරම ඇගේ හිස පිටුපසට ගලකින් පහර දී මරා දැමීමට තරම් ඔහු සහාසික වී තිබුණි. ඉන්පසුව ඇගේ ගෙල බැඳි මාලය ද ගලවා ගත්තේය. ඇගේ අත තිබූ බෑගය විවර කොට එහි තිබූ රුපියල් හාරසිය පනහක මුදල ද ගෙන එහි තිබු සියල්ල කැළයට විසිකොට ඔහු යන්නට ගියේය.

ජීවිතයේ අනුවණකම් කළ, හැඟීම්වලට වහල් වූ තවත් එක් ගැහැනියක්, නිරපරාදේ තවත් එක් රුදුරු මිනිසකුගේ ගොදුරක් වූයේ එලෙසය.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති එස්.බී දියකෙළිනාවල, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සාරානාත් සමරකෝන් ප්‍රමුඛ උ.පො.ප. හේමන්ත, සැරයන් ලෙස්ලි (324482) හා කොස්තාපල්වරුන් වන බණ්ඩාර (30195) හා දිසානායක (47112) යන නිලධාරීහු විමර්ශන පැවැත් වූහ.

2008 වසරේ සිදුවූ අනුවේදනීය සිදුවීමකි.