පුෂ්පකුමාර මරන්න හේතුව මොකක්ද?

පුෂ්පකුමාර මරන්න හේතුව මොකක්ද?

පළාත් පාලන මැතිවරණය පැවැත්වුණු පසුගිය 10 වන දින වරකාපොළ ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරංචියක් ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය. ඒ පිළිබඳව නොයෙක් අය සැක සංකා පළකරන්නට වූහ. එදින මැතිවරණ දිනයක් වූ බැවින් දේශපාලන පසුබිමක් මත මෙය සිදු වූ බව සමහරු කීහ. නමුත් දින කිහිපයක් ගතවත්ම එහි ඇත්ත තත්ත්වය හෙළි විය.

වරකාපොළ, අඹේපුස්ස, අදහෙට්ටිය, අඹගහමුලහේන ලිපිනයේ පදිංචි අලවලයාගේ පුෂ්ප කුමාර ඒකනායක නොහොත් “මාගිරිස් සුදා” වයස අවුරුදු 42 ක පමණ පුද්ගලයකු වූ අතර ඔහු යුධ හමුදාවේ සේවය කොට නියමිත කාලය අවසානයේ නීත්‍යානුකූලව ඉවත්ව ගිය අයෙකි. එක් දරු පියෙකු වූ හෙතෙමෙ බිරියත් සමඟ එක්ව ජීවත්වූයේ කුලී වැඩ කරමිනි.

එදින හෙට්ටිය ප්‍රදේශයේ නිවෙසකින් තැඹිලි කපාගත් ඔහු බිරියත් සමඟ අඹේපුස්ස ප්‍රදේශයට ගොස් විකුණ ඉන් ලැබුනු මුදලත් රැගෙන කලින්ම නිවෙසට පැමිණියේ ඡන්දය දැමීම අරමුණු කරගෙනය. මධ්‍යහ්නය වනවිට බිරියත් සමඟ අඹේපුස්ස මහා විද්‍යාලයේ පැවැති ඡන්ද පොළට ගොස් ඡන්දය දමා නිවෙසට පැමිණි ඔහු සවස් කාලයේ ගලේකඩේ හංදියට ගියේ පසුදිනට අවශ්‍ය ගොයම් කපන යන්ත්‍රය හා ඒ සඳහා වූ පිරිස සොයා ගැනීමේ අදහසිනි. ඉන් අනතුරුව අසල වූ කඩයෙන් තේ එකක් ද බී බුලත් විටක් ද කා බොරළු පාර දිගේ ඔහු ගෙදර එන්නට පිටත් විය. මෙය තමා ගමන් කරන අවසන් විනාඩි කිහිපය බව පුෂ්පකුමාර නොදත්තේය. අතර මඟ දී අසල ගමක් වූ වැවේ හේනවත්ත පදිංචි විසි අට හැවැරිදි ඉංදික සමන් කුමාර ඔහුට මුණ ගැසුණි. අවිවාහකයකු වූ හෙතෙම ඒ මොහාතේ මත්පැන් පානය කර සිටයේය. කුමක් හෝ කරුණක් මුල්කරගෙන දෙදෙනා අතර බහින් බස් වීමක් ඇතිවිණි. එහි අවසානය වුයේ තියුණු ආයුධයකින් ඉංදික පුෂ්පකුමාරගේ හිසට පහර දීමයි. පහර කෑ පුෂ්පකුමාර යළි තේ බිව් කඩයට පැමිණ ඇත. එහි දී ඔහු විසින් එහි සිටි අයට ඉංදික මට ගැහැව්වා.” කියමින් විස්තර පවසා තිබේ. එහෙත් ඒ මොහොතේ පුෂ්පකුමාර රෝහල වෙත ගෙනයාමට කිසිවකු ඉදිරිපත් නොවීය. ටික වේලාවකට පසුව එම ස්ථානයෙන් ගමන් කළ අයකු විසින් ත්‍රීරෝද රථයක් ගෙන්වා ගෙන පුෂ්පකුමාර වරකාපොළ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ. බරපතල තත්ත්වයේ පසු වූ පුෂ්පකුමාර වරකාපොළින් කෑගල්ල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත. කෙසේ වෙතත් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඔහු එදින රාත්‍රීයේම මෙලොවින් සමු ගෙන ගියේ ය.

මේ අතර එදිනම සවස 6 ට පමණ වරකාපොළ පොලිසියට පැමිණි පුද්ගලයකු පුෂ්පකුමාර තමන්ගේ අතට කෙටූ බවට පැමිණිල්ලක් සටහන් කිරීමෙන් පසුව තුවාලයේ ලේ වහනය වී තිබූ නිසා නිලධාරින් ඔහු වරකාපොළ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කළේය. පුෂ්පකුමාර නමැති අය කෙටු බවට ලැබුණු පැමිණිල්ලට අනුව විමර්ශන ඇරඹි අතර ටික වේලාවකට පසු දෙදෙනා අතර සිදු වූ ගැටුම පොලිසියට අනාවරණය කර ගැනිමට හැකි විය. ඉන්පසු පොලිසියට රෝහලේදීම තුවාලකරු වූ ඉංදික අත්අඩංගුවට පත්විය.

මේ අතර මෙම ඝාතනය පිළිබඳව අදහස් දක්වන මියගිය අයගේ මස්සිනා කෙනකු වන දංඕවිට, ගොඩවග, අල්ගම ලිපිනයේ පදිංචි ප්‍රේමසිරි රත්නායක මහතා.

"මගේ මස්සිනාගේ ඝාතනය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසියෙන් නිසි පරිදි කටයුතු කළා. ඒ පිළිබඳව ගැටලුවක් නෑ. අපිට තිබෙන ගැටලුව තමා තනි පුද්ගලයකුට පමණක් පුෂ්ප කුමාර ඝාතනය කිරීමට හැකි වුණා ද නැත්තම් තවත් පුද්ගලන් මේ සදහා හවුල් වුණා ද යන්න.හරි හැටි දැන ගැනීමයි. අනික මේ ඝාතනයට හේතුව කුමක් ද යන්න දැන ගනීමටත් අවශ්‍යයි. මෙතන කිසිම ඉඩම් ආරවුලක සම්බන්ධයක් නැහැ. මගේ මස්සිනා ගමේ අය සමඟ ගැටුම් ඇති කර ගත් පුද්ගලයෙක් ද නෙමෙයි."

තුල්හිරිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්තා ජයසේකර මෙනවිය විසින් සිද්ධිය වූ ස්ථානය පරික්ෂා කළාය. පුෂ්ප කුමාර ගේ දේහය ඒ වනවිට කෑගල්ල ශික්ෂණ රෝහලේ තිබූ බැවින් කෑගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ගමගේ මහතා විසින් පශ්චාත් මරණ පරික්ෂණය පැවත්වීමට නියෝග කළේය. කෑගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත එන් ටී නිසංසලා ජයවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විණි. එහි දී අනාවරණය වූයේ හිසට මොට ආයුධයකින් පහරදීමෙන් සිදු වූ තුවාල නිසා මොලය අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන් පුෂ්පකුමාර ගේ මරණය සිදු වී ඇති බවයි.

ඒ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලැබූ සැකකාර ඉංදික තුල්හිරිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්තා ජයසේකර මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇය නියම කළාය.

සහකාර පොලිස් අධිකාරි කමල් පෙරේරා හා වරකාපොල පොලිස් ස්ථානාධිපති ජනකාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති සමරනායක,උප පොලිස් පරික්ෂක කුලතුංග, කොස්තාපල්වරු වන හේමචන්ද්‍ර (65964) හා සුගත්සිරි (9675) යන නිලධාරිහු මේ පිළිබඳ පරික්ෂණ සිදුකරති.

(පොලිස් පරික්ෂණ ඇසුරින් සකස් කෙරුණි.)