දරුවන් මරා දැමු සාත්තු සේවිකාව

දරුවන් මරා දැමු සාත්තු සේවිකාව

එංගලන්තයේ ලැන්කන්ෂයර් ප්‍රාන්තයේ පිහිටි ග්‍රැන්තම් හා කෙස්ටෙවන් රෝහලේ ළමා වාට්ටුවේ සිටි දරුවන් හතර දෙනකු හිටි හැටියේ මරණයට පත්වීම කාටත් ගෙන දුන්නේ මහත් ප්‍රහේළිකාවකි. ඒ... එම දරුවන් සිතා ගැනීමට පවා අපහසු අන්දමට මරණයට පත්වී තිබීම නිසාය. මෙම අබිරහස් මරණ සිදු වී තිබුණේ දින 58ක කාල පරාසයක් තුළදීය. එසේම තවත් දරුවන් කිහිපදෙනකු හිටි හැටියේම තුවාල ලැබීමත් තවත් දරුවන් විස්තර කළ නොහැකි අයුරෙන් රෝගී තත්ත්වයට පත් වී තිබිමත් කාටත් දැඩි ප්‍රශ්නයක් මෙන්ම කුතුහලයක ්ද ගෙන දෙන්නට සමත්විණි.

මියගිය දරුවන් සිව්දෙනා අතර සිටි සති 7ක් වයසැති ලියැම්ටේලර් නමැති ළදරුවා රෝහලට ඇතුළු කරනු ලැබුවේ නිව්මෝනියා රෝගය වැළදී ඇතැයි යන සැකයෙනි. රෝහලට ඇතුළු කරන අවස්ථාවේ ළමා වාට්ටුවේ සේවය කළ සාත්තු සේවිකාව ලියැමීගේ දෙමාපියන්ට කථාකොට කිසි දෙයකට බියවිය යුතු නැතැයි පවසමින් දරුවා හොඳින් බලාගන්නා බවට පොරොන්දු වුවාය. ඒ නිසා ලියැම් ගේ මාපියන් සතුටු සිතින් රෝහලෙන් පිට වූ අතර පසුදින උදයේ ඔවුන් පැමිණි විට සාත්තු සේවිකාව පැවසුවේ ලියැම්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් රාත්‍රියේ ඇතිවූ නමුත් පසුව එය නිවැරදි කිරීමට හැකි වු බවය. පසුදින රාත්‍රියේ ද ඉහත කී සාත්තු සේවිකාව සේවය කළ අතර ලියැමි ළදරුවා හිටි හැටියේ හුස්ම ගැනීම නතර කිරීම සමඟ සාත්තු සේවිකාව වහාම ඒ බව වෛද්‍යවරුන්ට පැවසු නමුත් දරුවා බේරා ගැනීමට නොහැකිවිය. හෘදය වස්තුව ක්‍රියාවිරහිත වී ලියැම්ටේලර් දරුවාගේ මරණය සිදු වූ බවට පසුව තීරණය විය.

දරුවා මියයන තෙක්ම කුඩා ලියැම් අසල සිටියේ බෙවර්ලි ඇලිට් නමැති සාත්තු සේවිකාවකි.

ඉන් සති දෙකකට පසු මොළයේ පැවති ආබාධයක් නිසා නිතර අසිහියට පත්වන එකොළොස් හැවිරිදි ටිමති හාර්ඩ්වික් දරුවා ද එම රෝහලට ඇතුළත් කර තිබිණි. ඔහු බලා ගැනීම සිදු කළේද බෙවර්ලි අලිට් නමැති තරුණ සාත්තු සේවිකාව විසිනි.

මෙම දරුවා ද හිටිහැටියේම මරණයට පත් වූ අතර ඔහුගේ මරණයට හේතුව ලෙස අපස්මාරය වැළදීම බව ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන් පසුව පෙනහැල්ලට ඇතුළු වූ විෂ බීජයක් නිසා කේලී ඩෙස්මන්ඩ් නමැති දරුවා ද මෙම රෝහලේ ළමා වාට්ටුවට බාර දෙනු ලැබු අතර ඇය බලාගැනීම බාර වුයේ ද බෙවර්ලි අලිටි නමැති සාත්තු සේවිකාවටය. ක්‍රමයෙන් සුවඅතට පත්වෙමින් පැවතුණු නමුත් දින පහකට පසු හිටි හැටියේම දරුවාට හෘදයා බාධයක් ඇතිවීණි.

වහාම ඒ ගැන ක්‍රියාත්මක වූ වෛද්‍යවරුන් දරුවා ප්‍රකෘති තත්ත්වයට පත්කොට නොටි හැම් හි පිහිටි වෙනත් රෝහලකට මාරු කිරීමට කටයුතු කරන ලදී. ඒ අතරතුරදී ඇගේ කිහිල්ල යට ඉඳිකටුවකින් සිදු වූ සිදුරක් හා ඒ අවට ඉදිමි තිබෙන ආකාරයක් වෛද්‍යවරුනට දැකගත හැකි වු අතර එය එන්නත් දීමට ගොස් වැරදුණු අවස්ථාවක් ලෙස ඔවුන් එය හැඳින්වූ අතර ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් ද සිදු කළේ නැත.

ඊට සති කිහිපයකට පසු පස් වයසැති දරුවෙකු බ්‍රොන්කයිටිස් රෝගය වැළඳීම නිසා රෝහලට ඇතුලත් කරලු ලැබු අතර හිටි හැටියේම සිහිසුන් වීම නිසා ඔහුගේ රුධිරය පරීක්ෂා කරන ලදි. එහිදී දක්නට ලැබුණේ රුධිරයේ අධික ලෙස ඉන්සියුලින් පැවතීමයි. පසුව එම රෝගි දරුවා නොටිංහැම් රෝහලට ගෙන යනු ලැබු අතර ඔහු රැකබලා ගැනීම හා ගිලන් රථයේ රැගෙන ගොස් ඉහත කී රෝහලට මාරු කරනවිට ඔහු සමඟ ගොස් තිබුණේ බෙවර්ලි ඇලිට් නමැති සාත්තු සේවිකාවයි. නොටිංහැම් රෝහලේදී ද ඔහුගේ රුධිරය පරීක්ෂා කරනු ලැබු අතර ඉන්සියුලින් අධික තත්ත්වය එහිදී ද දක්නට ලැබිණ.

ඉන් දින කිහිපයකට පසු නිව්මෝනියාව වැළදුණු පස් අවුරුදු බ්‍රැඩ්ලි ගිබ්සන් බලා කියා ගැනීම බෙවර්ලි විසින් සිදු කරනු ලැබු අතර හිටි හැටියේම දරුවාට හෘදයාබාධයක් හටගැනීම නිසා වහාම ඔහු ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමට වෛද්‍යවරු ක්‍රියාත්මක වී තිබිණි. ඔහුගේ රුධිරයේ ද අධික ලෙස ඉන්සියුලින් පැවතීම වෛද්‍යවරුන්ට මහත් ප්‍රශ්නයක් ගෙන දුනි. ඔහු ද වෙනත් රෝහලකට මාරු කර යවන ලදි.

මේ අතර දෑඅවුරුදු වියේ පසු වූ සික් හුං චැං නමැති චීන ජාතික දරුවකු ජනේලයකින් වැටීම නිසා හිසට සිදු වූ තුවාලයක් සහිතව රෝහලට ඇතුලත් කරන ලදි.

ඔහු බලාකියා ගැනීම ද බෙවර්ලි අතින් සිදු වූ අතර හිටි හැටියේම ඔහුගේ ඔක්සිජන් තත්ත්වය දෙවරක්ම පහත වැටීම නිසා එම දරුවා ද වහාම නොටිංහැම් රෝහලට මාර කර යවන ලදි. හුස්ම ගැනීමේ අපහසුතාවයට හේතුව හිසේ ඇති තුවාලය ලෙස සලකන ලදි.

ආමාශයට ඇතුළුව තිබු විෂ බීජයක් නිසා මාස දෙකක් වයසැති බෙකී ෆිලිප්ස්ට සාත්තු කිරීම පැවැරුණේ ද බෙවර්ලි ඇලිට් සාත්තු සේවිකාවටයි. ඇයගේ තත්ත්වය නරක අතට හැරි අවසානයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූවාය.

එසේම ඇගේ සොහොයුරියක වන කේටි ෆිල්ප්ස් ද එම රෝහලේ හතරවැනි වාට්ටුවට ඇතුලු කරනු ලැබුවේ පරීක්ෂාවට ලක්කීරම සඳහායි. එහෙත් දින දෙකකට පසු ඇයට ද හුස්ම ගැනීමේ අපහසුතාවක් හිටි හැටියේම ඇතිවීම නිසා වෙනත් රෝහලකට මාරු කර යවන ලදි.

එහිදී හෙළිවුයේ ඇගේ සිරුරේ අනවශ්‍ය ලෙස ඉන්සියුලින් හා පොටෑසියම් රුධිරයේ පැවතීමයි. වෙනත් රෝහලකට මාරු කිරීම නිසා ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවිය.

මේ අයුරින් තවත් දරුවත් බලාපොරොත්තු නොවු ලෙස රෝගී තත්ත්වයන්ට පත්වීම සහ ඉන් කිහිපදෙනකු ජීවිතක්ෂයට පත්වීම රෝහල් බලධාරින්ට, දරුවන්ගේ දෙමාපියන්ට මෙන්ම පොලිසියට ද මහත් ප්‍රහේළිකාවක් ගෙන දෙන්නට විය. එසේම ඒ සෑම රෝගියෙකුගේට රුධිරයේ ඉන්සියුලින් හා පොටෑසියම් පැවතීම කාටත් ගෙන දුන්නේ ප්‍රශ්නයක්ය. මේ සෑම දරුවකුම බෙවර්ලි ඇලිට් විසින් සාත්තු කිරීම ද කාගේත් අවධානයට යොමු වුයේ ඉන් අනතුරුවය.

අවසානයේ මෙළෙස දරුවන් මරණය පත්වීමට හේතුව අනාවරණය කරගැනීමට බලධාරීන්ට හැකිවිය. මාස පහළොවක් වූ ක්ලෙයාර් පෙක් ගේ මරණයත් සමඟය.

ක්ලෙයාර් මෙම රෝහලේ හතරවැනි වාට්ටුවට ඇතුලත් කරනු ලැබුවේ ඇදුම රෝගය උත්සන්න වීම නිසාය. පැය කිහිපයකට පසු හිටි හැටියේම ඇයට හෘදයාබාධයක් ඇතිවිය. වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරුන් ඇය ප්‍රකෘති තත්ත්වයට පත් කරන ලදී. එහෙත් ඊට පසු නැවතත් හෘදයාබාධයක් ඇති වු නමුත් වෛද්‍යවරුන්ට ඇය බේරා ගැනීමට නොහැකිවිය. එම දැරිය පිළිබඳව පැවැත්වූ මරණ පරීක්ෂණයේදී ඇයගේ සිරුරේ ලිග්නොතෙයින් නමැති ඖෂධය ගැබ් වී තිබෙන අන්දම දැක ගත හැකිවිය. එය ඉතාම සැර ඖෂධයක් වන අතර හෘදබාධයක් ඇතිවු විට වැඩිහිටියන්ට දෙනු ලබන ඖෂධයකි. කිසි අවස්ථාවක දරුවකුට එන්නත් කිරීම නොකරන ඖෂධයකි.

වෛද්‍යවරුන් මේ පිළිබඳව පොලිසියට දන්වන ලද අතර ඒ අනුව පවත්වන ලද පරීක්ෂණ වලට අනුව මෙම රෝහලෙන් ප්‍රතිකාර ලැබු දරුවන් 25 දෙනකුගේ රෝහල් වාර්තා පරීක්ෂණයට භාජනය කරන ලදි. එහිදී හෙළි වුයේ එම සෑම අයකුගේම රුධිරියේ ඉන්සියුලින් හා පොටෑසියම් අධික ලෙස පැවතීමයි. එසේම මෙම සෑම රෝගි දරුවෙකුටම පොදු වූ තවත් කරුණක් කෙරේ පොලිසියේ අවධානය යොමු විය. ඒ මෙම සෑම දරුවෙකුටම සාත්තු කිරීම බෙවර්ලි ඇලිට් විසින් සිදුකිරීමයි.

ඉතාම කරුණාවන්ත එසේම දරුවන්ට ආදරේ දක්වන සාත්තු සේවිකාවක් ලෙස එම දරුවන් ගේ දෙමාපියන්ගේ හිත දිනා ගැනීමට සමත් වී සිටියාය. ඒ හේතුව නිසාම දරුවන් මරණයට පත්වීම කිසිදු සැකයක් ඇති නොවන පරිද්දෙන් දිගටම කරගෙන යාමට ඇයට හැකි වුවාය. එහෙත් ක්ලෙයාර්පෙක් ගේ අවසනාවන්ත මරණයත් සමඟම බෙවර්ලි ඇලිම් ඝාතන රැල්ලට තිත වැටුණ අතර ඇය පොලිස් අත්අඩංගුවට පත්විය.

ඇය විසින් සිදුකරන ලද ඝාතන රැල්ල හා ඝාතනය කිරීම තැත් කිරිම් අනුව මාධ්‍ය මඟින් ඇය හඳුන්වනු ලැබුවේ “මරණයේ සුර ධුතිය” ලෙසටය.

දරුවන් හතරදෙනකුගෙන් යුක්ත පවුලක සාමාජිකයකු ලෙස ඇය කුඩා කළ පටන්ම තමා වෙත කාගේත් අවධානය යොමුකර ගැනිමේ මානසික තත්ත්වයක පසු වූ බව විමර්ශන වලදී හෙළිවිය. ඉන් මානසික විකෘති භාවයකට පත් වූ ඇය ඒ සඳහා තම සිරුරට තුවාල කර ගැනීම හා එම තුවාල කෙරෙහි වෙනත් අයගේ අවධානය යොමු කරවා ගැනීමට උත්සාහ කළාය. ඇයගේ මානසික තත්ත්වය මන්චවුසන් සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වනු ලබයි. කුඩා කළ සිට වෛද්‍ය කේෂ්ත්‍රයට අදාල කටයුතු කෙරේ පැවති සම්බන්ධය අනුව හෙදියක් ලෙස ක්‍රියාකිරීමට ඇයට අවස්ථාව ලැබිණි. එහෙත් ඈ තුළ පැසෙමින් තිබු මානසික විකෘති භාවයේ ප්‍රතිඵලයක් ලෙස මනස පරපීඩාකාමී තත්ත්වයකට පත්වීම නිසා මෙම දරුවන් සිව්දෙනා මරා දැමීමටත් අනෙකුත් දරුවන් මරා දැමීමට තැත් කිරීමටත් පෙළඹුනු බව අධිකරණයේ දී හෙළි විය. ඒ සියලුම කටයුතු වලින් ඇයට අවශ්‍ය වුයේ කාගේත් වැඩි අවධානය යොමු කරවා ගැනීමයි.

මියගිය දරුවන් මෙන්ම ඝාතනය කිරීමට තැත් කළ දරුවන්ගේ සිරුරුවලට ඉන්සියුලින් හා පොටැසියම් වැඩියෙන් එන්නත් කිරීම මිනී මැරීම සඳහා ඈ විසින් යොදාගත් අවිය බව හෙළි විය.

දරුවන් හතරදෙනකු මරා දැමීම හා තවත් 13 දෙනෙකු මරාදැමීමට තැත්කිරීම යන චෝදනා වලට වැරදි කරුව බෙවර්ලි අලිම් සාත්තු සේවිකාවට අධිකරණය මගින් ජීවිතාන්තය දක්වා දඬුවමක් නියම කළේය. එහෙත් ඇයගේ මානසික විකෘති භාවය පිළිබඳව සලකා බැලු අධිකරණය මානසික රෝගීන් සඳහා පවත්වාගෙන ගිය දැඩි ආරක්ෂාවක් ඇති රෝහලක ඇය නවත්වන ලෙසද නියෝග කළේය. එසේම ඇයට ජීවත්වීමට ඉඩ දුන්නද සමාජයට මුහුණ දීමට ඉඩ නොදෙන බව පැවසු අධිකරණය ඇයව යළි කිසි දිනක නිදහස් නොකරන ලෙස ද නියෝග කරන්නට විය.

ඇයගේ ජීවන කථාව බිබිසී ආයතනය මඟින් “Angel of Death” යන නමින් විශේෂ වාර්තා චිත්‍රපටියක් ද නිෂ්පාදනය විය. බ්‍රිතාන්‍ය අපරාධ ඉතිහාසයේ ඉතාම අනුකම්පා විරහිත කාන්තා අපරාධ කරුවෙකු ලෙස බෙවර්ලි ඇලිට් හඳුන්වනු ලබයි.