බැහැ කියලා දෙයක් නැහැ හැම දෙයක්ම කරන්න පුළුවන්

“බැහැ කියලා දෙයක් නැහැ හැම දෙයක්ම කරන්න පුළුවන්”

2001වසරේ දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වන ඔහු වසර දහයක් පුරාම පොලිස් විශේෂ කාර්ය බළකායට (ඉඊජ්) අනුයුක්තව රාජකාරි කළේය. කාර්තිව්, වව්නියා, ආරියම්පති, රූගම, අඹකොටේ ආදී ප්‍රදේශවල සේවය කිරීමෙන් අනතුරුව රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ බාර ස්ථානාධිපතිවරයා ලෙස සාමාන්‍ය පොලිස් සේවයට එක්වන ඔහු වැලිගම ප්‍රජා පොලිස් ඒකකය බාරවත් හික්කඩුව අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයා ලෙසත් රාජකාරි කළේය. වත්මන් කරන්දෙණිය බාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුය. අප ඔහු සමඟ කළ කෙටි පිළිසඳරකි මේ.

* කරන්දෙණිය පොලිස් වසම ගැන කතා කළොත්?

“මගේ පොලිසියට අයත්ව ග්‍රාම සේවා වසම් 20ක් තියෙනවා. කරන්දෙණියෙ ඉන්නේ උගත් බුද්ධිමත් ජනතාවක්. ජීවනෝපාය ලෙස හුඟ දෙනෙක් කරන්නේ කුරුඳු ව්‍යාපාරය. ඉන් විශාල මුදල් උපයන කොට්ඨාශයකුත් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක්ගේ නැත්තම් පිරිසකගේ ක්‍රියාකලාපය නිසා පවුල් අතර ඇති වූ ප්‍රශ්න නිසා කාලයක් මේ වසම තුළ අපරාධ වාර්තා වුණා. වෛද්‍යවරයකුගේ ඝාතනය නිසා කරන්දෙණියට කළු පැල්ලමක් එකතු වුණා. මේ ඝාතන සිදුකළේ පිටස්තරින් පැමිණි අය.”

“අනෙක තමයි මෙහෙ ජීවත්වෙන හුඟදෙනෙක් අතේ පිහියක් තිබීම. කුරුඳු තැලිම නිසා හුඟාක් ගෙවල් වල පිරිස් මේ පිහිය අතේ තියාගෙන තමයි එළියට බහින්නෙත්. ප්‍රජා පොලිසිය හරහා අපි ඒ අයව දැනුවත් කළා. පිහිය නිසා ඇතිවන ආදීනව ගැන. මේ නිසා සුළු ප්‍රශ්න වලදී කැපීම් කෙටීම් ඇතිවුණා. අවසානයේ ඝාතන පවා සිදුවුණා. අද ඒ තත්ත්වය හුඟාක් දුරට පාලනය වෙලා.”

මෙහෙ මිනිස්සු එදිනෙදා හරි හම්බ කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ හුඟාක් අය ක්ෂණික ණය අරගෙන තියෙනවා. පොලිය ඩබල් ට්‍රිබල් වෙලා තමයි ඒ ණය අරන් තියෙන්නේ. නැත්නම් ගන්න මුදලින් පොලිය කපාගෙන. ඒ නිසා හුඟාක් දෙනා අපහසුතාවයෙන් තමයි ජිවිත ගත කරන්නේ. අපි ඒ අය දිගින් දිගටම දැනුවත් කරනවා. ඔය වගේ දේ කරන්න එපා. ඒ වගේ තැන්වලට අහුවෙන්න එපා කියලා.”

* අපරාධ වාර්තා විම් වැඩිද?

“එහෙම වැඩිවීමක් දක්නට නැහැ.

බල අපරාධ වාර්තාවීම් විසඳීම් ප්‍රතිශතය

ශරීරය පිළිබඳ 09 09 100%

දේපළ පිළිබඳ 20 15 77%

එකතුව 29 24 87%

ගිය වසරේ අපරාධ විසඳීමේ ප්‍රතිශතය 87% දක්වා රැගෙන ඒමට අපිට හැකිවුණා. 2014, 2015 වසර දෙකේ කිසිදු මිනිස් ඝාතනයක් වාර්තා වුණේ නැහැ. 2016 මිනිස් ඝාතන දෙකක් වුණා. 2017 දී එකක් වත් නැහැ.

* අපරාධ විසඳීමේ ප්‍රතිශතය ඉහළ නැංවීමට ඔබ ගත් ක්‍රියාමාර්ග ගැන සඳහන් කළොත්?

“ක්ෂණික මාර්ග බාධක යෙදවීම් වැඩි කළා. මිනිස්සු දැනුවත් කළා. උදාහරණයක් ලෙස කිව්වොත් 2016 වසරේදී වසම තුළ යතුරු පැදි 7ක් නැතිවුණා. අපි මිනිස්සු දැනුවත් කළා. යතුරු පැදියක් කොතැනක හෝ නතර කරලා යනවා නම් හැඬල් එක ලොක් කරලා යන්න කියලා. ඒ නිසා 2017 වසරේ එක යතුරු පැදියක්වත් නැති වුණේ නැහැ.”

“රන්මාල කොල්ලකෑම් නොවන්න ප්‍රජාව දැනුම්වත් කළා. ත්‍රිවිල් සංගම් දැනුවත් කළා. ඔවුන් අපට ක්ෂණිකව තොරතුරු දුන්නා. අපිත් ක්ෂණිකව එතැනට ගියා. ත්‍රිවිලර් රියදුරන් තුළ පොලිසිය කෙරෙහි විශ්වාසයක් ඇතිවුණා. තොරතුරක් දුන් සැණින් පොලිසිය එනවයි කියලා. ඒ නිසා ඔවුන් තුළ පොලිසිය කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා.”

”ඒ වගේම තමයි ප්‍රජා පොලිස් කමිටු. ගමට අලුතෙන් කෙනෙක් පදිංචියට ආවොත්, සැකකටයුතු අයකු ගමේ ගෙදරකට නිතර නිතර යනවා එනවා නම් අත දිග හැරලා වියදම් කරනවා නම් ඔහු ගැන සැකයක් උපදියි නම් කමිටු සාමාජිකයන් වහාම අපිට තොරතුරු දෙනවා. ඒ නිසා අපරාධ කිරීමට කවුරු හෝ පෙළඹෙනවා නම් ඒවා නැතිවුණා.”

” රාත්‍රී කාලයේ අපේ රථවාහන නිලධාරීන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. අපි එතැනදී වාහනය නතර කරලා සෝදිසි කරනවා. ඒ පුද්ගලයා බිමතින් සිටිනවා බලන්න. වාහනේ ලයිසන්, ඉන්ෂුවරන්ස් සෝදිසි කරනවා. රියදුරා බිමත්ව සිටිනවා නම් වාහනය අපේ නිලධාරීන් විසින් පොලිසියට රැගෙන යනවා. පොලිසියේදි වාහනයත් සෝදිසියට ලක්වෙනවා. අපරාධයක් සිදුකරන්නට අවිආයුධ රැගෙන යනවානම් නැත්තම් සොරකම් කරපු වාහනයක් රැගෙන යනවා නම්, වාහනේ සැකකටයුතු අය යනවානම්, ඔවුන් ගේ අනන්‍යතාවය තහවුරු කරගන්නට නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. මේ නිසා අපරාධකරුවන් බියක් දක්වනවා වාහනය හෝ තමන් පොලිසියේ සෝදිසියට පරීක්ෂාවට ලක්වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන් අපරාධයක් කරන්න බිය වෙනවා. අපරාධයක් කරලා පලා යන්න නොහැකි වෙනවා. ඒ නිසා අපරාධ සිදුකිරීමේ ප්‍රවණතාවය නැතිවෙලා තියෙනවා.”

” අනෙක තමයි මේ පළාත්වල දකින්නට තියෙන සුලභ දෙයක් තමයි මළ ගෙවල් වල “බුරුවා” ගහන එක. මළ ගෙදරක් සිදුවුණු වහාම රාත්‍රියට බුරු ගැහිල්ල පටන්ගන්නවා. මෙතැනට හුඟාක්ම එන්නේ පිටස්තරයන්. ලක්ෂ ගණන් ඔට්ටු අල්ලලා සෙල්ලම් කරනවා. මොවුන් බොහොමයක් පරාජයට පත්වුණාම නතර කරපු බයිසිකලයක් පාපැදියක් හොරකම් කරගෙන තමයි පිටවෙලා යන්නේ, මෙලෙස එන පිටස්තර අයත් පිහියක් පිස්තෝලයක් ඉනේ ගහගෙන එන්න පුළුවන්. පුංචි වැරැද්දක් වුණොත් පහරදීමක් පිහි ඇනුමක් වෙන්න පුළුවන්. ඒ නිසා අපරාධයක් ඇතිවිය හැකියි. මේ නිසා මම කියලා තියෙනවා මළ ගෙවල්වල බුරුවා ගහන්න එපා කියලා. මළ ගෙයක් ගමේ සිදුවුණොත් මම කියලා තියෙන්නේ ඒ ගෙදර අය මට ඉදිරිපත් කරන්න කියලා. මම ඔවුන්ගේ තරාතිරම වටපිටාව හොයලා බලලා ඔවුන්ට කරුණු කාරණා පැහැදිලි කර දෙනවා. ගමේ බුරුවා පොළක් තියෙනවානම් ප්‍රජා කමිටු දැනුම්වත් කරලා තියෙනවා. අපිට දැනුම් දෙන්න කියලා. බොහොමයක් ප්‍රජාව ඒ කරුණු කාරණා පිළිගෙනයි තියෙන්නේ.”

* ළමා අපචාර වාර්තා වීම් තියෙනවා නේද?

“ඒකට ප්‍රධානතම හේතුව තමයි. මේ පවුල් වල බොහොමයක් මව්පියන් විදේශ ගතව සිටිම. අම්මා ඉන්නේ රට. ඒ නිසා දරුවා හැදෙන්නේ මව් සෙනෙහසින් ඇත්ව. පිටස්තරයකු ළඟ නැත්නම් තාත්තා යටතේ. තාත්තා රෑට ගෙදර එන්නේ හොඳටම බීලා කුණුහරුප කියාගෙන. දරුවා රැකවරණය පතාගෙන යන්නේ පිටස්තරයකු ළඟට. නැත්තම් බාප්පා මාමා ළඟට ඥාතියෙක් ළඟට. එතැනදී දරුවාගේ ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. ළමයා අපචාරයට අපයෝජනයට ලක්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි මේ ගැන ප්‍රජා පොලිස් කමිටු හරහා දැනුම්වත් කිරීම් කරනවා. පාසල්වලට ගිහින් දේශන කරනවා. විදුහල්පති සමඟ සමීප සබඳතාවයක් ඇතිකරගෙන අවුරුදු 16ට අඩු දරුවන්ට ලිංගික ක්‍රියාකාරකම් සිදුවීම් වළක්වාලීම සඳහා දැනුවත් කිරිම් කරනවා. දරුවන්ට මෙහි ආදිනව කියලා දෙනවා. දරුවන් වෙනුවෙන් වැඩමුළු පවත්වනවා. මේ දැනුම්වත් කිරීම් නිසා අපචාර වාර්තා වීම් අඩුවීමක් දක්නට තියෙනවා.”

* දැනුම්වත් කිරිම් තුළින් අපරාධ අඩුකළ හැකිද?

”අනිවාර්යෙන්ම පුළුවන්. අපට ඇස්වලට පෙනෙන්නේ නැතිවුණා විශාල ප්‍රමාණයක් අඩුවෙනවා. ඒක පොලිසියට අනෙකුත් රාජකාරී කිරීමට ලොකු පිටුවහලක් වෙනවා.”

* ඕනෑම අපරාධයක් විසඳීමට හැකිද?

“ඕනෑම අපරාධයක් අල්ලන්නත් පුළුවන්. විසඳන්නත් පුළුවන්. ඒකට නිලධාරියා සුක්ෂම වෙන්න ඕන. අපරාධයක් සිදු වී පැය 24 නැත්තම් පැය 48 තුළ නිලධාරියා ක්‍රියාත්මක විය යුතුයි. එයින් ලැබෙන ප්‍රතිඵලය තමයි අපරාධ විසඳීමේ අවසානය දක්වා යන්නේ. නැත්තම් අපරාධයක් විසඳීම අසීරු වෙනවා.

අපරාධයක් සිදු වූ සැණින් සාක්කි සම්පීඩනයක් කළාට පස්සේ පළපුරුදු නිලධාරියකුට පේනවා මේ අපරාධය විසඳිය හැකියි කියලා.

මම ඔබට උදාහරණයක් කියන්නම්. මම රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරියා ලෙස අවුරුදු තුනහමාරක් රාජකාරි කළා. ප්‍රදේශයේ ගෙයක් කැඩුවොත් මට කියන්න පුළුවන් වුණා මේ ගේ කඩලා තියෙන්නේ අහවලා කියලා. ගෙය බිඳපු ආකාරයෙන් තමයි ඒක කියන්න හැකි වෙන්නෙ. ඒකට හේතුව මමලබාගත්ත පළපුරුද්දයි දැනුමයි.”

* ඔබ කියන්නේ පළපුරුද්ද අපරාධ විසඳීමට අවශ්‍යමයි කියලා?

“ඔව්. පළපුරුද්දක් තියෙනවානම් ඉක්මනට අපරාධය විසඳිය හැකිවෙනවා. අපරාධයක් විසඳීම කියන්නේ විද්‍යාවක්. පරීක්ෂණ නිරීක්ෂණය නිගමනය තුළින් තමයි අපරාධයක් විසඳන්න පුළුවන්. අනෙක අද තාක්ෂණය තියෙනවා. ඒ තුළින් ඊට ඔබ්බට යන්න පුළුවන්. හැළඹගේ පේ‍්‍රමසිරි ඝාතනයේදී මමත් එක් කණ්ඩායමක රාජකාරී කළා. දුරකථන විශ්ලේෂණ තමයි අපරාධය විසඳීමට ඉවහල් වුණේ. කොස්ගොඩ කප්පම් සිද්ධිය, බටපොළ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට තැත්කිරීම ඒ පරීක්ෂණ කණ්ඩායම්වල මාත් හිටියා අපිට අපරාධකරුවාත් ගිනි අවිත් අත්අඩංගුවට ගන්න හැකිවුණා. ඒ පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය තුළින්.“

“හික්කඩුවේ විදේශීය කාන්තාවක් දුෂණය කළා. සංචාරක කර්මාන්තයම මින් බියවුණා. මම හික්කඩුවේ ක්‍රසිම් ඕ.අයි.සී. සැකකරු පිළිබඳ කිසිදු හෝඩුවාවක් තිබුණේ නැහැ. ලොකු වෙහෙසක් අරගෙන අපරාධකරු අල්ලගත්තා. ලංකා පොලිසිය කෙරෙහි විදේශකයන්ගේ විශ්වාසයක් ඇතිවුණා. හඳුනාගැනීමේ පෙරට්ටුවේදී අතවරයට ලක් වු විදේශීය කාන්තාව අපරාධකරු හඳුනාගත්තා. ඒ මම ජීවිතේ ලබපු ලොකු ජයග්‍රහණයක්. තාක්ෂණය ඔස්සේ තොරතුරු ලබා ගනිමින් තමයි ඒ විමර්ශන සාර්ථකව කළේ. අනෙක තමයි විමර්ශනයක් සාර්ථකව කිරීමට ප්‍රජාවගේ තොරතුරුත් වැදගත් වෙනවා. පොලිස් නිලධාරියකු වුණාම ප්‍රජාවගේ විශ්වාසය දිනාගන්න ඕන. අපි කරන කියන දෙයින් ඔවුන් අපිත් එක්ක බොහොම හිතෛෂි වී තොරතුරු දෙනවා. ඒක ලබාගන්න අපි නිවැරදිව රාජකාරී කරන්න ඕන. ඔවුනට බොරු කරන්න බැහැ.”

* ඔබ රාජකාරිය කිරීමේදීත් ඔය ක්‍රමය ද අනුගමනය කරන්නේ.?

“මම හැම තිස්සේම හිතන්නේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. බැහැයි කියලා දෙයක් නැති බවයි. මම හිතපු හැම දෙයක්ම කරලා තියෙනවා. ඒ සඳහා මම මුලින් රාජකාරි කළ එස්.ටී.එෆ් එකේ පන්නරය තමයි ඉවහල් වුණේ. මා සමඟ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නැත්තම් පොලිසිවල ඕ.අයි.සී වරුන් දැක් වූ සහයෝගය මීට දායක වුණා. “

ඉඊජ් ඉඳලා රත්ගම පොලිසියට රාජකාරියට ආවා. ඒක තමයි පොලිසියේ මගේ තක්සලාව වුණේ. මම හැම උසාවි දවසකම උසාවි ගියා. උදේ හයට රාජකාරි අවසන් වුණත් එදා බදාදා දිනයක් නම් මම උසාවි යනවා. මගේ ගෙදර අය ඔක්කොම ගණන්් කරද්දී මම ආට්ස් කළේ. නීතිඥයකු වෙන්න හිතාගෙන ඒ ලේවල් කළාට පස්සේ පොලිසියට ඉල්ලුම්පත්‍රයක් දැම්මා. ඉන්ටවිව් ගියා. ෆයිනල් එකට තේරුණා ඒ දවසට ඉස්සෙල්ලා රූපවාහිනි වැඩ සටහනක් ගියා වසන්ත දුක්ගන්නාරාළ තමයි ඒක මෙහෙව්වේ ඒ.එස්.එෆ් එක පිළිබඳ වැඩසටහනක් මම ඒක බලාගෙන ඉන්නකොට මට එස්.ටී.එෆ් එකට යන්න ආස හිතුණා. පහුවෙනිදා ඉන්ටවිව් ගියා. එතැනදි ඇහැව්වා එස්.ටී.එෆ් එකට යන්න කැමතිද කියලා. මම කැමතියි කිව්වා. එතැනින් ගත්ත පන්නරය තමයි අද මම මේ දක්වා ආපු ගමනට ඉවහල් වුණේ.”