එලිසා ඝාතනය

එලිසා ඝාතනය

ඩේවිඩ් සහ වෙන්ඩි ඇමෙරිකාවේ මිචිගන් සිට ෆ්ලොරිඩාවේ පදිංචියට ආවේ 1970 වසරේදීය. ඔවුන් පදිංචි වුණේ පාම් හාබර් ප්‍රදේශයේ. ඒ වෙද්දී ඔවුන්ට හිටියේ ජෙත් පුතා විතරයි.

ෆ්ලොරිඩාවේ පදිංචි වූ මේ දෙදෙනා ඉදිකිරීමේ ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන ගියා. ඔවුන් අතරට එලිසා දුව ආවේ ඒ අතරෙදියි. ෆ්ලොරිඩාවේ පදිංචියට ආ ගමන් උපන් එලිසා දුවට දෙදෙනාම බොහෝ ආදරය කළා. පුංචි එලිසා හරිම දඟකාරයි. වසරින් වසර ලොකු මහත් වෙද්දි ඇය පවුලේ අයගේ විතරක් නොවෙයි අසල්වාසී සැමගේත් ආදරය දිනා ගත්තා. දඟකාරකම නිසාම එලිසා නිතරම සෙල්ලම් කළේ ගැහැනු ළමයින්ටත් වඩා පිරිමි ළමයි සමඟයි.

පාසල් යන වයසට එද්දී එලිසා ඒ පළාතේ පාසලට ඇතුළත් කෙරුණා. පාසලේ පාපන්දු කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන් අතරින් එකම ක්‍රීඩිකාව එලිසායි.

ඇය උගන්වන්නත් හරි ආසයි. ඒ විතරක් නෙමෙයි එලිසා නැටුමටත් හරිම හපන්කම් දැක්වූවා. 4-5 පන්තිවලට එද්දී ඇය පාසලේ නැටුම් කණ්ඩායමටත් එක්වුණා. එපමණක් නොවෙයි ඇය පාසල් බාල දක්ෂිකාවක්. පස්වැනි පන්තියේදි ඇය දවසක් නිවෙසට ඒම ප්‍රමාද වුණා. දුව වෙනදා එන වෙලාවට ගෙදර නොආ නිසා මව ඇය එන පෙරමඟ බලා සිටියා. ටික වේලාවකින් එලිසා සිනාසීගෙන ආවා. ඇගේ අතේ පුංචි බළලෙක්.

දුව පමාවීමට හේතුව මව දැන ගත්තා. ඇය බළලා පසුපස ගිහින්. ඕනෑම අයාලේ යන සතෙක් දැක්කොත් එලිසා ඌ ගෙදර රැගෙන එනවා. ඇය සතුන්ට එතරම්ම ආදරෙයි. මවත් පියාත් පාසලේදී වියදමට දෙන මාරු කාසි එලිසා වියදම් නොකර එකතු කර ගත්තා.

“මට අශ්වයෙක් ගන්න ඕනෑ. මං සල්ලි එකතු කරන්නේ ඒකයි” එලිසා කිව්වා.

එලිසාට තිබුණේ ලොකු නිල්පාට දෑසක්. ඇගේ කොණ්ඩෙ රත්තරන් පාටයි. දිගුයි.

පාසලේ ජිම්නාස්ටික් කණ්ඩායමට එක්වුණු එලිසා ජිම්නාස්ටික් ක්‍රීඩකයන්ගේ පිංතූර තම කාමරේ බිත්තිවලත් ඇලෙව්වා. අවට ගෙවල්වල ළමයි නොමැති වෙලාවට එලිසා සෙල්ලම් කළේ සුරතල් බලු පැටවා සහ බළල් පැටවා සමඟයි. උන් දෙන්නම අයාලේ යමින් සිටියදී එලිසා ගෙදරට ගෙනා සතුන්.

එලිසා පැණි රස කන්න හරිම කැමතියි. ඒ නිසාම ඇගේ දත් නරක් වෙලා තිබුණා. එලිසාගේ අම්මා වෙන්ඩි දියණිය දන්ත වෛද්‍යවරයා ළඟට රැගෙන යෑමට කීප දිනක්ම උත්සාහ කළත් විවිධ වැඩ කටයුතු නිසා එය අතපසු වුණා.

1980 වසරේදී එලිසා ඉගෙන ගත්තේ 8 වැනි ශ්‍රේණියේ. ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු දහයයි. ඒ නොවැම්බර් මාසේ 04 වැනිදා. එදා උදේම එලිසාගේ මව වෙන්ඩි ඇය දන්ත වෛද්‍යවරයා ළඟට රැගෙන ගියා. මේ නිසා එලිසාට වෙනදා වගේ උදේන්ම පාසල් යන්නත් බැරිවුණා.

“මං පරක්කුවෙලා ඉස්කෝලෙ යන්නේ කොහොමද?”

“ඔයා ඩොක්ටර් ළඟට එක්ක ගියා කියලා මං පන්තියේ ටීචර්ට ලියුමක් දෙන්නම්” වෙන්ඩි පැවසුවා.

එලිසාත් මවත් වෛද්‍යවරයා ළඟට ගොස් එනවිට වේලාව පෙරවරු 10.30 ට විතර ඇති. පාසලට ඒමට ප්‍රමාද වීමට හේතුව දන්වා ටීචර්ට මව ලියූ ලිපියත් රැගෙන එලිසා පාසලට ගියා. ඇය ඉගෙන ගත් පාම් හාබර් මධ්‍යම පාසල තිබුණේ ඇගේ නිවෙසේ සිට එතරම් දුරකින් නොවෙයි. කවදත් එලිසා පාසල් ආවෙ ගියේ ඇගේ නිල් සහ රිදී ඉරි වැටුණු “ස්පෝට්ස්” බයිසිකලෙන්. එදිනත් එලිසා පාපැදිය පැදගෙන පාසල් යන්න පිටත් වුණා.

එලිසාගේ පාසල තිබුණේ පිනෙලාස් කන්ටි නමැති ප්‍රදේශයේ. ඒත් එදා සුපුරුදු ලෙසින් දියණිය නිවෙසට නොආ නිසා වෙන්ඩි කලබල වුණා. වෙන්ඩි සහ ඩේවිඩ් වහාම දියණියගේ අතුරුදන්වීම ගැන පොලිසිය දැනුම්වත් කළා.එදා එලිසා සොයන්න පාම් හාබර් ප්‍රදේශයේ ජනතාවගෙන් භාගයකටත් වැඩිය එකතු වුණා. ඔවුන් ගහක් ගලක් නෑර පීරමින් එලිසා සෙව්වත් ඇය ගැන තොරතුරක් ලැබුණේ නැහැ. අන්තිමේදී කළුවර වැටෙන්නට පෙර පොලිසිය එලිසා සොයා හෙලිකොප්ටර් යානාවක් යෙදෙව්වා. එතකොට ඔවුන්ට එලිසාගේ පාපැදිය දැක ගන්නට ලැබුණා. එලිසාගේ පාසලින් උතුරට වෙන්නට පිහිටි වැසිකිළි කාණුවක ඇගේ පාපැදිය වැටී තිබී හමුවුණා.

ඇය අතුරුදන් වූ දා ඇය ගැන කළ සෙවුම් බැලුම් නතර කළ පොලිසිය පසුවදා උදෑසනින්ම යළිත් එලිසා සොයා මෙහෙයුම් ආරම්භ කළා.

සමූහ වශයෙන් හා කණ්ඩායම් වශයෙන් බෙදී එලිසා සොයා බටහිර කන්ටි ප්‍රදේශයේ මඳ දුරක යද්දී දොඩම් වගාවක් සහිත බිමක අලිපේර ගසක් යට දී ඔවුන්ට එලිසා හමුවුණා.

“ඒත් දෙවියනේ...ඒ වෙද්දී එලිසා පණ පිටින් හිටියේ නැහැ. ඔවුන්ට හමුවුණේ ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුරයි. ඇය ගෙල සිඳ ඝාතනය කර තිබුණා. මේ පුංචි කෙල්ලට සිදුවූ අපරාධය දැනගත් ප්‍රදේශවාසීන් වැල නොකැඩී එතැනට එක් රොක් වෙන්න පටන් ගත්තා.

දියණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දුටු වෙන්ඩි දුක්වුණු අන්දම දුටු සැවොම එලිසාගේ පවුලේ අය සමඟ දුක බෙදාගත්තේ එකාවන්වයි. එලිසාගේ මරණය ඝාතනයක් බව දැනගත් පසු පළාතේ පොලිසිය ඝාතකයා හෝ ඝාතකයන් සොයා පරීක්ෂණ ආරම්භ කළා. මේ අතරවාරයේ පැවැති මරණ පරීක්ෂණයෙන් හෙළිවූයේ එලිසා මියගොස් සිටියේ හිසට මොට යමකින් කළ පහර දීමක් නිසා බවයි. තවත් පරීක්ෂා කිරීම්වලදී පොලිසිය සොයා ගත්තේ කොන්ක්‍රීට් කුට්ටියකින් ඇගේ හිසට පහර දී ඇති අන්දමයි.

ඇය ඝාතනය වීමට පෙර ඝාතකයා සමඟ දැඩිසේ පොරබදා ඇති බවද හෙළි වුණා. පොලිසිය දිගින් දිගටම එලිසාගේ ඝාතකයා සොයා සෙවුම් බැලුම් කළත් නිවැරදි තොරතුරක් ලැබුණේ නැහැ. එලිසාගේ සිරුර හමුවී දින කිහිපයකට පසු පළාතේ රූපවාහිනී ආයතනයකට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබුණා. ඉන් එලිසාගේ ඝාතකයා ගැන තොරතුරක් ලැබුණා. රූපවාහිනී ආයතනය ඒ තොරතුර පොලිසියට දැනුම් දීමෙන් පසු දුරකථන ඇමතුම දුන් පුද්ගලයා පිළිබඳ සොයා බැලුවා.

“මේ ඝාතනය ගැන ලැරී නමැති පුද්ගලයා සැකයි. ඔහු ගැන සොයා බලන්න” නිර්නාමිකව ලද තොරතුර වූයේ එයයි. තොරතුර දුන් පුද්ගලයා ගැන සොයා බැලූ පොලිසිය දැනගත්තේ ලැරී නමැත්තා එලිසා පදිංචි ප්‍රදේශයේ ඔහුගේම අසල්වැසියකු බවයි.

ලැරී වයස අවුරුදු 27 ක විවාහකයෙක්. ඔහු වෘත්තියෙන් තෙල් ළිං කැණීම් කරන්නෙක්. ලද තොරතුරු ඔස්සේ ලැරී ගැන සෝදිසියෙන් සිටි පොලිසියට ඔහු ගැන බොහෝ තොරතුරු දැනගන්නට ලැබුණා.

ඔහු මීට පෙරද අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් වරදකරු වී සිටි අයෙකි. කාන්තාවකට බලහත්කාරකමක් කර වරදකරු වී ටික කලක් සිරගතව සිටි බවද පොලිසිය සොයා ගත්තා. ඊට පෙර ඔහු ළාබාල වියේදී හත් හැවිරිදි දැරියකට බලහත්කාරකම් කළ අයකු බවද හෙළිවුණා. ලැරී ගැන තොරතුරු සොයා ගිය පොලිසියට වැඩි දිනක් යෑමට පෙර ඔහු ගැන වැදගත්ම තොරතුරක් ලැබුණා. ඒ ඔහුගේ බිරිය එලිසාගේ ඝාතනය සිදුවූ දිනයට පසුදින අසල්වාසියකු හා පැවසූ දෙයකි.

“මං එදා ලැරීගේ ට්‍රක් එකට නැග්ගේ ඔහුගේ සන්ග්ලාස් යුවළ ගන්නයි. වාහනයේ ඉදිරිපස අසුන මත ලේ වැකුණු ලියුමක් තිබුණා. මං ඒක ගත්තා. “ ලැරීගේ බිරිය පැවසුවේ එයයි. මේ ලිපිය වෙන කිසිවක් නොව එලිසාගේ මව වෙන්ඩි විසින් එලිසා පාසලට පමාවීමට හේතුව පවසා එලිසා අත ඇගේ ගුරුතුමියට යවන ලද ලිපියයි. ලැරීගේ බිරිය මේ ලිපිය රහස් පරීක්ෂකයින්ට බාර දුන්නා.

ඒ නිසා ලැරී අත්අඩංගුවට පත්වීමට තවත් හේතු අවශ්‍ය වුණේ නැහැ. ඉන්පසු පොලිසිය කළ සොයා බැලීම්වලදී එලිසාගේ පාපැදියේ තිබූ ලැරීගේ ඇඟිලි සලකුණු ද සොයා ගනු ලැබුවා. එපමණක් නොවෙයි ලැරී පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී සියතේ නහරයක් කපාගෙන සියදිවි හානි කරගන්න හැදුවේ තමන්ගෙන් වූ වරදට තමන්ගෙන්ම පළිගන්නා මෙනුයි.

“සිද්ධිය වී සතියක් යෑමටත් පෙර අපි ලැරී අත්අඩංගුවට ගත්තා. ඔහුට විරුද්ධව තවත් ප්‍රබල සාක්කි ඔහුගේ පිකප් රථය පරීක්ෂා කිරීමේදී හමුවුණා” රහස් පරීක්ෂකයෙක් පැවසුවා.

ලැරීගේ පිකප් රථයේ ඉදිරිපස බම්පරය සීරී තිබූ අතර එතැන තැවරී තිබුණේ එලිසාගේ පෑපැදියේ තීන්තය. එපමණක් නොවේ ලැරීගේ පිකප් රථය ඇතුළත වූ රුධිරය පැල්ලම් සහ හිසකේ එලිසාගේ බවට අපුරුවට තහවුරු වුණා. පිකප් රථයේ ඉදිරිපස අසුනේ වූ කෙඳි එලිසා හැඳ සටිි ඇඳුමේ කෙඳිවලට ගැලපුණා.

මේ සියල්ලෙන්ම ඔප්පු වූයේ ලැරී මේ කුඩා දැරිය ඝාතනය කළ බවයි. එලිසාගේ පාසලට යාර 100 ක් පමණ තිබියදී ලැරී විසින් දැරිය පැහැර ගනු ලැබ ඇයට අතවර කිරීමට උත්සාහ කළත් ඇය පැන යාමට උත්සාහ දැරීම නිසා එය වැළකී තිබුණා. පසුව ඔහු කළේ ඇය ඝාතනය කිරීමය යන්න පරීක්ෂ කවරුන්ගේ සැකය වූවා. 1980 නොවැම්බර් 10 වැනිදා අත්අඩංගුවට ගත් ලැරීට විරුද්ධව ඝාතනයට හා පැහැර ගැනීම සම්න්ධයෙන් නඩු පැවරුණා.

1981 වසරේ පැවැති නඩු විභාගයේ දී ජූරියේ හතෙන් පහක ඡන්දයෙන් තීරණය වූයේ ඔහුට මරණ දඬුවම පැමිණ විය යුතු බවයි. එහෙත් නීතිමය වැරදි සහ ගැටලු නිසා දිගින් දිගටම නඩුව ඇදී ගියත් යළිත් 1983,1986 සහ 1990 වසරවලදී ද ඔහුට මරණීය දණ්ඩනය පැනවුණා. අවසානයේ ඔහු වසර 30 කට අධික කාලයක් මරණීය දණ්ඩනයට කැප වූවන් සමඟ බන්ධනාගාර ගත කරනු ලැබුවා.

සාමාන්‍යයෙන් මෙලෙස සිරකරුවෙක් මරණීය දණ්ඩන පෝලීමේ දිගින් දිගට වැඩි කලක් තබා ගන්නේ නැති වූවත් ලැරීට ඒ වාසනාව හිමි වුණා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් තර්ක කළේ සිරගතව සිටි වසර 30 කට අධික කාලයේ ඔහු බොහෝ සේ වෙනස්ව ආගම ධර්මයට නැඹුරුව ඇති බවයි.

“ඔහු තමා කළ වරදේ බරපතළකම තේරුම් ගෙන ඒ ගැන සමාව අයදිනවා” යැයි 1998 පැවැති නඩුවිභාගයේදී ඔහුගේ නීතීඥයා පැවසුවා. එහෙත් එලිසාගේ පවුලේ උදවිය පැවසුවේ එලිසා වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු බවයි. අවසානයේ පසුගියදා ෆ්ලොරිඩාවේ ආණ්ඩුකාරවරයා ලැරීගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා සිය අත්සන තැබුවා. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පසුගිය අප්‍රේල් 22 වැනිදා ඔහු සමාව ඉල්ලා නීතීඥයන් මාර්ගයෙන් අභියාචනයක් යොමු කළත් ඉන් ඵලක් වුණේ නැහැ. පසුගියදා ලැරීගේ මරණ දඬුවම ක්‍රියාත්මක වන ආකාරය බැලීමට එලිසාගේ මව පියා සහ සොහොයුරා ෆ්ලොරිඩාවේ රයිෆෝඩ්ිඡ් රජයේ බන්ධනාගාරය වෙත පැමිණ සිටියා. එදින ලැරීට අවසන් ආහාරය වශයෙන් ලබාදී තිබූ සියල්ල ඔහු අනුභව කර තිබූ බව වාර්තා වුණා.

උදෑසන 10.30 ට අවසාන ආහාරය ගත් ලැරීගේ අවසන් මොහොත සඳහා සාක්ෂි දැරීමට එලිසාගේ පවුලේ අය ඇතුළුව 28 දෙනකු පැමිණ සිටියා. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීමට පෙර පස්වරු 7 ට ලැරී වැතිර සිටි ඇඳට මෙපිටින් වූ තිර රෙද්ද ඉවත් කළේ සාක්කිකරුවනට එම අවස්ථාව දැක බලා ගැනීම සඳහායි.

මරණීය දණ්ඩනය පමුණුවන ඇඳේ දිගාකර මාංචු දමා සිටි ලැරීට ඒ වන විට වයස අවුරුදු 59 කි. ඇඳේ සිටි ඔහු එක්වරම හිස ඔසවා අවට බලා ඇඳේ වැතිරුණා.

“නුඹට අවසාන වශයෙන් කීමට යමක් තිබේද?” බන්ධනාගාර නිලධාරියෙක් ඔහුගෙන් ඇසුවා.

“නැහැ සර්...” ලැරී පැවසුවා. ඒ සමඟම ඔහුගේ වම් අතට සවිකර තිබූ එන්නත් කටුව දිගේ ඊතල් විෂ එන්නත ගලා එද්දී සාක්කිකරුවන් නිහඬව එදෙස බලා සිටිද්දී ලැරී දෑස් පියා ගත්තා. විෂ එන්නත ක්‍රියාත්මක වී ඔහු ජීවිතක්ෂයට පත්වුණා. සියල්ල සිදුවීමට ගතවුණේ මිනිත්තු තුනකි. බලධාරීන් ලැරී මියගිය බව ප්‍රකාශ කළා. ඉන්පසු එතෙක් එසවී තිබූ තිර රෙද්ද පහත හෙළුණා. ලැරීගේ මරණීය දණ්ඩනය හමාරවූ පසු එලිසාගේ සොහොයුරා රැස්ව සිටි පිරිස ඇමතුවා.

“මොහු මගේ සහෝදරියට ජීවත් වීමට ඉඩ තැබුවේ දවස් 3800 යි. ඒත් ඔහු දින 12000 ක් ජීවත්ව සිටියා. ඔහු ඉතා සැනසීමෙන් අවසන් ගමන් ගියා. ඒත් එදා මගේ සහෝදරිය විඳි වේදනාවට දඬුවම් පැමිණවීමට අපේ රටේ නීතියට වසර 32 ක් ගතවුණා. ඒ ඔහු වරදකරු බව හොඳින් ඔප්පු වී තිබියදීය. අවසානයේ හෝ යුක්තිය ඉෂ්ටවීම ගැන මට සතුටුයි” ඔහු පැවසුවා.