පොලිස් වැඩ්ඩෝ

පොලිස් වැඩ්ඩෝ

තනපටය අස්සේ තිබු 'කුඩු' සොයාදුන් 'ජුඩ්'

මත්ද්‍රව්‍ය ජාවාරමට හුරු පිරිමි හෝ කාන්තාවෝ හිර ගෙවල් හතක ගියත් එම ජාවාරම අත්හැරීමට කල්පනා කරන්නේ නැත. කුඩු සමඟ පොලිසියට කොටු වූ සැමියා සිරගත වුවද බිරිය එම ජාවාරම පටන් ගත්තේ ඇයට ද ඒ බිස්නස් එක ගැන හොඳ අවබෝධයක් තිබෙන නිසාය.

එහෙත්... අවසානයේ සිදුවන්නේ බිරිය ද සිරගතව දරුවන් ද අනාථ වීම පමණි. කුඩු ජාවාරමට හුරු මොවූහු පොලිස් ඇසට වැලි ගසා ඒවා සඟවා තබා ගැනීමට නොයෙක් ආරක්ෂිත ස්ථාන සොයා ගනිති.

එලෙස... පොලිස් ඇසට හසු නොවන ලෙස කුඩු සඟවා තබා ගැනීමට ජාවාරම් කරුවන්ට හැකිය. එහෙත්... පොලිස් නිල සුනඛයන්ට හසු නොවන ලෙස කුඩු සැඟවීමට මොනම ජගතෙකුට වත් හැකියාවක් නැත. මත් ද්‍රව්‍ය මෙහෙයුම් වල දී ඒ බව මනාව ඔප්පු වී ඇත.

කොම්පඤ්ඤවීදිය මත්ද්‍රව්‍ය නිල සුනඛ “ජුඩ්” එලෙස සොයාගත නොහැකි තැන් වල සඟවා තිබෙන මත්ද්‍රව්‍ය පවා සොයා ගැනීමට හපනෙකි.

කැලණිය පොලිස් කොට්ඨාසයේ වනවාසල ප්‍රදේශයේ කුඩු මෙහෙයුමක දී ජුඩ් ඒ බව ඔප්පු කර පෙන්වීය.

පසුගිය මාසයේ මැද හරියේ දිනයක කොස්තාපල් (49429) තිස්ස බණ්ඩාරට කැලණිය පොලිස් අධිකාරී කාර්ලයෙන් ඇමතුමක් ලැබිණි.

ඒ... මත්ද්‍රව්‍ය මෙහෙයුමකට සහභාගී වීම සඳහා නිල සුනඛයා ද රැගෙන පෑලියගොඩ පොලිසියේ දුෂණ මර්ධන ඒකකයට පැමිණෙන ලෙසය.

එම දැනුම් දීමට අනුව “ජුඩ්” ද රැගෙන තිස්ස බණ්ඩාර පෑලියගොඩ පොලිසියට ගිය අතර පසුව කුඩු සෙවීම සඳහා වනවාසල බලා පිටත්විය.

එය ළඟ ළඟ නිවාස පිහිටි ප්‍රදේශයකි.

එහෙත්... කුඩු ජාවාරම කරගෙන යන බව කියන නිවෙස කාමර කිහිපයකින් සමන්විත හොඳින් සෑදු එකකි. එම නිවෙසේ ගෘහමුලිකයා මේ වන විට සිරගෙදරය. ඒ... කුඩුත් සමඟ පොලිසියට කොටුවීම නිසාය. ඔහුට මහාධිකරණයේ නඩු පැවරී ඇත.

දැන් ... මේ යන්නේ ඔහුගේ බිරිය කුඩු විකුණන බවට ලද තොරතුරකට අනුවය. මීට පෙර ද පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

“ජුඩ්” පෙරටු කරගෙන පොලිසිය එම නිවෙසට යද්දී වයස අවුරුදු 40ක් පමණ වන එම කාන්තාවත් ගැටවර වියේ ගැහැණු ළමයින් දෙදෙනකුත්, වයස අවුරුදු දොළහක පමණ පිරිමි ළමයකුත් නිවෙසේ සිටිනු දක්නට ලැබිණි. ඉදිරියට ආ එම කාන්තාව සුනඛයකු ද සමඟ පැමිණියේ කුමන හේතුවක් නිසා දැයි ප්‍රශ්න කරන්නට වුවාය.

“ඇයි... සර් මේ.”

“අපිට තොරතුරක් ලැබුණා. තමුන් ආයෙමත් බිස්නස් එක පටන් අරගෙන කියලා.”

“අනේ... නෑ සර්.. දැන් අපි ඒවා කරන්නේ නෑ.”

ඇය... එලෙස පවසද්දී ජුඩ් ඇය දෙස අමුතු බැලුම් හෙලන්නට විය. එහෙත්... බණ්ඩාර ජුඩ් ඇදගෙන නිවෙස තුළට ගියේ තව දුරටත් ජුඩ් ඇය දෙස බලාගෙන සිටියහොත් රාජකාරිය පමා වන නිසාය.

බණ්ඩාරගේ අණ පරිදි ජුඩ් මුලු නිවෙසම සෝදිසි කළේය. මෙහෙයුමට එක්ව සිටි පොලිස් කණ්ඩායම ද නිවෙසෙහි අස්සක් මුල්ලක් නෑර සෝදිසි කළ ද කිසිවකුටත් මත් ද්‍රව්‍ය හමු වුයේ නැත.

ඒ අනුව ලද තොරතුරෙහි නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂණ කණ්ඩායමට යම් සැකයක් ද ඇතිවිය. නිවෙස පුරා ඉව ඇල්ලු ජුඩ් ඉන් අනතුරුව යළිත් නිවැසි කාන්තාව අසලට ගියේය.

එලෙස ගිය ජුඩ් ඇය වටා කැරකෙන්නට විය.

ජුඩ් ගේ කැරකිල්ල ගැන පරීක්ෂණ කණ්ඩායමට එතරම් අවබෝධයක් නැත. එහෙත්... ඒ ගැන බණ්ඩාරට නම් අවබෝධයක් ඇත. එබැවින්... බණ්ඩාර පරීක්ෂණ කණ්ඩායමට පවසා සිටියේ මෙම කාන්තාවගේ සිරුරේ මත්ද්‍රව්‍ය සඟවා තබාගෙන සිටිය හැකි බවය.

ඒ අනුව මෙම මෙහෙයුමට එක්ව සිටි කොස්තාපල්වරියක යොදවා එම කාන්තාවගේ සිරුර පරීක්ෂා කිරීමට කටයුතු කෙරිණි. කාමරයකට කැඳවා ඇය පරීක්ෂා කළ පොලිස් කොස්තාපල්වරිය එළියට ආවේ කුඩා පාර්සලයක් ද අතැතිවය. එය හොරොයින් පාර්සලයකි.

කුඩු ජාවාරමින් වැළකී සිටින බව කී ඇය මේ කුඩු පාර්සලය උඩුකය යට ඇඳුමෙහි සඟවා ගෙන සිටි බව කොස්තාපල් වරිය පවසා සිටියාය.

එම පාර්සලේය හෙරොයින් ග්‍රෑම් 8.95ක් තිබිණි. එනම්... ඇය සතුව තිබී සොයාගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ දෙක තුනක් පමණ වේ.

“දැන් තමුන් මොකද කියන්නේ කුඩු බිස්නස් එක නවත්තලා කිව්වනේ.”

ඇය... නිහඬය. නිලධාරීන්ගේ දෝෂාරෝපණය මැද ඇය බිම බලාගෙන සිටියාය.

“මෙහෙමයි... අපිට බොරු කළාට කවදාවත් මේ බල්ලව රවට්ටන්න බෑ. තමුන් කොතන හංගගෙන හිටියත් මෙයා අනිවාර්යයෙන්ම හොයා ගන්නවා. හිතුවේ නෑ නේද හංගහු තැන මෙයාට හොයාගන්න බැරිවෙයි කියලා.”

“අනේ.. සර් මිනිහ හිරේට ගියාට පස්සේ මේ ළමයි තුන්දෙනාට කන්න අඳින්න දෙන්න මට වෙන ක්‍රමයක් තිබුණේ නෑ. ඒක නිසයි සර් මම ආපහු මේක පටන් ගත්තේ.”

හඬා වැටෙමින් ඇය එලෙස පවසන්නට වුවාය.

“ආ... ඇත්තද? තමුන් ඇයි ආව ගමන් කිව්වේ දැන් මේ බිස්නස් එක කරන්නේ නෑ කියලා නේද? නිකං බොරු කියන්න එපා. එකත් මතක තියාගන්න. කාට බොරු කළත් මෙයාට බොරු කරන්න බෑ.”

එලෙස කී පොලිස් කණ්ඩායම ඇය සිය භාරයට ගත්තේය.ජුඩ් සමඟ බණ්ඩාර ද එම ස්ථානයෙන් පිටව කොම්පඤ්ඤවීදිය පොලිසිය බලා පිටත් විය.

ඉංග්ලිෂ් ස්පැනියර් වර්ගයට අයත් ජුඩ් සෙල්ලකාරයෙකි. කොයිවේලාවෙත් සෙල්ලම් කිරීමට දුව පැන දඟ වැඩ වල යෙදීමට පුරුදුව සිටිය ද ජුඩ් හොඳ වැඩ කාරයකු බව නම් සත්‍යය. ඒ.. යන සෑම මෙහෙයුමක්ම සාර්ථකව නිම කරන නිසාය.