දේපළ තණ්හාව නිසා ඔබ මළ පේ‍්‍රතියක් වෙලා

“දේපළ තණ්හාව නිසා ඔබ මළ පේ‍්‍රතියක් වෙලා”

එහෙත් අප මේ වර්තමාන මිනිස් ජාතියෙහි ඉපිද මේ අය අපේය. මේ අය අපගේ නොවේය යැයි සිතන්නේ ලඝු චින්තක මෝඩයන් පමණි. මුළු පොළවම එකම පවුලක නෑදෑයෝය. ජීවත්වීමේ ආශාව ඇති සෑම සත්ත්වයකු ම එකම පවුලක සම්බන්ධකම් ඇත්තෝය. උදාර උත්තම චරිත ඇත්තෝ ජාති ආගම්, කුල, දුප්පත් පොහොසත් භේද නැත්තෝය. අද ඔබ වෛර ක්‍රෝධ කරන පුද්ගලයා මැරී හෙට ඔබේම පවුලේ කෙනකුගේ කුසෙහි උපදින්නේය. එතැන් සිට ඔබ ඔහුට ආදරය කරන්නේය. පේ‍්‍රම කරන්නේය. පෝෂණය කරන්නේය.

මහනුවර සිට ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණි අසිත ඇමෙරිකාවේ පදිංචි පාසල් ශිෂ්‍යයෙකි. පහළොස් හැවිරිදි ඔහුගේ පියා පියල්ය. මව රෝසි ය. මේ මව්පියෝ ඇමෙරිකාවේ රැකියාවල යෙදෙන ඒ රටේ පුරවැසියෝය. දැනට වසර පහක සිට අසිතගේ ශරීරයේ පැත්තක් ඉදිමී ඇත. ඇමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විවිධ ප්‍රතිකාර ගත්තත් කිසිම සුවයක් නොලද බැවින් ඔවුන් දරුවා ද රැගෙන ලංකාවට ආවේය. ලංකාවේ දී ද විවිධ ප්‍රතිකාර විවිධ අභිචාර විධි පැවැත්වුවද සුවයක් නොවු බැවින් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා පැමිණි බව මව්පියෝ ආධ්‍යාත්මීය ගවේෂකවරයා සමඟ පුතාට සිදු වී ඇති ඉරණම පහදා දුන්හ.

දරුවාගේ රෝග පරීක්ෂාවේදී ඔහු වෙවුලන්නට විය. ඔහුට භූතාත්මයක බලපෑමක් ඇති බව පැවසු ගවේෂකවරයා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ දී ප්‍රතිකාර ආරම්භ කරන විට අසිත ගැහෙන්නට විය. ඔහුගේ පියා ද වෙවුලන්නට විය. මව රෝසි පුදුමයෙන් බලා සිටියාය. ගවේෂකවරයා අසිත දිෂ්ටි ගන්වා භූතාත්මය සමඟ කතා කරන්නට විය.

“කවුද මේ ළමයාගේ ඇඟට ඇතුල්වෙලා ඉන්නේ?”

“මම රාජගුරු මැණිකේ.”

“කවුද මේ, කාගෙ කවුද?”

“මේ පියල්ගේ අත්තම්මා.”

“ඇයි මේ අයට කරදර කරන්නේ?”

“මුන්ගෙන් පළිගන්න.”

“ඇයි පළිගන්නේ?”

“මහත්තයා, මූ පියල් තමයි අපේ පරම්පරාවේ අන්තිම පිරිමියා. අපි සිංහලේ මහා රජ්ජුරුවන් සමඟ පෑහිච්ච නම්බුකාර වැදගත් මිනිස්සු. මූ පියල් ඇමෙරිකාවට ගිහින් එහෙදි සුද්දියෙක් කසාද බැඳ ගත්තා. මේ කසාදෙට මම විරුද්ධයි. අපි හොඳ සිංහලයෝ. මූ පරම්පරාවේ නම්බුව කෑවා. මගේ වළව්ව දේපල, වටිනා ඉඩකඩම්, ඒවායේ තියෙන නිදන් මම දැන් කාට දෙන්නද?”

“ඇයි මේ මුණපුරා අසිත”

“බෑ..බෑ... මූ කළවම් එකෙක්. මම මුන්ට විරුද්ධයි. ඔය දැන් ලංකාවට ඇවිදින් ඉන්නෙත් අවුරුදු නවයකට පස්සේ. කොල්ලා අසනීප නිසා, රජවරු අපට දුන්න දේපළ වස්තුව රැකගන්න බැරිනම් මුන්ගෙන් වැඩක් නැහැ. මුන් මොකටද බැරි වුණාම වැරදුණාම විතරක් ගම රට මතක් වෙලා එන්නේ. මම මුන්ට විරුද්ධයි. මුන්ගෙන් පළි ගන්නවා.” පේ‍්‍රතිය කියාගෙන ගියාය.

“මහත්මයා, ඒ ආච්චිට කියන්න අපට නිදහසේ ඉන්න දෙන්න කියලා. බැරි නම් මම දික්කසාද වෙලා මගේ දරුවවත් අරගෙන ඇමෙරිකාවට ආපහු යන්න කැමතියි.”

රෝසි කැඩිච්ච සිංහලෙන් ගවේෂකවරයාට කීවාය.

“ඇහුණා නේද? මේ සුදු නෝනා කියපු කතාව. ඔබ දේපළ තණ්හාවෙන් පේ‍්‍රතියක් වෙලා ඉපදුණාට ඒ සුදු ජාතිකයෝ ඔය දේපළ අත්හැරලා යන්න වුණත් සුදානම්. ස්වාමි පුරුෂයාව වුණත් අත්හැරලා යන්න සුදානම්. කරුණාකර මේ අයට කරදයක් නොකර ඉවත් වෙලා යන්න.”

පේ‍්‍රතියට ගවේෂකවරයා පැහැදිලි කර දුන්නේය.

“බැහැ ...බැහැ. එහෙම යන්න බැහැ. පියල් ඉගෙන ගත්තේ මේ දේපළ වලින්. රට ගියේ මේ දේපළ වලින් ලැබුණු ආදායමෙන්. එහෙම නම් මූ මේ වළව්වයි දේපළයි ආරක්ෂා කරන්න ඕනෑ. මූ ඇමරිකාවට වෙලා සැප විඳනවා. මම ඒවට තරහයි. මම මුගෙන් පළිගන්නවා.”

පේ‍්‍රතිය තදින්ම කීවාය.

“ඇයි ඔය තරම්ම තද වෛරයක්?”

“මූ වෙන ජාතියක ගැහැනියක් කසාද බැන්දට මම තරහයි. අපි මහා රජතුමා සමඟ පැහිච්ච අය.”

“ඔය තමුන්ගේ මහා රජතුමා ඉන්දියාවෙන් බිසෝවරු ගෙනැත් ඉන්නවා නේද? ඔය මහ රජ්ජුරුවන්ගේ අම්මත් ඉන්දියාවේ ගැහැනියක් නේද?”

පේ‍්‍රතිය නිරුත්තර වුවාය.

“ඔබ මහ නම්බුකාර වළව්කාරියක් නේද? ඒ වුණාට ඔය බොරු මානය තණ්හාව නිසා දැන් මළ ජරා පේ‍්‍රතියක් වෙලා නේද? දැන් මොනවද ආහාරයට ගන්නේ. ජරාව නෙමේද? ඉඩකඩම් දේපළ වලව් අයිති වෙලා තිබුණේ රාජගුරු මැණිකේට. ඒ මැණිකේ දැන් නෑ. එයා මළා. ඔබ පෙරේතියක්. රටේ පවතින නීතිය අනුව ඔබට මේ ඉඩකඩම් දේපළ වළව්ව අයිති නෑ. බොරුවට හිතෙන් අල්ල ගන්න හදන්න එපා. මේ සුදු නෝනත් පියල් මහත්තයාත් දරුවාත් හොඳ පිරිසුදු රසවත් ආහාරපාන ගන්නවා. ඔබ අනුන්ගේ මළ ජරාව කනවා. ලැජ්ජා නැද්ද? ඔබට දැන් අයිතියක් නැති දේපළ බදාගෙන ඉන්නවා. මේ සුදු නෝනා හිතේ නිදහස සැනසිල්ල සඳහා ස්වාමි පුරුෂයා වුණත් දාලා අතහැරලා යන්න සුදානම්. කරුණාකර ඔය පෙරේත ආත්මයෙන් මිදිලා ඉහළ යන්න හිතන්න. දෙවියන් අතර ගිහින් දිව්‍ය රාජණියක් වෙන්න හිතන්න. මම මේ අය ලවා වළව්වේ දානයක් දීලා පින් අනුමෝදන් කරවන්නම්. ඒ වෙලාවට හිත හදාගෙන පිනට දහමට යොමු වෙලා ඔය දුක්ඛිත පේ‍්‍රතාත්මයෙන් මිදෙන්න අධිෂ්ඨාන කරගන්න.”

ගවේෂකවරයා පේ‍්‍රතියට උපදෙස් දෙමින් කියන්නට විය.

ගවේෂකවරයාගේ උපදෙස් අනුව ස්වාමීන් වහන්සේ පහළොස් නමක් වලව්වට වඩම්මා අට පිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට පියල් කටයුතු කළේය. රාජගුරු මැණිකේ මිත්තනියගේ ද මිය ගිය සියලු මව්පිය පරම්පරාගත නැදෑයින් සිහිපත් කොට පින් පවරා පින් කැප කොට පැන් වඩා අනුමෝදන් කළේය.

ඉන්පසු නියමිත දිනයේ මේ පුතනුවන් හා මවුපියන් යළිත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ. එදින ද අසිත පුතනුවන් තුළින් රාජගුරු මැණිකේ ගේ ප්‍රාණකාරිය මතු වී දිෂ්ටි ගැන් වී ආවාය. ගවේෂකවරයා භූතිත්මයෙන් ප්‍රශ්න කළේය.

“කොහොමද පින්කම අවස්ථාවට ගියාද?”

“ඔව්. ඒ වුණාට මම පළිගන්න එක නම් පළිගන්නවාමයි.”

පේ‍්‍රතිය කීවාය.

ඇගේ කීම ප්‍රතික්ෂේප කළ ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට පේ‍්‍රතිය දවාලන්නට විය.

“දැවිල්ලයි... දැවිල්ලයි... පුච්චන්න එපා.” පේ‍්‍රතිය හඬන්නට විය.

“උඹට හොඳින් කිව්වා. පුච්චන්න එපා නම් මේ අයට කරදර නොකර ඉවත්වෙලා පලයං”

“අනේ. බුදු මහත්තයෝ, මම මගේ දේවල් දාලා කොහේ යන්නද? එහෙනම් මුන්ට කියන්න ආයෙත් ලංකාවට එන්න එපා කියලා. ආවත් අපේ වළව්වටත්, ඉඩම්වලටත් එන්න එපා කියලා. මම මේ කොලුවට හිරිහැර නොකරන බවට පොරොන්දු වෙන්නම්.”

පේ‍්‍රතිය ගවේෂකවරයා ඉදිරියේ පොරොන්දු වූවාය.

පියල් හා රෝසි ද පේ‍්‍රතියගේ කොන්දේසියට එකඟ වුහ. දරුවා ද සුවපත් විය. අසිතගේ ශරීරයේ ඉදිමීම ද සුව වී ඔහුට හොඳින් ඇවිදින්නට පුළුවන් විය.