කෝච්චි චොක්ලට්

කැඩෙයිද දත් සැට්

පුදුමෙ කියන්නෙ වෙන මුකුත් නෙමෙයි,මේ කෝච්චිය දැක්කම කන්න හිතෙන එක. සුප්‍රසිද්ධ චොක්ලට් ආකෘති තනන්නෙක් වන ඇන්ඩෲ ෆරුජියා විසින් නිර්මිත කෝච්චිය හදලා තියෙන්නේ තනිකරම චොක්ලට්වලින්. දිගින් මීටර 34 ක් වෙන මේ චොක්ලට් කෝච්චිය හැඩහුරුකමින් හරියටම වාෂ්ප දුම්රියකට සමානයි.

මේ විශ්මිත නිර්මාණය එළිදැක්වුණේ “බෘසල්ස් චොක්ලට් සතිය” නිමිත්තෙන් බෙල්ජියමේ අගනගරයේ දී පැවැත්වුණ ප්‍රදර්ශනයකදීයි. චොකලට් කෝච්චියට චොක්ලට් දායකත්වය සැපයුවේ බෙල්කලාඩෝ වෙළෙඳ නාමයයි.

ඉස්තරම් බෙල්ජියම් චොක්ලට් කිලෝ 1250 න් සමන්විත වුණ දුම්රිය නිපදවන්න ඇන්ඩෲට ගත වුණ කාලය පැය 784 ක්. මේ චොක්ලට් කෝච්චියේ අන්තර්ගත කැලරි ප්‍රමාණය මිලියන 6.5 ක්.

ඇන්ඩෲ කියන විදිහට එයාට මේ අදහස පහළ වෙලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ “චොක්ලට් සතිය නරඹන අතරදියි. “පස්සෙ මම කල්පනා කළා ඒ අදහස ක්‍රියාවට නංවන්න. මොකද කෝච්චියක් අපි කැමති තරම් දිගට හදන්න පුළුවන්නේ.” ඇන්ඩෲ මාධ්‍යවලට එහෙම කියනවා.

චොක්ලට් කෝච්චිය කොටස් දෙකකින් සමන්විතයි. පළමු පෙට්ටි හත නවීන පන්නයේ බෙල්ජියම් කෝච්චියකට සමානකම් දක්වන අතර ඉතිරි කෝච්චි පෙට්ටි සමාන වන්නේ ඉපැ‍රැණි දුම්රියකටයි.

මේ කෝච්චිය ආපනශාලාවකින් සහ තැබෑරුමකිනුත් සමන්විතයි. ඇන්ඩෲ මේ කෝච්චිය නිර්මාණය කරන්නේ තමන්ගේ මවු රටේදිමයි. පසුව ලීපෙට්ටිවල පරිස්සමින් අසුරනු ලබන දුම්රිය බෙල්ජියමට ප්‍රවාහනය කෙරෙනවා.ඒත් දිගු ගමනෙදි කෝච්චියට සෑහෙන්න හානි පැමිනෙනවා.

දිවා රාත්‍රී නොබලා කෙරෙන පිළිසකර කිරීම්වලින් පසුව කෝච්චිය නැවතත් යථා තත්ත්වයට ගන්නට ඇන්ඩෲට පුළුවන් වෙනවා. ගිනස් වාර්තා පොතට ඇතුළත් වෙන්නට කෝච්චිය සමත් වෙන්නෙ ලෝකයේ දිගම චොක්ලට් ආකෘතිය විදිහට .

ආයෙමත් පුංචි කාලෙට ගිහින් චොක්ලට් කෝච්චියක නැගලා සවාරියක් යන්න හිතෙන තරමට මේ කෝච්චිය අපේ හිත් හීනවලින් පුරවනවා.