කෙට්ටු ගෙවල්

අපි නම් කැමති කෙට්ටු වෙන්න. ඒකට නොකරන දෙයක් නෑ නේ. ගෙයක් කියන දේ කෙට්ටු කරන්න පුළුවන්ද? පෝලන්තේ ඉන්න ජේකබ් සීස්වෙන්සි හදපු මේ ගෙදර සම්පූර්ණ පළල අඩි 4 යි.

ඈ වෙන්න පුළුවන්ද? ඒත් ඒක තමා ඇත්ත. ඒ ගේ හදලා තියෙන්නේ පෝලන්තේ ලොකු ගොඩනැගිලි දෙකක් අතර ඇති ඉඩකඩ ප්‍රයෝජනයට අරන්. හරියට එක ඉඩ පොඩ්ඩක් වත් අහක දාන්නේ නැතිව තමා මේ ගේ හදලා තියෙන්නේ.

මේ ගෙදර වර්ග අඩි 150 විතර තමා ලොකු. සාලයක්,කුස්සි පොඩ්ඩක්,නානකාමරයක් සහ නිදා ගන්න ඇඳක් මේ ගෙදරට තියෙනවා. බලන් ගියාම සාමාන්‍යයෙන් කෙනෙකුට ජීවත්වෙන්න ඕනි හැම දේම මෙතන තියෙනවා.මේක අඩි 30 විතර උසයි.

දැනට මේ අපූරු ගෙදර ජීවත් වෙන්නේ ඊශ්‍රායල් ජාතික ලේඛකයෙකු වෙන එට්ගා කෙරට්. ඒ අයියා නම් කියන්නේ එයා කෙට්ටු නිසා ගැටළුවක් නැතෙයි කියලයි. එයා මේ ගෙදර අන්තිම සෙන්ටිමීටරේටම ප්‍රයෝජනයට අරගෙනත් තවත් ටිකක් ඉඩ ඉතුරුයිලු.

‘වෙන කෙනෙක් මේ ගෙදරට ආවා නම් පිස්සු හැදෙන්න වුණත් ඉඩ තියෙනවා. හැබැයි මම නම් මේ ගෙදර ජීවත් වෙන්නේ සැපෙන්.මම තාම තනිකඩයි. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. මේ ගේ තනිකඩයෙකුට කියාපු තැනක්. මගේ ලියන කියන වැඩවලටත් නිදහස්.’

එට්ගා අයියා හිනා වෙවී කියන්නේ එයාගේ ගෙදර ගැන.

‘මේ ගේ කෙට්ටු වුණාට හරි උසයි. තට්ටු කිහිපෙකුත් තියෙනවා. කව්රු මොනවා කිව්වත් මම ඉන්නේ තට්ටු ගෙදරක. පඩිපේළිත් තියෙනවා ඉනිමඟක් වගේ.’

එයා කිව්වේ අකුලන ඉනිමඟක් ඇදලා පෙන්වන ගමන්. කොහොමින් කොහොම හරි මේ ගේ තමා දැනට ලෝකෙ තියෙන කෙට්ටුම ගේ. ඒ වගේ ගෙදරක ඉන්න ලැබෙන එකත් ලොකු දෙයක්.

තමන් ජීවත් වෙන ගෙදර පුංචි වැඩියි කියලා රණ්ඩු කරන කට්ටිය දැන් මොකද කියන්නේ?