මලින් හැදෙන රූ පෙළහර

වසන්ත කාලෙට මුළු ලෝකෙම සුවඳ වෙන්නෙ මල්වලින්. හීතලෙන් මිරිකිලා සුදු පාට හිමත් එක්ක දිග කාලයක් ගත කරන යුරෝපාකරයේ අයට නම් වසන්තය කියන්නේ අපූරුම අත්දැකීමක්.

පාට පාට මල් යායට පිපෙන සුන්දර වසත් කාලයක් බලන්නත් ලස්සනයි. රෝස මල් ,පාට පාට ටියුලිප් මල් එක්ක වෛවාරණ මල් ජාති මහා ගොඩක් පිපෙනවා.

නෙදර්ලන්තේ සහ බෙල්ජියම කියන්නේ රටවල් නෙවෙයි තනිකරම මල් වතු කියලා කියන්න පුළුවන්. ඒ රටවල් ලස්සන කරන්නේ මල්වලින්. වසන්ත කාලෙට බලන්න ලස්සනයි.

හැම සැප්තැම්බර් මාසෙම නෙදර්ලන්තේ හා බෙල්ජියමේ උත්සව සමය ආරම්භ වෙනවා. මේ ප්‍රදර්ශනේ ආරම්භ වෙලා තියෙන්නේ අද ඊයෙ නොවේ, 1936 දි. සුපුරුදු විදිහට මල්වලට ඒ උත්සවයේ විශේෂ තැනක් හිමි වෙනවා. Flower Parade කියලා එයාලා කිව්වට අපිට කටට හුරු මල් පෙරහර කියලා.

ඇත්තටම ඒක මහ විසාල යෝධ මල් පෙරහරක්. මේවා දිහා බැලුවම මේ පුංචි මල්වලට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලත් හිතෙනවා. එක එක විදිහට හදපු ආකෘතිවලට මල්වලින් සරසලා. ඇත්තටම මෙහි වර්ණ ගැලපීමත් අපූරුයි.

කාටවත් කියන්න පුලුවන්ද මේ මාළු පැටවු ටික ඇත්ත මාළු වගේ නෙවෙයි කියලා? එතකොට මේ කොටි අම්මයි පැටවු ටිකයි? කොයි තරම් අපූරුද? නිකම්ම ගහේ තියෙනවට වඩා මෙහෙම සැරසිලා ඉන්න මල් දැක්කම හිතට ලොකු වර්ණවත් හැඟීමක් දැනෙනවා. මල්වලටත් එහෙම වෙන්න ඇති.

මොකද එක එක ඇඳුම් ඇදගෙන වාහනේක නැඟලා මිනිස්සුන්ට පේන්න එහෙ මෙහෙ යන එක සුළු පටු වැඩක් යැ. මිනිස්සු අත දික් කරලා අන්න රෝස අන්න ටියුලිප් නොකියා අන්න මාළු රංචුවක් අන්න ජිරාෆ් රංචුවක් කියලා කියන කොට මල්වලට වුණත් මල් අභිමානයක් දැනෙනවා ඇති.

මිනිස් අත් නම් දසදහස් ගණන් ඕනි වුණා මල් වවන එකේ ඉඳලා මේ මල් පෙරහැර දක්වා. එයාලා ඒක කලේ ගොඩක් සතුටින්. මොකද මල් එක්ක වැඩ කරන්න ලැබෙන එක කොච්චර දෙයක්ද? අපිත් මල් වගේ අහිංසකයි එක අක්කා කෙනෙක් හිනා වෙවි කිව්වේ ලස්සන සූරියකාන්ත මල් පෙත්තක් අතගාන ගමන්.

අර පේන කුකුල් කූඩුවේ කුකුලෙකුගේ කරමලේ වහන්න විතරක් මල් දහදාහක් විතර ඕනි වුණා. ඉතිං හිතන්න කොච්චර නම් මල් මෙතන ඇතිද? කොච්චර නම් අය මේ මල් පෙරහැරට මහන්සි වෙන්න ඇත්ද? සංවිධායක මණ්ඩලේ මේ හින්දම තමා මල් පෙරහැරේ හොඳම ආකෘතිය ස්වාධීන විනිශ්චය මණ්ඩලයකින් තෝරලා වසරේ හොඳම මල් ආකෘතිය විදිහට සම්මාන දෙන්නේ.

සැප්තැම්බර් මාසෙට මේ මල් පෙරහැර බලන්න ඇදී එන විදේශිකයන් ගණන මහා ගොඩක්ලු. කවුද ඉතින් මල්වලට ආස නැත්තේ නේද?

ඒ නිසාම වෙන්න ඇති මල් පෙරහර හොඳටෝම ජනප්‍රිය.