අන්දමන්ද බූරු පෙම්වත්තු

අන්දමන්ද බූරු පෙම්වත්තු

ලෝකයේ උසම තැනක පිහිටා තිබෙන ටිබෙට් සානුව අතිශය ශුෂ්ක තැනකි. නමින් සමශීතෝෂ්ණ වුවද එය අතිශයින්ම වියළි ය. තෘණ පඳුරු වුව අතරින් පතර මිස නොපිහිටයි. පසේ යම් තෙතමනයක් ඉතිරි වී පවතියිද වියළි සුළඟ විසින් එය ද විගස උකහා ගනියි. ඉන්පසු කුඩා දිය කුණාටුවක් සේ වියළි පොළොව මත සුළං කේතුවක් චමත්කාරජනක ලෙස ඇදී යයි.

එහෙත්, වියළි කාලගුණය නොතකා ටිබෙට් සානුවේ තැනින් තැන ඉතා කුඩා තණබිම් නිර්මාණය කර තිබෙන අයුරු දැකීමට මනරම් ය. එවිට මැවෙන හරිත පලස් අති සුන්දර ය. ඒ කුඩා තණබිම්වල වයිල්ඩ් ඈස් හෙවත් කැලෑ බූරුවෝ පෙරළි කරති.

ටිබෙට් සානුවේ කැලෑ බූරුවන් අතිශයින්ම කලහකාරී ය. තමන්ට පමණක් විෂය වන ඉතා කුඩා දෙයටත් ඉවක් බවක් නැතිව දබර කර ගනිති. දේශසීමා වෙන්කර ගැනීම සඳහා උන් අතර පවතින තරගය උණුසුම් ය. ගැහැනු සතුන් දිනාගැනීමේ සටන් ද එසේම ය.

කැලෑ බූරුවන් පෙනුමෙන් වඩාත් සමාන වන්නේ කැලෑ අශ්වයන්ට ය. උන් රෞද්‍ර නැත. එහෙත් ආවේගශීලී ය. එකිනෙකා පසුපස හඹා යමින් සිය වැයික්කිය ආරක්‍ෂා කරගැනීමේ නිමක් නැති අරගලයේ යෙදී සිටිති. බැලූ බැල්මට එය පෙනෙනුයේ කෙළි දෙළෙන් රණ්ඩු වීමක් සේ ය. එහෙත් යථාර්ථය එයට වඩා බෙහෙවින් වෙනස් ය.

එහෙත් ද්වන්ධව සටනින් ජයගත් පමණින් ගැහැනු සතුන් ආකර්ෂණය වේ යැයි නොසිතන්න. විශේෂයෙන්ම වයිල්ඩ් ඈස් ළඳුන් මායාකාරියන් ය. ගුප්ත යන වචනයට වඩා මායාකාරියන් යන්න උන්ට වඩාත් ගැළපේ. උහු කැමති විටෙක එති.

කැමති විටෙක යති. සිය පෙම්වතා ළඟ පෙරළෙමින් ඔහු සමඟ ආලවට්ටම් දමන ඇය එක් අනපේක්‍ෂිත මොහොතක නැගිට සෙසු කණ්ඩායම සමඟ එක්වී තැනිතලාව දිගේ ඉදිරියට ඇදෙයි. පැය කිහිපයක්ම ඇය වටා සක්මන් කරමින් සහ හැල්මේ දුවමින් නොවිඳිනා දුකක් විඳ ඇගේ සිත දිනාගත් බූරු පෙම්වතා තමන් අතින් වූ වරද කුමක්දැයි සිහිනෙන්වත් තේරුම් ගත නොහැකි ව අන්දමන්ද වී ඇය යන මඟ බලා සිටියි. ගැහැනුන් තේරුම් ගැනීම පහසු නැත යන්න බූරු දෙනුන් සම්බන්ධයෙන් ඉතා නිවැරදි කතාවකි.

කියෑන්ග් ලෙස ද හඳුන්වන මේ කැලෑ බූරුවන් ටිබෙට් සානුවට ආවේණික සතුන් ය. තවද මේ වර්ගයේ සතුන් අතරින් විශාලතමයන් ය. ගෝර්කාර් සතුන් ලෙස ද ඇතැම්විට හඳුන්වන උන් ගැහැනු පිරිමි භේදයකින් තොරවම දැවැන්තයන් ය. ජපන් අශ්වයන්ට ද වඩා උන් විශාල ය.

මේ නිසා ඇතැමුන් උන්ට කැලෑ අශ්වයෝ යැයි ද කියති. කෙසේ නමුත් මේ දෙපිරිසම දේහ බරින් කිලෝ තුන්සියය ඉක්මවති. විසල් හිස, මොට හොම්බ සහ උත්තල නාසය නිසා උන්ට කවටයන්ගේ පෙනුමක් ලැබී ඇතැයි ද කිව හැකිය.

කැලෑ බූරුවන් මේ සානුවේ කදිම සැරිසරන්නෝ ය. මිනිසා සහ වෘකයා හැරුණු විට අන් සතුරන් නොමැති හෙයින් උහු සානුව පුරාම නිදහසේ ඇවිද යති. තේරුමක් නැති දේ ද නොමඳව කරති. නිතරම පාහේ උන්ගේ මඟ සලකුණු වැටී තිබෙනුයේ කර්කශ මහා තැනිතලාවේ විශාල දුර පරාසවලිනි. උහු දුර පාරවල්වලින් ගොස් කෙම්බිම සොයති.

අවසානයේ උන්ට සෙවූ කෙම්බිම සමුවේ. ටිබෙට් සානුවේ පිහිටන කෙම්බිම හෙවත් ක්ෂේමභූමිවල පවා තුරුලතා නොවේ. එය නිතරම නිල්ල පිරුණු දිය කඩිත්තක් සහ ඒ අසබඩ පිහිටන හරිත තණ බිමකින් සමන්විත ය. කෙසේ නමුත් මේ කටුක තැනිතලාවට නම් එය එකහෙළාම පාරාදීසයකි.

ඇවැසි නම් දින කිහිපයක් ක්ෂේම භූමියේ නැවතී සිට රිසි සේ දිය බීමේ අවස්ථාව කැලෑ බූරුවන් සතු ය. එසේත් නැතිනම් වඩාත් දුර බැහැරින් පිහිටන සිය සුපුරුදු ශුෂ්ක අඩවියට නොගාටා සැපදායක කෙම්බිම අසලම රැඳී සිටීමේ බාධාවක් ද උන්ට නැත. එහෙත් කුමක් හෝ නොදන්නා හේතුවක් නිසා උහු එසේ නොකරති. දිය බී නොරැඳී යති. නැවතත් දුහුවිලි බිමටම ඇදෙති. එසේ කරන්නට හේතුවක් උන් පවා දන්නේ ද යන්න සැක සහිත ය. එනයින් බලන විට මනුෂ්‍යා විසින් උන්ට ලබා දී තිබෙන්නේ සුදුසුම නමයි.

කැලෑ බූරුවෝ...!!!