ෆේස්බුක් තරුණ ලොවෙන් පලා යයි

ෆේස්බුක් තරුණ ලොවෙන් පලා යයි

ෆේස්බුක් දශකය විස්මෘති විනෝදයකින් ඇරැඹියේ යැයි කීම සාධාරණ ය. තමා තුළ සිටි නොපෙනෙන අනෙකා සොයා ගැනීමේ තදබල ආශාවෙන් මඩනා ලද සාමාන්‍ය ජීවිතය උත්කර්ෂයට නැංවූ සයිබර් මොහොත බිලියන 1.23ක් වෙත උදා කර දෙනු ලැබූයේ මාර්ක් සකර්බර්ග් ය. මේ අඟහරුවාදාට ප්‍රකට ෆේස්බුක් සමාජජාලා අඩවියට දස වසක් සපිරිණි. එනම් වසර දහයකින් ඒ මහලු විය. සමාජජාලා අඩවියකට වසර දහයක සමෘධිමත් අතීතයකින් කුමක් නම් ඉතිරි වී ඇතිද? හුදෙක් සන්නම් නාමයක් පමණක් නොවන ෆේස්බුක් වැඩිපුරම මිනිසුන්ට බලපෑමක් කළ අජීවී වස්තුවක් ලෙස සැලකීම වැරැදි නොවේ.

බිලියන 1.23ක පරිශීලකයන් පිරිසක් සිටීම යනු ඉන්දියාවේ ජනගහනයට සමාන වීම දෛවයේ සරදමක් නොවේ. මේ වර්චුවල් රාජ්‍යයකි. මාර්ක් සකර්බර්ග් එහි නිල රාජ්‍යත්වය දරන්නා ය. අන්තර්ජාල නව්‍යකරණය ගැන අධ්‍යනය කරන විට ෆේස්බුක් යනු ඒ සඳහා හොඳම උදාහරණ හතරෙන් එකකි.

අනෙක් ත්‍රිත්වය වෙබ්, විකිපීඩියා, ස්කයිප් ය. එහෙත් ෆේස්බුක් යනු පළමු සමාජජාලා අඩවිය නොවේ. ඊට පෙර උපත ලත් තවත් සමාජජාලා අඩවි කිහිපයකි. ඒ අතරින් මයිස්පේස්, ලින්ක්ඩින්, හයිෆයිව්, සික්ස්ඩිග්‍රීස් ප්‍රධාන ය. මේ අතරින් මයිස්පේස් යනු ෆේස්බුක් වෙත අභියෝගයක් ලබාදීමට සිටි ආසන්නම තරගකරු ය.

එහෙත් එහි අන්තර් මුහුණතේ තිබූ අඩුපාඩු මෙන්ම පරිශීලකයන් වෙත ලබා දී තිබුණු අනවශ්‍ය පාලනය කිරීමේ බලය හේතුවෙන් ෆේස්බුක් නිතරගයෙන්ම මුල් තැනට පැමිණ තිබුණි.

ඊළඟ කාරණය අනුකරණය කිරීමෙහිලා ෆේස්බුක් දැක්වූ සහජ දක්ෂතාවයයි. සෙසු සමාජජාලා අඩවිවල තිබූ ධනාත්මක දෑ හීන් නූලෙන් අනුකරණය කළ ෆේස්බුක් තවත් කුඩා සමාජජාලා අඩවි සහ ඡායාරූප පළ කෙරෙන අඩවි මිලට ගැනීම ආරම්භ කරනු ලැබීය.

ප්‍රකට ඉන්ස්ටග්‍රෑම් අඩවිය මිලට ගනු ලැබූයේ ඒ පෙලඹවීම මත ය. ඒ අමෙරිකානු ඩොලර් බිලියනයකට ය. ඊළඟට ඔවුන් කුරුමානම් ඇල්ලුවේ ස්නැප්චැට් වෙත ය. එහි ලන්සුව අමෙරිකානු ඩොලර් බිලියන 03කි. ස්නැප්චැට් යනු ගැටවරයන් අතර අතිශය ජනප්‍රිය වැසටහනකි.

මෙහි ඡායාරූප සහ කෙටි පණිවුඩ හුවමාරු කර ගත හැකි ඇප්ලිකේෂණයකි. ස්නැප්චැට් හරහා දිනකට මිලියන 400ක් කෙටි පණිවුඩ සංසරණය වන අතර ඒවා ඇතුළත් කර විනාඩි 10ක් ඇතුළත ඉබේම මැකී යයි.

මිලියන 150ක පරිශීලකයන් පිරිසක් ද ඔවුන් දරාගෙන සිටී. ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ සිසුන් නිර්මාණය කළ මේ ඇප්ලිකේෂණය මිලට ගැනීම හරහා ෆේස්බුක් තම වෙළෙඳ අධිකාරිය ප්‍රකට කළ මුත් තරගයට ඇති අසීමිත බිය ඒ පසුතලයේ විය.

වඩාත් උනන්දු සහගත සිදුවීම වන්නේ ස්නැප්චැට් හිමිකරුවන් සකර්බර්ග් ගේ ඩොලර් මිලියන 03 ලන්සුව ප්‍රතික්ෂේප කිරීමයි. එනම් ස්නැප්චැට් හිමිකරුවන් තම අනාගතය ගැන අනාවැකි දැන සිටීමයි. “ඔවුන්ට ස්නැප්චැට් සල්ලිවලට ගන්න බැරි වුණා. ඒකෙන් ෆේස්බුක් පුවත්පත් සිරස්තල මැවුවා. ඒත් ලජ්ජාවත්, අපකීර්තියත් වසා ගන්න ඔවුන්ට ක්‍රමයක් නෑ.”

ඒ අන්තර්ජාල විශ්ලේෂකයකු වූ බ්‍රයන් බ්ලවු ගේ අදහසකි. මේ සියල්ලෙන් කියැවෙන්නේ ෆේස්බුක් දැඩි අනන්‍යතා අර්බුදයකට පත්ව ඇති බව ය. එනම් වසර දහයක් මුළුල්ලේ සයිබර් සුවිසැරියට මුදාහල දෑ නවමු නොවන බවයි. මන්දයත් ෆේස්බුක් සමාජජාලා අඩවියේ ඉලක්ක කණ්ඩායම වූයේ ගැටවරයන් ය.

එහෙත් පසුගිය වසර කිහිපය තුළ ගැටවරයන් ෆේස්බුක් හැර යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි. ඊට හේතු වශයෙන් පැවසුණේ තව දුරටත් ෆේස්බුක් යනු ගැටවරයන්ට ගැළපෙන තැනක නොවන බවයි. තමන්ගේ පෞද්ගලිකත්වය ඉන් සුරැකෙන්නේ නොමැති බවයි.

මවුපියන් මෙන්ම පවුලේ සෙසු සාමාජිකයන් තමන්ට මිතුරු පණිවුඩ එවන බවත් ඒවා තව දුරටත් පිළිගැනීමට නොහැකි බවත් ඔවුන්ගේ පොදු මතයයි. එනම් තමන් ෆේස්බුක් හැරදා වඩා ප්‍රකට අකුරු 140 ට්විටර් මිනි බ්ලොගින් සේවාව වෙතට, ස්නැප්චැට්, ඉනස්ටග්‍රෑම්, වට්ස් ඇප්, සෝෂල් රේඩාර් ආදියට මාරුවීමට ගත් තීරණය එතරම් කුරිරු නැති බවයි.

“දැන් මේකයි ප්‍රශ්නේ, තරුණයන්ගේ සාදයකට අතරමඟදී අම්මයි, තාත්තයි ආවම වැඩේ ඔක්කොම කනපිට හැරෙනවානේ, අන්න ඒකයි මේ වෙලාවෙ සිද්ධ වෙලා තියෙනේ. ඒක භයානකම අවස්ථාව තමයි ගැටවරවියේ ඉන්න පුතාට හෝ දුවට තමන්ගෙ අම්මගෙන් හෝ තාත්තාගෙන් මිතුරු ඉල්ලීමක් පැමිණීම.

මේ අවස්ථාව ඔවුන්ව පිස්සු වට්ටවන සුළුයි. ඒ කියන්නේ මෙන්න මේ මොහොත තමයි ෆේස්බුක්වල තීරණාත්මක අවධිය. සම වයසේ අය එක්ක වගේ තමන්ගේ මවුපියන් එක්ක තාරුණ්‍ය අත්විඳීන්න බැරි බව ඔවුන් දන්නවා.

ඒ වගේම තමයි හැම නව පරම්පරාවක්ම අලුත් සමාජජාලා අඩවි සොයාගන්නවා. දැන් ෆේස්බුක් සොයාගත් පරම්පරාව ඉවරයි. ඔවුන් වියපත් වෙලා. කොටින්ම කියනවා නම් සකර්බර්ග්ටත් මේ අවුරුද්දට වයස අවුරුදු 30යි.

ඔහුටත් තව දුරටත් තරුණයෙකු සේ සිතීමේ හැකියාව ක්ෂය වෙලා ගිහිල්ලා. ඉතින් ෆේස්බුක් කියන්නේ තව දුරටත් නැවුම්-ආකර්ෂණීය දෙයක් නෙවෙයි.”

මේ අදහස භෞතික සංස්කෘතීන් පිළිබඳ මහාචාර්යවරයකු වන ඩැනියෙල් මිලර්ගේ ය.

ෆේස්බුක් ඉපදෙන්නේ මේ තරම් විශාල වෙන්නට සිතාගෙන නොවීම අපි සලකා බැලිය යුතු අනෙක් කාරණයයි. මීට දස වසකට පෙර දේවදූතයකුගේ මෙන් පෙනුමක් ඇති තඹ කැරැලි සහිත කොණ්ඩයක් සහිත 19 හැවිරිදි හාවර්ඩ් සරසවි සිසුවාට වුවමනා වූයේ එකිනෙකා අතර සහ සම්බන්ධයක් ඇති කර ගත හැකි ආකාරයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි.

 

ඒ ද සරසවිය ඇතුළත පමණි. ඒ අනුව වර්ෂ 2004 පෙබරවාරි 04 වැනිදා සරසවි සිසුන්ට පමණක් සහභාගි විය හැකි අයුරින් ෆේස්බුක් නම් නවමු වෙබ් අඩවිය ඇරඹිණි.

සරසවිය පුරා වසංගතයක් සේ පැතිරී ගිය මේ අපූරු වෙබ් අඩවිය අමෙරිකාවේ සරසවි කිහිපයක්ම ආක්‍රමණය කිරීමට සමත් විය.

මේ නව පෙරැළියත් සමඟම සමාජජාලා අඩවිකරණයට පිවිසෙන ලෙස සකර්බර්ග් තරුණයාට ඇරයුම් ලැබුණි.

මාර්ස් සකර්බර්ග්, ඩස්ටින් මොස්කොවිට්ස්, ඉඩියුරාඩෝ සෙවරින්, ඇන්ඩෲ මැක්කොලම්, ක්‍රිස් හියුග්ස් යන අය විසින් සොයාගන්නට යෙදුණු ෆේස්බුක් අරඹයා අයිතියේ ගැටුම නොබෝ දිනකින් කරළියට පැමිණුනු අතර ඉන් එහි ජනප්‍රියත්වය ද වැඩි වුණි. අවසන මාර්ක් සකර්බර්ග් එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ අතර 5800ක් තරම් සේවක සංඛ්‍යාවක් ඔහු යටතේ සේවය කරනු ලබයි.

භාෂා 70ක් භාවිත කිරීමේ හැකියාව ඇති අතර ඇලක්සා පෙළ ගැසීම් අනුව ෆේස්බුක් ඇත්තේ සියලු වෙබ් අඩවි අතර අංක දෙකට ය. පළමු වැන්නා ගූගල් ය, තෙවැන්නා යූ ටියුබ් ය, හතර වැන්නා යාහූ ය. ට්විටරය ඇත්තේ අංක 10ට ය.

තම්බ්ලර් ඇත්තේ අංක 32ට ය. ඉන්ස්ටග්‍රෑම් ඇත්තේ 83 වැනියාට ය. එනම් ගූගල් භවතුන් ෆේස්බුක් පැරදවීමට ඇරඹූ ගූගල් ප්ලස් තවම පසුපසිනි. ෆේස්බුක් විජයග්‍රාහී දෙවැනි අංකයෙන් පහළට දැමීමට තවම ජගතකු පහළ වී නොමැත.

ෆේස්බුක් පසු කළ සංධිස්ථාන

2004 පෙබරවාරි

මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ විශ්වවිද්‍යාල සගයන් වූඩස්ටින් මොස්කොවිට්ස්,

ඉඩියුරාඩෝ සෙවරින්, ඇන්ඩෲ මැක්කොලම්, ක්‍රිස් හියුග්ස් යන අය විසින් විසින්

ෆේස්බුක් නිර්මාණය කිරීම. මේ වන විට හාවර්ඩ් සරසවි සිසුන්ට පමණක් මෙහි

පරිශීලකත්වය සීමා වී තිබුණි.

2005 මැයි

ඇක්සෙල් හවුල්කරුවන් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 12.7ක් ෆේස්බුක් වෙත ආයෝජනය කිරීම. ඇක්සල් හවුල්කාර ජිම් බ්‍රේයර්ස් තමන්ගේ මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනයක් ආයෝජනය කිරීම.

2005 සැප්තැම්බර්

ෆේස්බුක් සමාජජාලා අඩවියට උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ඇතුළත් වීමට අවස්ථාව ලබාදීම. මින් වසරකට පසුව ෆේස්බුක් අඩවිය සියලුම දෙනාට විවෘත වීම.

2010 සැප්තැම්බර්

‘ද සෝෂල් නෙට්වර්ක්’ නමින් ඩේවිඩ් ෆින්චර් විසින් ෆේස්බුක් නිර්මාතෘගේ ජීවිත කතාව සිනමාවට නැඟීම. මෙය අතිශය ජනප්‍රියත්වයටත්,
දරුණු විවේචනයටත් ලක් විය.

2012 අප්‍රේල්

ප්‍රකට සේයාරූ මුදා හැරීමේ ඇප්ලිකේෂණයක් වූ ඉන්ස්ටග්‍රෑම් ෆේස්බුක් සමාගම විසින් මිලදී ගන්නා බව ප්‍රසිද්ධ කිරීම. මේ සඳහා ඔවුන් වැය කළ මුදල අමෙරිකානු
ඩොලර් බිලියනයකි. ජංගම දුරකතන ඇප්ලිකේෂණයක් ලෙස ප්‍රකට ඉන්ස්ටග්‍රෑම් වෙනමම සන්නම් නාමයක් ලෙස වැඩි දියුණු කිරීමට සකර්බර්ග් අදහස්
කරන බවත් නිවේදනය කළේය.

දිනකට මිලියන 750ක් ෆේස්බුක් පරිශීලනය කරයි. මේ පරිශීලකයෝ සමාජජාලා අඩවියකින් සැබෑවටම බලාපොරොත්තු වන්නේ හුදෙක් විනෝදය හෝ මිත්‍රත්වය පවත්වා ගැනීම හෙවත් සමාජශීලීවීම යන්න පමණක් නොවේ.

මේ අතරතුර අධ්‍යාපනික මෙවලමක්, වෙළෙඳ ප්‍රචාරණ උපක්‍රමයක් සහ මුළුමනින්ම අයථා පරිහරණයේ යෙදීමක් වශයෙන් නන්විධ ආකාරයෙන් පරිහරණ ක්‍රම දැක ගත හැකිය.

ෆේස්බුක් යනු මඟ හැරිය නොහැකි ඇබ්බැහියක්ද වන්නේ ඒ අතර ය. අතිශය කෘත්‍රිම ජිවන රටාවකට තල්ලු කර ඇති පාරිභෝගික සමාජය නොලැබුණ යමක් සොයන්නේද මේ අතත්‍ය සමාජජාලා අඩවි තුළිනි. ආදරය, කරුණාව සහ ලිංගිකත්වය ඒ අතර ප්‍රධානය.

අන්තර්ජාලගත එක් මිනිසකුගේ පෞද්ගලිකත්වය තවත් සමූහයකගේ වින්දනයක් බවට පත් වන්නේ ඒ අයුරිනි. විටෙක ෆේස්බුක් යනු යමකුගේ ජීවදත්ත පතක් වන විට තවත් විටෙක එයම කුප්‍රකට රංගනයක් බවට පත් වේ. තව දුරටත් සයිබර් අවකාශය ප්‍රවේසම්කාරී නොවන අතර අන්තර්ජාලගත කිසිවකුට එවන් ප්‍රවේසමක් ඉල්ලා සිටිය නොහැකිය.

විශේෂයෙන්ම අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියට ෆේස්බුක් හි පසු දොරටුවක් විවෘත කර දී ඇති බවට මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ඇති විය.

තම තොරතුරු පිළිබඳ දැඩි සැක සංකාවක් සහ පෞද්ගලිකත්වය පිළිබඳ දැඩි දෙගිඩියාවකට පරිශිලකයෝ පත් වූයේ ඉන් පසුව ය. සකර්බර්ග් මේ චෝදනා ප්‍රතික්ෂේප කළ මුත් ඒ ෆේස්බුක් වෙත ඇති කළ කළු පැල්ලම සුළු නොවේ.

එහෙත් ෆේස්බුක් යනු අන්තර්ජාලය යැයි සිතාගෙන සිටින ජනතාව ද බොහෝ ය. දැනුමේ හිඩැස් අතරින් පැන යන එවැනි මති මතාන්තර අන්තර්ජාලය සොයාගත් ටිම් බර්නර්ස් ලීව පවා සිහිසුන් කිරීමට සමත් ය.

එනමුත් එය සකර්බර්ග් ලත් විජයග්‍රහණයකි. පෘථුලව පැතිරුණු අන්තර්ජාලය ෆේස්බුක් වෙත පමණක් ලඝු කර දැක්වීමට පරිශීලකයන්ට සිතීම විසුළුකාර ය.

ෆේස්බුක් වෙත තරග කිරීමට ගූගල් සැකසූ සමාජජාලා අඩවිය වූ ගූගල් ප්ලස් සිතූ තරමක විශාල මල් වෙඩිල්ලක්ව අන්තර්ජාලය තුළ නොපිපිරීමත් එහෙත් ෆේස්බුක් විසින් ගූගල් ප්ලස් හි ධනාත්මක දෑ අනුකරණය කිරීමත් ඒ තරමටම විසිළු සහගත ය.

මේ සියලු තරග අතර සටන අත්නොහරින ෆේස්බුක් පසුගිය සතියේ පේපර් නමින් නව ඇප්ලිකේෂණයක් නිකුත් කරන්නට කටයුතු කළේය. ස්මාර්ට් දුරකතන හරහා ප්‍රවෘත්ති බෙදා ගැනීමට සැකසූ පේපර් ඇප්ලිකේෂණණය සිතූ තරමේ අවධානයක් දිනා ගැනීමට අසමත් විය.

මේ ඔවුන් ආක්‍රමණය කිරීමට සැරසෙන්නේ ට්විටර් මිනි බ්ලොගයේ භූමි භාගයයි. එහෙත් ට්විටරය ඊට වඩා ගව් ගණනක් දුරින් සිටින අතර ට්විටර පරිශීලකයෝ තම විනෝද භූමිය අත් හැර කූඩාරමක ගාල්වීමට නොරිසි සැටියකි.

පසුගිය සතියේ බිස්නස් වීක් මැගසිනය සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මාර්ක් සකර්බර්ග් කියා සිටියේ මෙවැන්නකි. “මං පිළිගන්නවා ෆේස්බුක් ජංගම දුරකතනය හරහා අපි බලාපොරොත්තු වුණ තරම් පැතිරුණේවත් ජනප්‍රිය වුණේවත් නෑ කියලා.

ඒත් අපි ඉතාම ශක්තිමත් ආයතනයක්. සමාජජාලා අඩවි අතර මුල් පෙළේ ඉන්නෙ අපියි. තවමත් අපිව ලුහුබඳීන්නන් රාශියක් ඉන්නවා. ඒ නිසාම දීර්ඝකාලීන පැවැත්මක් සහිත ආයතනයකුයි අපි ගොඩනඟන්නේ.”

මේ සා විශාල ෆේස්බුක් සමාජයට කළ බලපෑම සැකවින් කිවහොත් ඒ සන්නම් නාමයකි. තමා තුළ නැති අනෙකා සොයා ගැනීමේ මහා ක්‍රියාන්විතය සේ පෙනෙන්නට තිබෙන, වඩා හොඳ කෙනකු සේ අතත්‍ය ලෝකයේ හැසිරෙන්නට දෙවැනි අවස්ථාවක් ලබා දෙන්නකි.

එහෙත් යට ඊට වඩා නපුරු සහ අවලස්සන බව මේ පරිශීලකයෝ දනිති. ෆේස්බුක් ගිණුමක් නැති වීම අඩුපාඩුවක් සේ සැලකෙන වඩාත් පරිපූර්ණ සමාජයක් ප්‍රාර්ථනා කරන ලෝකයක සිට අපි බලා සිටින්නෙමු. එනම් අතත්‍ය අවකාශයක සිට තත්‍ය ලෝකය දෙස බලා සිටින්නෙමු.

එහෙත් වයස නොයන්නේ යැයි සිතූ නාඹර ෆේස්බුක් වයසට යෑම ගැන අප පසුතැවිලි විය යුතුද? නැත. පසුතැවිලි වීම යුතු නොවේ. ඩිජිටල් වයස වඩා ඉක්මන්කාරී ය. ෆේස්බුක් දැන් තරුණ නැත.