යක් රැහේ ලේ ධාතුව

යක් රැහේ ලේ ධාතුව

මේ මහා වංශයේ අනුවේදී කතා පෙළේ තෙවැනි දිගහැරීමයි. විජය රජුගෙන් පටන් සිංහල රාජ නාමාවලියේ සඳහන් රජ දරුවන්ට ද ඇතැම් කාලච්ඡේදවලදී දුක දැනෙන්නට ඇත. කඳුළ උරුම වන්නට ඇත. හද කකියන්නට ඇත. ඔවුන්ගේ ඒ හද දැවුණු අනුවේදී කතා පාඨක ඔබ වෙනුවෙන් අප මෙසේ දිග හරින්නෙමු.

මරණාසන්න අළුයමකට උපත යැයි කිව හැකි ද ? උපදින්නේ මරණය නම් ජීවිතය යනු කුමක්ද ? මරණය අත දරා උපදින ජීවිතයක් බෑඟිරි ගා හැඬුවේය.

මාළිගාව හිරිවැටී තිබුණි. ගල් පව්ව මීදුම විසින් වසා ගැනුණි. චිත්‍රා කුමරිය ජීවන වරම් ලැබුවාය.

පෙළපත ලේ උරුමයකි. හෙළදිව විජයග්‍රහණය කළ සිංහ වාංශික රුධිර ධාරාව මල්වතු ඔය දිගේ උඩුගං අතට ගලා යමින් තිබේ. විජයගෙන් පඬුවස්දෙව්ට, පඬුවස්දෙව්ගෙන් අභයට ලේ උරුමය රිසි සේ ධාවනය විය යුතුය. එහෙත් චිත්‍රා කුමරියගේ වේලපත්කඩයේ සිංහ වාංශික ලේ උරුමය වෙනත් පරාසයකට දිශා ගත කොට තිබුණි. උරුමයේ ඉරණම වෙනස් කරන රාජඥාතීත්වය මරණයට යටත් විය යුතුය. වේද බ්‍රාහ්මණයෝ රාජ නියමය දේව උරුමයකට සෘජු කොට තිබුණි. එහෙයින් චිත්‍රාව අත දරාගෙන ඉපදුන ඉරණම වනාහී මරණයයි.

සිංහ වාංශික ලේ උරුමය හෙළදිව මහ පොළොවට ආගන්තුකව පැමිණියේ උත්තර භාරතයේ වයඹ දිග කලාපයෙනි. ඔවුහු සින්දු ගංගා නිම්න ආර්යයෝය. එහෙත් එකී වයඹ දිග ආර්යයෙකුª වූ පඬුවස්දෙව්ට අග මෙහෙසුන් කොට පැමිණි භද්‍රකච්ඡායනා කුමරිය හෙළදිවට වඩින්නේ ඊසාන දිග භාරතයෙනි. ඇය ගංගානම් ශාක්‍යයෝ සිද්ධාර්ථ ගෞතමයන්ට ඥාති වූ පිරිසිදු බෞද්ධයෝය. ආර්ය ශාක්‍ය මිශ්‍ර රුධිරයෙන් උපන් අභය, තිස්ස ගිරිඛණ්ඩශිව ඇතුළු දස සහෝදරවරුන්ට සහ ලාබාල චිත්‍රා කුමරියට පිය පක්ෂයෙන් වෛදිග උරුමයද, මවු පක්ෂයෙන් ශාක්‍ය උරුමය ද ලැබී තිබේ.

දේව නියමයක් වූ ආර්ය රාජ උරුමය සුරැකීම සඳහා අසිපතෙහි ලේ තවරා ගැනීම වෛදිග ආර්යයින්ට පාපයක් නොවේ. එහෙත් සියලු සත්ත්වයන්ගේ ම ප්‍රාණ ඝාතය පාපකර්මයක් ය යන මානව සමානාත්මතාවාදී දර්ශනයකින් හුස්ම ගත් බෞද්ධ ශාක්‍ය කුමරියක වූ භද්‍රකච්ඡායනාවගේ දරුවන්ට චිත්‍රා බිළිඳියට අසිපත එසවිය නො හැක.

“මැය වහා මරා දැමිය යුතුය !

මැගේ කුසේ උපදින පිරිමි දරුවා අනාගතේ දවසක අප සහෝදරයන් මරා රජ වන්නේලු” යැයි,

එසවුණු තිස්සගේ පිය පාක්ෂික අසිපත අභයගේ අහිංසාවාදී මවු පාක්ෂික සුරතින් පහත් කරන ලදී.

“අපි ඇයට ජීවත් වන්නට ඉඩ දෙමු. ඇගේ කුස දරුවකු නූපදින්නට වග බලා ගත හැකි නම්, අපට ඉරණම වෙනස් කරගත හැකි වේවි”

චිත්‍රාව උපන්ගෙයි මරණයෙන් මිදුණි. එහෙත් බුද්ධ කාලයේදී මළ මිනියක් පිටේ බැඳගෙන ඇවිදිමින් සිටි සෝපාක ලෙසින් ම චිත්‍රා කුමරිය ද තම මරණය නමැති මළකුණ බඩ බැඳගෙන ජීවත් වූවාය.

බෞද්ධ ශාක්‍යයන්, වෛදිග ආර්යන්ට වඩා බෙහෙවින් වෙනස් ය. විජයගේ වෛදිග බ්‍රාහ්මණයෝ ලක්දිව හෙළයන් සමඟ මිශ්‍ර නො වුණේ මේ ආඩම්බරකම නිසා විය හැක. උග්‍ර කුලවාදී ඔවුහු හෙළදිව සිටි සිව්හෙළ කතුන් හා ආවාහ විවාහ නොවී තම බිරින්දෑවරු මධුරාවෙන් ගෙන්වා ගත්හ. හෙළයන්ගේ උරුමය නසා ලක්දිව බලය ලබා ගත් විජයගේ සත් සියයක සිංහ වාංශිකයන් සමඟ හෙළයන්ගේ අමනාපය දිගින් දිගටම වර්ධනය වූයේ ඒ හේතුවෙනි.

එහෙත් භද්‍රකච්ඡායනාගේ ශාක්‍ය සහෝදරයන් විජයගේ සත් සියයට වඩා බොහෝ සෙයින් ම වෙනස් ගති පෙන්වීය. ඔවුහු උපතිස්ස නුවර ආරක්ෂිත වළල්ලේ නො රැඳී හෙළදිව පුරා සංක්‍රමණය වූහ. විජයගේ ආඩම්බරකාර වෛදිග පිරිවරට බිරින්දෑවරු මධුරාවෙන් ගෙන් වුවද භද්‍රකච්ඡායනාගේ සහෝදර ශාක්‍යයන් එසේ නො කළේය. ඔවුහු හෙළ ගම්බිම්වල ව්‍යාප්තව හෙළ කුල කතුන් හා ආවාහ විවාහ පැවැත්වූහ. හෙළයෝ ශාක්‍යයන් හා ඥාතී වූහ. ශාක්‍යයන් හෙළ ගම් බිම් හී නායකත්වය ලබා ඒ ඒ ජනපද උන්ගේ නම්වලින් ම හැඳින්වෙන්නට ඉඩ හැරියේ ය.

රෝහණ ශාක්‍යයා පදිංචි වූ ජනපදය රෝහණ ග්‍රාම විය. උරුවෙල ශාක්‍යයා උරුවෙල දනව්ව බිහි කළ අතර විජිත නම් ශාක්‍ය සහෝදරයා ව්‍යාප්ත වූ පුරවරය විජිත පුර නමින් හැඳීන් වීය. අනුරාධ ශාක්‍යයා විසින් අනුරාධ ග්‍රාම බිහි කෙරුණි. දීඝායු නම් එඩිතර ශාක්‍ය කුමාරයා සිංහ විරෝධී යක්ඛ ගෝත්‍රි‍්‍රකයන් බහුලව විසූ පෙරදිග පෙදෙසකට සේන්දු විය.

දීර්ඝායු ශාක්‍යයා පෙරදිග යක්කයන් සමඟ සහ සම්බන්ධතා පැවැත්වීය. මේ පැහැපත් කුමාරයාට ගැළපෙන කුළ කුමරියක් පෙරදිග තැන්නේ සිටියා ය. ඇය මහා කාළසේනගේ පෙළපතින් පැවත එන කුවන්නාගේ පරපුරේ එකියකි. විජය විසින් යකුන් පන්නා ලක් රජයේ සිංහ බලය පිහිට වූ තැන සිට පසු බැස්ස රාජ්‍ය උරුම, යක් පෙළපත් මලය රටේ, බිම්තැන්නේ සහ පෙරදිග තැන්නේ රහසිගත ව විසූහ. දීර්ඝායු ශාක්‍යයා තම අඹුව ලෙස ඇයව තෝරාගත් තැන සිට යක්කයෝ ඔහුට අවනතව පෙරදිග තැන්න නමින් හඳුන්වන්නට වූහ. පෙරදිග තැනිතලාව දීර්ඝ මණ්ඩල හෙවත් දිගාමඩුලු ජනපදය බවට පත්විය.

උපතිස්ස නුවරදී භද්‍රකච්ඡායනාවට චිත්‍රා කුමාරි උපදින්නට පෙර දිගාමඬුල්ලේ දී දීර්ඝායුගේ යක්ක ගෝත්‍රික බිරින්දෑට පින්වන්ත කුමාරයෙකු බිහි විය. දේහ ලක්ෂණ විද්‍යාව හොඳින් ප්‍රගුණ කොට සිටි යක්ක ප්‍රධානීහු මේ කුªමාරයාගේ අනාගත ඉරණම තම දේශපාලනික ප්‍රාර්ථනාවන් හා එකඟ වන අයුර පැහැදිලිව දැක ගත්තහ. දීර්ඝායු ශාක්‍යයාට දාව දිගාමුඬුලු යක්ක කාන්තාවකගේ කුසින් උපන් තේජාන්විත කුමාරයාට දීඝ ගාමිණී යැයි නම් තබන ලදී. දීඝ ගාමිණී කුමාරයා යකුන්නේ රැහේ සුරක්ෂිතව ඇති දැඩි වෙත්දී ය, උපතිස්ස නුවර වැදුුම්ගෙයට භද්‍රකච්ඡායනා කුමරිය පිවිසෙනු ලැබුවේ. ඇය චිත්‍රා කුමරිය බිහිකරන විට ඇගේ සහෝදර දීර්ඝායු ශාක්‍යයා දිගාමඬුල්ලේ බින්න බැස යක්ක ගෝත්‍රිකයන්ට හිතෛශීවන්තව දීඝ ගාමිණී නම් පුත් රුවන උපද්දවා තිබුණි.

චිත්‍රාව නාඹරව වැඩුණාය. දුටු දුටුවන් උමතු කරවන සුළු රූප සෝභාවකින් යුතු ඇය උපතිස්ස නුවර පුරවැසියන් අතර කතා බහට ලක් වූයේ උන්මාද චිත්‍රා කියා ය. චිත්‍රාවගේ කාමාශක්ත උන්මාදනයට නතු වන තරුණයකු ඇය සරණ කර ගත හොත් ඇගේ ඉරණම මරණීය ලක්ෂණ දරන්නේ ය. ඇගේ ගැබ ඇය නසන මළපුඩුවක් වන්නේ ය. ඇගේ රූ සපුව පුරා තම සහෝදරවරුන්ගේ මරණ වාර්තාව ලියැවී ඇති වග පුර වැස්සෝ නොදත්ත ද වේද මන්ත්‍රකයෝ දැන සිටියහ. මේ රජ වාසළ තුළ වැඩෙන උන්මාදනීය මරණය සිර ගත කොට වළක්වන්නට උන් උපදේශන සැපයී ය.

පඬුවස්දෙව් රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාව අසලින් ම චිත්‍රාවගේ කොටහළු මැදුර ඉදි විය. එය එක් ටැඹක් මත ඉදි වූ සුව පහසු මන්දීරයකි. චිත්‍රාවගේ උන්මාද සිරුර ප්‍රළය විය. මරණයේ ඉරණමට මග සදන සිහින් රුධිර ඉර ඇය ගත මතින් ඇඳී ගියේ ය. උන්මාද චිත්‍රා එක්ටැම් කොටහළු මැදුරේ රඳවන ලදී. එහෙත් නැකත් බලා වතුර නාවා පහනට පිඹ, අලුත් හිරු සමඟ යළි පුරවැස්සන් හා ඇගෑලුම් වන්නට ඇයට කවරදාක වත් ඉඩක් නො ලැබුණේය. කොටහළු යෞවණිය එක්ටැම් මැදුර තුළ සදාතනික කන්‍යා සිරකාරියක වීමට සැලසුම් සකස් වී තිබුණි. උන්මාද චිත්‍රා එක්ටැම් මැදුරේ කවුලු දොරෙන් ලෝකය දැක්කේ ය. දිගාමඬුල්ලට එළිය වැටුණි. උපතිස්ස නුවරට කළින් පෙරදිග තැන්නට හිරු පායා එයි. දීඝායු ශාක්‍යයාගේ පුත් කුමරා දැන් නාඹර ධීර කුමාරයෙකි. හේ පෙනුමෙන් පැහැපත් ය. පිය ශාක්‍යයාගේ් ඡවි වර්ණය පුත් කුමරාට ලැබුණ ද හේ් උත්පාද වූ මවු ඇකය කාල වර්ණිත ය. කුවන්නාගේ පරපුරේ විජුලා ද, චේතියා ද, වළමාමුඛී ද, සූකීරා ද කාල වර්ණ යක්ක ගැහැණුන් ය. දීඝ ගාමිණීගේ මවු පාර්ශවය කුමාරයා හදා වඩා ගත්තේ ය. දිගාමඬුල්ලේ කාල වර්ණ හෙළයන්ගේ ගොල්ලේ හැදුණු කුමාරයාගේ පිළිවෙත් යක්කයන්ට අනුගතව වැඩුණි.

මේ ගෝත්‍රිකයෝ මවු පස ගරු බුහුමන් ඇත්තෝ වූහ. මහා කාලසේනගේ බලකොටුවේ සිටි කුවන්නා, විජය රාජ මන්දිරයේ සිටි කුවන්නා යම් සේ බලවත් ව හුන්නේ ද ඒ සියලු බල පුළුවන්කාරකම් කුවන්නාට පමණක් නොව යක්ක ගෝත්‍රයේ සියලු ම ගෑණුන්ට අයත් ශක්තීන්ය. ඔවුහු මාතෘ වාසික සහ ස්ත්‍රී ප්‍රමුඛ සමාජයක සාමාජිකයෝ වූහ. දීඝායු ශාක්‍යයාගේ බින්න විවාහයෙන් උපන් දීඝ ගාමිණී කුමාරයා මේ ගෝති‍්‍රකයන්ට උන්ගේ පැටියෙකි. පිය පක්ෂයෙන් ලේ උරුමය කියන ශාක්‍ය වාංශිකයින්ට කුමාරයා පීතෘ වාසිකව ශාක්‍ය වංශ ගත වන අතර මවු පක්ෂයෙන් වාසගම කියන යක්ක ගෝත්‍රිකයින්ට නම් මේ බින්න විවාහයේ දරු ඵලය “යකුන්ගේ රැහේ ලේ ධාතුවකි”

දීඝ ගාමිණී කුමාරයාට දිගාමඬුල්ලේ අපූරු මිත්‍ර සමාගමක් තිබුණේ් ය. මේ ජව සම්පන්න යක්ක තරුණයන් කුමාරයාට හිතපක්ෂපාත ය ; ගෞරව සම්ප්‍රයුක්ත ය. ලෙංගතු ය. සියලු මිත්‍රයන්ට නායක වූ චිත්තරාජ සහ කාලවේල යන දෙ මිතුරු සන්ධානය කුමාරයා වටා ම ගැවසෙන්නට විය. මේ මිත්‍ර සන්ධානයේ තිබූ සංවේදී ලෙංගතුකම දීඝ ගාමිණීට හිතමිතුරු කමක් වූවාට චිත්තරාජ සහ කාලවේල දෙදෙනාට එහි ඊට වඩා ගැඹුරු දේශපාලනික සහ සම්බන්ධතාවක් තිබුණේ ය. චිත්තරාජලා වනාහී මහකාලසේනගේ පරපුරේ යක්ක ගෝත්‍රික තරුණයන් ය. තම පරපුරට අයත් ව තිබූ හෙළදිව රාජ්‍යත්වය සිංහ වාංශිකයන් විසින් ඩැහැ ගනු ලදුව පලවා හරිනු ලැබූ යක්කයෝ මලය රටේ බිම්තැන්නේ සහ දිගාමඩුල්ලේ සැඟ වී සිටියහ. “අපේ එකෙක් රජ වන තුරු” ඔවුහු ඇඟිලි ගනිමින් සිටියහ. විජය විසින් පැහැරගත් සිරසවත්තු පුරය යළි අල්ලා ගැනීමට ඔවුන් කුරුමාණම් අල්ලමින් සිටිය ද විජයට මධුරාවෙන් යුධ ආධාර ලැබී යක්කයන් යළි පරාද කරනු ලැබී ය.

පඬුවස්දෙව් සමඟ පැමිණි තවත් බල ඇණි විසින් යක්කයන් යළි යළිත් පරාද කරවන ලදී. භද්‍රකච්ඡායනා පසු පස පැමිණි ඇගේ ශාක්‍ය සහෝදරවරුන් හෙළදිව පුරා පැතිරී මිශ්‍ර‍්‍ර විමෙන් පරාජිත යක්කයන්ට මානසික ජයග්‍රහණ ලැබුණි. ඔවුහු තමන්ට අහිමි වූ රාජ්‍ය බලය යළි ලබා ගැනීමේ අරමුණින් ශාක්‍යයන් හා මිශ්‍ර විය. ශාක්‍යයෝ ද යක්කයන් සමඟ එකතු වී සිංහයන්ගේ බලය යළි ස්වදේශීකයන්ට ලබාදීමට කටයුතු කළෝය.

මේ දේශපාලනික සංසිද්ධියේ කූඨප්‍රාප්තිය දිගාමඬුල්ලේ දී සිදුවිය. ශාක්‍ය යක්ක මිශ්‍ර‍්‍රණයෙන් හටගත් අභිනව කුමාරයා ඉස්සර කරගත් චිත්තරාජ සහ කාලවේල උපතිස්ස නුවර බලා පිටත් විය. මේ සැලසුම් සහගත ජාන කුමන්ත්‍රණයක ආරම්භයයි. උපතිස්ස නුවර පඬුවස්දෙව් රජ මාළිගාවේ එක්ටැම් මැදුරු අභිරූපිකාවගේ ඉරණම රාජ්‍ය රහසකි. ශූර උපක්‍රමශීලි යක්ක බුද්ධි බලකායට මේ ඉරණම් රහස් දැනගත හැකි විය. ඇගේ කුස තුළ උපදින්නේ ලක්දිව අනාගත රාජ්‍ය උරුමය යි. මේ උරුමයේ ඥාතීත්වයක් යක්ක ගෝත්‍රයට ලබාගත හැකි අහම්බයක් දිගාමඬුල්ලේ සිදු වී තිබුණි. උන්මාද චිත්‍රාවට නෑ කමින් ඇවැස්ස මස්සිනා වන උත්තුංග කුමාරයෙක් යක්ක මාතාවකගේ කුසින් ඉපදී සිටියේ ය. ඔහු රහසිගතව එක්ටැම් මැදුර වෙත යැවිය හැකි නම් යක්ක උරුමයට නෑ කමක් ඇති ජාන කළලයක් උම්මාද චිත්‍රාවගේ කුස තුළට සිංචනය කළ හැකි වන්නේ ය.

පඬුවස්දෙව් රජ වාසලේ දී දීඝ ගාමිණී සහ ඔහුගේ සහචරයන් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබිණ. බොහෝ කලෙකින් නුදුටු තම සහෝදරයාගේ් පුත්‍රයා දැකීම භද්‍රකච්ඡායනාවට ගංගානම් ගං ඉවුරේ තම ශාක්‍ය පරපුරම දුටුවා සේ ප්‍රහර්ශයකි. රාජකීය ඥාති පුත්‍රයා උපතිස්ස නුවර රජ වාසලේ ම ආගන්තුක සත්කාර ලැබ රඳවාගනු ලැබී ය. චිත්තරාජ, කාලවේල දෙදෙනාට රජවාසල ආරක්ෂක තානාන්තර ලැබුණි.

යක්ක ගෝත්‍රිකයන්ගේ ජාන කුªමන්ත්‍රණය කොතෙක් සූක්ෂමව සැලසුම් කරන ලද දැයි කිවහොත් චිත්තරාජ සහ කාලවේල ආදී ගෝත්‍රය වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගීව ජීවිත සැලසුම් කොට ගත් මොවුන් මේ මෙහෙයුමේ කේන්ද්‍රීය ලක්ෂය වූ එක්ටැම් මැදුරේ ආරක්ෂක තනතුරු ලබා ගැනීම සඳහා පඬුවස්දෙව් රජු එකඟ කරවා ගැනීමට තරම් දක්ෂයෝ වූහ. මහරජුගේ ශ්‍රී යහන් ගබඩාව අසලින් ම එක්ටැම් ගේ ඉදිකොට ගත්තේ ආරක්ෂක හේතුන් ප්‍රබල වූ නිසා ය.

කාලය ගත වෙත් ම දිනක් චිත්‍රාවෝ සී මැදුරු කවුලුවෙන් වාසල නරඹන්නේ එහි අමුත්තක් දුටුවාහුය. වෙනදා නො දුටු ආරෝහ පරිනාහ තාරුණ්‍යයක් මැදුරේ සක්මන් කරනු ඕ දැක ගත්තා ය. පිරිමි ඇසුරකට තහංචි ව එක්ටැම් මැදුරක සිරගතව සිටින්නී තම යොවුන් සිත තුළ කී ප්‍රකාර සිහින අන්දම් දැක ගන්නට ඇත් ද? දුටු දුටුවන් උන්මාදනය කරවන රූ ඇත්තී හුදකලා කුටියේ කැඩපතින් බල බලා තම රුවින් තෙමේ ම උමතු නො වූයේ ද ? ලෝකාස්වාදයේ තහංචි නැති පුහුදුන් නුවරුන් උන්මාදනය කර වූ චිත්‍රාගේ ශෘංගාර ගත වටා ජාන තහංචියේ කොටු පවුරු බැඳුනාට ඇගේ හුදකලා අනන්ත සිත මුවා කරන්නට කිසිවෙකුට හෝ හැකි වෙයි ද ? චිත්‍රාව තම ස්වප්න සිතෙහි දරා සිටි පරම පෙම්වතා නෙත අඳුනක් සේ සී මැදුරු කවුලුවෙන් දුටුවා ය.

ලෝ වැස්සන් උන්මාදනය කරවන ඇයට තම ගෘහස්ථ සේවිකාවක බන්ධනය කර ගැනීම කවර අරුමයක් ද ? ස්වාමි දූ විඳවන ඉරණම් කරුමය නො අදහන සුවච සේවිකාවක ඇයට ළෙංගතු වූවා ය. චිත්‍රාව තමා දුටු කුමාරයා කොයි කවුරුන්දැයි ඇය විමසා දැනගනී.

“ඒ කුමරියගේ ඇවැස්ස මස්සිනා.

දීඝායු මාමාගේ පුත් කුමාරයා.

කුමාරි දැකීමෙන් උන්මාදය වැළඳී වෙන්න ඇති එක්ටැම් මැඳුර අසලම දැවටෙන්නේ” හිතැති දාසියගේ සුරතලයෙන් චිත්‍රාව ධෛර්යය සම්පන්න විය.

“ඔබ ගොසින් රහසින් දැන එන්න.

ඒ ඔහුම ද ?

ඔහු මා දනී ද ?

ඔහු පැමිණ ඇත්තේ මා උදෙසා ම ද ?

ඉදින් මා කුමක් කළ යුතු ද ?”

හිතැති දාසී එක්ටැම් මැඳුර බැස ගියා ය. ප්‍රේමයත්, රාජ්‍යත්වයත් අතර මරණය හිරවී තිබෙන බව ඇය නො දත්තාය. එහෙත් දීඝ ගාමිණී කුමරාගේ නෙතු කෙවෙනි තුළ චිත්‍රාවගේ උන්මාදනය තැවරී තිබෙනු හඳුනා ගැන්මට ඇයට වැඩි කාලයක් ගත නොවී ය.

මතු සම්බන්ධයි....

සංවේදී පාඨක අදහස්