මව් නොමරා උපන් කුමරා

මේ මහා වංශයේ අනුවේදී කතා පෙළේ සිව්වැනි දිගහැරීමයි. විජය රජුගෙන් පටන් සිංහල රාජ නාමාවලියේ සඳහන් රජ දරුවන්ට ද ඇතැම් කාලච්ඡේදවලදී දුක දැනෙන්නට ඇත. කඳුළ උරුම වන්නට ඇත. හද කකියන්නට ඇත. ඔවුන්ගේ ඒ හද දැවුණු අනුවේදී කතා පාඨක ඔබ වෙනුවෙන් අප මෙසේ දිග හරින්නෙමු.

මව් නොමරා උපන් කුමරා

චිත්‍රාව කවුළු සුව විඳින්නී

රාත්‍රිය සමග හිනැහුණා ය

සඳු ඇයට පුරුදුයි

ඇය වෙසෙන්නේ සඳු අසළම යි

සඳුට අමතනු විනා

ඇය සිතැඟි අසන්නේ වෙන කවුරු ද?

සුපුරුදු ලෙසින් ම චිත්‍රාව රෑ සඳු දෙස බලා මිහිරි ගීයක් ගැයුවා ය.

‘සඳුනි මම හිඳිමි

තනිව එක් යහනත

විවරව කවුළු දොර

එබී බැලුයෙමි නිතොර

සඳුනි මම හිඳිමි

විවරව හද ළමැද

සුළඟ පමණ ද සුහද

එහි සීතල විසද

සඳුනි මම හිඳිමි

මල් මුව ද පිරිමැද

පියවර හඬ නිබඳ

ඇසෙන්නේ හිත තුළින් පමණ ද’?

චිත්‍රාව බලා සිටියා ය. ඇයට පුර ඉසුරු නො පෙනෙයි. පුරවරයට ද ඇය නො පෙනෙයි. උපතිස්ස නුවර වැසියෝ එක්ටැම් මැඳුරේ චිත්‍රාව පිළිබඳ සුරංගනා කතා ගෙතූහ. දුටු දුටුවන් සිත් උමතු කරවන්නේ ලු චිත්‍රා. එහෙත් කිසිවෙකුත් ඇය නො දකින්නේ ය. ඇගේ උන්මාදනයට හීලෑ වන්නට පුර යෞවනයෝ බලා සිටියහ.

එහෙත් කුළ කුමරි එළි පහළියකට නො වැඩියා ය. එක්ටැම් මැඳුර අබියස ජාන කුමන්ත්‍රණයක් සිදුවන බව චිත්‍රාව නො දත්තා ය. ඇය දාසී ගෙන ආ පණිවිඩයෙන් ප්‍රමුදිතව කවුළුදොර අබියස ම සැරුවා ය. දීඝ ගාමිණී කුමරුන්ට චිත්‍රාව ඉව වැටී ඇත. ඇය තම ඇවැස්ස නෑනණ්ඩිය යි.

ඔහුගේ පියාණන්ගේ එකම නැගෙණිය චිත්‍රාවගේ මව් බිසව යි. දඹදිව ඊසාන දිග ශාක්‍යයින්ට එහි වයඹ දිග සිංහයින් හා විවාහය ගෝචර ය. උභය කුලයන් ම පරිශුද්ධ ය. එහෙත් මේ වංශ දෙක අතර ඉරණම මරණයක් උපද්දා ඇත. චිත්‍රාවගේ වේලපත්කඩය දීඝ ගාමිණිගේ ප්‍රේමය නො හඳුනයි. කුළ කුමර දිඝ ගාමිණී නොව සැඬොලකු හෝ චිත්‍රාව ගැබ් කළ හොත් ඇය මරණය භාර ගත යුතුව ඇත.

එහෙයින් චිත්‍රාව ගත යුතු නම් රහසින් ම පමණි.

මේ දෛවෝපගත කතාවේ චිත්තරාජගේ ගෝත්‍ර කුමන්ත්‍රණයට ක්‍රියාන්විතයක් ඇත. දිගාමඩුලු යක්කයින්ගේ අභිමතාර්ථ සාධනය වන්නට නම් දීඝ ගාමිණී එක්ටැම් ගෙය තරණය කළ යුතු ය. එවිට දීග ගාමිණීට රුධිර ගත වී ඇති යක් ලේ ධාතුව චිත්‍රාවගේ ගැබ අරක්ගන්නේ ය. චිත්‍රාවගේ දෛව්‍යත්‍රයට අනුව ඈ කුස උපදින කුමාරයකු තම මාමාවරු මරා මේ රටේ රාජ්‍යත්වය ලබා ගන්නේ ය.

දීඝ ගාමිණී එක්ටැම්ගෙය තරණය කළ හොත් මාමාවරු මරා රජ වන කුමාරායා මෙරට මුල් පදිංචිකරුවන්ගේ ඥාතියෙකි. ඔහු යක්කයින්ගේ පරම හතුරන් වන සිංහ පාලකයින් ඝාතනය කරන්නේ ය.

නිජ භූ®මියේ කිරුල අහිමි වූ යක්ක ගෝත්‍රිකයින්ගේ රුධිර වෛරය පිරිමැහෙන්නේ ය. ‘අපේ එකෙක් රජ වුණේ’ යැයි ඔවුන්ට ප්‍රීති උත්සව පැවැත්විය හැකි ය.

යෞවන චිත්‍රා ප්‍රේම වියෝවෙන් පුපුරු ගසත් දී ඇගේ එක්ටැම් මැඳුර අබියස ගෝත්‍ර කුමන්ත්‍රණය සිදුවෙමින් පැවැතුණි. චිත්තරාජ දීගමණ්ඩලයේ සිට උපතිස්ස නුවරට පැමිණ පඬුවස්දෙව් රජගෙන් ලබා ගත් තානාන්තරය වනාහී එක්ටැම් මැදුරේ මුරකාරධූරය යි.

කුමන්ත්‍රණයේ දී චිත්තරාජගේ සූක්‍ෂමතාව තමා ලබාගත් තානාන්තරයෙන් මොනවට පැහැදිලි වේ. චිත්‍රාවගේ එක්ටැම් මැඳුර ඉදි වී තිබුණේ පඬුවස්දෙව් මහ රජුගේ සිරි යහන් ගබඩාව අසළින් ය.

තම දුවණියගේ ප්‍රාණය ආරක්ෂා කර ගැන්මට නම් දිවිහිමියෙන් ඇයව රැක්ක මනා ය. ඇගේ ශරීරය තුළට මරණයේ කළලය ඇතුළු වුවහොත් මේ රජ මැදුරේ මහත් ව්‍යසනයක් සිදුවන්නේ ය. එහෙයින් මහරජු තම සිරියහන අසළින් ම දුවණියගේ සිපිරි ගෙය ඉදි කොට ගත්තා ය. චිත්තරාජගේ කුමන්ත්‍රණය වනාහී පඬුවස්දෙව්ගේ අභිමතාර්ථ සාධනය නොව එය උල්ලංඝණය කිරීමයි. එහෙත් රජ මැඳුර චිත්තරාජට හසු වී හමාර ය. ඔහු එතැන් සිට කුමන්ත්‍රණයේ ඉදිරිය සැළසුම් කරයි.

චිත්‍රා මුවැත්තී

කිසිවක් නො දත්තී

ප්‍රේමය ම විමසා

සියලු තතු දැනගත්තී

දාසී සෙනේබර

සැදුවා ඇගේ මං පෙත

චිත්‍රා අමායුර

බස් ගිවිස්සා යැවී පෙම්පත

ඒ හසුන් ලද විගස

කුමරු දුටුවා ඇගේ සෙනෙහස

දකිනු රිසියෙන් දිගැස

බලා සිටියා කලක් එන ලෙස

ඈ වෙතට සිත ළඟයි

එක්ටැම් මැඳුර උසයි

මුරකාවල් විසයි

යක් කුමන්ත්‍රණ සරණ විමසයි

දීග ගාමිණී ප්‍රේම වෘතාන්තයක චරිතයකි. චිත්‍රාව රාජ්‍ය උරුමයේ දෛව විපාකයකි. චිත්තරාජ ගෝත්‍ර කුමන්ත්‍රණයේ සැළසුම් කරුවෙකි. මේ චරිත ත්‍රිත්වය ම පැටලී ඉන්නේ එක ම සැළැස්මක ය. පුරවැස්සන් නිදිගත් රාත්‍රියක් එන තුරු තිදෙන ම බලා සිටියෝ ය.

සී මැදුර කවුළුවෙන් දුටු රුව චිත්‍රාවගේ ස්වප්න චිත්තය තුළ අරක් ගත්තා ය. ඇය තමා කෙරෙහි ම උන්මාද වන්නී සිරුර විඳවා ස්නේහය වැගිරී ය. ආනන්දනීය රාත්‍රීන් පසු වෙයි. චිත්‍රා දළ යහනත එක වක සඳ සේ වැතිරුණා ය.

ඇගේ කන්‍යා සිරුර උණු නැවුම් සුවඳ විදාරණය කළා ය. තෙත් සිරුර මුව අයා සිටී. මැඳුරු කවුළුවේ රූප ඡායා මැවෙයි. ඇගෙන් උන්මාද වූ පෙම්වත් කුමර රුව ඇය වැළඳ සිටියා සේ ය. ඉවසුම් නො දෙන කෝල බොළඳිය වියොවග ශෘංගාරයේ රස පහස විඳ ගත්තී තුණු විල පිපිහළුව ප්‍රළය පහස ම පැතී ය. ගණ නීල රාත්‍රියේ දීඝ ගාමිණී එක්ටැම් මැඳුර අබියසට අවතීර්ණව සිටී.

ඔහු අත කර්කටක යන්ත්‍රයකි. දඬු මොණර යන්ත්‍රයක් තනා ගත් රාවණා පරපුරකින් පැවත එන යක්කයින්ගේ ගොල්ලේ හැදුණ දීඝ ගාමිණීට යක් උරුමයෙන් කර්කටක යන්ත්‍රයක් ලැබී ඇත. හේ රහසිගත යන්ත්‍රාණුසාර තාක්ෂණයක හවුහරණයෙන් එක්ටැම් මැඳුර තරණය කළේ ය.

ගණ අන්ධකාරය කපාගෙන යාන්ත්‍රික කකුළුවා ප්‍රේම පත් කුමාරයාව පෙම්වතිය වෙත ගෙන ගියේ ය. කඩවසම් කුමර රුව විවර කවුළුව අබියස දර්ශනය විය. ඉවසීය නොහුණු උණු කඳුළු අතිරින් යෞවනිය බලා සිටියා ය. විදුලි වේගයෙන් දෛවය ක්‍රියාත්මක විය. ශෘංගාර ජාන කුමන්ත්‍රණය එක්ටැම් මැඳුරේ දී ඉෂ්ට සිද්ධ වුණි.

උණු සුසුම් ඇද බොනු රිසි ය බඹරා

මල් කෙමියෙ පිණි තැවරී තිබේ

හන්ස තුඩ පිපාසිතය පොකුණේ

මොණරිඳු නාගයකු ඩැහැ ගනී

උල ලේනුන් ය ඝන මහ රෑ හඬන්නේ

මරණය සමඟ ප්‍රේමය පොර බදන්නේ

දෛවය කුරුමාණ අල්ලා සිටින්නේ

මළසුන සුවඳ ලේ දෝවං කරන්නේ

තුන්තරාවක කාරණා සඵල විය. ත්‍රිකෝණික අරමුණු සාධනය වුණි. තුන් ඈඳුතු මෙහෙයුම ජයග්‍රහණය කළේ ය. චිත්‍රාව දෛවයට සම වන්නී පුපුරු ගසන ප්‍රේම සිත සන්තර්පනය කර ගත්තා ය. දීඝ ගාමිණීගේ හද පතුලේ තැවරුණ උන්මාදනීය වූ වංශවත් ප්‍රේමයට විවාහයක් හමු විය. චිත්තරාජගේ ගෝත්‍ර කුමන්ත්‍රණ මෙහෙයුම ජයග්‍රහණය කළේ ය. චිත්‍රාව ගැබ් ගත්තී ය. ඇගේ ගැබ් ලකුණු ඉව වැටුණු රජ ගෙදර කඩි ගුලක් සේ කැළැබිණි.

වියපත් පඬුවස්දෙව් රජ වියවුලේ ය. භද්‍රකච්ඡායනා තුෂ්නිම්භූතව බලා සිටී. ඇගේ තීක්ෂණව පැසුණු ඇස් කඩිසරව ඊ ළඟ අරමුණ කරා දිව යන්නේ ය. පඬුවස්දෙව් රජුගේ වැඩිමහලු අභය කුමරා දැන් යුව රාජ අභිෂේක ලබා සිටී. චිත්‍රාවගේ ගැබ කරණකොට ඇති වූ දෛව අර්බුදයේ ඔහු ද කොටස් කරුවෙකැයි සහෝදරයෝ චෝදනා කරති.

සහෝදරයින් අතර සිටි තිස්ස සහ ගිරිබණ්ඩශිව ප්‍රබලයෝ ය. ඔවුහු ක්‍රියාත්මකව වහ වහා ගැබ්ගත් කුමරිය මරා දැමිය යුතු යැයි ඝෝෂා කරති. රජ මැඳුරේ එක ම වියවුලකි. කිරුල හිමිකරුවෝ අවි ගෙන සිටිති. ඔවුහු රාජ පොරොන්දුව ඉල්ලා සිටියෝය. දෛවය එකාන්ත ය. කිසිවෙකුටවත් එය වෙනස් කළ නොහැක.

එහෙත් චිත්‍රාව ආරක්ෂිතව එක්ටැම් මැඳුරේ ගැබ ලකුණු පිරියම් කරයි. මේ එක්ටැම් මැඳුර වෙත කිසිදු පිරිමියෙකුට ඇතුල් වීමට නිළ අවසර නැත. චිත්තරාජ සහ කාලවේල එක්ටැම් මැඳුරේ කවුළු දොර පමණක් නොව එහි හතර කොන ද මුරකාවල් තර කර තිබේ. චිත්‍රාගේ ගැබ නසන සහෝදරවරුන්ගෙන් ඇය ආරක්ෂා කර ගැනීමට ඔවුහු බැඳී සිටිති.

තම එකම දියණිය ඇගේ සහෝදරයින්ගේ ප්‍රාණ ඝාතයෙන් මුදවා ගැන්මට පඬුවස්දෙව් යොදා ඇති නෛතික ආරක්ෂකයින් චිත්‍රාව බේරා ගැනීමේ ප්‍රාණ වුවමනාවෙන් සිටින වග රජු නො දනියි. සියලු වුවමනාවන් එකින් එක සම්බන්ධ ය. චිත්‍රා ඇගේ කළලය පරෙස්සම් කරයි. රජු තම දියණිය පරෙස්සම් කරයි. දීඝ ගාමිණී ජාතකය පරෙස්සම් කරයි.

චිත්තරාජ කාලවේල ගෝත්‍රයේ සාධනය කරයි. භද්‍රකච්ඡායනා වංශයේ දෛවය පරෙස්සම් කරයි. මේ සියලු කඩුලු එක විට ක්‍රියාත්මක ය. එහෙයින් සහෝදරයින්ගේ මිනීමරු ගිවිස්ස අකර්මන්‍ය වේ.

එහෙත් සහෝදරයෝ ක්‍රියාත්මක වූහ. චිත්‍රා නැසීම සඳහා ඔවුන් චිත්තරාජ සහ කාලවේල යන ආගන්තුක මුර භටයින්ගේ උදවු බලාපොරොත්තු වෙයි. ඔවුන් දීඝ ගාමිණීට පස මිතුරු වේ යැයි මේ අර්ධ වෛදිගයෝ බලාපොරොත්තු වෙති. එහෙත් ඔවුන්ව තම සැළැස්මට එකඟ කරවාගත නොවුනු තැන සහෝදරයෝ මේ දෙදෙනා මත ඔවුන්ගේ වෛරය එලූහ. චිත්තරාජ සහ කාලවේල අනතුරට පත් වෙති. මරණය ද ගෝත්‍රය ද යන උභතෝකෝටිකයේ ඔවුහු අතරමං වූහ.

- මතු සම්බන්ධයි -

සංවේදී පාඨක අදහස්