රජ බිසවගේ ප්‍රේමයට දස්කොන් දිවි පුදයි

රජ බිසවගේ ප්‍රේමයට දස්කොන් දිවි පුදයි

මේ දිග හැරෙන්නේ ලංකා ඉතිහාසයේ තවත් එක් චරිත කතාවකි . ඔටුනු පළන් කුමාරවරුන්ට ඔටුනු පළන් කුමාරියන්ට රාජ්‍යත්වය හිමි වෙන්නට ඇත. සැප සම්පත් ඇතුළු රජ මාළිගා හිමි වෙන්නට ඇත. දැසි දස්සන් පිරිවරා ඉන්නට ඇත. එහෙත් , ඔවුන් ද ඇතැම් දිනෙක ශෝකෙන් බරිත වන්නට ඇත. ඔවුන්ගේ ඒ ශෝකී ජනක පුවත ද අපි ඔබ වෙනුවෙන් මෙසේ දිග හරින්නෙමු.

අකුරු කළේ කුමට ද නුවණ මඳ ගුරු
හකුරු කැලේ දමති ද දිය ව යන තුරු
කපුරු මලේ සුවඳට වැනැසෙති බමරු
නපුරු මලේ දැන දැන නොකරන් වියරු

දස්කොන් අදිකාරම සෙංකඩගල රජ මාළිගය තුළ යහන් ගබඩාවේ ප්‍රමිලා බිසවගේ සයනය මත වැතිර ගත් වන ම ළයාන්විත අයුරින් මේ කවිය ගායනය කළේ ඇයට ඇසෙන්නට ය.

”කවුද දස්කොන් ඔය කවිය ඔබට දුන්නේ? යි එහි අරුත වටහා ගත් ප්‍රමිලා බිසව තරමක් බිය මුසු ව දස්කොන්ගෙන් විමැසුවා ය.

”මගේ හිතවතෙක්. ඔහු කර තිබෙන්නේ ලොකු අනතුරු ඇඟවීමක්” යි දස්කොන් පිළිතුරු දුන්නේ ගණනකට නො ගෙන ය.

”ඔව්, මට වැටහෙනවා දස්කොන්. අපි මේ සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක. අපි දෙදෙනා ම මේ ගින්දරෙන් ම පිළිස්සිලා නහින්න පුළුවන්.”

, ඒක මමත් නො දන්නවා නො වෙයි ප්‍රමිලා. ඒත්, ඔබ වෙනුවෙන් ඕනෑ ම ඉරණමකට මුහුණ දෙන්න මම සූදානම්.

සෙංකඩගල පුර රජ මාළිගයේ යහන් ගබඩාව තුළ දස්කොන් අදිකාරම සහ ප්‍රමිලා බිසව අතර මේ කතාබහ ඇති වූයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ඉන් බැහැර ව සිටි රාත්‍රියෙක ය. අවසන් සිංහල රජු වූ ඔහු ක්‍රි. ව. 1707 සිට 1739 දක්වා කන්ද උඩරට රාජ්‍යයෙහි රජකම් කරමින් ගත කළේ අතිශයින් සල්ලාල ජීවිතයක් බවත් ස්ත්‍රිය, සුරාව සහ සංගීතය ඔහුගේ ජීවිතයේ ත්‍රි මුර්තිය වූ බවත්, මින් ඉහත ද සඳහන් කළෙමු. ඔහුගේ මේ සල්ලාල ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවී ගියේ කුණ්ඩසාලේ රජ මාළිගයෙහි ය.

”ඔව් දස්කොන්. මමත් ඒ බව දන්නවා. ඒත්, මා නිසා ඔබ කරදරයකට පත් වුවහොත් මට ඒක දරාගෙන ඉන්න බෑ. මා දැන් ජීවත්වෙන්නෙ ඔබ වෙනුවෙන්. මදුරාපුරයේ ඉඳලා මම ලංකාවට ආවේ ජීවිතේ වැඩි කොටසක් රජ මාළිගාවක් ඇතුළේ පාළු යහන් ගබඩාවකට වැදිලා තනිව ම ගතකරන්න වේවි කියලා හිතාගෙන නොවෙයි. මගේ ඒ පාළුව, තනිකම නැති වුණේ ඔබ නිසා යි. මට ඔබ මුණ නොගැසුණා නම් මගේ ජීවිතේ අන්තිම කාලකණ්ණි බවට යි පත් වෙන්නෙ” යි කියමින් ප්‍රමිලා බිසව දස්කොන් වෙත තව තවත් තුරුලු වෙමින් දැඩි ආදරයෙන් ඔහු වැළැඳ ගත්තා ය.

වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයන්ගේ අග මෙහෙසිය වූ ප්‍රමිලා බිසව සිංහල කුමරියක් නො වූවා ය. ඕ මදුරාසියෙන් ගෙන්වා ගනු ලැබූ නායක්කර් වංශික ද්‍රවිඩ කුමරියකි. දකුණු ඉන්දියාවේ මදුරාසියෙන් නායක්කර් වංශික දෙමළ කුමාරිකාවන් ගෙන්වා විවාහ කැරැ ගැනීමේ සිරිත කන්ද උඩරට රාජ්‍යයේ ක්‍රි. ව. 1635 සිට 1687 දක්වා රජ කළ දෙවැනි රාජසිංහ රජුගෙන් ඇරැඹිණි. ඉක්බිති ඔහුගේ පුත් දෙවැනි විමලධර්මසූරිය රජුගේ අග මෙහෙසිය වූයේ ද මෙසේ “ආනයන කරන ලද” දෙමළ කුමරියක්. ඒ, අනුව දෙවැනි විමලධර්මසූරියගේ පුත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ද ප්‍රමිලා කුමරිය මදුරාසියෙන් ආනයනය කොට සිය අග මෙහෙසිය කැරැ ගත්තේ ය.

තමාට ඇස ගැසෙන කවර රූමතියක වුව ද සිය අන්තඞපුරය වෙත ගෙන්වා ගනිමින් මහවැලි ගඟබඩ කුණ්ඩසාලේ රජ මාළිගයෙහි විනෝදකාමී ජීවිතයක ගත කළ නරේන්ද්‍රසිංහ රජුගේ ක්‍රියා පිළිවෙත නිසා ප්‍රමිලා බිසවට සිදුවූයේ ඉහත සඳහන් සල්ලාපයේ දී ඇය දස්කොන්ට කී පරිදි ම පාළු හුදෙකලා ජීවිතයක් ගත කිරීමට ය. අසහාය රූ සපුවෙන් හෙබි ඇය තුළ ස්වභාවයෙන් ම කලා ළැදි බවක් ද පිහිටා තිබුණි. කවිය, සංගීතය වැනි කලාවන් කෙරෙහි ඕ ඇලුම් කළා ය. සිංහල කාව්‍යකරණය කෙරෙහි ඇය තුළ වූ ඇල්ම කොතරම් වී ද යත් ලක්දිවට පැමිණ නරේන්ද්‍රසිංහ රජුගේ අග බිසෝ තනතුරට පත් ව වසර දෙක තුනක් ගත වෙද්දී ඇය සිංහල කවි කලාවේ සෑහෙන නිපුණත්වයක් දැක්වූ බව පෙනේ. ඕ කවි ලීවාය. කවි කීවා ය. බොහෝ විට ඊට වස්තු බීජය වූයේ විවාහ ජීවිතයේ නියම සතුටක් හෝ තෘප්තියක් හෝ නොලැබ ඇයට ගෙවන්නට වූ පාළු ජීවිතය යි.

නරේන්ද්‍රසිංහයන්ගේ රජ වාසල කවියකු වශයෙන් ප්‍රකට ව සිටි අදිකාරම්වරයකු ගැන ප්‍රමිලා බිසවට අසන්නට ලැබුණේ මේ අතර ය. අති ප්‍රසන්න රූ සපුවකින් හෙබි පාංශු දේහධාර මේ තරුණ අදිකාරම්වරයා දස්කොන් ය. සිංහල රජ වාසල සිංහල අදිකාරම්වරයකු වශයෙන් කටයුතු කළ නමුත් හෙතෙම සිංහලයෙක් නො වී ය. නාවික වෙළෙඳ දූත පිරිසක් කැටුව පැමිණි ප්‍රංශ ජාතිකයකුට දා ව පරංගි ළඳක කුසින් උපත ලැබූවෙකි. ඔහුගේ නියම නම ගැස්කොයින් (ට්චඵජධඪද) වුව ද සිංහලයන් අතර ව්‍යවහාරයේ දී එය “දස්කොන්” බවට පෙරැළුණි. දක්‍ෂ සිංහල කවියකු වූ දස්කොන් සිංහල භාෂා ශාස්ත්‍ර අධ්‍යාපනය ලැබුවේ සරණංකර සංඝරාජ හිමියන්ගේ ද ගුරුවරයා වූ සූරියගොඩ ගණනායක නමින් හැඳින්වුණ බෞද්ධ භික්ෂුව වෙතින් ය.

දස්කොන්ගේ දස්කම් ගැන අසා හුරු පුරුදු ව සිටි ප්‍රමිලා බිසවගේ සිත තුළ ඔහු දුටු පළමු මොහොතේ ම ඔහු කෙරෙහි ඇති වූයේ බලවත් ප්‍රේමයකි. ඇයට අවශ්‍ය වූයේ ඇය ගත කරන අඳුරු ජීවිතයට දස්කොන් ආලෝකයක් කැරැ ගැනීමට ය. සැඳෑ සමයේ සක්මන් මළුවේ පියමං කරන අතර දස්කොන් මුහුණට මුණගැසෙන ඇතැම් අවස්ථාවන්හි ඉඟියෙන් හා සිනාවෙන් ප්‍රමිලා බිසව ඔහුට මේ බව පළ කළාය. දස්කොන් ද ඊට උචිත අයුරින් ඊට ප්‍රතිචාර දැක්වී ය.

සල්ලාල නරේන්ද්‍රසිංහ රජුගේ කාලයෙන් වැඩි කොටසක් ගත වූයේ සෙංකඩගල රජ මාළිගයෙන් බැහැර ව හෙයින් සුදුසු අවස්ථාවක් බලා දස්කොන් තමා වෙත ගෙන්වා ගැනීම ප්‍රමිලා බිසවට අපහසු නො වී ය.

”දස්කොන්, මම ඔබට ආදරෙයි” තමා හමුවට පැමිණි දස්කොන්ට ඕ නොපැකිළ කීවා ය. ”නරේන්ද්‍රසිංහ රජු සමඟ මා ගත කරන්නේ තෘප්තියෙන් තොර ශෝකයෙන් පිරි අඳුරු ජීවිතයක්. මගේ ඒ අඳුරු ජීවිතය මඳක් හෝ ආලෝකවත් කරන්නට ඔබට පුළුවන්.”

”දේවිය, ඔබ ගතකරන අතෘප්තිකර ජීවිතය ගැන මා දන්නවා. ඒ අඳුරු ජීවිතයට මොහොතකට හෝ ආලෝකයක් ලබා දෙන්නට මට හැකි නම් මා ඊට පසුබට වන්නේ නෑ.”

දස්කොන් කෙරෙහි සිය හදවතින් උතුරා හැළෙන ප්‍රේමය කොතරම් බලවත් වුව ද ඒ ප්‍රේම ප්‍රවාහයේ සැඩ පහර තුළ ම ඔහුගේ අභාග්‍යසම්පන්න ඉරණම ලියැවී ඇද්දෝ යි ප්‍රමිලා බිසවට සිතිණි. දස්කොන් හා තමා අතර සමීප ඇසුරකට ඇති බාධක හා එහි භයංකරත්වය ඇගේ මනැස හමුවෙහි මැවී පෙනෙන්නට විය. ඒ සියල්ල මැඩ සිය ප්‍රේමය මල් ඵල ගැන්වීමේ දුෂ්කරතාව ප්‍රමිලා බිසව විසින් දස්කොන්ගේ අවධානයට ලක්කැරුණු විට ඔහු ඊට පිළිතුරු දුන්නේ කවියකිනි.

රන් මාලය පැළැඳගෙන ගෙල සුවි පුල්ලා
ඉන් ආලය වඩවයි සිත නුඹ පල්ලා
පන් දාහකට ඉහළින් තිබුණත් එල්ලා
රන් භාජනෙත් නොවිඳි ද විදිනා ගුල්ලා

ප්‍රමිලා බිසව හා දස්කොන් අදිකාරම අතර ලියලා වැඩෙන්නට වූ ප්‍රේමය අතිශයින් ම භයානක අත්දැකීමක් විය. කවර ආකාරයකින් හෝ මේ තහනම් ප්‍රේමය පිළිබඳ පුවත රජුට සැළැ වුවහොත් තමාට හිස් ගැසුම් කන්නට සිදුවන බව දස්කොන් ඉඳුරාම දනී. තත්ත්වය එසේ තිබිය දී ප්‍රමිලා බිසවගේ යහන් ගැබ පවා ක්‍රමයෙන් දස්කොන්ට හුරු පුරුදු තැනක් බවට පත් වූයේ ඔහුටත් නොදැනී ම ය. නරේන්ද්‍රසිංහයන් සෙංකඩගල රජමාළිගයෙන් බැහැර ව සිටි සැම රැයක් ම ප්‍රමිලා බිසව සමඟ ගත කරන්නට තරම් දස්කොන් නිර්භීත විය. ප්‍රමිලා බිසවගේ ඇතුළු හදවත හඬ ගා කියනුයේ තමා අයත් විය යුත්තේ නරේන්ද්‍රසිංහ රජුට නොව දස්කොන්ට බව ය.

හදිසි ව්‍යාධියකින් ප්‍රමිලා බිසව ඔත්පළ වූයේ මේ අයුරින් ඇගේත් දස්කොන්ගේත් අසම්මත ප්‍රේමය උච්ච අවස්ථාවට පත් ව තිබූ සමයෙහි ය. මෙ බඳු ව්‍යාධියක දී වෙදකමට වඩා බලි තොවිල් වැනි ශාන්ති කර්ම කෙරෙහි නායක්කර් වංශිකයන් වැඩි විශ්වාසයක් තැබූ හෙයින් රජු සමඟ ඒ ගැන සාකච්ඡා කළ රජවාසල සිටි බිසවගේ ඥාතීහු ඇය වෙනුවෙන් බලි යාගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කළහ. ඒ සඳහා ප්‍රමිලා බිසවගේ ජීවමාන ප්‍රමාණයේ නග්න පිළිරුවක් අවශ්‍ය විය.

බලි යාගය සඳහා ප්‍රමිලා බිසවගේ පිළිරුව ඇඳීමේ කටයුතු භාර ව සිටි සිත්තරා සිය කාර්යය උත්කෘෂ්ට අන්දමින් නිමවා එහි හැඩරුව නරඹමින් සිටිය දී අහම්බෙන් මෙන් එහි පැමිණියේ දස්කොන් ය. බිසවගේ ජීවමාන විලාසය විදහා පෑ ඒ පිළිරුව දැකීමෙන් දස්කොන් තුළ ඇති වූයේ නිම්හිම් නැති පී‍්‍රතියකි. සිත්තරාගේ දක්‍ෂතාව කෙරෙහි අතිශයින් පැහැදීමට පත් හෙතෙම ඔහුට මුව නොසෑහෙන සේ ස්තූති කරමින් බොහෝ වේලාවක් එහි රැඳී සිට පිළිරුවෙහි සෞන්දර්යය සිතින් ආශ්වාද කළේ ය.

”චිත්‍රය නම් විශිෂ්ටයි. බිසව ජීවමාන ව ඉන්නවා වගේ මයි. ඒත්, එක ම එක අඩුවක් තියෙනවා” යි ඉක්බිති සිත්තරා ඇමැතූ දස්කොන් කීය.

”මොකක්ද අඩුව අදිකාරම්තුමනි, මා දන්නා හැටියට නම් මෙහි කිසි ම අඩුවක් නෑ” යි සිත්තරා කියා සිටියේ ය.

”කෝ දෙන්න තෙලිකූර. මම ඒ අඩුව හරිගස්සන්නම්” යි සිත්තරාගෙන් තෙලිකූර ඉල්ලා ගත් දස්කොන් චිත්‍රය වෙත ළං වී එහි වම් කළවයේ ඉහළ කොටසේ ලපයක් සටහන් කළේ සිත්තරා විස්මයට පත් කැරැවමිනි.

ඔහු ගල් ගැසී බලා සිටියදී “දැන් අඩුව සම්පූර්ණයි” කී දස්කොන් සිනාසෙමින් එතැනින් ඉවත් ව ගියේ ය.

සිත්තරාගේ කාර්යය මැනැවින් ඉටු වී ඇතිදැයි පිරික්සනු පිණිස ඒ සමඟ ම වාගේ එහි පැමිණියේ නරේන්ද්‍රසිංහ රජු ය. ප්‍රමිලා බිසව ජීවමාන ව සිටින අයුරින් නිමවා තිබූ චිත්‍රය දුටු රජුගේ මුහුණ ප්‍රබෝධවත් වූයේ නොකිළිටි සඳ රැසක් පරිද්දෙනි.

”හරියට ම ප්‍රමිලා ජීවමාන ව ඉන්නවා වගෙයි” කියමින් ඒ දෙස බලා සිටි රජුගේ මුහුණ හා ඉරියව් හදිසියේ ම වෙනස් විය. කළු වළාකුලකින් වැසී ගත් අයුරින් මුහුණ අඳුරු පැහැ ගැන්විණි. දෙනෙත් පළාගෙන පිට වූයේ ගිනිදැල් ය. නළල හා මුහුණ ඩාදියෙන් තෙමී ගියේ ය. කරුණු වටහා ගත් සිත්තරා මුව විවර කරන්නට උත්සාහ කරද්දී රජු කෝපයෙන් ගුගුළේ ය.

”එම්බල සිත්තර, තා ද මේ රූපයේ වම් කලවේ මේ ලපය ඇන්දේ?” යි රජු එය දක්වමින් අවට ගිගුම් ගන්වා ප්‍රශ්න කළේ ඇගේ ඒ ලපය පිළිබඳ රහස තමා හැර අන් කිසිවකු නොදත හැකි හෙයිනි.

”පස්වාන් දහසකට බුදු වන්ඩ දේවයන් වහන්ස, ඔය ලපය ඇන්දේ මා නොවෙයි, දස්කොන් අදිකාරම්තුමා යි” සිත්තරා බියෙන් වෙවුලමින් උත්තර දුන්නේ ය.

”දස්කොන් අදිකාරම!” යි රජු එය ම ප්‍රතිරාවය කළේ හෙණ හඬක් පරිද්දෙනි. “එහෙනම් මට ලැබුණු තොරතුරු හරි! රාජද්‍රෝහී දුෂ්ටයා!” යි රජු කෝපයෙන් දිළිහෙමින් ආපසු මාළිගයට ගියේ විදුලිය වේගයෙනි. රජ අණ පරිදි රාජ පුරුෂයන් විසින් එවෙලේ ම දස්කොන් අදිකාරම අල්ලා රජු ඉදිරියට ගෙනෙනු ලැබී ය.

”එම්බල රාජද්‍රෝහී දුෂ්ටය, තා ද අර චිත්‍රයේ කළවයේ ලපයක් ඇන්දේ?” රජු යළිත් කෝපයෙන් ගුගුළේ ය.

”එහෙමයි දේවයන් වහන්ස, මා තමයි ඒ ලපය ඇඳ චිත්‍රයේ තිබුණු එක ම අඩුව සම්පූර්ණ කළේ” යි දස්කොන් අදිකාරම සැහැල්ලු සිතින් පිළිතුරු දුන්නේ ය.

ඒ ක්ෂණයෙහි ම මරණ දඬුවම නියම කරනු ලැබූ දස්කොන් අදිකාරම සිපිරිගෙට යැවිණි. මේ ප්‍රවෘත්තිය ඇසූ ප්‍රමිලා බිසව බලවත් සේ කම්පාවට පත් වූවා ය. “අයියෝ! දස්කොන්, ඇයි ඔබ මෙවැනි මෝඩකමක් කළේ? ඔබේ මරණයට ඔබ ම මඟපාදා ගත්තා නොවේද?” යි ඇගේ හදවත වේදනාවෙන් හඬන්නට විය.

තුන් කල තුමුල වනයේ මල් රස නො විඳ
මත් කල ගජන් කොපුලත බිඟු රොනට වැද
කන් තල පහර වැනි නිරිඳුට හසු ව අද
පින් කළ හිතනුවනි, දැන් තැවෙනු කුමට ද

දස්කොන් අදිකාරම කෙරෙහි පක්‍ෂපාතීත්වය, හිතෛෂි බව සහ සෙනෙහස දැක්වූ ඇතැම් සුහදයකුගෙන් කවියට පි‍්‍රය කළ, කවිය ආත්මය කොට සැලැකූ ඔහු වෙත ඔහුගේ අවසන් මොහොත දක්වා ම යොමු වූයේ මෙ බඳු කවි ය.

හදවත පුපුරා යන තරම් ශෝකයෙන් මුසපත් ව, සිය පෙම්වතාගේ අකල් මරණය වෙනුවෙන් – තාරුණ්‍යයේ ජෝතියෙන් බැබැළෙන්නට පටන් ගත් සමයෙහි ම ඔහු විසින් ම ළඟා කැරැ ගනු ලැබූ මරණය වෙනුවෙන් – හඬා වැළැපුණු ප්‍රමිලා බිසව සිය කඳුළු බිඳු අතරින් නැඟුණු ශෝකයේ සිහිවටනයක් ලෙස පහත සඳහන් කවිය ලියා දස්කොන් වෙත රහස් දූතයකු අත යැව්වා ය.

සක්මන් කරන මළුවේ දී බැඳි හාද
සිත්සන් තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් හිමියනි අද යන වාද
දස්කොන් මගෙ නමට ජීවිත දෙන වාද

ප්‍රමිලා බිසවගේ කවිය දස්කොන් අතට පත් වූයේ දංගෙඩියට හිස තැබීමට සුළු වේලාවකට පෙර ය. නුදුරේ අත වනමින් සිටින මාරයාගේ දර්ශනයෙන් වුව ද මඳක් හෝ නොසැලුණු විස්මය දනවන හදවතක් ඇත්තකු වූ දස්කොන් විසින් ප්‍රමිලා බිසව වෙත යවන ලද පිළිතුරු කවිය මෙසේ ය.

විසැස් කමලාව රස පහස නොවිඳ මා
දසිස් දුනි පොරණ ඇස දුටු පමණට මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා
ම හිස් එකක් ගියෙ නම් නුඹ නමට කිමා

මෙහි විසැස් යනු රාවණා ය. ඔහුට හිස් දහයක් සහ ඇස් විස්සක් තිබූ බව කියැවේ. කමලාව යනු රාවණා විසින් ඉන්දියාවේ සිට දඬු මොනර යානයෙන් ලංකාවට පැහැරගෙන එනු ලැබූ බව කියැවෙන සීතා දේවිය ය.

සංවේදී පාඨක අදහස්