ගැමුණු කුමාරයා රන් මැණිකාට ප්‍රේම කරයි

ගැමුණු කුමාරයා රන් මැණිකාට ප්‍රේම කරයි

ගැමුණු කුමරු එළාර රජු සමඟ සටනට යාම පිණිස සිය පියා වූ කාවන්තිස්ස රජුගෙන් අවසර ඉල්ලා සිටියේ සොළොස් හැවිරිදි වියේ පසු වෙද්දී ය. එහෙත්, පිය රජුගෙන් ඊට අවසර නො ලැබුණි. ඉක්බිති දෙ වැනි වරට හා තුන් වැනි වරට ද අවසර ඉල්ලා සිටි නමුත් කාවන්තිස්ස රජුගේ ප්‍රතිචාරයෙහි වෙනසක් නො වී ය. ඉන් කෝපයට පත් ගැමුණු කුමරු රජු වෙත ස්ත්‍රී ආභරණ යැවූ පුවත ඉතා ප්‍රසිද්ධ එකකි.

මහාවංශයේ එය සඳහන් කොට ඇත්තේ ‘පින්වත්නි, ම පිය තෙමේ පිරිමි වෙමින් මෙ සේ නො කියන්නේ ය. එහෙයින් මේ පළඳිව් යි රජ හට ස්ත්‍රී ආභරණ යැවී ය’ යනුවෙනි.

සිය පුත් ගැමුණු කුමරුගේ මේ ක්‍රියාවෙන් කෝපයට පත් කාවන්තිස්ස රජු කුමරු අල්ලා සිර කිරීමට නියම කළේ ය. ‘රජ තෙමේ ඔහුට කිපී ‘රන් හැකිල්ලක් තනව්. එයින් උහු බඳින්නෙමි. අන් පරිද්දෙකින් තෙමේ රැක්ක හැක්කේ නො වේ’ යි කීයේ ය. ගැමුණු කුමරු පිය රජ හට කිපී පලා ගොස් කඳු රටට ගියේ ය.

පියාණන්ට දුෂ්ට වූ බැවින් ම ඔහුට දුට්ඨ ගාමිණි (දුටු ගැමුණු) යැ යි කීහු’ යනුවෙන් මහාවංශය ඒ පුවත සඳහන් කරයි. එහෙත්, ඒ පිළිබඳ අනෙක් මතය වනුයේ දුර දක්නා නුවණින් කටයුතු කළ විහාර මහා දේවිය සියල්ලන්ට රහසින් ගැමුණු කුමරු අප්‍රසිද්ධ වෙස් ගන්වා ආරක්ෂාව උදෙසා කොත්මලයට පිටත් කැර යැවූ බව ය.

පළමුවෙන් සිරි පා අඩවියේ පිහිටි ගිලීමලය වෙත ළඟා වූ ගැමුණු කුමරු ගිලීමලයෙන් කොත්මලය බලා පිටත් විය. මහාවංශය හැරුණු විට සද්ධර්මාලංකාරය, ථුප වංශය, රාජාවලිය ආදී ග්‍රන්ථයන්හි ද මේ පිළිබඳ ව කරුණු සඳහන් වෙයි.

සාමාන්‍ය ගොවි කොල්ලකුගේ වෙස් ගෙන තල් අත්තක් කිසිල්ලෙහි රුවාගෙන කොත්මලයට පිවිසි ගැමුණු කුමරු ඒ මේ අත සැරිසරන අතර එක්තරා ගම ගෙදරක් දැක එහි ළඟා විය. ඒ කල කොත්මලය ප්‍රදේශයෙහි වූයේ ගෙවල් විස්සක් පමණ බව කියැවේ.

ගම ගෙදර ඉදිරි පස දොර වසා තිබූ හෙයින් පෑළ දොර පැත්තෙන් එබිකම් කළ හෙතෙම ගම බිරියගේ දෙ නෙතට ලක් විය. කුමරුවා ගෙ තුළට කැඳ වූ බිරිය තොරතුරු විමැසූයෙන් තමා මා පිය නෑ දෑ කිසිවකුත් නොමැති අසරණයකු බවත් ඉතා ඈත ප්‍රදේශයක සිට එහි පැමිණි බවත් හේ කියා සිටියේ ය.

ඒ අවස්ථාවේ ගෙදර සිටියේ තම බිරිය හා ඇගේ දියණියන් දෙ දෙනා පමණි. ඔවුහු කුඹුරේ වැඩ කරන ගමරාලට දිවා ඇඹුල පිළියෙළ කැරැමින් සිටිය හ. මේ ගැටවරයාට තදින් බඩගිනි වී තිබූ බව දුටු ගම බිරිය තැටියකට බත් ටිකක් බෙදා ඔහුට කන්නට දුන්නා ය. බඩගින්න අධික වූ බැවින් ඒ උණු බත ලහි ලහියේ කන්නට ගොස් කුමරුවා අතත් කටත් පුළුස්සා ගත්තේ ය.

එය දුටු ගම බිරියගේ අවවාදය අනුව බත් සියල්ල පිඬු කොට තබා මුලින් සෑදු බත් පිඬෙහි පටන් එකින් එක පිළිවෙළින් අනුභව කිරීමෙන් උණු බත් අනුභව කළ යුතු අන්දම ඔහුට ඉගෙන ගන්නට ලැබුණි. පසු ව සටන් බිමේ දී ද මේ ක්‍රමය ඔහු විසින් අනුගමනය කරන ලද බවක් ජන ප්‍රවාදයේ සඳහන් ය. ඔහුගේ නම කුමක් දැ යි ගම බිරිය විමැසූ විට ‘ගුත්තා’ යි කුමරු පිළිතුරු දුන්නේ ය. ගුප්ත වේශයකින් සිටි නිසා ‘ගුප්තා’ යන්න මින් අදහස් කළ බවක් සිතිය හැකි ය.

ගමරාලට දිවා ඇඹුල රැගෙන දියණියන් දෙ දෙනා ද කැටුව කුඹුරට ගිය ගම බිරිය ගෙදරට කදිම කොලු ගැටයකු පැමිණ ඇති බව කීවා ය. ඔහු පිළිබඳ සියලු තොරතුරු අසා සිටි ගමරාල ‘එහෙනං ඒකා හැබෑ හිද්දළයෙක්’ යි කී ය. ගමරාල මින් අදහස් කළේ ‘හිත් දළයෙක්’ හෙවත් දළ සිතක් (දැඩි සිතක්) ඇත්තකු යන්න ය. එ තැන් පටන් ඔහු කා අතරත් හැඳින් වුණේ ‘හිද්දළයා’ යනු වෙන් විනා ‘ගුත්තා’ නමින් නො වේ.

ගමරාලගේ දියණියන් දෙ දෙනාගෙන් වැඩිමහල් දියණිය කළුමැණිකා නම් වූවා ය. බාල දියණිය රන්මැණිකා ය. ඔවුන් දෙ දෙනා මේ වන විට තුරුණු වියේ එළිපත්තෙ හි සිටි හිරිමල් වියේ දැරිවියෝ වූ හ. තරමක ආඩම්බරකාරියක වූ කළුමැණිකා හිද්දළයා ගැන කිසි ම තැකීමක් නොකළ ද ඔහු දුටු මොහොතේ සිට රන්මැණිකා තුළ ඇති වූයේ අමුතු ඇල්මකි. සවස කුඹුරේ සිට පෙරැළා නිවෙසට පැමිණි ගමරාල හිද්දළයා සමඟ කතා බහ කොට විමසා බලා ඔහු එහි ම රදවාගන්නට තීරණය කිරීමෙන් සියල්ලන්ට ම වඩා සතුටට පත් වූයේ රන්මැණිකා ය.

ඌරුපැලැස්සේ ගම ගෙදර නමින් හැඳින්වුණු මෙහි නතර වූ හිද්දළයා එ තැන් පටන් ගම ගෙදර සියලු වැඩ පළට ඉතා උනන්දුවෙන් සහාය වූයේ ය. ඔහුගේ ප්‍රධාන කාර්යය වූයේ ගමරාලගේ ගවයන් බලාගැනීම ය. සෑම උදෑසනක ම ගවයන් දක්කාගෙන අසල පිහිටි මොනරාගල කන්දට යාම ඔහුගේ සිරිත ය.

කොත්මලේ පිහිටි මේ කන්ද වර්තමානයේ ද මොනරාගල කන්ද නමින් හැඳින්වෙන අතර ගම්පොළ නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව ප්‍රදේශයට දර්ශනීය අයුරින් දිස් වේ. ඒ හැරුණු විට ගමරාළගේ ගොවිතැන් කටයුතු ගෙදර දොර කටයුතු ආදී සියල්ලට ම හිද්දලයාගේ සහාය නො අඩු ව ම ලැබුණි. මේ අයුරින් වැඩි කල් නොගොස් ගමරාලගේ පවුලේ ම කෙනකු බවට පත් හෙතෙම තව දුරටත් ඔවුන්ට අමුත්තෙක් නො වී ය. ගම ගෙදර දෙ මහල්ලන් ඔහුට සැලකුවේ තමන්ගේ ම පුතකුට පරිද්දෙනි.

කාලයාගේ ඇවෑමෙන් හිද්දළයා කඩවසම් පෙනුමැති ඔදවත් තරුණයකු බවට පත් විය. කළුමැණිකා හා රන්මැණිකා ද දැන් මනස්කාන්ත රූ සපුවෙන් හෙබි නව යොවුන් තරුණියෝ ය. එහෙත් අහංකාර කළුමැණිකා තුළ නම් හිද්දළයා කෙරෙහි කිසි ම ඇල්මක් හෝ කරුණාවක් හෝ නො වී ය. මුහුකුරා යන වයස හා ගෙවී යන කාලයත් සමඟ රන්මැණිකාගේ සිත හිද්දළයා කෙරෙහි තදින් බැඳී ගියේ ය. ඕ නිතර ඔහුට ඉමහත් දයාවෙන් හා කරුණාවෙන් සැලැකුවා ය.

හිද්දළයා කෙරෙහි ගම දෙ මහල්ලන් වඩාත් ප්‍රසාදයට පත් වුයේ ඔහු එහි පැමිණි දින ගම ගෙදර වාසනාවෙන් ඉතිරෙන්නට වූ නිසා ය. කුඹුරුවල අස්වැන්න දෙ තුන් ගුණයෙන් වැඩි විය. ගව සම්පත ද ශීඝ්‍රයෙන් වර්ධනය වූයේ ය. බෝග, වැවිලි, ආදියෙන් ද බලාපොරොත්තු නො වූ අන්දමේ විශාල අස්වනු ලැබුණි. හිද්දළයා පැමිණි දින සිට ම මේ වාසනාවන්ත තත්ත්වය උදා වූයේ ඔහුගේ ම ලැබීම නිසා බව ගම දෙ මහල්ලෝ සිතූ හ. එහෙයින් දැන් ඔවුන්ගේ අදහස හිද්දළයා සදහට ම එහි රඳවා ගැනීම ය. දියණියක ඔහුට විවාහ කැර දුනහොත් ඒ අදහස සපල කැරගත හැකි බව ඔවුනට විශ්වාස ය. පළමුවෙන් විවා දිවියට ඇතුළත් විය යුත්තේ කළුමැණිකා හෙයින් ඔවුන් තීරණය කළේ වැඩිමහල් දියණිය වූ ඇය හිද්දළයාට විවාහ කැරැ දී ඔහු බින්න බස්සවාගන්නට ය.

‘දුව කළුමැණිකා, හිද්දළයා අපේ ගෙදර පදිංචියට ඇවිත් දැං අවුරුදු එකොළහක් විතර වෙන්ට ආව බව උඹ දන්නව නේ ද ? යි ගම බිරිය කළුමැණිකා සමග කතාවට මුල පිරුවා ය.

‘ඔව්, අම්මා’ යි කළුමැණිකා පිළිතුරු දුන්නේ මවගේ අරමුණ ගැන කිසිවක් නො දැන ය.

‘හිද්දළයා අපේ ගෙදරට ආපු දවසෙ ඉඳලා අපට අහවල් දෙයිං අඩු පාඩු යි කියලා කියන්න තරං අහේමයක් සිද්ධ වෙලා නෑ. අපට ලැබුවේ හරි ම සරුසාර කාලයක්. ඌ හරි ම වාසනාවන්ත, ඒ වගේම පිංවන්ත කොල්ලෙක්. පේන්නේ නැද්ද මූණෙ තියෙන පිං පාට ? දැං ඉතිං බාග වෙලාවට හිද්දළයා අපේ ගෙදරිං වෙන කොහේ හරි යන්ටත් බැරි නෑ. ඌ ගියොත් අපේ මේ වාසනාවත් එතැනිම්ම අවසාන වෙන්ට පුළුවං. ඒ හින්ද ඌ කොහොම හරි මේ ගෙදර ම රඳවගන්ට බලන්ට ඕනෑ’

‘මං හිතන්නෑ හිද්දළය නං අපේ ගෙදරිං යයි කියලා. කොහේ යන්ට ද ?’

‘එහෙම කියන්ට එපා. උඹට ඕවයෙ තේරුමක් නෑ. හොඳ යි,, ගියොත් එහෙම මොකද කරන්නෙ ? හොඳ පිංවන්ත කොල්ලා. ඌ දිගට ම මෙහේ රඳවාගන්ට අප්පච්චිගෙ හිතේ තියෙන්නෙ උඹ ව හිද්දළයට දීග දෙන්ට’

‘අනේ අම්මෙ, මට නම් බෑ ඔය නන්නත්තාරෙ යන අම්මෙක් අප්පෙක් නැති මිනිහෙක් එක්ක දීග යන්ට. මම නං කැමති නෑ, අප්පච්චිට ඒක කියන්ට’ යි කළුමැණිකා මවට කීවේ අමනාපයෙනි.

කළුමැණිකා මේ සඳහා කැමැති කැරැවාගන්නට ගම දෙ මහල්ලන් ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ විට ඒ වෙනුවට රන්මැණිකා හිද්දලයාට විවාහ කැරැ දෙන්නට ඔවුහු තීරණය කළ හ. විවාහ යෝජනාව ගැන ඇසූ රන්මැණිකාගේ හිසේ මලක් පිපුණාක් බඳු විය. කලක් තිස්සේ තමා දුටු සිහිනය මේ අයුරින් සැබෑ වීම ගැන ඇගේ සිත පස් වනක් ප්‍රීතියෙන් පිනා ගියේ ය. රන්මැණිකා සමඟ විවාහ වන්නට ලැබීම හිද්දළයාගේ ද බලාපොරොත්තු ඉටුවීමක් වූ අතර විවාහයෙන් පසු ඔවුහු දෙ දෙනා එකිනෙකාට අකංලක ව ආදරය කළ සමගි සම්පන්න අඹු සැමි යුවලක් වූ හ.

හිද්දළයාගේ හා රන්මැණිකාගේ එක්වීමෙන් ගමරාලගේ ගොවි ජීවිතයට ලැබුණේ තවත් අගනා පිටිවහලකි. දැන් ගමරාලගේ වතු පිටි, කුඹුරු, ගවයන් ආදී සෑම දෙයක ම භාරකාරත්වය පැවැරී ඇත්තේ හිද්දළයාට ය. ඒ සියලු වගකීම් ඔහු අතින් නොපිරිහෙලා ඉටු වූ අතර හිද්දළයා හා රන්මැණිකා ඉතා කෙළි දෙළෙන් හා විනෝදයෙන් සියලු ගොවිතැන් කටයුතුවල යෙදුන හ. මේ දකින කළුමැණිකා තුළ ඇතැම් විට ඔවුන් කෙරෙහි සියුම් ඊර්ෂ්‍යාවක් ද හට ගත්තේ ය.

එක් දිනක් බොහෝ වේලා කුඹුරේ අස්වැන්න එකතු කැරැමින් සිටි ඔවුන් දෙ දෙනා දහවල අධික සූර්ය තාපයෙන් උපන් වෙහෙසින් හෙම්බත් ව වෙල්යාය අයිනේ වූ ගසක් යට වාඩි වූ හ. මඳ වේලාවකින් නිදිමත ගතියක් දැනුණ හිද්දළයා රන්මැණිකාගේ උකුළෙහි හිස තබාගෙන නින්දට වැටුණේ ය. හෙතෙම නින්දේ දී දුටු සිහිනයක් නිසා ටික වේලාවකින් අවදි විය.

‘මැණිකො, මම ඇහැරුණේ මහ අමුතු හීනයක් දැකලා’ යි හිද්දළයා කීවේ ය.

‘මොකක්ද අනේ හීනය ?’ යි රන්මැණිකා ඇසුවේ බියෙන් ඇළැලෙමිනි.

‘මගේ බඩවැල් කටින් එළියට ආවා. ඊට පස්සේ කටින් ම ඒවා ආපහු බඩ ඇතුලට ගියා’ යි හේ සිහිනය විස්තර කළේ ය.

‘මොන වින්නැහියක් වෙන්ට හදනව ද දන්නෙ නෑ. කොහොමටත් නැකැත්තෙක්ගෙං අහල බලමු’ තව මත් සිතින් බිය පහ ව නොගිය ඕ කීවා ය.

නැකැත්තකුගෙන් සිහිනයේ සුබ අසුබ විමැසූ හිද්දළයාට දැනැගන්නට ලැබුණේ රජකම අත ළඟ ම ඇති බවකි. තමා මෙ තෙක් කල් බලාපොරොත්තුවෙන් සිටි අරමුණ සාක්‍ෂාත් වන බව දුටු හිද්දළයා අතිශයින් ප්‍රමෝදයට පත් විය. නැකැත්තා සිහිනය පිළිබඳ කී දේ ගැ විමැසූ රන්මැණිකාට ගැමුණු කුමරු සියලු තොරතුරු හෙළි කළේ ය. මෙතෙක් අප්‍රසිද්ධ වේශයෙන් සිටි තමා ගැමුණු කුමරු බව රන්මැණිකාට හෙළි කළ හෙතෙම අවසන් මොහොත දක්වා ඒ රහස රැකගත යුතු බව ද කියා සිටියේ ය. හිද්දළයා සමඟ විවාහ වීමෙන් තමාට උරුම වූ මේ භාග්‍යය ඇයට අදහාගත නොහැකි විය.

හිද්දළයාගේ වතගොත පිළිබඳ ව රහස හෙළි නො වූ නමුත් ඔහු රජකම ලබන්නට තරම් භාග්‍යයක් ඇත්තකු බව ඔහු දුටු සිහිනය අනුව පෙනෙන්නට ඇතැ යි නැකැත්තා කිහිප දෙනකුට කී ය.

‘ඔය ගොම්බෙටි හිද්දළයාට රජකම ලැබෙනව නං ඊට ඉස්සෙල්ලා අපටත් රජකම ලැබෙ යි’ ඔවුහු නැකැත්තාට සමච්චල් කළ හ.

දෙ තුන් දිනක් ගත විය. පුරුදු පරිදි කෙළි දෙළෙන් කුඹුරේ වැඩ කරමින් සිටි හිද්දළයාට සහ රන්මැණිකාට ඈතින් එන පෙරහැරක බෙර හඬ සහ හොරණෑ හඬ ඇසුණි. දැන් දැන් ඒ හඬ මදින් මද ළං ව ඇසෙයි. ටික වේලාවකට පසු දෝලාවක් උසුලාගත් පිරිසක් සහිත පෙරහැරක් ඔවුන් සිටින පැත්තට ඇදෙනු දක්නට ලැබිණි. ගැමුණු කුමරුට සිහිනයේ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ විය. තමා මෙ සේ අප්‍රසිද්ධ වේශයෙන් කොත්මලයෙහි ගත කළ අවුරුදු දොළහක කාලය තුළ වරින් වර වෙස් වළාගෙන තමා හමු වන්නට පැමිණ ඔත්තු සැපැයූ සුරනිමල යෝධයාගෙන් තම මලනුවන් වන තිස්ස කුමරු කඩොල් ඇතු හා විහාර මහා දේවිය රැගෙන දිගාමඩුල්ලට පලා යාමේ පුවත දැනැ ගන්නට ලැබුණේ ඊට මද වේලාවකට පෙර ය. තමා කැඳවාගෙන යන්නට එන පෙරහැරේ මඟුල් ඇතු වෙනුවට දෝලාවක් පෙරමුණෙහි ඇත්තේ ඒ නිසා බව ගැමුණු කුමරු දනී.

‘මැණිකා, සිහිනය සැබෑ වන මොහොත හරි. මේ එන්නේ අප කැඳවාගෙන යන පෙරහැර තම යි’ කුමරු කී ය.

අධික ප්‍රීතිය නිසා කතා කැරගත නොහැකි වූ රන්මැණිකා විස්මයෙන් වරින් වර ගැමුණු කුමරු දෙසත් පෙරහැර දෙසත් නෙත් යොමු කළේ සතුටු කඳුළු වගුරුවමිනි.

ඒ වන තුරු ම නැකැත්තාගේ කීමත් ඒ නිසා ම හිද්දළයාත් සමච්චලයට ලක් කළ ඇතැම් ගැමියෙක් ඌරුපැලැස්සෙ ගමරාලගෙ ගොම්බෙටි හිද්දළයා රජකමට ඇන්න යන්ට පෙරහැර එනවෝ !’ යි තව දුරටත් සමච්චල් කැරමින් කෑගැසූ හ.

පෙරහැර ගැමුණු කුමරු අබියස නතර විය. කාවන්තිස්ස රජු මිය ගිය බව දැන්වූ අගමැති තෙමේ මාගමට ගොස් රජකම භාරගන්නා මෙන් ගැමුණු කුමරුගෙන් දෙ පා නමැද ඉල්ලා සිටියේ ය. ගොවි වෙසින් සිටි කුමරු හා රන්මැණිකා දෝලාවට නංවාගනු ලැබූ හ. මාගම් පුර බලා යනු පිණිස පෙරහැර ආපසු හැරුණි.

‘නන්නත්තාරේ යන අම්මෙක් අප්පෙක් නැති හිද්දළයා’ සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කිරීමෙන් වාසනාවට පයින් ගැසූ කළුමැණිකා ගැන ගැමුණු කුමරු කියන ලද්දක් අයුරින් කොත්මලේ ගැමි කවියකු කියා ඇති මේ කවි දෙක අදත් ඒ පැරැන්නන්ගේ මුවින් ගිලිහෙලු ඇසිය හැකි ය.

දුටු ගාමිණි කුමරු කරනට කාර සුබ

කළුමැණිකෝ පින් නොකළේ මන්ද නුඹ ?

හෙළ දිව කිරුළ ම පියාගෙන් මෙ දින ලැබ

රජ කරනට රන්මැණිකෝ නගිනු නුඹ

දන් පින් කරන අයට යි හොඳ රජ වෙන්ට

අනේ බැරි වෙච්චි කළුමැණික ට යන්ට

ආලයෙන් හිටපු නුඹ සරි සැම දාට

රන්මැණිකෝ වරෙන් දැන් මාගම යන්ට

ක්‍රි. පූ. 161 වර්ෂයෙහි අනුරාධපුර රාජ්‍යයේ රජ බවට පත් ව එළාර පරදවා තුන් සිංහලය එක් සේසත් කොට බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළ දුටු ගැමුණු ක්‍රි. පූ. 137 දක්වා වසර විසි හතරක් රජකම් කළේ ය.

සංවේදී පාඨක අදහස්