වේදිකාව සිසාරා ගිය මියුරු හඬ

වේදිකාව සිසාරා ගිය මියුරු හඬ

චැරිටි සන්ෂයින් ටිල්මන් ඩික්. සුන්දර ඇගේ නමයි, ඒ. නමටම ගැළපෙන පරිදි ඈ හිරු කිරණක් මෙන් දිදුළමින් සිටියාය. ආලෝකමත්ව බැබලුණාය. දෙව්දුවක මෙන් රූපත් වූවාය. කිඳුරියක මෙන් ගී ගැයුවාය. ඇයට උපතින්ම උරුමව තිබුණේ ඒ සා මියුරු කටහඬකි. ඈ එයින් ලොවම මන්මත් කළාය. ඈ ඇමරිකාවේ සැන්ඩියගෝ ප්‍රාන්තයේ සුන්දර ඔපෙරා ගායිකාවක බවට පත්වූවාය. එයින් ද නොනැවතී ඔපෙරා සංගීතයේද සංකීර්ණ සහ විශිෂ්ටතම මට්ටම ලෙස සැළකෙන සුප්රානෝ (Suprano) කලාව ප්‍රගුණ කර, සුමියුරු සුප්රානෝ ගායිකාවක බවට පත් වූවාය.

වයස අවුරුදු විසිපහ ලබන විට ඇයට ජීවිතය ගැන අලුතෙන් හිතන්නට දෙයක් තිබුණේ නැත. අනේ මට මෙහෙම නොවුණා නම් කියා දුක්වෙන්නට දෙයක් තිබුණේද නැත. ළතැවිල්ලක් තිබුණේම නැත. ජීවිතය ඇයට හැම දෙයක්ම දී තිබිණි. මාපිය ආදරය, හිතවතුන්ගේ සෙනෙහස, මිතුරු මිතුරියන්ගේ ඇල්ම මෙන්ම කලාතුරකින් කෙනෙකුට පමණක් හිමිවන ආකාරයේ මනා ලෙස පාලනය කළ, හැසිරවිය හැකි සොඳුරු කටහඬ තුළින් ඇය ලොවම තමා වෙත ආකර්ෂණය කර ගැනීමේ විරල වාසනා ගුණයෙන් යුක්ත වූවාය.

සොබාදහම මෙලොව කිසිවෙකුට දීර්ඝ කාලීන දුකක් හෝ සතුටක් උරුම කර දෙන්නේ නැත. ඒ අටලෝ දහම ඇයට ද පොදු විණි. සුඛාන්තය ඛේදාන්තයක් බවට පෙරළුණේය. එක් උදෑසනක ඇය හති දමමින් අවදි වූවාය. හුස්ම අල්ලා ගැනීමට අපහසු බවක් දිස්විණි. වහාම ඇයව රෝහල් ගත කරන ලදී.

දීර්ඝ වෛද්‍ය පරීක්‍ෂණ මාලාවකින් අනතුරුව විශේෂඥ වෛද්‍යවරයා නළල රැළි කර ගත්තේය. “ඔබට නිදන්ගත පෙනහලු රෝගයක් වැළඳිලා...!”

සියල්ල අවසාන වෙමින් තිබුණේද... සන්ෂයින් ට වැළඳී තිබුණේ ප්ලූමොනරි හයිපර්ටෙන්ෂන් හෙවත් පුප්ඵුෂීය අධි රුධිර පීඩනයයි. එහිදී පෙනහලු රුධිර නාලවල රුධිර පීඩනය වැඩි වේ. එය කොතරම් උත්සන්න වී තිබුණේ ද යත්, ගත වූ වසර කිහිපය මුළුල්ලේම ඇගේ පෙනහලුවලට රුධිරයේ සැපයීම සඳහා හෘදය වස්තුවට දෙගුණයක හෝ තුන් ගුණයක වේගයෙන් වැඩ කිරීමට සිදුව තිබුණේය.

ප්‍රතිඵලය වූයේ හදවත ඉදිමීමයි. දැන් ප්‍රශ්න රැසකි. සුප්රානෝ ගයද්දී මහා වායු කඳක් හා පීඩනයක් මනා ලෙස සුසංයෝගීව දරාගෙන සිටි ඇගේ පෙනහලු හති වැටී තිබුණේය. රෝගාතුර හදවත තවදුරටත් රුධිරය පොම්ප කිරීම ප්‍රතික්‍ෂේප කර තිබුණේය. ඈ ජීවත් කරවන්නට නම් ඇගේ හදවත ජීවත් කරවිය යුතු විය. හදවත ඉදිමී තිබුණෙන් එයට ඖෂධ සැපයීමට පවා මඟක් නොමැති විය. වෛද්‍යවරුන්ට සිදු වූයේ කිලෝග්‍රෑම් දෙකකට ද වඩා බරැති උපාංගයක් සන්ෂයින්ගේ ළයට පළඳවා ඒ ඔස්සේ ඇගේ හදවතට රුධිරය පොම්ප කරන්නටය.

ඉඳින් දැන් ඇය කිරිල්ලියක සේ කෙසේ වේදිකාව මත ගී ගයන්නද? සුරූපී සන්ෂයින් හට තිබුණු අවසාන පිළිතුර වූයේ පෙනහලු බද්ධයකි. අවසානයේ ඇය ද්විත්ව පෙනහලු බද්ධ කිරීමේ සැත්කමට මුහුණ දුන්නාය. හදවත් බද්ධය හා පෙනහලු බද්ධය යන අවස්ථා දෙකම අවදානම් සහගත බව වෛද්‍ය ලෝකයේ පොදු පිළිගැනීමයි. බද්ධ කරන අවයව මුල් අවස්ථාවලදී ඕනෑම මොහොතක ශරීරය විසින් ප්‍රතික්‍ෂේප කළ හැකිය.

නමුත් සන්ෂයින් හට දෙවියන් අවසාන අවස්ථාවක් දී තිබුණේය. ද්විත්ව පෙනහලු බද්ධයෙන් පසු ඈ මදින් මද සුවපත් වීම ඇරැඹුවාය. නමුත් අලුත් පෙනහලු යුග්මය ඈ උපතින්ම ගායිකාවක බව පිළිගනීවිද?

සන්ෂයින් ලෙස ඇඳේ සිටියදී ද ගී ගැයීම අත නොහැරියාය. කෙටි හුස්ම තවදුරටත් ඇයට බාධා කළේය. නව පෙනහලු සමග ගී ගැයීම අතිශයින්ම වෙහෙසකර කාර්යයක් විය. ඔපෙරා ගී ගැයීමේදී කටහඬ උස් පහත් කිරීම්, සමබර කිරීම සහ උච්ච ස්වරවල දිගු වේලා රැඳී සිටීමට හොඳින් ශ්වසන අභ්‍යාස කළ යුතු වේ. පෙනහැල්ලේ හැම සියුම් කේශනාලිකාවක්ම ඒ සඳහා සැදී පැහැදී සිටිය යුතු වේ. නුහුරු නුපුරුදු මේ අභ්‍යාසය අබිමුවේ සන්ෂයින්ගේ අලුත් පෙනහලු යුග්මය අසරණ වී යාද?

ඒ, සැන්ඩියොගෝ ප්‍රාන්තයේ ටෙඩ් මෙඩ් වෛද්‍ය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවයි. වේදිකාවේ තිරය විවෘත විය. පිටතින් බලන විට කිසිදු රෝගී බවක් හඳුනාගත නොහැකි පරිද්දෙන් සන්ෂයින් සුවපත් වී සිටියාය. දෙසවන් බිහිරි කරවන අත්පොළසන් නාදය මැදින් ඈ වේදිකාව මතට ගොඩ වූවාය. ඊළඟ නිමේෂයේ විසල් ශාලාවේ සෑම අහුමුල්ලක්ම පිසදමමින් සුමියුරු ඔපෙරා ගී නදක් ගලා යන්නට පටන් ගත්තේය. සන්ෂයින් නැවතත් ගී ගයමින් සිටියාය. හාත්පස වූ සියලු මනුෂ්‍යයෝ ද දෙව්ලොව සිටි සුරදූතයෝ ද එකත්පස්ව හිඳ ඒ ගී නදට එදා සවන් දෙන්නට ඇත. ඈ හංසියක ලෙසින් වේදිකාව පුරා සක්මන් කරමින් ගැයුවාය. උච්චස්වර කදිමට ස්පර්ශ කළාය. චැරිටි සන්ෂයින් ටිල්මන් ඩික් ජීවිතය නමැති අභියෝගය ජයගෙන තිබුණේ එලෙසය. මාස තුනක් වැනි ඉතා සුළු කාලයක් ඇතුළත ඈ නමක් නැතිව, කාගේදැයි නොදැන බද්ධ කරගත් පෙනහලු යුග්මයක් තමන්ගේම කරගෙන තිබුණේ එසේය. එක් දිනයෙන් ඇය මුළු ඇමෙරිකාවේම වීරවරියක් බවට පත්වූවාය. බී. බී. සී, සී. එන්. එන්, ඒ. බී. සී. ආදී සියලු ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකා ඈ පිළිබඳව වාර්තා වැඩසටහන් ඉදිරිපත් කළේය. ඈ ගී ගයන ප්‍රසංගයක් නැරැඹීමට හා හුදෙක්ම ඈ සමඟ කතාබස් කොට ඇයට සුබපැතීමට එවකට සිටි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය කොන්ඩොලිසා රයිස් ද පැමිණියාය.

චැරිටි සන්ෂයින් ටිල්මන් ඩික් අද ද ගී ගයන්නීය. “මම ලෙඩ ඇඳේ, පෙනහලු දෙක ලෙඩ වෙලා තියෙද්දිත් හිතෙන් සුප්රානෝ ගැයුවා” ඇය කියන්නීය. ජීවිතය එබඳුය. පළා යන්නට නොව දමා යන්නට බැරිකම නිසා හෝ ජීවිතය ඉල්ලන අය ඉදිරියේ වාසනාව නතර වේ.


සංවේදී පාඨක අදහස්