වේටර් කොළුවාගේ අත්දැකීම්

වේටර් කොළුවාගේ අත්දැකීම්

ඒ තානායමට මා ගියේ දින තුනක් නවාතැන් ගන්නට ය. අපි හතර දෙනෙක් එහි නවාතැන් ගත්තෙමු. රියැදුරු හැරුණ විට පිරිමියෙකුට සිටියේ මා පමණි. ඒ තානායමේ භෝජන ශාලාවේ සේවය කළ තරුණ සේවකයෙකු මා දැන හඳුනා ගෙන මට සමීප විය. ඔහු කවි ලියන කෙනෙකි. ඔහුට කවි ශක්තියක් තිබෙන බව ඔහු මට දුන් ඔහුගේ කවි කියවන විට මට දැනුණි. එක් විවේකී සවසක ඔහු සමඟ මම කතා කරමින් සිටියෙමි.

“මෙතැන වැඩ කරන කොට හොඳ අත්දැකීම් ලැබෙනවා ඇති නේද ?”

“ඉඳලා හිටලා අමුතු ම අමුතු අත්දැකීම් ලැබෙනවා. කෙනෙකුට කිව්වට පිළිගන්නෙත් නෑ.”

“බලන්ඩ එකක් කියන්ඩකෝ”

“.....එක දවසක් ජීප් එකකින් නෝනලා දෙන්නෙකුයි මහත්තයෙකුයි ආවා. ටිකක් ඉහළ පන්තියෙ අය කියලා කියන්න පුළුවන්. මහත්තයා උස මහත හරි කඩවසම් කෙනෙක්. මෝනලා දෙන්නම තරුණ ලස්සන නෝනලා දෙන්නෙක්. ඒ අය වෙන් කර ගෙන තිබුණෙ එක කාමරයයි. හැබැයි ඒක තුන් දෙනෙකුගේ කාමරයක්. කොළඹින්මයි වෙන් කර ගෙන ඇවිත් උන්නේ. අපි හිතුවෙ එක පවුලක අය කියලයි. පස්සෙ අපිට වැටහුණා එක පවුලක අය නො වන බව. ඒ තුන් දෙනා දවස් හතරක් මෙහෙ උන්නා.

ඒ අය ආව පළමු වන දවසෙම මහ රෑ කාමරේ ඇතුළෙ ලොකු රණ්ඩුවක්. අපි නිදා ගෙන උන්නෙ. අපට වෙන කාමරයකින් කතා කරලයි දැනුම් දුන්නේ. අපි බොස්ට කිව්වා. බොස් ඇවිත් දොරට තට්ටු කළා. ඒත්. ඒ අය දොර ඇරියෙ නෑ. මහත්තයා කාමරේ ඇතුළෙ ඉඳ ගෙන ම ‘ප්‍රශ්නයක් නෑ වෙරි සොරි’ කියලා කිව්වා. අපි ඉතින් ටිකක් වෙලා බැලුවා සද්දයක් නෑ අපි නිදා ගත්තා.

අපි පහුවදා උදේ ඒ අය දකින්න ආසාවෙන් උන්නෙ. මමයි කාමරේට තේ අරන් ගියේ. මහත්තයා ඇවිත් ගුඩ්මෝනින් කියලා තේ අර ගත්තා. උදේ කෑමට තුන් දෙනා ම ආවා. හරි ම සතුටින් කතා කරමින් තමයි තුන් දෙනා ම ආවේ. ඇවිත් කෑම ගත්තෙත් හරි ම සතුටින්. දවල් කෑමට එන්නෑ. රෑ කෑමට එනවා කියලා පිට වෙලා ගියා. හවස පහට විතර ආවා.

ඇවිත් තේ බීලා කාමරේට ගියා. බොස් අපට කියලා තිබුණා ටිකක් කල්පනාවෙන් ඉන්න කියලා. මමයි තව කෙනෙකුයි නිදා ගන්න කලින් රවුමක් ගියා. වෙලාව එකොළහට විතර ඇති. කාමරෙන් එළියෙ තියෙන පොඩි කොරිඩෝවෙ මහත්තයා ඇඳුම් පිටින් ම නිදි. අපි ළං වෙලා බැලුවා හොඳට ම නිදි. කාමරේ ඇතුළෙ කතාබහක්. කතාබහ ඉංග්‍රීසියෙන්. හැබැයි බැණ ගැනීමක් බව රණ්ඩු වෙන බව අපට තේරුණා.

අපි ටිකක් වෙලා ඉඳලා ගිහින් නිදා ගත්තා. මම උදේ තේ අරන් යන කොට මහත්තයා එළියෙ උන්නෙ නෑ. දොරට තට්ටු කළා ම දොර ඇරලා ගුඩ්මෝනින් කියලා තේ අර ගත්තා. ඒ වෙලාවෙ මහත්තයා සැහැල්ලු කොට කලිසමක් ඇඳලයි උන්නෙ. උදේ කෑම ගන්න තුන් දෙනා ම කලින් දවසෙ වගේ ම සතුටින් ආවා. කිසි ම වෙනසක් නැති ව හොඳ සතුටින් කෑම අරගෙන කලින් දවසෙ විදිහට ම පිට වෙලා ගියා.

ගිහින් කලින් දවසෙ වගේ ම හවස ආවා. ඇවිත් තේ බීලා කාමරේට ගියා. අට හමාරට විතර තුන් දෙනාම ඇවිත් රෑට කෑම කෑවා. දහයට විතර මහත්තයා එක නෝනා කෙනෙක් එක්ක හොඳට ඇඳ ගෙන එළියට ගියා. ආවෙ පහුවදා උදේ හයට විතර. ඒ දෙන්නා කාමරේට ගිහින් ටික වෙලාවකට පස්සෙ එක නෝනා කෙනෙක් හයියෙන් අඬන්න පටන්ගත්තා. එදා ගෙස්ට්ලා කීප දෙනයි උන්නෙ. අපි සද්ද නැතුව උන්නා.

මෙන්න වැඩේ උදේ කෑමට තුන් දෙනා ම හොඳට ඇඳ ගෙන බොහොම සන්තෝසෙන් ආවා. අපිට අන්තිමට ඒක ගාණක් නැතුව ගියා. හැබැයි මෙහෙ උන්න දවස් දෙක ම මහත්තයා එළියෙ නිදා ගෙන ඉන්නවා මම දැක්කා. ඒත් උදේ තේ අරන් යන කොට මහත්තයා කාමරේ. ඒ නෝනලා දෙන්නා කාමරේ ඇතුළෙදි රණ්ඩු වෙන බව අපට හොඳට තේරුණා. ඒ වුණත් එළියට යන්නෙ හරි ම සමඟියෙන්.

ඉතින් අන්තිමට මෙහෙ බිල බේරලා අපටත් සළකලා කිසි ගාණක් නැතුව හතර වන දවසෙ දවල් තුන් දෙනා ම පිට වෙලා ගියා. තව අපූරු දෙයක් සිද්ද වුණා. නෝනලා දෙන්නා ජීප් එක ළඟට ගිහින් ගොඩ වෙන්නෙ නැතුව හිටියා. මහත්තයා ජීප් එක ස්ටාට් කළා. ස්ටාට් කර ගෙන ටික වෙලාවක් උන්නා. ඊට පස්සෙ එක නෝන කෙනෙක් අනෙක් නෝනා ව බදා ගෙන ඉම්බා. ඉඹලා ඇඬුවා. අඬමින් ම ජීප් එකේ පිටි පස්සෙ සීට් එකට ගොඩ වුණා. අනෙක් නෝනා ඊට පස්සෙ ඉස්සරහා සීට් එකට ගොඩ වුණා...”

“ඒ අය ගැන කිසි දෙයක් දැන ගත්තෙ නැද්ද ?”

“අපේ බොස් කොළඹට කතා කරලා තත්ත්වය කිවුවා. කොළමින් කිවුවලු ඒ මහත්තයා බොහොම වැදගත් කෙනෙක් කිසි ප්‍රශ්නයක් නෑ. හොඳට සළකන්න කියලා.”

හැමදේම තාවකාලිකයි ලොකු දුව.

ජීවිතය කියන්නේ අවස්ථාවක්.

ඒ අවස්ථාවෙන් අපි මොනවා හරි හොඳ දෙයක් කරන්ඩ ඕනෑ.

ඔයා දන්නවා නේද මං දැනුත් ඉන්නෙ සැහැල්ලුවෙන්.

දයාබර තාත්තාට

මහාචාර්ය සරත් විජේසුරිය

සංවේදී පාඨක අදහස්