පොඩි මහත්තයට පුංචි පහේ තරවටුවක්

පොඩි මහත්තයට පුංචි පහේ තරවටුවක්

කරුණාවතී සහ කුසුමාවතී තවමත් පාසල් යති. ලොකු හාමිනේ ගෙදරින් ගියාට ඔවුන් තුළ ඇත්තේ සතුටකි. ඒ සතුට ලොකු හාමිනේ සමඟ තරහකින් හෝ ඇය ගෙදරින් යනවාට ඇති කර ගත් මනාපයකට නොවේ. එක බඩවැල කඩාගෙන ආ ලොකු අක්කා ගතවූ කාලය තුළ සිය සෞඛ්‍ය තත්ත්වය රැකගෙන විවාහ දිවියට ඇතුළත්වීමට ගත් වෙහෙස දන්නේ නංගිලා දෙදෙනා පමණි. බැරිම තැන යකැදුරෙකුටම ඇය භාර දීමෙන් ලොකු හාමිනේටත් දෙවුන්දර හාමිනේටත් නංගිලා දෙන්නාටත් ලැබුණේ සිතට සැනසිල්ලකි.

කරුණාවතී සහ කුසුමාවතී දෙවුන්දර හාමිනේගේ ඊළඟ බලාපොරොත්තුවයි. ඒ දෙදෙනා ඉගෙනීමට දක්ෂයෝ වෙති. ඒ ගැන අවබෝධයක් දෙවුන්දර හාමිනේට නැත. මළ පොත අකුරක්වත් නොදන්නා ඇය දියණියන්ගේ හැසිරීම් රටාවෙන් ඔවුන් ඉගෙනීමට දක්ෂ අය බව තීරණය කරන්නට ඇත. පොඩ්ඩා හෝ ලොක්කා මෙන් නොව ඒ දෙදෙනා පාසල් යාම නොකඩවා කරති. රෑටත් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරති. ඉගෙන ගත්තද විශේෂ පහසුකම් සපයන්නට දෙවුන්දර හාමිනේට ශක්තියක් නැත. කෙසේ හෝ තුන්වේල නොවරදවා මොනවා හෝ පිළියෙළ කරදීම වරද්දන්නේ නැත.

තරුණ වියේ ගැහැණු ළමයින්ට අද වගේ ප්‍රේම සබඳතා එදා නැත. කෙල්ලක් කොල්ලකු දිහා බලන්නේද බියෙන් හා සැකැයෙනි. බොහෝදුරට පාසලේ ඉගෙන ගන්නා දෙදෙනකු අතර ප්‍රේමයක් ගොඩ නැඟෙන්නේ පෙම් හසුන් සමඟය. ඒ කාලයේ පෙම් හසුන් ලිවීම හා ඒවා අදාළ පෙම්වතාට හෝ පෙම්වතියට භාරදීම මුලතිව් සටනටත් වඩා දුෂ්කරය. භයානකය.

රාත්‍රී කාලයේ දී ගෙදර අයට හොරෙන් ලියුම ලිවිය යුතුය. ඊට පසු කවරයක දමා යාළුවකු හෝ යෙහෙළියක මඟින් පෙම්වතාට හෝ පෙම්වතියට ලිපිය යැවිය යුතුය. පොත් අස්සේ දමා යවන ලිපි බොහෝදුරට පන්තිභාර ගුරුතුමියට අසු වුණොත් ඔක්කොම ඉවරය. ඒ කාලයේ ගුරුවරියන්ද ප්‍රේමය නොහඳුනන ආදර වදන් නොදන්නා ගොරෝසු පිරිසකැයි සිතේ. ඒ නිසා පෙම්පතක් ලිවීම මහා අපරාධයක් සේ ඔවුහු සැලැකූහ.

කරුණාවතී සහ කුසුමාවතී කිසි දිනෙක පෙම් හබ ඇති කර ගන්නේ ද නැත. පෙම් හසුන් ලීවේද නැත. පූර්ණ කාලය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළෝය. එවැනි චෝදනාවක් කිසිම ගුරුවරියකුගෙන් හෝ විදුහල්පතිගෙන් හෝ දෙවුන්දර හාමිනේට ලැබුණේ නැත. ඒ නිසාම දෙවුන්දර හාමිනේට ලොකු සැනසිල්ලකි. කරුණාවතීගෙත් කුසුමාවතීගේත් එකම අරමුණ කවදා හෝ පාසල් ගුරුවරියන් වීමය.

එදා ගමේ ගෙදරක පාසල් ගුරුවරියක් සිටීම ගමටම ආඩම්බරයකි. ඒ නිසා ඒ ආඩම්බරකම බෝගහහේන හරහා ලැබෙන්නේ නම් දෙවුන්දර හාමිනේ අතිශයින් සතුටු වනු ඇත. ඒ සතුට ලබා දෙන්නට කරුණාවතීත් කුසුමාවතීත් සූදානම්ය.

දෙවුන්දර හාමිනේ පවුලේ වෙනත් බලාපොරොත්තු නැත. ලොක්කා කට්ටි පනී. පොඩ්ඩා ඉගෙනීමට ආශාවක් සහ දක්ෂකමක් ඇති බව කුඩා අවදියේ පෙන්නුම් කළේය. එහෙත් තාත්තාගේ දරදඬු නීති නියෝග හා තහංචි නිසා තාත්තා ගෙදර සිටින විට පොඩ්ඩා කාගේවත් කණට ඇහෙන්නට වත් කතා කරන්නේ නැත. රස්තියාදුවේ යන්නේ නැත. රේඩියෝ එකට කන්දීමද තහනම්ය. ගමේ අය එදා රේඩියෝවෙන් බණ අහන්නට රෑ හුළු එළි බැඳගෙන ගමේ ප්‍රජාමණ්ඩලයට යති.

එසේ ගොස් බණ අසා යළි ගෙදර එති. එහෙත් බෝගහහේනේ රේඩියෝ එකක් තිබුණි. එය රවුම් හැඩේ එකකි. එයට කීවේ බැරැක් රේඩියෝව කියලාය. එය වැඩ කරන්නේ විදුලියෙන් නොවේ. විදුලිය ගමට සිහිනයක් පමණි. ඒ නිසා රේඩියෝවට දාන්නේ බැටරි පෙට්ටියකි.

බාලමහත්තයා ගමේ ආවිට රේඩියෝ එක වැඩ කරන්නේ බණට සහ ප්‍රවෘත්ති වලට පමණි. සංගීතමය වැඩ සටහන් සිංදු නාට්‍ය බාලමහත්තයාට අරහන් ය. ඔහු කැමැති දේශීය වන්නම්වලට පමණි. ඒ නිසා ඔහු සිටින දිනවල සද්දෙට දාන්නේ වන්නම් පමණි. බාලමහත්තයා නැති දවස්වලට පොඩි මහත්තයා කණ පැලෙන සද්දෙන් සිංදු අසන්නේය. කරුණාවතී සහ කුසුමාවතී පාඩම් කරන වෙලාවකදී නම් දෙවුන්දර හාමිනේ පොඩි තරවටුවක් දමන්නීය. පොඩි මහත්තයා හෙවත් පොඩ්ඩා පාසල් යන්නේ පටි ජංගියක් ඇඳගෙනය. ඒ ප්‍රාථමික පාසලටය. පටි ජංගිය කලිසමක් නොවේ. කොට්ට උරයක් වගේමය. එය ඔළුවෙන් පහළට බස්සා උරහිසේ පටියකින් ගැට ගසයි. සෙරෙප්පු දාන්නේ ද නැත.

කුඩා වියේදී පටි ජංගිය ඇඳීමෙන් පහසු කම් රාශියක් ඇත. පාසලේ දී පොඩි එවුන්ට ඒ කාලයේ කොකු පණු බෙහෙත් දෙති. කොකු පණු බෙහෙත් පොවා සීනි දැමූ තේ කෝප්පයක් ද දෙයි. එය බී ටික වේලාවකින් මළපහ කළයුතුය. මුළු පාසලේටම නොව කොකු පණු බෙහෙත් දෙන්නේ පුංචි පංතිවල ඉගෙන ගන්නා දරුවන්ගේ වයස් සීමාව අනුවය. ඒ නිසා හැමෝටම යන්නට වැසිකිළි නැත. විදුහල් භූ®මියට අල්ලපු ඉඩම කැලයකි. ඒ නිසා නිදහසේ දරුවන්ට මළපහ කළහැකිය. කොකුපණු දෙන දිනයට දරුවාගේ අම්මා හෝ අක්කා හෝ කෙනෙකු පාසලට යා යුතුමය. ඒ දරුවාගේ පස්සා පැත්ත හේදීමටය. පොඩි මහත්තයාගේ පස්සා පැත්ත හෝදන්නේ ඒ පාසලේම ඉගෙන ගන්නා උකුං හාමිනේය. කරුණාවතී සහ කුසුමාවතී ඒ කාලයේ ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙනුම ලබන නිසා පස්සා හේදීම පැවරී තිබුණේ උකුං හාමිනේටය.

කොකු පණු බෙහෙත බීපු දවසට පාසලෙන් ලැබෙන පාන් කාල සහ කිරි කොස් වෑංජනය හෝ පරිප්පු හොද්ද නොලැබේ. ගෙදර ගිහින් මිරිස් හොද්දක් සමඟ බත් ටිකක් කත හැකිය. ඒ කාලයේ පාසල් දිවා ආහාරය ලෙස ලැබෙන්නේ පාන්ය. පාන් කෑමට කිරි කොස් වෑංජනයක් හෝ පරිප්පු හොද්දක් හදන්නට ආච්චි කෙනෙක් සිටියි.

පන්ති පන්ති වශයෙන් ආච්චි අම්මා වටේ ළමෝ රොක් වෙති. පාන් කාලේ මැද අයින් කොට එතැනට හොදි බෙදා ගනිති.

ඒවා බෙදන්නේ ද ආච්චි ය. ආච්චි දෙතුන් දෙනෙකුට හැඳි මිටි පහර දෙන්නේ පොර කන නිසාය. සමහර දවස්වලට හොදි නැත. හේතුව නොදනී. කොහොම වුණත් විදුහල්පතිගේ වගකීම හැමදාමත් පාන් කන්නට මොනවා හරි දීමය. පරිප්පු වැනි දෙයක් දෙන විට ඒ සඳහා මුදල් වැය වෙයි. වැය වන මුදල ආණ්ඩුව ගෙවයි. සතියේ දින පහෙන් තුනක් හතරක් පරිප්පු දී ඉතිරි දිනවල කොස් වෑංජන දෙන්නේය. කොස් වෑංජනයට වියදමක් නැත. හේතුව කොස් කඩන්නේ පාසල් වත්තේ ගස්වලින් නිසාය. ඒවාට මුදල් වැය නොවේ.

සමහරවිට පාසල් වත්තේ කොස් ටිකටත් ආණ්ඩුවෙන් මුදල් ගන්නවා දැයි සමහරු සැක කරති. පාන් කන්නට වෑංජන නැති නම් කොල්ලන්ගේ ඇස යන්නේ මිරිස් පාත්තියටයි. පාසල් වත්තේ විවිධ වගා කරති. ඒවාට යොදා ගන්නේ පාසල් ළමුන්ය. ළමුන් කෘෂිකර්මයට හුරු කිරීම එහි අරමුණයි. වගා කරන හැම දෙයක්ම පාසල් දරුවන්ගේ ශ්‍රමයයි. එහෙත් ඒ ශ්‍රමයෙන් දහදියෙන් නිෂ්පාදනය වන සියලු වර්ග යන්නේ විදුහල්පතිගේ ගෙදරටයි.

ඒවා වාහනයකින් ගෙන යන්නේ ද නැත. පාසල් දරුවෝ අල, බතල, මයියොක්කා, බණ්ඩක්කා, වම්බටු, මිරිස් ආදිය කූඩාවල හෝ පනිට්ටුවල හෝ දමා ඔසවාගෙන යති. බතල ගෙඩියක, මයියොක්කා අලයක, බණ්ඩක්කා කරලක අතරමැද දී රස බැලුවොත් විදුහල්පතිගෙන් ඔවුන්ට ලැබෙන්නේ වේවැල් කසායයි.

“පොඩි මහත්තයාගේ පාසල් ජීවිතයෙන් බිඳක්” ලබන සතියේ කියවන්න.