චිලී රටේ වීර කෙල්ල

චිලී රටේ වීර කෙල්ල

අවුරුදු දොළහක් වයසැති මාර්ටිනා මතුරානා martina Maturana අද චිලි රටේ සිටින බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන්නේ පුංචි වීරවරියක ලෙසිනි. ඇය ජීවත්වෙන්නේ චිලී මුහුදු වෙරළේ සිට සැතපුම් හාර සියයක් පමණ ඈත රොබින්සන් කෲසෝ නැමැති දූපතේ ය. මෙයට ටික දිනකට ඉහතදී ඇය ජීවිත සිය ගණනක් බේරා ගනිමින් වීර ක්‍රියාවක් කළාය. මාර්ටිනා අද එරට පුංචි වීර වරියක වී සිටින්නේ මේ වීර ක්‍රියාව හේතුවෙනි.

වේලාව පාන්දර එක හමාරට පමණ ඇත. සැප නින්දක පසුවෙමින් සිටි මාර්ටිනා ගැස්සී හදිසියේම අවදි වූයේ කිසියම් දෙදරීමකිනි. දෙදරීම කුමක්දැයි පුංචි මාර්ටිනාට තේරුම් ගැනීමට නොහැකි විය. වහා නැගී සිටි ඇය පියා අවදි කළාය. කිසියම් දෙදරීමක් ඇසුණු බවත් එය කුමක් දැයි සොයා බලන ලෙසත් ඇය සිය පියාවන ඉන්නාසියෝ ගෙන් ඉල්ලා සිටියා ය. ඒ සමඟම නිවසේ අනිත් අයත් අවදි වූහ.

නින්දෙන් අවදි වූ ඔවුන්ට එළියේ කිසියම් අදහා ගැනීමට බැරි දෙයක් සිදු වෙමින් පවතින බව ඉවෙන් මෙන් දැනිණ. සියලු දෙනාම කිසියම් දෙයක් දැක තැති ගන්නාක් මෙන් බියෙන් ගැහෙන්නට වූහ. කවුරුත් එළියට යෑමට බියක් දැක්වූහ. මේ අතර පුංචි මාර්ටිනා ජනේලයෙන් මුහුද දෙසට නෙත් යොමු කළාය. ඇයගේ නිවස අසල බෝට්ටු නතර කිරීම සඳහා තොටුපොළක් ඇත.

තොටුපළේ නවතා තිබෙන සියලුම බෝට්ටු ඉතා වේගයෙන් ඒ මේ අත පැද්දෙන බවත් ඉතා වේගයෙන් එකිනෙකට හැප්පෙන බවත් පුංචි මාර්ටිනාට දැක ගන්නට ලැබිණ. ඒ සමඟම මුහුදේ රළ පහරද වෙනදාට වඩා ඉහළ යන බවක් ඇයට අඩ අඳුරේ දැක ගන්නට ලැබිණි.

ඇය තොටුපොළේ සිදුවන අපූරු සිද්ධිය ගැන සිය පියාටත් නිවසේ අනිත් අයටත් දන්වා සිටියාය. තොටුපොළේ සිදුවන සිද්ධිය දැක කවුරුත් කලබල වූහ.

තව මොහොතකින් මේ පෙදෙස තුළ විශාල භූ®මිකම්පා සුනාමියක් සිදුවෙන බව ඔවුනට ඉවෙන් මෙන් දැනිණි. එළියේ සිදුවන දෙයින් පෙනී යන්නේ කොයි මොහොතක හෝ එවැනි දෙයක් සිදුවීමට අර අඳීන බවකි. මීට ඉහත සිදු වූ භූමිකම්පාවකින් ද චිලී රට තුළ මහා විනාශයක් සිදු විය.

රොබින්සන් කෲසෝ දූපතේ හත්සියයකට වැඩි පිරිසක් ජීවත් වෙති. මේ වන විට හැම දෙනෙකුම සිටියේ මර නින්දේය. තව මොහොතකින් ඇතිවෙන මහා භූමිකම්පා සුනාමියෙන් මේ සියලු දෙනාම පොළව යටට වැලළී යනු ඇතැයි පුංචි මාර්ටිනාට කල්පනා විය. තමන්ගේ නෑ පරපුර බේරා ගැනීමට නම් වහාම ක්‍රියාත්මක විය යුතුය. ඇය විදුලි පහන් එළියේම පාරට බැස්සාය. භූ®මිකම්පාවක් හෝ සුනාමියක් හෝ වැනි අනතුරක් සිදුවෙන විට එය මෙම දූපතේ වෙසෙන අයට දැනුම් දීම සඳහා එන් තැනක විශාල ඝන්ඨාරයක් ඉදිකර ඇත. ඝන්ඨාරය වදින විට සියල්ලෝම අනතුරක් බව දැන ගනිති.

පාරට පැන්න මාර්ටිනා අඩ අඳුරේම දුවන්නට පටන් ගත්තාය. ඇය මේ දුවන්නේ ඝණ්ඨාරය සවිකර තිබෙන ස්ථානයටය. ඇයගේ නිවසේ සිට මීටර් 400 ක් දුරින් වූ ස්ථානයක එය සවිකර ඇත.

අඬ අඳුරේම ඝණ්ඨාරය සවිකර තිබුණ තැනට දුව ගිය මාර්ටිනා ඉන්පසු එය නාද කිරීමට පටන් ගත්තාය. මේ ඝණ්ඨාරය නාද කළ යුත්තේ කිසියම් ක්‍රමවේදයකට අනුව ය. ගින්න කට නම් එය දෙවරක් නාද කළ යුතු ය. නාය යෑමක් නම් එය තුන්වරක් නාද කළ යුතුය. එහෙත් මේ ක්‍රම වේදය නොදැන සිට මාර්ටිනා ඝාණ්ඨාරය නොනවත්වාම නාද කිරීමට පටන් ගත්තාය.

ඝණ්ඨාර නාදය රොබින් කෲසෝ දූපතේ අස්සක් මුල්ලක් නෑර පැතිරී යෑමට පටන් ගත්තේය. ඒ සමඟම තද නින්දේ පසු වූ දූපත් වැසියන් තැති ගෙන ඔවුනගේ නිවෙස්වල වූ පුංචි සීනු නාදකරමින් විශාල අනතුරක් සිදුවීමට යන බව දූපතේ සිටි සියලුම ධීවරයින්ට දන්වා සිටියහ.

මෙම දූපතේ ධීවර පවුල් 400 ක් පමණ ජීවත් වෙති. ඝණ්ඨාර නාදයත් සමඟම අවදි වූ ධීවරයෝ සුනාමියක් සමඟ භූමිකම්පාවක් ඇතිවීමට යන බව මුහුදෙන් නැඟී ආ උදම් රළෙන් දැන ගත්හ. තැතිගත් ඔවුහු අතට අසු වූ හැම දෙයක්ම රැගෙන ආරක්ෂක ස්ථාන කරා දුවන්නට පටන් ගත්හ. දුවන ගමන් සමහරු මර ලතෝනි දීමට පටන්ගත්හ.

මුහුදේ පෙරළමින් නැඟී ආ උදම් රළ අඩි පහළොවක් පමණ ඉහළට නැග්ගේ ය. එය ගෙවල් දොරවල් ද ගස් කොළං ද සතා සිවුපාවුන්ද යට කරගෙන ගොඩට ගලා ඒමට පටන්ගත්තේය. මෙම භූමි කම්පා සුනාමියෙන් විශාල පිරිසක් මිය ගිය අතර රොබින්සන් කෲසෝ දූපතම සුංබුං ගොඩක් බවට පත්විය.

මේ දූපතේ දහස් ගණනක් ධීවරයෝ ජීවත් වූහ. කීපදෙනෙකු හැරෙන විට අන් සියලු දෙනා ජීවිතය ගලවා ගත්තේ පුංචි මාර්ටිනා එම මොහොතේ ස්ථානොචිතව කටයුතු කළ හෙයිනි. මේ මොහොතේ භූමිකම්පා – සුනාමියක් එන බවත් මාර්ටිනා හෝ ඇගේ පියා හෝ දූපතේ අනිත් අය හෝ නොදැන සිටියහ.

ගෙතුළ සිට අඩ අඳුරේ මුහුද දෙස බැලූ මාර්ටිනාට තොටුපොළේ කිසියම් අද්භූත දෙයක් සිදුවෙමින් පවතින බව දැක ගන්නට ලැබෙනවා. ඇයගේ යටි හිත කීවේ භූ®කම්පා – සුනාමියකට පරිසරය සූදානම් වෙන බවයි.

කිසිවෙකුගෙන් උපදෙසක් හෝ අනක් හෝ නොලැබූ ඇය මේ බිහිසුණු අනතුරු නින්දේ සිටින ගම්වැසියන්ට දැනුම් දිය හැක්කේ ඝණ්ඨාව නාදකිරීමෙන් බව තේරුම් ගත්තාය. පුංචි ඇය මහ මඟට බැස දුවන්නට පටන් ගත්තේ එම අදහසනි.

මෙම අනතුරෙන් රොබින්සන් කෲසෝ දූපතේ තිබුණ නිවාස කුඩු පට්ටම් වී ගොස් තිබිණ. ඉතිරි නිවාසද භාගෙට කැඩී බිදී ගොස් තිබිණ.

භූ කම්පා සුනාමියෙන් පසු විනාශ වූ ධීවර ගම්මානය නැරැඹීමට පැමිණි චිලී රටේ ආණ්ඩුකාර රිකාඩෝ බ්‍රාවෝ පුංචි මාර්ටින් සොයා යෑමටද අමතක නොකළේ ය. පුංචි මාර්ටිනා මතුරානා නොසිටින්න මේ දූපතේ ජීවත් වූ සියලුම වැසියන් මිය යෑමට ඉඩ තිබුණු බවත් මාර්ටිනා කළ වීර ක්‍රියාව නිසා ඔවුන්ගේ ජීවිත බේරුණ බවත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය. පසු කලකදී මාර්ටිනා වෙනුවෙන් උපහාර උළෙලක්ද පවත්වන ලදී.

එක් දිනකින් මාර්ටිනා මතුරානා චිලී රටේ ජාතික වීරවරියක බව ට පත්වූයේ ඔය ආකාරයෙනි.

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ආතර්. යූ අමරසේන ලියයි

සංවේදී පාඨක අදහස්