සුදානම් වන්න කියාදී බාලයන් දක්ෂයන් කළ බී. පී.

සුදානම් වන්න කියාදී බාලයන් දක්ෂයන් කළ බී. පී.

වි ශි ෂ් ට ය කු ගේ ඡා යා රූ ප ම ත ක ය

ඔහු සෑම දරුවකුගේම ආත්මය සොයා ගැනීමට වෙහෙසුණේය. ඒ ආත්මයන්ට ආලෝකය ලබා දීමට ජීවිතය කැප කළේය. ලෝකයේ සෑම දරුවකුම එක හා සමාන බව එකම නිල ඇඳුමක් අන්දවා කියා පෑවේය. බේඩ්න් පවල් සාමි මේ උතුම් පුද්ගලයාගේ නමයි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ ඔහුයි.

වර්තමානයේදී රටවල් 216 කට වැඩි ගණනක මිලියන 38 කට වැඩි දරුවන් පිරිසක් බේඩ්න් පවල් සාමි පෙන් වූ මඟ ගමන් කරති.

රොබට් ස්ටෙෆන්සන් ස්මිත් පවල්, මේ අමරණීය පුද්ගලයාගේ උපන් නමයි. ඔහු කුඩා කල වඩාත් ජනප්‍රිය වූයේ ස්ටෙෆී පවල් ලෙසිනි. ඔහුගේ පියා බේඩ්න් පවල් ඔක්ස්ෆර්ඩ් සරසවියේ, ජ්‍යාමිතිය පිළිබඳ සැවිලියානු මහාචාර්යවරයකු විය. පූජකවරයකු වූ ඔහු බේඩ්න්ට වයස අවුරුදු තුනක් වන විට මිය ගියේය. බේඩ්න් ගේ මව හෙන්රීටා ග්‍රේස් ස්මිත්, පියාගේ තෙවැනි බිරියයි. ඇය ඉතා ධෛර්යය සම්පන්න කාන්තාවක් වූවාය. සැමියාගේ කලින් විවාහයන්ගේ දරුවන්ට ද, බේඩ්න් ඇතුළු තම දරුවන් තිදෙනාට ද හොඳ අධ්‍යාපනයක් ලබා දීම ඇයගේ එකම අරමුණ විය.

1933 දී බේඩ්න් පවල් මව ගැන කළ ප්‍රකාශය ඇයගේ දිරිමත් බවට ඇති හොඳම සාක්ෂියයි. ‘මගේ සාර්ථකත්වය මගේ මවයි’ ඔහුගේ ඒ ප්‍රකාශයයි.

ඉගෙනුමට දක්ෂයකු වූ බේඩ්න්ට ශිෂ්‍යත්වයක් ලැබ උසස් පාසලකට යාමට වරම් ලැබුණි. ඔහුගේ බාලදක්ෂ හැකියාවන් මුල්වරට එළි දැක් වුණේ චාටර් හවුස් නම් උසස් ගණයේ පාසලේ ඉගෙනුම ලබන කාලයේදීයි. ගුරුවරුන් තහනම් කර තිබියදීත් ඔහු පාසල අසල කැලෑවට ගොස් ආහාර සොයා ගෙනවිත් පිසුවේය.

ඔහු ඉගෙනීමට වගේම සකල කලාවන්ට ද දක්ෂයකු විය. පියානෝව, වයලීනය වාදනය කිරීමට, චිත්‍ර ඇඳීමට වාගේම රඟපෑමට ද සමත්කම් පෑවේය. නිවාඩු කාලයේදී ඔහු විනෝද වූයේ සොයුරන් සමඟ බෝට්ටු පැදීමෙනි.

1876 දී අධ්‍යාපන කටයුතු අවසන් කර ඔහු ලුතිනන්වරයකු ලෙස හමුදාවට බැඳුණේය. නව රැකියාවෙන් ද බාලදක්ෂ ව්‍යාපාරයට අවශ්‍ය කුසලතා වැඩි දියුණු කර ගැනීමට ලැබුණි. හමුදා නිලධාරියකු වශයෙන් සේවය කරද්දී ඔහු හොර රහසේ සමනළයන් එක් රැස් කර සමනළ තටු සිතුවමට නැඟුවේය.

1910 දී ලුතිනන් ජෙනරල් බේඩ්න් පවල් ලෙස හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තේ තම සිතෙහි මේ වන විට මුල් බැස ගෙන තිබූ බාලදක්ෂ ව්‍යාපාරය වැඩි දියුණු කිරීමේ බලාපොරොත්තුවෙනුයි. ඒ කාලයේ ඔහු අප්‍රිකානු යුද්ධයේ වීරවරයකු ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර පිළිගැනීමක් විය.

ඔහු 1903 දී ලියූ ‘ඒඩ්ස් ටු ස්කවුටිං’ කෘතිය මේ වන විට විශාල ලෙසින් අලෙවි වෙමින් තිබුණි. 1908 දී ඔහු නව යෞවනයන්ට ගැළපෙන පරිදි, කලින් කෘතිය ප්‍රතිසංස්කරණය කර, ‘ස්කවුටිං ෆො බෝයිස්’ නමින් කෘතියක් ප්‍රකාශයට පත් කළේය. එම කෘතියෙහි පිටපත් මිලියන 150 ක් පමණ අලෙවි වී ඇති අතර එය විසිවැනි සියවසේ වැඩියෙන්ම අලෙවි වූ කෘති අතර සිව්වැනි ස්ථානය ගෙන තිබේ.

බාලදක්ෂ ව්‍යාපාරය ඔහු සිය මවු බිම වූ එංගලන්තයෙන් 1907 දී ඇරැඹුවේය. පිරිමි ළමයින් මෙන්ම ගැහැනු ළමයින් ද බාලදක්ෂ ව්‍යාපාරය වටා පෙළ ගැසුණි. 1909 දී ලන්ඩන් නුවර ක්‍රිස්ටල් මාලිගයේදී බාලදක්ෂ රැළියක් පැවැත් වුණි. එහිදී බාලදක්ෂිකා ව්‍යාපාරයට මුළ පිරුණත් නිල වශයෙන් එය ඇරැඹුණේ 1910 දී බේඩ්න්ගේ සොයුරිය ඇග්නස්ගේ මූලිකත්වයෙනි. ඔහුගේ මිතුරකු වූ ජුලියට් ගෝඩ්න් ලෝ අමෙරිකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරය ඇරැඹීමට මුල් වූයේය.

පළමු ලෝක බාලදක්ෂ ජම්බෝරිය 1920 දී ඔලිම්පියාවේදී පැවැත් වුණි. එහිදී බේඩ්න් පවල්, ලොව බාලදක්ෂ ප්‍රධානියා බවට පත් විය.

බේඩ්න්ට සිය අනාගත බිරිය මුණ ගැසුණේ 1912 දී බාලදක්ෂ ව්‍යාපාරය සම්බන්ධ ලෝක චාරිකාවක යෙදී සිටියදීය. ඒ වන විට ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් සෝම්ස් නම් වූ ඇයට වයස අවුරුදු විසි තුනක් විය. බේඩ්න් පනස් පස් හැවිරිදි විය. බේඩ්න් ලෝක ප්‍රසිද්ධ අයකු වූ නිසා 1912 ඔක්තෝබර් 31 වැනි දින දෙදෙනා හොර රහසේම විවාහ වූහ. එංගලන්තයේ සෑම බාලදක්ෂයකුම පැන්සය බැගින් එක් කර, දෙදෙනාට මංගල තිළිණය ලෙස කාරයක් ලබා දෙන ලදී.

බේඩ්න් සහ ඔලෙව් දරුවන් තිදෙනකුගේ මවුපියෝ වූහ. දෙදෙනාගේම උපන් දිනය පෙබරවාරි 22 ට යෙදී තිබුණු අතර අද බාලදක්ෂ නිර්මාතෘ දිනය වශයෙන් සලකන්නේද පෙබරවාරි 22 වැනි දිනයි. බී. පී. බාලදක්ෂයන් ඔහුට දුන් ආදරණීය කෙටි නාමයයි.

1941 ජනවාරි 8 වැනිදා කෙන්යාවේදී මහා සද් ව්‍යාපාරයක් හඳුන්වා දුන් බේඩ්න් පවල් මිය ගියේය. දැන් දෙදෙනාගේම අළු කෙන්යාවේ සොහොන් ගැබක තැන්පත් කර ඇත. පවල් සොහොන් ගැබ අද එරට ජාතික සිහිවටනයකි.

අන්තර්ජාලයෙනි