නව ඔපෙක් ලොක්කා අමෙරිකාවට අභියෝගයක්

නව ඔපෙක් ලොක්කා අමෙරිකාවට අභියෝගයක්

ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියෙක් වන රොස්තව් සසේමි, ඔපෙක් OPEC සංවිධානයේ නව සභාපතිවරයා ලෙස පත්ව සිටියි. ඉකුත් සතියේදී ජනාධිපති මොහොමඩ් අහමදීන්ජාඩ්ගේ රජයේ ඛණිජතෙල් අමාත්‍යවරයා ලෙස ඔහු කැබිනට් මණ්ඩලයට එක්විය.

මේ වනවිට ඔපෙක් සභාපති ධුරය ඉරානයට හිමිවී තිබෙන නිසා සසේවි මේ තනතුර සඳහා පත්ව ඇත්තේ නිරායාසයෙනි. ඉරානයට මෙන්ම සසේමි ට ද එරෙහිව අන්තර්ජාතික සම්බාධක ක්‍රියාත්මකව තිබියදී ඔහු ලෝක තෙල් වෙළෙඳපොළ තීරණය කරන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත්වීම විශේෂ කාරණයකි.

රොස්තව් සසේවි ඛාටම් අල් - අන්බියා නමින් හැඳින්වෙන හමුදාවේ ප්‍රධානියායි. කාර්මික කඳවුරද ඔහු යටතේ පවති. ජනාධිපති අහමදින්ජාඩ් විසින් ඔහු සහ තවත් තිදෙනෙකු සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස නම් කළේය. එරට පාර්ලිමේන්තුව විසින් එම පත්කිරීම් අනුමත කරන ලදී.

සසේමිට එරෙහිව අමෙරිකා යුරෝපා සහ ඕස්ට්‍රේලියා රටවල් සම්බාධක පනවා තිබේ. අමෙරිකා භාණ්ඩාගාරය සහ බටහිර බලවතුන් විසින් ඔහුගේ වත්කම් තහනම් කර ඇත. මේ පසුබිම තුළ ආසන 290 කින් යුතු ඉරාන පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 246 දෙනෙකුගෙන් 216 කගේම කැමැත්ත සසේමි සහ සෙසු සාමාජිකයන් වෙත පළ වී තිබිණ.

ඉරාන පාර්ලිමේන්තුව ලබාදුන් මේ තීරණය එරටට එරෙහි සම්බාධක වලට දැක්වූ ප්‍රතිචාරයක් බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි. ඉරානයට එරෙහි ජාත්‍යන්තර සම්බාධක මගින් පැහැදිලිව ඉලක්ක කෙරෙන්නේ ඉරාන විප්ලවීය හමුදාව සහ එරට න්‍යෂ්ටික වැඩසටහනයි.

සසේමි කැබිනට් මණ්ඩල සාමාජිකයකු ලෙස පත්වීම පිළිබඳ ඉරානයේ Fars ප්‍රවෘත්ති සේවයට අදහස් දැක්වූ විප්ලවීය හමුදාවේ මහජන සම්බන්ධතා ඒකකයේ ප්‍රධානී රාමදාන් ෂරීෆ් ට අනුව, ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සසේමිට පක්‍ෂව ඉතා බුද්ධිමත් සහ තීරණාත්මක ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම බටහිර මාධ්‍ය අධිරාජ්‍ය විසින් ඉරාන විප්ලවීය හමුදාවට නිරන්තරයෙන් එල්ල කරන ප්‍රචාරාත්මක ප්‍රහාර සඳහා කදිම පිළිතුරකි. එය ඉතාමත් අර්ථාන්විත සහ වැදගත් තීරණයක් බව ඔහුගේ අදහසය.

එසේවුවද සසේමි ඇතුළු ඉරාන විප්ලවීය හමුදාවේ සාමජිකයන් කැබිනට් මණ්ඩලයට නම් කිරීමට පෙර ඒ පිළිබඳ පැවැති පාර්ලිමේන්තු විවාදයේදී මුල්පෙළේ කොන්සර්වේටිව්වාදී මන්ත්‍රීවරයකු වන අලි මොතාහාරී එම තීරණය විවේචනය කළේය. විප්ලවීය හමුදාවේ සාමාජිකයන් ඉරාන දේශපාලනයට මැදිහත්වීම අනුමත කළ නොහැකි බව ඔහුගේ අදහසයි.

ඔවුන් දේශපාලන තන්ත්‍රයට ඇතුළත් වන්නේ හමුදා නිලධාරීන් ලෙස බවත් දේශපාලන හෝ ආර්ථික බලය පිළිබඳ කාරණා ක්‍රමයේ යහපතට යෙදවීම ගැන ඔවුන්ට අදහසක් නැති බවත් ඔහු පෙන්වා දී තිබිණි. අසල්වැසි රටවල හමුදා නිලධාරීන් ඔවුන් විසින්ම දේශපාලන තන්ත්‍රය හා බලය පිළිබඳ කාරණයෙන් ඈත්ව සිටීමට කැමැත්තක් දක්වන නමුත් ඉරානයේ සිදුවන්නේ එහි අනෙක් පැත්ත බව මොතාහාරිගේ අදහසයි. එහෙත් සසේමි සහ විප්ලවීය හමුදාවේ සෙසු සාමාජිකයන්ගේ කැබිනට් පත්කිරීම් අනුමත කළ ඉරාන පාර්ලිමේන්තුව කොන්සර්වෙටිව් මතවාදයට නැඹුරුවූවක් බව සැලකිය යුතුය.

ලෝක වෙළෙඳපොළේ ඛනිජතෙල් මිල ගණන් තීරණය කිරීම සහ තෙල් නිෂ්පාදනයට අදාළව ඔපෙක් සභාපතිවරයා ලෙස ඉරාන නව ඛනිජතෙල් අමාත්‍යවරයාට තීරණාත්මක කාර්යභාරයක් පැවරේ.

එය විශේෂයෙන්ම ඉරානයට එරෙහිව සම්බාධක පනවා ඇති බලවත් රටවල සතුටට හේතු නොවන බව පැහැදිලි කාරණයකි. එහෙත්, ඊට එරෙහිව ඔවුන්ට කළ හැකි දෙයක් නැත. මේ පත්වීම සිදුවී ඇත්තේ නිතැතින්ම වන බැවිනි.

ලොව දෙවැනි විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදකයා වන්නේ ද ඉරානයයි. ඔපෙක් සභාපති ධුරය ඉකුත් ඔක්තෝබරයේදී එරටට ලැබුණේ වසර 36 කට පසුවයි. අමෙරිකාව සහ බටහිර බලවතුන්ගේ දැඩි පීඩනය හමුවේ නොසැලී සිටීමේදී ඔපෙක් සභාපති ධුරය ද ඉරානයට ආශිර්වාදයකි. එම සභාපති ධුරය සඳහා විප්ලවීව හමුදාවේ ප්‍රධානියකු පත්වීම මඟින් ජාත්‍යන්තර තලය තුළද යම් විශාල බලපෑමක් ඇති කිරීමට ඔවුන්ට හැකිවී තිබේ.

ඉරානයට එරෙහි සම්බාධක ක්‍රියාත්මක කිරීමේදී බලවත් ජාතීන් පෙරට දමන ප්‍රධාන චෝදනාවක් නම් ඉරානය න්‍යෂ්ටික අවි තැනීමේ යෙදී සිටින බවයි. එහෙත් මුල පටන්ම ඉරානය මේ චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කර ඇත. තම න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින්ම බලශක්ති උත්පාදනය අරමුණු කරන ලද්දක් බව ඉරානය අවධාරණය කර ඇත.

එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන අමෙරිකාව සහ බලවත් ජාතීන් ඉරානයට එරෙහි යුදමය මැදිහත්වීමක් කිරීමට පෙලඹෙතැයි පසුගිය වකවානුවේ බිය පළවී තිබිණි. ඇෆ්ගනිස්ථානයට සහ ඉරාකයට පසු ඔවුන් හැරෙන්නේ ඉරානය දෙසට ද යන්න ලෝකයේ අවධානයට ලක්විය.

ජනාධිපති අහමදින්ජාඩ් අමෙරිකාවට හෝ බටහිර ජාතීන්ට අවනත කරගත හැකි අන්දමේ නායකයකු නොවීමද ඉරානය දෙසට ඔවුන්ගේ උකුසු ඇස් එල්ලවීම හා සම්බන්ධ ය. එහෙත්, වඩා පැහැදිලි වුවමනාව ඛනිජ තෙල් බව රහසක් නොවේ. දැන් ඉරානය ඔපෙක් සභාපති ධුරය දරමින් සිටියදී ඉහත වුවමනාවන් පෙරදැරිව යම් ක්‍රියාමාර්ගයක් කරා යාමට පෙර බලවත් ජාතීන්ට දෙවරක් සිතීමට සිදුවනු ඇත.