ආදරය නෑ එකවගේ

හැරී හඳට යන්න ට්‍රයි කරයි!

හමුදා නියමුවරයෙක් වන 26 හැවිරිදි හැරී කුමරු ගගනගාමියකු වීමට පෙරුම් පුරමින් සිටිනවා. ඔහු ඒ සුදුසුකම සපුරා ගැනීම සඳහා නාසා ආයතනයේ පුහුණුවට අයදුම් පත්‍ර යොමුකර අවසන්.

මේ පිළිබඳ සමහර පුද්ගලයන් අදහස් දක්වමින් පවසා සිටින්නේ, එය පුද්ගලයකු තබන එක් පියවරක් වුවත්, යෝධ පිම්මක් වශයෙන් හැඳින්වීමට පුළුවන් බවයි.

හැරීගේ හිතමිතුරන් පවසන පරිදි තමාගේ මේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔහු දැඩි ධෛර්යයකින් පසුවෙනවා.

ඉදිරියේදී කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන “වර්ජින් ගැලැක්ටික්” නමැති යානයේ ප්‍රථම ගමන සඳහා ම තමාව එක්කර ගන්නා ලෙස, සර් රිචර්ඩ් බ්‍රාන්සන්ගේ පුතු වන සෑම් හට හැරී පවසා ඇති බවත් මේ අතර වාර්තා වී තිබෙනවා.

ලබන වසරේදී තමාගේ ඇෆ්ගනිස්ථාන සංචාරයෙන් අනතුරුව, එක්සත් රාජධානියේ අජටාකාශගාමී වැඩසටහනේ ආඩම්බරකාර, ගෞරවාන්විත සාමාජිකයකු බවට පත් වීමට තමා අපේක්‍ෂා කරගෙන සිටින බව මේ අතර හැරී කුමරු පවසා සිටියා.

නාසා ආයතනය පවසන පරිදි හැරී කුමරු හට සිය පුහුණුව සාර්ථක කිරීම සඳහා අවම වශයෙන් පැය 1000 ක පුහුණුවක් අවශ්‍යයි.

මේ වනවිට රාජකීය හමුදාවට අයත් ගුවන් නියමු පුහුණුවීම් කටයුතු සිදුකර, එහි ශ්‍රේණිවලට පවා උසස්වීම් ලැබ සිටින හැරී හට, අජටාකාශගත වූ ප්‍රථම රාජකීයයා වීමේ සිහිනයක් හටගෙන තිබෙනවා.

සඳ මත රාජකීය කොඩිය ලෙළ දීමට හැරීට හැකියාවක් ලැබේද යන්න පිළිබඳ විමසා සිටි විට රාජකීය පවුලේ ආරංචි මාර්ග පවසා ඇත්තේ ගගනගාමී පුහුණුවීම්වල අධ්‍යයන කොටසක් වන සාගර විද්‍යාව සහ භූමි සාගර නිරීක්‍ෂණය පිළිබඳ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කර ඇති හැරී හට මේ පිළිබඳ හැදෑරීම අපහසු නොවන බවයි.

“හමුදා සේවයේදී හැරී ඔහුගේ හැකියාව හොඳින් පෙන්නුම් කර තිබෙනවා. සඳ මත ඇවිදීමට අවස්ථාවක් හමුදා සේවයේදී ලැබෙන්නේ නෑ. ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට නම් නාසා ආයතනයට ම යා යුතුයි.” හැරීගේ සඳ මතට යාමේ සිහිනය පිළිබඳ අදහස් දක්වමින් හමුදාවේ උසස් නිලධාරියකු පවසා සිටියේ ඒ ආකාරයටයි.

හැරී හඳට යයිද? ඒක සිහිනයක් පමණක් වෙයිද? මෙතෙක් රාජකීයයාගේ සිහිනය පිළිබඳ නොදැන සිටි බොහෝ පිරිස් මේ පිළිබඳ සිය අවධානය යොමුකර තිබෙනවා.


ෆේස්බුක් අවුලක

‘ෆේස්බුක්’ කියන්නෙ අද වනවිට අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන බොහෝ දෙනා අතර ජනප්‍රිය වූවක්. එය කෙතරම් ජනප්‍රිය ද කිව්වොත් ෆේස්බුක්වලට ඇබ්බැහිවූවන්ට දවසෙ කාලවේලාව යනවා තේරෙන්නේ නෑ.

මේ දිනවල ෆේස්බුක් සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙනවා. මෙතෙක් කාලයක් එහි හිමිකරුවා බවට ප්‍රකාශ වුණේ මාර්ක් සකර්බර්ග්.

ඒත් පසුගිය දා පෝල් සෙග්ලියා නමැති කාන්තාව ප්‍රකාශ කර සිටියේ ෆේස්බුක් සම්බන්ධයෙන් තමා සහ සකබර්ග් අතර ගිවිසුමක් පැවැති බවයි. තමා ෆේස්බුක්වල නඩත්තු කටයුතු දිගින් දිගට ම කරගෙන ගිය බවත්, ෆේස්බුක් සමාජජාලා අඩවියෙන් වැඩි කොටසක් සැකසීම සඳහා තමා දායක වූ බවත් ඇය පවසනවා. තමා සැකසූ එම කොටස් මේ වන විට බිලියන ගණනක් වටිනා බවත් ඇගේ අදහසයි.

මේ පිළිබඳ අදහස් දක්වන නීතිඥයන් පවසා සිටින්නේ මේ දෙදෙනා අතර පැවැති ගිවිසුම ‘විශ්වසනීය ගිවිසුමක් වන බවයි.

මේ අතර ෆේස්බුක් හි වෙළෙඳ සංවර්ධන අධ්‍යක්ෂිකාව වූ රන්දි සකබර්ග්, සිය තනතුරින් ඉල්ලා අස්වන බවට වන ලිපිය, සිය සොයුරු මාර්ක් සකබර්ග් වෙත ලබා දී තිබෙනවා. ඇය ‘අබධල’ නමින් මාධ්‍ය ආයතනයක් ආරම්භ කර, වෙනම ම සමාජ ජාලා වෙබ් අඩවියක් සකස් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

‘මං ෆේස්බුක් සඳහා කළ සේවය ගැන ආඩම්බරයෙන් ඉන්නෙ. මං දන්නවා මෙයින් පිටතට ගිහින් මගේ ම දෙයක් පිළිබඳ සිතුවොත්, මීට වඩා මෙහෙවරක් කරන්න පුළුවන් වෙයි කියලා.’ රන්දි පවසනවා.

එහෙත් මෙතෙක් තමා කරන්න යන දේ පිළිබඳ ඇයට අරමුණක් නැති බවත්, ආයතනය සඳහා සේවකයන් බඳවාගෙන නැති බවත් සමහරුන් ගේ අදහසයි.

‘මං මගේ මුළු හදවතින් ම ෆේස්බුක් සමාජජාලා අඩවිය සඳහා අවුරුදු හයක් පුරා දායකත්වය සැපැයූවා. මං මගේ ආත්මයම ඒ සඳහ කැප කළා. මං මගේ අත්දැකීම් අනුව නව සංකල්ප ඔස්සේ ඉදිරියට යාමට අදහස් කරගෙනයි සිටින්නෙ. ඒ නිසා මගේ සොහොයුරු ගේ ආයතනයෙන් මං ඉවත් වුණා.’ ඇය ෆේස්බුක්වලින් සමුගැනීමට ගත් තීරණය පිළිබඳ අදහස් දක්වා සිටියේ ඒ ආකාරයටයි.


සල්ලි නැතිදා අගමැති ජොලියෙන්

ඩේවිඩ් කැමරන් පසුගිය දිනවල ගතකළේ විවේකී සුවයෙන්. සිය බිරිය, හිත මිතුරන් සහ ඥාතීන් කැටුව ටස්කර්නි වෙත ගිය ඔහු, අමුතු ප්‍රබෝධයකින් යුතුව ගත කළා.

මේ වන විට අමෙරිකාව, එංගලන්තය වැනි රටවල පවත්නා ආර්ථික අර්බුදය හමුවේ, එම රටවල වැසියන් ගැටලු රාශියකට මුහුණ දී තිබෙනවා. බැරැක් ඔබාමා පවා මේ ගැටලු විසැඳීමට මැදිහත්ව කටයුතු කරනවා. එහෙත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා, මේ පිළිබඳ වගේ වගක් නැතිව සිටින බවට ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වෙලා.

සති දෙකක විවේක කාලය තුළ ඔවුන් ටෙනිස් ක්‍රීඩාවට යොමු වුණා. දිනක් තුළ උදේ වරුවේ පැය දෙකක් ටෙනිස් ක්‍රීඩාව සඳහා යෙදවීමට කැමරන් කටයුතු කරලා. ඒ සඳහා ඔවුන්ට ඇල්බර්ටෝ ෆ‍්‍රාන්කලන්සි නමැති පුහුණුකරුගේ සහය ලැබී තිබෙනවා.

”කැමරන්ට පුහුණු කරන්නෙ එක සතියක් පමණයි කියලා මං කියලා තිබුණා. දෙවැනි සතියේදී ටෙනිස් පුහුණුව සඳහා බ්‍රිතාන්‍ය පුහුණුකරුවකු ගෙන්වා දෙන බවට මා පොරොන්දු වුණා. කැමරන් කියන්නෙ ටෙනිස්වලට හොඳ ක්‍රීඩකයෙක්” ඉතාලි ජාතික පුහුණුකරු ඇල්බර්ටෝ පවසනවා.

මේ අතර පැපරාසීන් විසින් ඉතාලි පුවත්පත්වල කැමරන්ගේ ඡායාරූපය විවිධ ආකාරයෙන් පළකර තිබෙනවා. ඇති පදමට බියර් බී, විහිළු තහළු කරමින්, විලා හෝටලයේ ඇති පිහිනුම් තටාකය ළඟ දඟලමින් සිටින ආකාරය, කුඩා දරුවන් පිරිසකගේ ඇස ගැටී ඇති අයුරු ඒ එක් ඡායාරූපයකින් පෙන්නුම් කර තිබෙනවා.

රටේ ප්‍රශ්න අමතක කර සංතෝෂයෙන් සිටින කැමරන් පිළිබඳ විවිධ කතා පැතිරුණත්, ඔහු ආර්ථික ගැටලුව වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ලෝක නායකයන් සමඟ සාකච්ඡා කරන බව ද මේ අතර පැවසෙනවා. ප්‍රංශ ජනාධිපති සාර්කෝසි සමඟ පවා ඔහු පසුගියදා මේ පිළිබඳ කතාබහට ලක්කළ බවත් මේ අතර සඳහන් වෙනවා.